එකම එක හාදුවක් – 52 (අවසාන කොටස)

0
4080

ඒ වචන අස්සේ හැංගී තිබුණේ ආදරයකට එහා ගිය වගකීමක් බව හඳුනාගන්න ශාර්වරීට අපහසු වුණේ නැත. දෙනෙත් තෙත් කරමින් කඳුලු බිංදු වැගිරෙද්දී ඒ කඳුලු බිංදු නෙවින්ගේ පපුව අස්සේ හංගන්න ශාර්වරී දෙපාරක් හිතුවේ නැත.

“මං දන්නවා වෙන කාලෙක උනා නම්, සමහර විට මට මේ හැමදෙයක්ම අමතක වෙන්න කලින් උනා නම් මම ඔයාට ලස්සන ප්‍රපෝසල් එකක් ඇරේන්ජ් කරන්න තිබ්බා. ඒත් දැන් මට ඇත්තටම ඕන ඔයාව ඉක්මනට මගෙ ලඟට ගන්න. මට මාර බයක් තියෙනවා මට ආයෙ ඔයාව නැතිවෙයි කියල. මට බයයි ආයෙ ඇක්සිඩන්ට් එකක් වෙලා මට මේ හැමදෙයක්ම අමතක වෙලා ආයෙ කවදාවත් ඔයාව මතක් වෙන එකක් නෑ කියල මට. මට එහෙම ජීවිතයක් ඕන නෑ. මට ඔයා නැති ජීවිතයක් හිතන්න බෑ මං දන්නෙ නෑ ඇයි මට එහෙම හිතෙන්නෙ කියලා. මට කිසිම දෙයක් අතීතෙ වෙච්ච මතක නැතුව තිබිලත් මට ඔයා ළඟ ඉද්දි මාර සන්තෝසයක්, සැනසීමක් තියෙනවා. 

මට දැන් ඕන ඒක හැමදාම, හැම මොහොතෙම විඳින්න. මට ඕන හැම රෑකම මේ වගේ ඔයාව තුරුල් කරගෙන කතා කර කර ඉන්න, එහෙම නැත්තම් තුරුල් වෙලා නිදාගන්න. එහෙ මෙහෙ යන්න. ඊටත් වඩා මගෙ හිතට මාර අමාරුයි මට ඔයයි මමයි එකතුවෙච්ච ඒ මොහොත මතක නැතිවෙච්ච එක ගැන.

ලක්ශාන් මට කිව්ව මට සෑහෙන ගෑණු ඉඳලා තියෙනව කියල. ක්ලබ් වලදි සෙට් වෙච්ච, ශූට් වලදි සෙට් වෙච්ච එහෙම. හැබැයි මං දන්නවා, ඔයා කිව්ව හන්දම නෙවෙයි, මට අනිත් කිසිම කෙනෙක්ව මතක නැතිව ඔයාව විතරක් මතක් උනේ ආදරේ හන්දනම් මම කවදාවත් ඔයාව රවට්ටල නෑ කියලා. එහෙම එකේ මමයි ඔයයි මුලින්ම එකතුවෙච්ච වෙලාව මට මතක නෑ කියන එක මට හිතට හරි අමාරුයි. ඒක ඔයාගෙ පලවෙනි වතාව මගෙ කීවෙනි වතාවද කියන්න මම දන්නෙ නෑ. ඒ උනාට ඒ මෝමන්ට් එක ඔයාගෙයි මගෙයි මෝමන්ට් එක. ඇයි බබා මට ඒ කිසිම දෙයක් මතක නැත්තෙ?

එහෙම එකේ මට තව කල් යවන්න උවමනා නෑ.ඔයාගෙ නංගි, අර නුවර ගෙදර ඉන්න අත්තම්මා, මාමාට කියල අපි පොඩියට හරි එන්ගේජ් වෙලා බඳිමු. 

ඔයා ආස ඇතිනෙ ලොකු වෙඩින් එකක් ගන්න. අපි ඒකක් ගමු. ඔයා කැමති විදියට ගමු. මට සල්ලි තියෙනවා ඕන තරම්. ඔයා කැමති විදියට අපි වෙඩින් එක ගමු. අපි ඉස්සෙල්ලා රෙජිස්ට්‍රේශන් එක කරමු. එතකොට මට බය නැතුව ඔයා මගේ කියල මුලු ලෝකෙටම උනත් කියන්න පුලුවන්. මොන දේ උනත් වෙන්නෙ මට ඔයා ලඟදිනෙ. මට ආයෙ හැමදේම අමතක උනත් ඔයාට බයවෙන්න දෙයක් නෑ, ඔයාට ඔප්පු කරන්න පුලුවන් අපේ සම්බන්දෙ”

විවාහය වෙනුවෙන් සියලු කටයුතු සූදානම් වුණේ පුංචි කලබලයකින් උනත් කොළඹත් නුවරත් යා කරමින් නෙවින් ගේත් ශාර්වරීගේත් ආදරය වඩා ලස්සනට ගලා යන්නට උනේ දෙන්නට දෙන්නා විසින් ආදරය අහිමි වූවා යැයි හිතා ගත් කාලයේ වින්ද දුක හිතෙන් සදහටම අමතක කරන්න පුලුවන් වෙන්නය.

නෙවින් උන්නේ ශාර්වරීව පිළිගන්න බලාපොරොත්තුවෙන් ගෙදර සූදානම් කරන අතරය, අලුත් දිර රෙදිද, පිඟන් කෝප්පද, කොට්ට මෙට්ටද අරගන්න නෙවින් ගියේ ඉඳහිටක කොළඹ ආ ශාර්වරීත් එක්කරගෙනය.

ගෙවල් දොරවල් අස්පස් වෙද්දි, ශාර්වරී මනමාලියෙක් වෙන්නත්, නෙවින් මනමාලයෙක් වෙන්නත් සූදානම් උනේ දන්න අඳුනන සුලු පිරිසක් පමණක් එක්කහු කරගත්ත පුංචි විවාහ මංගල්‍යයක් හැමෝගෙම උදව්වෙන් ඉතාම සුන්දරව ලකලෑස්ති වන අතරවාරයේය. 

පෝරුව සෙරමනි මුකුත් නැතුව අත්සන් කිරීමකින් අවසන් වුණ ඒ විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වුණේ සුන්දර හවස් වරුවක, වෝටර්ස් එජ් පරිශ්‍රයේය. ශාර්වරීගේ පැත්තෙන් නංගිත්, අත්තම්මාත්, මාමාත්, තවත් යහලුවක් කීප දෙනෙක් ද නෙවින්ගේ පැත්තෙන් අක්කාත්, ලක්ශාන් සහ තව හිත මිතුරන් කිහිප දෙනෙකුත් එකතු වී පැවැත්වුන ඒ සුන්දර සැඳෑවේ නෙවින්ගේත් ශාර්වරීගේත් මතකයේ තැන්පත් වුණේ ආයෙ කිසිම දවසක අමතක කරලන්නට බැරි තරම් අපූරුවටය. 

“මං ඔයාට එදා කිව්වනෙ ආයෙ මට අමතක වුණත් හැමදේම ඔයාට පුලුවන් කියල මාව බැන්දම වෙඩින් සර්ටිෆිකේට් එක පෙන්නල මට හැමදේම මතක් කරලා දෙන්න” කියා නෙවින් මනාල යුවල වෙනුවෙන් වෙන් කල කුඩා කෑම මේසයේ වාඩි වී කෑම කන අතරේ ශාර්වරීට කන්නට පහසු විදියට එලවලුත් මසුත් ගෑරැප්පුවෙන් කඩා පිඟානේ කෙලවරකින් තියන ගමන් කිව්වේය.

“ඔව් ඉතින්” කියා අහන ගමන් ශාර්වරී ගැරැප්පුවේ අමුණාගත් බ්‍රොකෝලි කෑල්ලක් නෙවින්ගේ දෙතොල් අද්දරින් තිබ්බාය.

“ඔයාට එහෙම කරන්න උවමනා වෙන්නෙ නෑ”

“ඇයි?”

“මට ආයෙ කොච්චර ලොකු ඇක්සිඩන්ට් එකක් උනත් මං හිතන්නෙ නෑ මට මේ දවස අමතක වෙයි කියලා. මෙච්චර ලස්සන ඔයාව කවදාවත් අමතක වෙයි කියල. ෆොටෝ ගන්න ආව මලින්දත් කිව්වා මාත් එක්ක බ්‍රයිඩල් ශූට්ස් කොච්චර කරල තිබුණත් ඒවයි බ්‍රයිඩ්ට උන්නු හැම මොඩ්ල් කෙනෙක්ටම වඩා ඔයාව මට මැචින් වෙනවා කියලා. මං කිව්වා ඒක නිසා තමයි මම ඔයාව සිලෙක්ට් කරගත්තෙ කියලා.” නෙවින් කියන්නේ ඇස් හීනි කර බලා හිනාවෙමින් ඒ හිනාවට දෙතොල් දක්වා එන්න ඉඩ හදා දෙමින් ය. ඒ හිනාව ශාර්වරීගේ දෙනෙත් වෙත යාවෙන්න ගත වුණේ තප්පර ගාණකි. 

“මම නම් ඉතින් අද ලස්සන වෙලා ඉන්නෙ මේ ඔයා දන්න ලොකු සැලෝන් වල මිනිස්සු මේකප් දාලා, ලස්සන සාරියක් එහෙම අන්දවල මාව සරසවල තියෙන හන්දනෙ. ඔයා නම් හැමදාම වගේ අදත් ලස්සනයි. මට ඇත්තටම තාම මේ දේවල් ඇත්තටම වෙනවා කියලා විශ්වාස කරන්න බෑ වගේ”

“ඇයි ඒ මාව විශ්වාස නැද්ද?”

“ඔයාව විශ්වාස නැත්තම් ඉතින් මම ඔයාට ආදරේ වෙන්නෙ නෑනෙ. මට හිතාගන්න බෑ ඔයා වගේ මනුස්සයෙක්ව මං වගේ කෙනෙක්ට හම්බුවෙනවා කියන එක. මෙතනින් එහාට මම සදහටම ඉන්නෙ ඔයා ලඟ ඔයාට එහා පැත්තෙන් කියල හිතෙද්දි මට තාම ඒක විශ්වාස කරන්න බෑ වගේ” කියා ශාර්වරී හිමින් සැරේ පිඟානේ තිබූ කෑම කැබලි ගැරැප්පුවෙන් එහා මෙහා කරන ගමන් හුරතල් තාලෙටය.

“බයවෙන්න එපා අද රෑට ඔයාට හොඳටම දැනෙයි මං ඉන්නෙ එහා පැත්තෙන් විත්තිය” කියා නෙවින් ඈත අතීතයේ කොහේ හෝ තැනක සැඟවී තිබුන තමන්ගේ ආදරයත්, සරාගයත් මුහුවෙච්ච හිනාව තමන් දිහාවට පා කර එවද්දී ශාර්වරීට පොඩ්ඩක් විතර හයියෙන් හිනා ගියාය.

“ආහ් මට දැනිලා තියෙනවා ඔයා ඉන්න විත්තිය කලින් ඉඳලා. අමුතුවෙන් ඒක පෙන්නන්න උවමනාවක් නෑ” කියා ශාර්වරී කියද්දි නෙවින් ආයෙම කට අමුතුම විදියකට හදාගත්තේය.

“ඒ වුණාට අද ඉතින් වෙනස්. දැන් මං ඔයාව මගෙ ලඟට අරගෙනනෙ තියෙන්නෙ. මං ඔයාව මගෙ ළඟට ගත්තට පස්සෙ ඔයාට රෑට නිදාගන්න දෙන්නෙ නෑ කියල හිතන් හිටියෙ” කියා නෙවින් කියද්දී ශාර්වරීට මතක් උනේ අතීතයයි.

“නිදාගන්නෙ නැද්ද? දැන් රෑ වෙලානෙ”

“නින්ද යන්නෙ නෑ”

“ඇයි?”

“දන්නෙ නෑ”

“නිදාගන්න. දැන් නිදාගන්න එකක් තමයි හැබැයි අන්තිමේ ඉතිරිවෙන්නෙ”

“ඇයි එහෙම කිව්වේ?”

“මං ඔයාව මගෙ ළඟට ගත්තට පස්සෙ ඔයාට රෑට නිදාගන්න දෙන්නෙ නෑ මං” කියා නෙවින් කියූ අතීතය නෙවින්ට ආයෙ කිසිම දවසක මතක් වෙන්නෙ නැති එක ඇත්තක් උනත් මේ වගේ නිමේශයන්වල සිහිවෙන ඒ අතීතය මතක් කර හිනාවෙන්න තමන්ට පුලුවන්කමක් තියෙන එක ගැන හිතා ශාර්වරී හිතෙන් ඇත්තටම සන්තෝස වුණාය.

“මටත් දැන් ඇත්තටම නිදාගන්න ඕන නෑ’

“ඇයි?”

“ඔයා නැති කාලෙ තමයි මට තේරුණේ ඔයා නැති ජීවිතේ කොච්චර අමාරුද කියලා. එහෙම එකේ දැන් ඔයාව හම්බුනාට පස්සෙ මට මේ ගෙවෙන දවස් නිදාගෙන, ඔයාව නොදැක ගෙවන්න ඕන නෑ.

මට දැන් ඕන ඔයාව හැමතිස්සෙම දකින්න, පුලුවන් හැම තප්පරේම ඔයාට තුරුල් වෙලා ඉන්න. මම මේ කතාව ඉස්සර ඔයාට ගොඩක් වතාවල්වල කියල තියෙනවා. මම ආයෙ ඒක කියන්නෙ ඔයාට ඒක අමතක හින්දා නෙවෙයි. මං හිතනවා මේක තමයි හොඳම වෙලාව ආයෙ ඒක කියන්න කියල.

මං ඔයාට ආදරෙයි නෙවින්. ජීවිතේ ඉස්සරහට මොන දේ උනත්, ඔයාට මේ හැමදේම ආයෙ එකපාරක් නෙවෙයි දහ පාරක් අමතක උනත් මම ඔයාට ආදරෙයි. ඔයා මට ආදරේ නොකල දවසක උනත් මම ආදරෙයි.

ආදරෙයි ආදරෙයි ආදරෙයි. නොසෑහෙන්න ආදරෙයි!” 

ඒ වචනවලට නෙවින් පිළිතුරු දුන්නේ වචනවලින් නොවේ. තමන් දිහා දිලිසෙන ඇස්වලින් බලාගෙන උන්නේ ශාර්වරීගේ සුන්දර දෙතොල් මත තිබූ හාදුවකින් ය.

ඒ හාදුව වඩා ලස්සනට රසවිඳින්න ශාර්වරීට පුලුවන් වුණ මොහොතේ, විවාහයේ ජායාරූප අරගන්නට ආ ජායාරුප ශිල්පියා ඒ සුන්දර දසුන තමන්ගේ කැමරාවේ සටහන් කරගත්තේය.

අදටත් ශාර්වරීගේත් නෙවින්ගේත් කාල්ටන් අපාට්මන්ට් නිවසේ මෙපමණ දවසක් නෙවින්ගේ පින්තුර පමණක් එල්ලා තිබූ සයනයට ඉහළින් බිත්තියේ නතර වී හිඳ ඒ සයනය මත නෙවින් සහ ශාර්වරී එකිනෙකා අතර හුවමාරු කරගන්න අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක මුදු වූ, දැඩි වූද, ආදරණිය වූද, සරාගික වූද හාදු වර්ෂා දෙස බලා හිඳියි.

——————————————————————————————————————————-

මේ කතාව හරි සන්තෝසෙන්, ආතල් එකේ ලිව්ව කතාවක් බව කියන්න ඕන ආයෙම වතාවක්. හිතට බරක් අරගෙන ආව සාගර තරංගා වගේ කතාවකට පස්සෙ හිතට බරක් ගේන්නෙ නැති කතාවක් ලිව්ව නම් හොඳයි කියන එක තමයි අපි හිතුවෙ.

ඉතින් නෙවින්ගෙ චරිතෙ කියවද්දි ඔයාලා නම් එක එක ලස්සන කොල්ලන්ව හිතෙන් මවාගන්න ඇතිනෙ. මම ලිව්වෙත් එහෙම ලස්සන එක්කෙනෙක්ව මවාගෙන.

එයා මගේ Crush එක උනාට ඉතින් ෆොටෝ එකක් එහෙම දාන එක හරි නෑනෙ. ඔන්න ඒ නිසා මම එයාගෙ ෆොටෝ දාන්නෙ, නම එහෙම කියන්නෙ නෑ. හැබැයි එයා ඇත්තටම Lovi Ceylon එකේ මොඩ්ල් කෙනෙක් වෙලා ඉඳියා. 

හා පුලුවන් නම් හොයාගෙන පෙන්නන්නකෝ!!!!! 🤣🤣🤣🤣

එහෙනම් ආයෙ හමුවෙන තුරු ආදරෙයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here