තාරකා ඇස්

ඉරිඟු හේනෙදි ගුණපාල මාමාගේ ලොකු පුතා දැක්කට පස්සේ තමන්ට මොකද්දෝ වෙලා බව තාරකාට වැටහෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන කවිඳු  නිවාඩුවට ගෙදර ආවට පස්සේ ගුණපාල මාමා පස්සේම වැටිලා වැඩ වලට උදව් කරනවා. ගමේ ඉන්නකල් ඒ ඇස් වල තාරකා එළි තමාට නොපෙනුනා නෙවෙයි කියලා තාරකා දන්නවා. ඒත් දැන් ඒ තාරකා ඇස් වල දිස්නේ වැඩි වෙලා.

” සමහරවිට කොළඹ කෙල්ලන්ගේ ඇස් වල එලියෙන් කවිඳුගේ ඇස් එළි වැටිලා ඇති …”

තාරකා දිය රෙද්දේ ගැටේ තද කරගන්න ගමන් ඇලට බහින ගමන් එහෙම හිතුවා. රතු වෙච්ච ඇස්, ඇඬෙන්න ඔන්න මෙන්න තියෙන ඇස් කාටව්ටහ් නොපෙනෙන්න ඉක්මනටම වතුරේ ගිලුණා. තාරකා ඒ කවිඳුව දැක්කේ අවුරුද්දකට විතර පස්සේ. කවිඳු නම් තාරකාව දැක්කේ නැද්ද මන්දා.

” දැකලත් නොදැක්කා වගේ ඉන්න ඇති.. ඉස්සරත් එහෙමනේ…”

තාරකා ඇලේ වතුර දිගේ තමන්ගේ හිත ගලාගෙන යන්න දුන්නා. කවිඳු කියන්නේ තමන්ට ඈත අහසේ තරුවක් බව හිතන්න උත්සාහ කලා. ඒත් එදා හවස පන්සලේ බෝධි පූජාවේදි ආයෙම කවිඳුව දැක්කම නම් තාරකාට තමන්ගේ හිතේ තියෙන හැඟීම තවදුරටත් මියැදුණු හැඟීමක් නොවන බව වැටහුණා. තාරකා පහුවෙනිදා උදේ පාන්දරම අනෙක් වැඩ ඔක්කොම නවත්තලා දාලා, තමන්ගේ හොඳම මිතුරියව මුණ ගැහෙන්න ගියා.

” මොකෝ බං මේ උදේ පාන්දර?…”

” උඹ හේනේ යන්නද ?…”

තාරකා අනෙක් පැත්තට එහෙම ඇහුවා.

” නෑ.. අයියා අම්මලා එක්ක හේනේ ගියා.. අද මට අර ඔන්ලයින් පන්තියනේ … ඒ නිසා අයියා මට එන්නෙපා කිව්වා …”

මිතුරිය එහෙම කියනකොට තාරහා හිස සලලා ඉස්තෝප්පුවේ අසුනක හිඳගත්තා.

“උඹට ඉතින් පණ්ඩිතකමනේ .. මම කිව්ව වෙලේ කොහොම හරි මේ ක්ලාස් එකට එකතු වුනානම් , දැන් කොහොම හරි මේක ඇදගෙන යනවනේ …”

” අපිට මොන උපාධිද බං… “

තාරකා එහෙම කියලා මිදුලේ තිබුන සමන් මල් ගොමුව දිහාවට ඇවිදගෙන ගියා. මිතුරිය ඒ දිහා බලාගෙන උන්නේ වෙනදා, කිරිල්ලියක් වගේ කියවන කෙල්ලට අද වෙලා තියෙන දේ හිතාගන්න බැරුව.

” මොකෝ බං ….”

” කවිඳු ඇවිල්ලා බං ,…”

” ආහ් ඔව්.. ඊයේ හවස මෙහෙ ඇවිල්ලා ගියේ .. මට නෝට් වගයක් ගෙනල්ලා දුන්නා… ඊළඟ මාසේ ඉඳන් අපිටත් ඉරිදා ලෙක්චර්ස් වැටෙන නිසා මම කවිඳුගෙන් නෝට් වගයක් හොයලා ඉල්ලුවා අමාරු විෂයක …”

තාරකා තිගැස්සුනා. ඒ බව නොපෙන්වා ඉන්න උත්සාහ කලා.

” මෙහෙ ආවාද ?..”

හිත සන්සුන් කරගන්න උත්සාහ කලත්, මුව ඉස්සර වුනා.  මිතුරිය තාරකා දිහාව බලාගෙන උන්නේ ඇගේ මේ වචන වල දිග පළල හිතාගන්න බැරිව වගේ.

” ඔව් ආවා…. මොකෝ බං ..”

” මං කවිඳුට ආදරේ කරනවා බං …පිස්සුවෙන් ආදරේ කරනවා… මට කවිඳුව නැති වුනොත් නම් ජීවත් වෙන්නවත් බැරි වේවි බං… කවිඳු මෙහෙ ඔක්කොම දාලා කැම්පස් ගියාම මම හිතුවා මගේ හිත හැදුණා කියලා.. මම මාවම රවට්ටගන්න හැදුවා .ඒත් දැන් මම දන්නවා බං … මං තවම කවිඳුට ආදරෙයි .. මට .. මට තවත් මේක හංගගෙන ඉන්න නම් බැරි වෙයි . “

මිතුරිය තාරකා දිහාවට ඇවිදගෙන ආවේ මහ හඬින් ඇය කියවන දේ වෙන කාට හරි ඇහේවි කියලා බයෙන් වගේ.

” උඹට පිස්සුද තාරු ?…”

” ඇයි ?..ඇයි ?.. මගේ මොකද්ද අඩුව ?..ඇයි මට බැරි ආදරේ කරන්න …”

තාරකා මහ සද්දේට ඇහුවා.

” ආදරේ කරන්න පුලුවන්.. ඒත් ඒ ආදරේ පිළිගන්න කවිඳුට බැහැ …”

” ඇයි බැරි ?…ඇයි ?…”

“අනේ තාරු ..මේ ..උඹ නිකන් පිස්සියෙක් වගේ හැසිරෙන්න නම් තියාගන්න එපා …. ආදරේ කියන්නේ නිකන් ළැඟ දැවටි දැවටි පෙම් බස් කියන එකම නෙවෙයි බං .. මිනිස්සුන්ගේ ආදරේ එක්ක ඒ මිනිස්සුන්ගේ ජීවිතත් හා වෙන්න ඕනි … උඹ කල්පනා කරපං උඹ දැන් ඉන්න දිහාවයි, කවිඳු දැන් ඉන්න දිහාවයි.. ඒ වගේම කල්පනා කරපං… තව අවුරුදු හතර පහකින් උඹ ඉන්න දිහාවයි, කවිදු ඉන්න දිහාවයි …”

තාරකාට මිතුරියගේ වචන අකුනක් වගේ වැදුණා. තාරකා පුපුරලා ගියා. මිතුරියට සමුදෙන්නේත් නැතිවම ගෙදර දිව්වා. ඇඳේ වැටිලා තමන් ගැන කල්පනා කලා.

සාමාන්‍ය පෙළින් පස්සේ පාසැල් ගමන නැවැත්තුවේ තමන්ගේ හිතුවක්කාරකමට. ඊට පස්සේ යන්තම් උසස්පෙල කරගත්තා. ඊට පස්සේ කලේ අම්මාගේ පස්සෙන් හේනට ගිය එක. තාත්තාගේ පස්සෙන් ගාලට ගිය එක. ඉන් එහා ජීවිතේ හීනයක් දකින්න තරම් තේරුමක් තාරකාට තිබුණේ නැහැ.

” ඉගෙනගත්තා කියලා ඒජන්තකම් කරන්නද මොකෝ ?…”

අත්තම්මා ඉස්සරම කාලෙක නිතර දෙවෙලේ කියන ඔය කතාව තමයි තාරකාගේ හිතේ තිබුනේ. තාරහා පහුවෙනිදා නැගිට්ටේ ජීවිතේට අලුත් හුස්මක් එක්ක.

” මම මගේ ජීව්තේ හදාගන්නවා… ඉගෙනගන්නවා කියන්නේ කැම්පස් යන එකම නෙවෙයි කියලා මම මටම ඔප්පු කරනවා….”

තාරකා ගමේ රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙක් මුණ ගැහුනා. ඇය සතු ශක්‍යතාවය ගැන කියලා ඇයට ආරම්භ කරන්නට අවැසි යම් දේවල් ගැන කතා කලා. ඔවුන් තාරුකාට උපරිම උදව් කලා. ආධාර වැඩසටහන් කිහිපයකටම ඇයව සම්බන්ධ කලා. ඒ අතරේ තාරුකාගේ මිතුරියත් තාරුකාට උදව් කරන්න බලෙන්ම ආවා.

” උඹේ ඔය පුස් මොලේට මෙහෙම කල්පනා වෙන්න කියලා මම හවසට පහන් පැල පත්තු කරලාත් ප්‍රාර්තනා කරලා තියෙනවා…”

එහෙම කිව්වාම තාරුකා මිතුරියව වැළඳගත්තා. එහෙම මිතුරියන් ජීවිතයට වාසනාවක් බව හිතුවා. තාරුකාගේ දෙමාපියන් ඔවුන්ට හැකි උපරිමෙන් තාරුකා වෙනුවෙන් වෙහෙසෙමින් උන්නා.

මාස අටක් ගෙවෙනකොට, තාරකා තාත්තාගේ ගව ගාලේ කිරි වලට අගය එකතු කිරීම පටන් ගත්තා. නගරයට වාහන යන පාරේ තැනක තාරුකා ඇස් කිරි හල ඇරඹුණා. ඇය නිශ්පාදනය කරන යෝගට් අලෙවි කෙරුණා. ඒ වෙනුවෙන් ඇයට තාක්ෂණික සහාය සහ උපකාර ලැබුනේ සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුවෙන්.

ඒ අතරේ  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයෙන් ඇය ඉරිඟු සහ රටකජු  භාවිතයෙන් අගය එකතු කිරීමේ නිශ්පාදනය කිරීමත් ඇරඹුවා.

අවුරුදු හතරක් ගෙවුනා. තාත්තායි, බාප්පයි ඔවුන් සතු වුන පවුලේ ඉඩමක් තාරුකාට ලියලා දුන්නා. තාරුකාට තරුණ නිශ්පාදකයන් සහ කර්මාන්තකරුවන් වෙනුවෙන් පිරිනැමෙන ණය ලබා දෙන්න බැංකුවක් ඉදිරිපත් වුනා. ඇය කර්මාන්තශාලාවේ සකස් කිරීම් ආරම්භ කලා. ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සියලු දේ යුහුසුලුව සකස් කෙරුණා.

තාරුකාගේ මිතුරිය ඇය වෙනුවෙන් ලොකුම තෑග්ගත් අරගෙන එදා උදේ ආවා.

“තාරු …”

” උඹ ඇයි පරක්කු වුනේ .. අනේ බලහංකෝ, අර ඉංජිනේරු මහත්තයා ඇවිල්ලාත් නෑනේ … ඒ කොම්පැනියේ ලොකු මහත්තයා කියනවා එනවාම කිව්වලු .. මුල් ගල තියන වෙලාවට ඒ මහත්තයාත් ඉන්නවා නම් හොඳයි නේ …”

“අන්න අර මහත්තයාවද බලපං උඹ බැලුවේ ?..”

මිතුරිය එහෙම කියනකොය තාරුකා මිතුරියගේ උරහිසට උඩින් බැලුවා. සුදුපාට අත් දිග කමිසේකට කලු කමිසයක් ඇදලා උන්න කෙනා දැක්කම තාරුකාගේ ඇස් ගැස්සුණා.

” සුබ පැතුම් …”

කවිඳු ගෙනාව මල් පොකුර තාරුකා අතේ රැඳවුණා. තාරුකා උන්නේ ගල් ගැහිලා.

” ඔන්න ඉංජිනේරු මහත්තයාව එක්කන් ආවා…. ඉස්සරහට කරන දේවල් බලලා කරගනින් …”

මිතුරිය එහෙම කියනවා ඇහුණා.

තාරුකා ඇස් අහසටම විසි වුනා.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles