එකම එක හාදුවක් – 51

0
4948

“ඔයා මට නොකියපු දේ ඒක නම්, අපි අතරෙ ඉස්සර තිබුණ බැඳීම දැන් නෑ කියලා ඔයා කියන්නෙ ඒක නම්, මට ඔයාව විතරක් මතක් වෙච්ච එක අපරාදෙ නේද?

ඇයි ශාර්වරී මට ඔයාව විතරක් මතක් උනේ. මට ඒකත් මතක් නොවී තියෙන්න නේද තිබුණෙ?” කියා නෙවින් අහද්දී ඔහු ඉන්නේ තමන්ව ආයෙ මතක් වෙච්ච එක ගැන කෝපයෙන්ද, වේදනාවෙන්ද, පසුතැවීමෙන්ද කියා නොහිත ඉන්න ශාර්වරීට පුලුවන්කමක් තිබුණේ නැත. 

“ඔයා දුක් වෙනවද නෙවින් මාව මතක් වෙච්ච එක ගැන?” කියා අහද්දිත් ඇස් තිබුනේ කඳුලින් බරවීය. කට හඬ තිබුනේ බැරැණ්ඩි වීය. ඒත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැතිව ඉන්න පුලුවන්කමක් ශාර්වරීට තිබුනේ නැත. අතීතයේ වෙච්ච හැම දෙයක්ම අමතක කර දමා ආයෙම අලුත් මිනිහෙක් විදියට ජීවිතේට මූණ දෙන්නට ඉඩක් ලැබෙන්නේ අහම්බෙන් අවස්තාවක පමණකි. නෙවින් සමහර විට දුක් වෙනවා ඇත්තෙ එහෙම අවස්තාවක් හම්බවීත් තමාව අහම්බෙන් වගේ මතක් වීම නිසා ඒ සියල්ල වතුරේ ගිය හන්දා වෙන්නට හැක.

“අනේ නෑ, කවදාවත් නෑ. මං කවදාවත් දුක්වෙන්නෙ නෑ ඔයාව මතක් වෙච්ච එක ගැන . ඔයා දන්නෙ නෑ ඔයාව මතක් වෙලා, ඉන්පස්සෙ ඔයාව හොයාගන්න පුලුවන් වෙච්ච දවසෙ මට කොච්චර සන්තෝස හිතුනද කියලා. හැමදේම අමතක වෙච්ච කාලයක් වෙලත් මට ඔයාව ලාවට හරි මතක තිබුනා කියන්නෙ, මට එවෙලෙ දැනුනෙ මට වටිනකමක් තියෙනව කියල. ඔයා මට එදා බැනල බැනල දලදා මාළිගාව ලඟදි ආයෙ මාව දාලා දුවගෙන යද්දි ඔයා දන්නෙ නෑ මං හිතුවෙ මට පිස්සු හැදේවි කියල.

ඊටපස්සෙ මං ඔයාව එදා මුලින්ම මල් කඩේට හම්බ වෙන්න ආව දවසෙ ඔයා අඬ අඬ මගෙ පපුවට තුරුල් වුණාම තමයි මට හිතුනෙ මේ ලෝකෙ හැමදේම අමතක උනත් මට ඔයාව මතක නම් ඔයාට මාව මතක නම් මට අනිත් කිසිම දෙයක් ඊට වඩා වටින්නෙ නෑනේද කියන එක

එහෙම එකේ මම කවදාවත් දුක්වෙන්නෙ නෑ ඔයාව මතක් වුනා කියලා”

“එහෙනම් ඇයි ඔයා කිව්වෙ මාව මතක් වෙච්ච එක අපරාදෙ කියල?”

“ඔයාට ඇත්තටම තරහ ගියේ නැද්ද මං අතෙන් මෙච්චර වරදක් වෙලා තියෙද්දිත්, මං හින්දා පොඩි කෙල්ලෙක්ට එයාගෙ ආදරෙයි. ඉගෙනීමයි, තමන්ගෙ ගෑණුකමයි ඔක්කොම නැතිවෙච්ච එකේ ඔයා කොහොමද මට වෛර කලේ නැත්තෙ? ඔයා කොහොමද මට එච්චර දේවල් වෙලත් ආදරේ කලේ?

මට මාර ගිල්ටි. මට ඒ කිසි දෙයක් මතක නැති එක ඇත්ත. මම දන්නෙ නෑ ඔස්ට්‍රේලියාවෙ මගෙ ඇඳුම් කබඩ් එකේ තිබිලා ඒ ශර්ට් එක හම්බෙච්ච වෙලෙත් මම කල්පනා කලා ඇයි ඒ බ්ලඩ් පැච් එකක් වැදිච්ච සුදු ශර්ට් එකක් මම නවලා කරල පරිස්සම් කරගෙන ඉන්නෙ කියලා. මං ඒ කිසිම තැනකදි හිතුවෙ නෑ මං අතින් කෙල්ලෙක්ට මෙහෙම දෙයක් වෙලා තියෙනව කියල.

මම දන්නෙ නෑ මම සොරි කිව්වා කියල මගෙ අතෙන් ඒ පහු ගිය කාලෙ වෙච්ච ඒ මිස්ටේක් එක ඒ වරද හදන්න පුලුවන්ද කියල. අනේ මට සමාවෙන්න” කියා නෙවින් ඔලුවෙ අත් දෙක තියාගෙන ඇඳ මත වාඩි වී ඔලුව පල්ලෙහට නවාගෙන ඉද්දී ශාර්වරී එතනට ගියේ දණ ගාගෙන වගේය. 

“මං තරහා නෑ. මං කවදාවත් තරහා උනේ නෑ. මට කවදාවත් තරහා වෙන්න පුලුවන්කමකුත් නෑ. මට ඇත්තටම ඒ ශර්ට් එක දැකලා ඇඬුණා. අයෑම් සොරි නෙවින්. මං ඒක මතක් කරලා අඬලා වරදක් කලේ”

“නෑ නෑ, ඇයි ඇයි ඔයා මට ඒක කිව්වෙ නැත්තෙ? මං නුවර ආව දවස්වලින් එකක හරි ඔයාට කියන්න තිබුණා නේද? ඇයි මෙච්චර දෙයක් වෙලත් ඔයා ඒක මගෙන් හංගගෙන ඉඳියෙ. ඔයාට කවදාවත් හිතුනෙ නැද්ද ඔය කතාව මට නොකිය ඉඳල මොකක් හරි දෙයක් වෙලා අපි දෙන්නා වෙන් උනානම් ඔයාට මොකද වෙන්නෙ කියලා?” නෙවින් ඒ හැමදේම ඇහුවේ ආදරේ පිරිච්ච ඇස් දෙකකින් ය.

“මං ඔයාට ඒක කියන්න ඕන ඔයාව මං ලඟ තියාගන්න, ඔයාට මගෙන් ගැලවෙන්න ඉඩක් නොදෙන්න හිතාගෙන නම් මට එහෙම කරන්න ඕන නෑ නෙවින්. මට ඕන නෑ නෙවින් එහෙම දෙයක් පාවිච්චි කරල ඔයාව බලහත්කාරෙන් මං ලඟ තියාගන්න. මට හැමදාම ඕන උනේ ඔයාව ආදරෙන් මගෙ ලඟ තියාගන්න. මට නැතිවෙච්ච දේවල් ගැන මං කවදාවත් දුක් උනේ නෑ නෙවින්. මං දුක් උනේ ඔයාව මට නැති උනා කියල හිතල විතරයි.

ඔයා ආයෙ ආව වෙලාවෙත් මං සන්තෝස උනේ මොන දේ අමතක උනත් ඔයාට යාන්තම් හරි මාව මතක තිබ්බෙ ඔයායි මමයි අතරෙ තිබ්බ ආදරේ බොරුවක් නෙවෙයි නේද කියල හිතලා. එහෙම තැනකදි මට ආයෙ වෙච්ච දේවල් මතක් කරන්න උවමනාවක් තිබ්බෙ නෑ. අනික කවදාවත් ඒක ඔයාගෙන් වෙච්ච වරදක් විදියට මම දැක්කෙ නෑ. ඒක අපි දෙන්නාම කැමැත්තෙන් කරපු දෙයක්. එහෙම එකේ මං මොකටද නෙවින් ඒක ඔයාගෙන් වෙච්ච වරදක් විදියට දකින්නෙ? ඇයි මම ඒක ඔයා මට කරපු වරදක් කියල හිතන්නෙ?

මම පහුගිය කාලෙවත්, කොටින්ම ඉස්සර දවස්වල ඔයා මාව දාලා ගියත් මම කවදාවත් ඔයා ගැන වරදක් හිතන්නෙ නෑ.” කියා ශාර්වරී කතාව අවසන් කරද්දී නෙවින් වාඩි වී උන් තැනින් නැගිට මෙච්චර වෙලා බිම දණ ගහගෙන උන් ශාර්වරීව ඔසවා ආයෙ පපුවට තුරුලු කරගත්තේය.

“මම ඇඳුම් මාරු කරන් එන්නම්. ටවල් එක ගැලවුනොත් නැත්තම් ඔයාට තොවිල් නටන්න වෙයි” කියා නෙවින් තමන්ගේ පපුව අද්දර හිස තියාගෙන ඉන්න කෙල්ල දිහා බැලුවේ හිස පහත් කර දෙනෙත් අඩවන් කරගෙන දෙතොල් මත සොඳුරු සිනාවක් අලවාගෙනය.

මෙච්චර වෙලා කඳුලුවලින් පෙඟී තිබිච්ච මූණේ සිනාවක් ඇඳුනේ නෙවින්ගේ දෙනෙත් අස්සේ තිබී ශාර්වරීගේ හිත වෙත හුවමාරු වෙච්ච ආදරේ කතාවටය. 

“එහෙනම් දැනටම තොවිල් නටලා තියෙන්න එපාය. මම ඕක දැකල තියෙනවනේ” කියා ශාර්වරී කාමරෙන් එලියට දුවගෙන යන ගමන් නෙවින් මෙච්චර වෙලාඇඳගෙන උන් තුවාය ගැලවෙන විදියට ඇද දමාය.නෙවින් මහ හඬින් සිනාවෙන අතරම වැටෙන්න ගිය තුවාය අතෙන් අල්ලාගෙන පිටිපස්ස හැරී නොබලා දුවයන කෙල්ල දිහා බලාගෙන උන්නු එකය.

බත් කන අතරවාරයෙත්, අනතුරුව නෙවින්ගේ අපාට්මන්ට් එකේ නිදාගන්න උනත් පුලුවන් තරම් විසල් සෙටියේ දිග ඇදී නෙවින්ගේ පපුවට හේත්තු වී ඉන්න අතරේ “ඔයා දන්නෙ නෑ ඔයා මුල් දවස්වල මට දාපු සද්ද, අම්මෝ මම මාර බයෙන් හිටියෙ” කියා ශාර්වරී තමන්ගේ ඇඟට හේත්තු වී කට හද හද එක එක ඒවා කියද්දී නෙවින් ඒ හැමදේම දිහා බලාගෙන හිනාවෙවී උන්නේය.

“දෙයක් අහන්නද?” කියා නෙවින් අහද්දී ශාර්වරී කලේ පපුවට හේත්තු වී උන්නු විදියටම නෙත් ඔසවා නෙවින් දිහාව බලපු එකය.

“අහන්න කියලා අහන්න ඕන නෑ. ඔයා ඕන දෙයක් අහන්න” ඉතින් කියා ශාර්වරී අහපු හුරතල් තාලෙට අහන්න ගිය ප්‍රශ්නෙ අහන්නෙ කලින් නෙවින් කලේ ශාර්වරීගේ අඬ සඳක් වන් නළල මත සියුම් හාදුවක් තිබුව එකය.

“වෙච්ච දේවල් ගැන ඔයා දුක්වෙනවද?”

“නෑ, වෙච්ච දේවල් වලින් මං දෙයක් ඉගෙන ගත්තා. ඒ තමයි අපි කාටහරි දේකට ආදරේ කරනවනම් ජීවිතේ මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනත් ඒ ආදරේ කවදාවත් අපිට නැතිවෙන්නෙ නෑ කියන එක. ඒ නිසා මම පොඩ්ඩක්වත් දුක්වෙන්නෙ නෑ. අපි කොච්චර දුක් වින්දද දැන් ඒ හැමදේටම හරියන්න අපි ආයෙ හම්බෙලා ඉන්නවනෙ. එහෙම එකේ දුක්වෙන්න දෙයක් නෑනෙ නේද?” කියා ශාර්වරී ආයෙ වතාවක් දෙනෙත් උස්සා තමන් දිහා බලද්දී ඒ දෙනෙත් අස්සේ දිලිසෙමින් තිබුන තෙත නෙවින් හඳුනගත්තේය. ආයෙමත් නළල මත සිපුමක් තැබුවේ ඒ නිසා දිය වූ හදවත ය.

“එහෙනම් මං දෙයක් ඉල්ලන්නද?”

“ඉල්ලන්න කියලා අහන්න ඕන නෑ ඉතින්. මට ඔයත් ඔයාට මමත් ඇරෙන්න වෙන කෙනෙක් නෑනෙ නේද?” කියා ශාර්වරී දෙනෙත් ඔසවා බලද්දී නෙවින් ඒ දෙනෙත් බැල්ම තමන්ගේ සම්පූර්ණ දෙනෙතින්ම අල්ලාගත්‍ ය.

“මගේ විතරයි නේද?”

“ඔව්” 

“එහෙනම් හැමදාම හැමවිදියටම මගේම විතරක් වෙන්න අපි බඳිමු?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here