සියල්ල අතැර යළි ලංකාවට යන්නට සිදුවීම තුළ කෞශල්‍ය උන්නේ අප්‍රමාණ පීඩාවකය. සියල්ලටම වඩා ඔහුගේ සිත තුල වූ පසුතැවීම ඉන් නිමේෂාගේ සහ දරුවාගේ ජීවිත වල වන බිඳී යාමය. වැඩි වැටුපක් සමඟ ලැබුන රැකියාව නිසා නිමේෂාටද රැකියාවෙන් ඉවත් වී නිවෙසට වී සිටින ලෙස යෝජනා කලේ තමාය. දැන් සියල්ල කණපිට පෙරලී ඇත.
එංගලන්තයට පැමිණි මුල් වසර කිහිපයම කිසිඳු බාධාවක් නැතිව ගෙවී ගියේය. අඩුවක් වූවානම් නිමේෂා සහ දරුවාය. දෙමාපියන්ය. එහෙත් වසරකට වරක් ලංකාවට ගොස් එන්නට නිවාඩු ලැබුන නිසා සියල්ල සාමකාමි ලෙසින් පාලනය කරගන්නට ඉඩ ලැබුණි.
අද සියල්ල පැටලී ගොස් තිබෙන්නේ තම වරදින්ම බව කෞශල්‍ය දනී. තමා මුලින්ම ඇබ්බැහි වූයේ මිතුරු ඇසුරටය. සියලු දුරාචාරයන්ගේ ඇරඹුම වූයේ එහිය. අවසානයේ ඔවුන් සියලු දෙනා සියලු වැරදි තම පිටට දමා ඔවුන්ගේ ජීවිත එංගලන්තය තුළ සුරක්ෂිත කර ගත් හ. තමා අසරණ වූයේ අඩුම තරමේ නිදහසට හේතුවක්වත් ගලාපා ගන්නට කාලයක් නොදීය. රැකියාව අහිමි වූයේ ඇසිල්ලෙනි. උපයාගත් සියල්ල ඇප මුදල් සඳහා වැය විය.
” හැමදේම ඉවරයි නිමේෂා ..”
සියල්ල අවසන් වූ පසුව තමා ඇයට සියල්ල පැවසූ පසු ඇය විමසුවේ එක් දෙයකි.
‘ එතකොට ඔයාට ලංකාවට එන්න විදියක් තියෙනවාද පරෙස්සමට ?…”
” ලංකාවට ඇවිල්ලා මොනවා කරන්නද ?.. මම මෙහෙ ජොබ් එකක් බලන්නම් …”
” ඔයාට දැන් ඔහේ ජොබ් එකක් කරන එක ලේසි වෙන්නේ නෑනේ කෞශල්‍ය.. අනෙක ඔයාට ආයෙ ලංකාවට යන්න කියලාත් නේ තියෙන්නේ .. ආයේ තව ප්‍රශ්න ඕනි නැහැ .. ඔයා එන්න ..”
” ඇවිල්ලා මොනවා කරන්නද මම ?…”
” මොනවාම හරි කරන්න පුලුවන් ..ඔයා එන්න….”
අවසානයේ තමා පෙරලා ලංකාවට යෑම තෝරාගත් බවද කෞශල්‍ය සිහි කලේය.
කෞශල්‍ය ගුවන් තොටුපලෙන් පිටතට පිවිසියේ නිමේෂා සොයමිනි. ඇය තම මල්ලීද සමඟ කැටුව ඇති බව දුටු ඔහු ආයාසයෙන් සිනාසුනේය. මල්ලි තමා වෙත හෙලූ බැල්මෙන්ම කෞශල්‍ය පවුල තුල තමා කෙරෙහි ඇති අප්‍රසාදය වටහා ගත්තේය. එහෙත් නිමේෂාගේ සැහැල්ලුව නිසා කෞශල්‍ය මල්ලිගේ නොරිස්සුම පසෙකට දමා සිත සන්සුන් කරගන්නට උත්සාහ කලේය.
පසුදින පටන් කෞශල්‍ය සතු වූයේ පහසුවෙන් මුහුන දෙන්නට හැකි තත්වයන් නොවේය. දෙපැත්තේම දෙමාපියන්ගෙන් සහ සහෝදරයන්ගෙන් තමාට එල්ලවෙන ඇණුම් පද ඉදිරියේ සිටගන්නා නිමේෂා පිළිබඳව කෞශල්‍ය උන්නේ අප්‍රමාන ප්‍රේමයක් එක්කය.
ඇය පාසැල් සමයේ පටන්ම තම පෙම්වතිව හිඳ, වසර පහකට පෙර තම බිරිඳව, දැන් මවුවත් කම් දරන බව පෙන්වන්නීය. දරුවා නින්දට යනතෙක්ම කෞශල්‍යට නිමේෂා සමඟ තනිව කතා කරන්නට ඉඩක් ලැබුනේ නැත. ලැබුණු පළමු ඉඩේදීම ඔහු නිමේෂාව වැලළඳගත්තේ ඉතා තදිනි. කෞශල්‍යගේ සිතුවිලි මනාව වටහාගෙන උන් නිමේෂා ඔහුට රිසි ඉරියව්වේ ඉන්නට ඉඩ දුන්නාය. මද වෙලාවකින් කෞශල්‍ය ඇය වෙත නතුව උන් ඉරියව්ව වෙනස් නොකරම ඉකි ගසමින් හැඬුවේය. නිමේෂා ඒ කඳුළු බලාපොරොත්තුවෙන් උන්නාය. කෞශල්‍යට සිදුව ඇත්තේ කුමක්දැයි දැනගත් දිනයේ පටන් තමා තනිව හඬා සිත ශක්තිමත් කරගත්තා වුවද, කෞශල්‍ය එලෙසින් ශක්තිමත් වන්නට නම් තම ළමැදම අවැසි බව ඕ දැන උන්නාය. එහෙම දිනයක තමාද වේදනාවෙන්ම බර වුවහොත්, තමන් දෙදෙනාම කුඩුපට්ටම්ව යන බවද ඕ දැන උන්නාය. දැන් මේ සිටින්නේ ඒ හැඟීම එක්ක ශක්තිමත්ව සිටින නිමේෂාය.
” මං මොකක්ද කරන්නේ මැණිකේ ?….”
කෞශල්‍ය එලෙසින් විමසුවේ පැය භාගයක් පමණ ඉක්ම ගියාට පසුවය.
නිමේෂා කෞශල්‍යගේ කොපුල් ඉම්බාය.
” ඔයා මුකුත්ම කරන්න ඕනි නෑ …..”
ඕ ඉතා ළයාදරව කීවාය.
” මම මුකුත්ම නොකර කොහොමද මැණිකේ… තව මාස දෙක තුනක් යනකොට ඔයාගේ අතේ ඉතුරු තියෙන සල්ලි ටික ඉවර වෙයි .. එච්චරත් කල් බැරි වෙයිද මන්දා,ඔයා මට එහෙටත් ආයේ සෑහෙන ගානක් දැම්මානේ ….. පුතාගේ ස්කූල් ෆීස් ඊළඟ මාසේ දාන්න ඕනි …. ලෝන් එකට සල්ලි දාන්න ඕනි … අපි කන්න බොන්න ඕනි … මම .. මම මුකුත් නොකර කොහොමද නිමේෂා ….”
කෞශල්‍ය විමසුවේ තමා මත සියලු වරද පටවාගෙනමය. කිසිඳු නිදහසට කරුණක් පැවසීමක්වත් ඔහුට අවැසි වූයේ නැත.
” ඔව් .. ඇත්ත .. ඔය ඔක්කොම කරන්න ඕනි.. ඒත් ඔයා තනියෙන් නෙවෙයි .. අපි දෙන්නා එක්කම …. ඔයාට මං ඉස්සරත් කියලා තියෙනවා, ජීවිතේ මොන නරක කාලයක් ආවත්, මම ඔයාගේ අතින් අත අරින්නේ නෑ කියලා…ඉතින් .., මේ එහෙම නරක කාලයක් …”
නිමේෂා වඩා වගකීම් සහගත හඬක්ද සමඟින් කීවාය. කෞශල්‍ය බලා උන්නේ ඇය පවසන්නේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිවය. එහෙත් තමා තනිව නැති බව යළි සිතට දැනුන බව ඔහු පපුව පිරෙන තරමේ හුස්මක් සමඟින් නිමේෂා දෙසම බලා උන්නේය.
” මම යාලුවෝ කිහිප දෙනෙක්ම එක්ක කතා කලා .. එයාලා මට ක්ලාසස් කිහිපයක් සෙට් කරලා දේවි .. ගෙදර ඉස්සරහ ටිකේ පන්තියක් කරන්න පුලුවන් ව්දියට හදාගන්න ඕනි …”
නිමේෂා එලෙසින් පැවසූවද, ඉන් කෞශල්‍යගේ සිතට අස්වැසිල්ලක් ලැබුනේ නැත. එලෙස උපයා කොහොම පිරිමහා ගන්නද ?..
” මං දන්නවා ඔයාට ඒ ගැන විශ්වාසයක් නැති බව .. ඒත් අපිට මේක කරලා බලන්නම වෙනවා.. ඔක්කොම අතාරින්න .. අපිට කාලා බීම ඉන්න තරමට මට උපයගන්න පුලුවන් වේවි .. මට පුතාවත් ඇහැට පේන මානෙන් තියාගෙන වැඩේ කරන්නත් පුලුවන් ..”
“මට තේරෙන්නේ නෑ නිමේෂා …”
” අපි අපිව විශ්වාස් කරමු කෞශල්‍ය … හැමදේම හදාගමු .. ජීවිත වල මීට වඩා කඩාගෙන වැටීම් වෙනවා .. ඒක අපි නොදන්නවා නෙවෙයිනේ …”
” හ්ම්ම්..”
” ඔයා ඒ අතරේ සීවී අප්ඩේට් කරගෙන ජොබ් එකක් බලමු ..පුතාගේ ඉස්කූල් ෆීස් ගැන ඔයා හිත කරදර කරගන්න එපා … මල්ලි බුක් ලිස්ට් එක ඔක්කොම අරන් දෙන්නම් කිව්වා… මාස දෙක තුනක් යනකල් මල්ලි ලෝන් එකත් සෙට්ල් කරාවි …. අම්මලා ස්කූල් ෆී එක බලාගනී ..”
කෞශල්‍ය නෙත් තෙත පිසලා දැම්මේය.
” අම්මලායි, මල්ලියි ඔයා එක්ක තරහෙන් ඉන්නේ .. ඒ වුනාට ඔයාට ආදරේ නැතුව නෙවෙයි …ඔය පුම්බගෙන ගියාට හෙට අනිද්දා ආයෙම ඒවි …”
.
.
.
කෞශල්‍ය සතු වූ කළමණාකරණ උපාධියේ දැනුම ඔහු භාවිතා කලේ ඔහු සිහිනෙන්වත් නොසිතූ කර්මාන්තයක් වෙතය. ඒ විසිතුරු ශාක සහ මල් වෙළඳාමය. සතු වූ සම්බන්ධතා සමඟින් ඔහුට විදෙස් වෙලඳපොල දක්වාම සැපයුම් කිරීමට හැකි විය. තම වරදක් නිසා ආපසු හැරුණු ජීවිතය පිළිබඳව දැන් කෞශල්‍ය සිටින්නේ අප්‍රමාන සතුටකිනි.
” ආපහු හැරෙන්න බය වෙන්න එපා.. සමහර වෙලාවට හොඳම දේ මුණ ගැහෙන්නේ ඊට පස්සේ …”
කෞශල්‍ය ඉතා වගවීමෙන් එලෙස පවසන්නේය.
ReplyForwardAdd reaction |