එයා මැරිලා හුඟක් කල් 18

“මට කාටවත් පක්ෂක් ග්‍රාහී වෙන්න ඕන වුණේ නැහැ. ඇත්තටම මේ ජයන්ත හින්දා මේ මනුස්සයා අමාරුවේ වැටුනා නේද කියලා හිතුවිල්ල විතරයි මට තිබුණේ.  ඒ ළඟ තියෙන සීසී ටීවී ඔක්කොම අපි බැලුවා.එතකොට පැහැදිලිව පෙනුනා මේ ජයන්තයා අන්ධභූත නැතුව මෙලෝ සිහිපතක් නැතුව එන වාහනයට එක පාරට පනිනවා කියලා.ඒ හින්දා මම සම්පූර්ණයෙන්ම ජයන්ත වැරදි විදිහට තමයි පොලිස් රිපෝට් එක ලියන්න කිව්වේ.


මිනීමරුමක් සිද්ධ වෙච්ච හින්දා වෙත්තමුනි ට  එක දවසක් රිමන්ඩ් එකේ ඉන්න සිද්ධ වුනා. ඇත්තටම එහෙම තමන්ගෙ වරදක් නැතුව අහක යන කුණු ගොඩක් වාහනේ හැප්පිලා මැරුණයි කියලා රිමන්ඩ් කරන්නේ නැහැ. ඒ උනාට එක දවසක් හරි රිමන්ඩ් කරන්නේ මනුස්සයෙක් හප්පලා මරලත් ඒ මනුස්සයා එළියේ ඉන්නවා කියලා නිකමට හරි මහජන උද්ඝෝෂණයක් එයි කියන බයට. දන්නැද්ද අපේ කට්ටිය කෙලින්ම කියනවනේ පොලිසිය පගා අරගෙන කියලා..නීතිය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අයියල මහේස්ත්‍රාත්ල වෙනවා නැත්තං…


මගේ රිපෝට් එක හින්දා මිනිහට ඇප ගන්න පුළුවන් වුණා.ඒ වගේම මගේ රිපෝර්ට් එකේ මම ලියලා තිබුණා මේ මියගිය පුද්ගලයා අධික විදිහට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්..අනතුර සිද්ධවෙන වෙලාවෙදිත් මේ ජයන්ත කියන පුද්ගලයා අධික විදියට මත්ද්‍රව්‍ය පානය කරලා හිටියේ..මාර්ග නීති නිසි ලෙස පිළිපදිමින් පැමිණි වෙත්ත මුනිගේ වාහනයට අසිහියෙන් ජයන්ත පැන්න නිසා මේ අනතුර සිද්ධ වෙච්ච එකක් කියලා .  වෛද්‍ය පරීක්‍ෂණ පරීක්‍ෂණ වලිනුත්  මගේ වාර්තාව ඇත්ත බව ඔප්පු වුණා.ජයන්තගේ පාර්ශවයෙන් කිසි කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ.ඒ වගේම මම ලියපු රිපෝට් එක නිසා වෙත්තමුනි ට ඉක්මනින්ම නිදහස් වෙන්න හම්බවුණා. මරණය සිද්ධ වෙච්ච පුද්ගලයාට වන්දි මුදල් දෙන්න ඕන වුනෙත් නැහැ..
පස්සේ මිනිහා ඇවිල්ලා මාව පෞද්ගලිකව හම්බවෙලා මට ස්තූති කළා.ඒ වෙනුවෙන් මිනිහ මට සල්ලි දෙන්න සූදානම් වුණා.ඇත්තටම මම පගාවට වැඩ කරන කෙනෙක් නෙමෙයි.මම බොහොම සුහදව ඒක ප්‍රතික්ෂේප කළා. හැබැයි මිනිහා එක්ක රෙඩ්ලැගූන් වල අඩිමංකඩකටනං සෙට් උනා..”

එහෙම කිව්වම අපි හැමෝම හිනාඋනා .

“ඒ කාලේ තමයි මම දැනගත්තේ වෙත්තමුනි කියන්නෙ රත්නාලෝකගේ බුදු බොක්කක් කියලා . එතකොටත් මිනිහා මට ඔය එන්.ජි.ඕ එක ගැන කියලා තිබුණා. එතකොට නම් මිනිහා මට කිව්වේ අසරණ වෙච්ච ගැහැණුන්ට අනාථ වෙච්ච ගැහැණුන්ට තරාතිරම  නොබලා උදව් කරන ආයතනයක් කියලා. මිනිහා ඒකෙ ඩිරෙක්ට වගේ තමයි හිටියේ. මම පෙරේදා ආපහු මිනිහත් එක්ක පොඩි චැට් එකක් එහෙම දාලා පොඩි අඩිමංකඩකට සෙට් වුණා.  එදා හම්බ වුණාට පස්සේ ඔය  ඊයේ  තමයි ආපහු හම්බ උනේ.. ඒ අතරතුරදි එක එක අවශ්‍යතා වලට එයා මට කතා කරලා තියෙනවා…
අපි කොහෙවත් ගියේ නෑ..මගේ හපුටු  ක්වාර්ටස් කාමරයේම තමයි.. හම්බුනේ..”

“ඉතින් ..ඉතින් ..”

තලා ඇහුවේ ඇස් දෙකත් ඩොගිත්‍තගෙන…

“මිනිහා දැන් අවුරුදු දහයක් විතර තිස්සේ ඉඳන් රත්නාලෝක ගාව තමයි වැඩ කරන්නේ. ඒත් දැන් නං මිනිහට රත්නා ලෝක කාරයව දිරවන්නේම නැහැ කියලා කිව්වා. මට පේන්නේ මිනිහා ශේප් එකේ රට යන්න  වගේ හදන්නේ…”

“දිරවන්නේ නෑ කියලා කිව්වේ…?”

“මිනිහා කියන විදිහට ඔය සිරිසහන  කියලා දාගෙන තියෙන්නේ බොරු ආයතනයක්.මිනිහා කියන විදිහට  රත්නා ලෝකකාරයාට අමුතු මානසික රෝගයක් තියෙනවාලු. ඩොක්ටර් ඔය කියන කතාවම තමයි ඌ මාත් එක්ක කිව්වේ.බඩ දරු අම්මණ්ඩිලට වහ වැටෙන රෝගයක්..ඒක එළිපිට කියන්න තියෙන ලැජ්ජාව හින්දා තමයි ඔය වගේ නාඩගමක් නටන්නෙ.. ඔය ආයතනයට පිටරටින් එහෙමත් සෑහෙන්න ආධාර හම්බවෙනවලු..ඒ  ආධාර දෙන ආයතනවලට පේන්න බොහොම දුගී දුප්පත් පවුල්වල ගෑණුන්ට ඔය මහණ මැෂින් වතු විසි ගහන මැෂින් උදලු විසිකැති කිරි හරක් වගේ දේවල් අරන් දෙනවලු.මිනිහා තමයි ඒවා ඩිරෙක්ට් කරලා වැඩේ කරන්නේ. මිනිහා සෑහෙන ගාණක් ඒ වැඩෙන් යටි මඩි ගහගන්නවා.සමහරවිට රත්නාලෝකකාරයා ඒ ඔක්කොම දන්නවා ඇති.මූව ශේප් එකේ තියාගන්න ඕන හින්දා ඒවා නොදන්නවා වගේ ඉන්නවා ඇති.වෙත්තමුණිකාරයත් මේකෙන් හොඳට සල්ලි හම්බවෙන හින්දා අර අනවශ්‍ය කතා මොකුත් එලි කරන්නේ නැතුව ඉන්නවා.”..

“එතකොට ඔය ගැහැණු සප්ලයි කරන වැඩේ කවුද කරන්නේ?..”

“මිනිහා මුලින් මුලින් නම් ඔය විස්තර කියන්න අකමැති වුණා.ශොට් දෙක තුන වදිනකොට ළඟ ඉන්න එකා ඉතින් බුදු බොක්ක වෙනවනේ…”

එහෙම කිව්වහම අපි හැමෝම හිනා වුණා..

“ඔය ආයතනයක් කිව්වට ඕකේ වැඩ කරන්නේ දෙන්නයිලු..හිතන්නවත් බෑ නේද..මුන්ගේ තව ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවාලු.තව එක ගෑනියෙක් ඉන්නවලු.ඒ ගෑනු කෙනා පරණ වින්නබු අම්මෙක්ලු..
ලොක්කට ගෑනු සෙට් කරලා දෙන්නේ ඔය ඩ්‍රයිවර් කාරයා තමයිලු.හැබැයි ලස්සන වැඩේ කියන්නේ උන් දන්නෙ නැහැ ඒ ඉන්නේ රත්නාලෝක කියලා. උන් හිතාගෙන ඉන්නේ  ඒ ලොකු බිස්නස්මන් කෙනෙක් කියලා.
ඒ රත්නාලෝක කියලා දන්නේ වෙත්ත මුණිකාරයා විතරයි.”

“එතකොට වින්නබු අම්මෙක්  මොකටද?”

“මාත් ඔය ප්‍රශ්නෙම ඇහුවා. මිනිහා කියන්නේ මහා පුදුම කතාවක්.රත්නා ලෝකකාරයා කියලා කියන්නේ උග්‍ර මානසික රෝගියෙක්ලු. ඌ දෙන දස වද වලට ඒ ගෑනුන්ට පැයක් යන්න ඉස්සර වෙලා ළමයා හම්බෙන්න අමාරු වෙනවලු.රත්නා ලෝකකාරයාට හුඟක් වෙලාවට සෙට් කරල දෙන ගෑනු ආතක් පාතක් නැති කාත් කවුරුවත් නැති ගෑනුලු.එහෙම නැත්නම් වැලේ වැල් නැතුව ලමයි හම්බවෙන්න ඇවිල්ල ඉන්න ළමයට කරගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න ගෑණුලු. මුන්ගේ එන් ජි ඕ එකෙන් කරන්නේත් ඔය හද්ද දුෂ්කර පැතිවල ගෑනුන්ට උදව් කරන එකනේ.ඒ වගේ වෙලාවල් වලට සෙට් වෙන ගෑනුන්ව උන් මතක තියාගෙන ඉන්නවා ඇති. හුඟක් වෙලාවට හිඟන ගෑනුන්ව මේ වැඩේට සෙට් කර කරගන්නවාලු.
ඉතින් මේ වැඩෙන් පස්සේ අර ගෑණුන්ට අමාරු වෙනවලු.උන්ගෙම වාහනයක දාගෙන උන්ගෙම තැනකට අරගෙන යන්නේ ඒකලු.එතනදි ළමයා හම්බ උනහම සෑහෙන ලොකු ගානක් අර ගෑණිගේ අතට දීලා යන තැනකට යන්න අරිනවලු..”

“එතකොට ළමයා?”

“ඒ ගැන ඌ මොකුත් දන්නෙ නෑ.ඌ කියනවා මෙතුවක් කාලෙකට ඒ ළමයින් ගැන කිසි ප්‍රශ්නයක් මතුවෙලා නෑලු.සේරම ඒ වින්නඹු අම්මා බලාගන්නවලු..”

“ඈහ්…ඒ කියන්නේ ඒ ගෑනි ළමයි මරණවලුද…”

“සමහරවිට වෙන්නත් පුළුවන්..එහෙම නැත්නම් ඒ ගෑනිගේ වෙනම බිස්නස් එකක් යනවද දන්නෑ …ඒ ළමයි විකුණනවා වගේ වැඩක්..”

“එතකොට මේ ළමයි දුන්කල වගේ වේලෙන කතාව මොකක්ද..”

“දැන් අර එක සැරයක් ඩොක්ටර් අසේල කිව්වේ ඔය සමාගමෙන්ම ගෑනු කෙනෙක්ව ගෙනාව කියලා ඒගොල්ලන්ගේ හොස්පිටල් එකට.එතනත් කතා වෙලා තිබුණේ ළමයා දුන් කළයක් වගේ වේළිලා තිබුණා කියලනේ.දැන් මෙතන ප්‍රහාණ් ගෙ ළමයා. දැන් එතකොට ඔය කියන විදිහට ආශිකා ටත් රත්නා ලෝක අතවර කරලද..”

තලම්මැහැර  ඇහුවා..

“නෑ මෙහෙමයි.. වෙත්තමුනි දන්නෙ නෑනේ හම්බවෙන ළමයින්ට මොකද වෙන්නේ කියලා. මම නිකං කොහොම හරි ශේප් එකේ ඒ වින්නබු  අම්මා  ඉන්න තැන අහගත්තා. “

“අම්මටසිරි .. රාජා  උඹ නම් යකෙක්…”

මට ඉබේටම කියවුනා..

රාජ හයියෙන් හිනා වුණා.

“යකෙක් මත් නෙමෙයි. ඒක තමයි අපේ වෘත්තිය නිපුණතාවය.ගොළුවොත් කතා කරවන්න පුළුවන්..එහෙම බැරි වෙච්ච කෙනා තමයි ප්‍රහාණ් …”

එහෙම කිව්වම අපි හැමෝම හිනාවුනා.

“එක එක මිනිස්සුන්ගෙන් එක එක ක්‍රමයට තමයි ප්‍රශ්න කරන්න ඕනේ.වෙත්තමුණි කියලා කියන්නේ වෙසමුනියගෙ මල්ලි වගේ පොරක්… එහෙම එවුන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනෙ වෙනමම විදිහකට.  ඔළුව අතගාලා..බෙල්ල යට කිචි කවල….”

රාජරත්නම් හයියෙන් හිනා වුණා.අපි හැමෝගෙම සුප් කෝප්ප ඉවර වෙලා තිබුණා.

“රාජා දැන් නම් මට වැඩට යන වෙලාවත් කිට්ටු වේගෙන එන්නේ..මම අද රෑ ඩියුටි ඉන්න ඕනේ..ඒක නෙමෙයි.දැන් ඔය කොහෙද වින්න අඹුම්මා  ඉන්නේ…”

තලා ඇහුවෙ කන්නාඩි දෙක හදන ගමන්..

“ඉන්නෙ රාස්සගල පැත්තේ.. රත්ගුලු කන්දේ.. “

“රාජා … උඹ ඒ ගෑණිව හම්බවෙන්න යනකොට මටත් යන්න ඕනේ..ඕනෙමයි..”

“හරි .. ඩොක්ටර් මොකද හෙට හවස නිවාඩුද…මම හෙට හවස තමයි යන්න හිතාගෙන හිටියේ.”

“ම්ම්..නිවාඩු නෑ..ඒත් රීප්ලේස්මන්ට් එකක් දාගන්න පුලුවන් වෙයි.  “

“උඹලා සේරටම මම පොඩි යෝජනාවක් කරන්නද..මේ ප්‍රශ්නය දැන් අපි හතර දෙනාගේ ප්‍රශ්නයක්.අපි කරන්න යන හැම ඉන්විස්ටිගේශන්  එකකම අපි හතර දෙනා එකට යමු.මං හිතන්නේ ඒක ගොඩක් ඵලදායි වෙයි..”

මම එහෙම කිව්වහම රාජරත්නම් පුටුවෙන් නැගිට්ටා.නැගිටලා මගේ අත් දෙකෙන් අල්ල ගත්තා..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles