Virgin පිරිමි

“පිරිමියෙක්ට සාරි ඇඳන් අහවල් රෙද්දක්ද ඕයි කරන්න තියෙන්නෙ?”

කතාව පටන් ගත්තේ ආන් ඒ විදියටය. රතු පාට සාරියක් ඇඳගෙන, කකුල්වල රතු පාට ලතු ගා, පා මුදු ද, සද්ද වෙන පා සළඹක් ද දාගෙන උන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන වෙච්ච සින්නමුත්තුය.

 සින්නමුත්තු වැඩ කරේ ටයිම්ස් වතු යායේ කංකානි කෙනෙක් විදියටය. කංකානි කෙනෙක් වෙච්ච සින්නමුත්තුට පරම්පරාවෙන් දායාද වෙච්ච ලැයිම් කාමරයක් තිබුණ අතර ඒ තනි කාමරේ ලයිම් කාමරේ ජීවත්වුනේ සින්නමුත්තුත්, සින්නමුත්තුගේ අම්මා වෙච්ච තාමත් ටයිම්ස් වතු යායේ තේ දළු නෙලන රාජකාරිය කර සෙංගවීය. අප්පා කවුද කියා සින්නමුත්තු කවදාවත් අම්මා වෙච්ච සෙංගවී ගෙන් ඇහුවෙ නැති හන්දා යමක් කමක් තේරෙන දා හිටන් පරම්පරාවෙන් ආව ලැයිම් කාමරේ ගෙදර පිරිමියා උනේත්, අප්පා උනේත් සින්නමුත්තුමය.

ලංකාවේ මධ්‍යම කඳුකරයේ වැවෙන තේ කොළවලින් අරගෙන එන තේ රහ ලංකාවේ හතර කොණේත් ඉන් එහා සප්ත මහා සාගරය පසු කරගොසින් දේශ දේශාන්තරවලත් මිනිස්සුගේ දිව රස කරවන බව දැන උන්නත් ඒ වනාහී කුමනාකාරයේ රසයක් ද කියා තේ ගස් අස්සේ හැපෙමින්, පෙරළෙමින් දුක් රසම විංද සින්නමුත්තුවත්, සෙංගවීවත් දැන උන්නේ නැත. තේ දළු නෙලන්නියන් ජීවත් වෙන මේ ලැයිම් කාමර වල උන් දරුවන්ට උරුම වුන ජීවිතේ වුණේත් තමන්ගේ අම්මා අප්පා විදියටම නිසි වයස ආ කල තේ ගස් එක්ක ඔට්ටු වෙන එකය්‍ය. එතන නිසි වයස වුනේ රටේ අනිත් රැකියාවලට ගනිද්දී බලන වයස නොව හොඳම තේ දලු අතින් නෙලා, තේ කූඩයට හරියට දාගන්න තරමට යමක් කමක් තේරෙන වයසය.

පාසල් නොගිය සින්නමුත්තු අකුරක් දෙකක් ඉගෙන ගත්තේ අම්මාගෙන් ය. ඒ ද අම්මා දන්න අකුරක් දෙකක් පමණක් හන්දා සිංහල හෝඩියේ මෙන්ම දෙමළ හෝඩියේ බොහොමයක් අකුරු සින්නමුත්තු දැන උන්නේ නැත. එහෙත් ලෝකය දිහා විපරම් ඇසින් බලා යමක් කමක් ඉගෙන ගන්න හැකියාව තිබ්බ සින්නමුත්තුට ඒ ලැයිම් කාමර පේළියේ අනික් බොහොමයක් පිරිමින්ට නොතිබුණු අන්දමේ උණුවෙන තෙත්වෙන හිතක් කුමනාකාරයෙන් හෝ පිහිටා තිබුණේය.

ඒ මනුස්සකමත්, හිත උණුවන ගතියත් සින්නමුත්තුට ඉගෙන ගන්න උදව් කලේ මලයාලම්, තෙලිඟු සිනමාවෙන් ලංකාව බලා ආ විවිධාකාරයේ චිත්‍රපටය. චිත්‍රපට පිස්සෙක් වෙච්ච අහිංසක මූණක් එක්ක, හොඳ හිතක් තිබ්බ සින්නමුත්තුට දෙමළ චිත්‍රපට බලන්න පුලුවන් උනේ වත්තෙ මහත්තයා සිංහලයෙක් වුණත් ඉන්දීය සිනමාවට ආදරය කළ හන්දාය.

“සින්නමුත්තු, නල්ල පඩම් ඔන්න වන්ද ඉරක්ක ඉන්නෙයික අන්දිකි පෝවමා.

උනක්ක ධනුශ් පුඩික්කුම් ල. ධනුශ් ඩ පඩම් තාන්” (සින්නමුත්තු, හොඳ ෆිල්ම් එකක් හම්බුනා බලන්න එන්න, ධනුශ් ඉන්නෙ, උඹ ධනුශ්ට කැමතියිනෙ)

වත්තේ මහත්තයා කණිශ්ක සපරමාදු ටයිම්ස් තේ වතු යායේ බංගලාවේ ජීවත්වුනේ තනියමය. සීතල පලාතක පිහිටා තිබ්බ ටයිම්ස් වතු යායේ ජීවත් වෙච්ච කනිශ්ක සපරමාදුගේ සීතලට ගැහෙන හිතවත් ගතවත් උණුහුමෙන් පුරවලාන්න ගැහැණියකගේ හෙවණැල්ලක් නොවැටුන ඒ බංගලාව අස්සේ සින්නමුත්තු දැක්කේ මූසල, සීතල කලුවරම පමණකි. උයන පිහන වැඩ පල කරන්නටත්, වත්ත අස්පස් කර දමන්නටත් ආ ගිය දෙමල ගැහැණුන්ට තාවකාලිකව හෝ ඒ හීතල මූසලකම පලවාහරින්න කනිශ්ක සපරමාදුගෙන් ඉඩක් නොලැබිච්ච බව හොඳටම දැනගෙන හිටියේත් පුංචි සන්දියේ සිටම වත්තෙ බංගලාවේ චිත්‍රපට බලන්නට ගිය සින්නමුත්තුය.

ධනුශ්ද, සූර්‍යාද, ජයම් රවීද, රජ්නිකාන්ත් ද, කමල් හසන්ද පමණක් නොව, මලයාලම්, තෙලඟු සිනමා වල වීරයන්ගේ චරිතවලින් සින්නමුත්තුගේ ඔලුව පුරවන්න අඩිතාලම් දැම්මේ කනිශ්ක සපරමාදුය.

“සින්නමුත්තු ෆිල්ම් බලලා මොනවද ඉගෙන ගන්නෙ?” කියා කනිශ්ක මුලින්ම අහද්දී සින්නමුත්තුට වයස අවුරුදු දහයක් එකොලහක් වගේය.

“ඩිශුම් ඩිශුම් ෆයිට් තමයි මාතියා” කියා අහිංසක කොල්ලා හිනා වෙවී කියද්දී මේ බලන චිත්‍රපටවලින් ඊට එහා ගිය කතන්දරයක් මනුස්සයෙක්ට ඉගෙන ගන්න පුලුවන් කියන්න මේ කොල්ලා තාම පොඩි වැඩි බව තේරිච්ච හන්දාම සින්නමුත්තුට තේරෙන වයසක් එනතුරු කනිශ්ක සපරමාදු ඇත්තටම දෙයක් ඉගෙන ගන්න පුලුවන් විදියේ චිත්‍රපට පමණක් බලන්න අරගෙන ආවේය.

“මුකුටද අප්පා ඔච්චර ගේණි වෙනුවෙන් කරන්නෙ? පිස්සුනෙ, මිනියා මිනියා වගේ ඉන්න ඕනනෙ” කියා සින්නමුත්තුගේ කටින් පැන්නේ ඔහොම චිත්‍රපටි බලමින් උන්න රැයකය. ඒ සින්නමුත්තු ආස කළ ධනුශ් සමන්තා එක්ක රඟපාන තංගමගන් චිත්‍රපටයේ දර්ශනයක් අතර වාරයෙදීය.

“සින්නමුත්තු ඇයි එහෙම කිව්වෙ?” කියා කනිශ්ක සපරමාදු ඇහුවේ ආයෙම ජින් වඩියක් තමන්ගේ වීදුරු කෝප්පෙට දාගෙන ඒ දියරයට කෝප්පෙ ඇතුලේ හීන් සීරුවේ කැරකෙන්නට ඉඩක් හදා දෙන ගමන්‍ ය. තමන්ගේ ලඟ බිම වාඩි වී චිත්‍රපට බලන සින්නමුත්තුගේ දෙනෙත් ඒ ප්‍රශ්නය එක්ක තමන් දිහාවට එල්ල වී තිබෙන බව තේරුණත් කනිශ්ක එක මොහොතකටවත් තිරය මතින් දෙනෙත් ඉවත් කරගත්තේ නැත.

“බලන්න මාතියා, අපේ ලෙයිමෙ පිරිමි ඉන්නවනෙ. උන් කසාත බෙඳලා එවිල්ලා ගේණිට කොච්චර ගෙහුවත් ගේණි පස්සෙන්දට ඔඳට සලකනවා. කන්න බොන්න හදලා දෙනවා. මිනියා ගැහුවා කියලා මුකුත් තරහක් නෑ. මේම ඕනවට වඩා කරන්න ගියාම ගේණු පිරිමියගෙ කරේ නගින්න එනවා කියලා පාට්ටි තමා කියනවා.

කෝමද මාතියා ගේණු කරේ තියාගෙන වෙන වෙඩක්වත් කරන්නෙ?” කියා සින්නමුත්තු කිව්ව කතාවට හරිනම් හිනායන්න තිබ්බත් කනිශ්ක සපරමාදුට හිනා ගියේ ඇත. ඒ වෙනුවට කනිශ්ක සපරමාදු උන්නේ බර කල්පනාවක ගිලී රූපවාහිනී තිරය මතම දෙනෙත් අලවාගෙන එක අතකින් ජින් රැඳිච්ච වීදුරුව කරකවමිනි.

“ගෑණුන්ට ගහන කරන එක නෙවෙයි සින්නමුත්තු පිරිමිකම කියන්නෙ” කියා කනිශ්ක සපරමාදු කතාව පටන් ගත්තේ ආං ඒ කල්පනා කෙලවර මෙන්න මෙතන බව හරියට අඳුරගත්ත තැනදිය. සින්නමුත්තු “ඒ ඇයි?” කියා ඇහුවෙ නැතත් සින්නමුත්තුගේ හිත ඇතුලේ ඒ ප්‍රශ්නෙ කැකෑරෙන බව දන්න හන්දාම කනිශ්ක සපරමාදු කතාව දිගටම කරගෙන ගියේය.

“සමහර පිරිමි ගෑණූ හිතනවා, පිරිමිකම කියලා හිතන්නෙ ගෑණුන්ට ගහන බණින එක කියලා. නොසලකන එක, තමන්ගෙ වැඩ ඔක්කොම ගෑණිට කියලා කරගන්න එක කියලා. ඒ වුණාට ඇත්තටම පිරිමිකම කියන්නෙ ඒක නෙවෙයි මුත්තු. මේ ධනුශ් සමන්තට සලකන විදිය, එයාව බලාගන්න එක පිරිමිකමට ලැජ්ජාවක් නෙවෙයි මුත්තු.

ඔයා හිතන්නකො ඔයාගෙ අම්මා කොච්චර මහන්සිවෙලාද ගෙදර එන්නෙ? එහෙම තැනක ඔයාගෙ අප්පා උන්න නම්, අප්පා හවසට බීගෙන ඇවිල්ලා අම්මට ගැහුවනම් මුත්තු ඒකට කැමතිද? මුත්තු හිතනවද එතකොට ඒක පිරිමිකම කියලා? මුත්තුට හිතෙන්නෙ නැද්ද අප්පා එහෙම නොකර අම්මා එක්ක හොඳට හිටියනම් ධනුශ් සමන්තට උදව් කරනවා වගේ කොච්චර හොඳද කියලා?

පිරිමිකම කියන්නෙ ගෑණියෙක්ට හොඳට සලකන්න, උදව්වක් ඕන වෙච්ච වෙලාවක උදව්වක් කරන්න පුලුවන්කම මුත්තු. ගෑණියෙක් උයල දෙන එක කන්න බොන්න පිරිමියෙක්ට පුලුවන් නම් පිරිමියෙක් ඒ ගෑණි උයන වළඳ හේදුවම මොකද වෙන්නෙ? ගෑණි එක්ක එක ගෙදර ඉන්න පුලුවන් නම් ඒ ගෙදර අතුපතු ගෑවම ඒක ලැජ්ජාවක්ද? නෑනෙ මුත්තු. ඔය මුත්තුලගෙ ලැයිම් කාමරවල හවසට බීගෙන එන පිරිමි ඇයි බොන්නෙ කියල ඇහුවම මොකද කියන්නෙ? මහන්සියට බොනවා කියලනෙ. එතකොට පිරිමිය වගේම උදේ ඉඳලා හවස් වෙනකම් තේ දලු නෙලන එන ගෑණුන්ට මහන්සි නැද්ද? එහෙම කියල උන් බීලා එනවද?  ගෑණුත් මහන්සියට කියලා බීල ඇවිත් මිනිහට ගැහුවනම් අපි ඒකට කියන්නෙ ගැණූකම කියලද? පිරිමිකම කියලද මුත්තු?

ඒ නිසා මුත්තු කවදහරි කසාදයක් කරගත්ත දවසක ගැණිට හොඳට සලකන්න. ධනුශ් සමන්තට සලකනවා වගේ මේ ෆිල්ම් එකේ. එතකොට මුත්තුටත් පුලුවන් තමන් ධනුශ් වගේ කියල සන්තෝස වෙන්න” කියා ආයෙම වතාවක් අතේ තිබුන වීදුරුවේ තිබුන ජින් දියරය රවුමට කැරකෙන විදියට වීදුරුව හොලවද්දී ඒ දෙසත් කනිශ්කගේ මූණ දිහාත් එක එල්ලේ බලාගෙන උන් සින්නමුත්තුට අහන්න දෙයක් තිබුණි.

“මාත්තිය ඔච්චර ගේණු ගෙන දන්නවා. මාත්තියට ඇයි බංගලාවට ගේණියෙක් ගේන්න බැරිවුණේ?” කිය සින්නමුත්තු ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙන්න කනිශ්කට ඇත්තටම පොඩි වෙලාවක් ගියේ ඒ ප්‍රශ්නයට උත්තරයක් නොතිබුණ නිසා නොවේ.ඒ උත්තරය දෙනවද නැද්ද කියා හිත හිත උන්නු නිසාය/

“ගෙනවා මුත්තු, මාත් එහෙම ගෑණියෙක්ව ගෙනාව. ඒත් මට දිගටම ඒ ගෑණිව බංගලාවෙ තියා මං ළඟවත් තියාගන්න පුලුවන් උනේ නෑ”

“එයි?”

“මොකෝ මාත් ඒ කාලෙ මගේ පිරිමිකම වැරදි විදියට පෙන්නන්න ගිය හන්දා. මට වැරදුණේ ඒ හන්දා. සින්නමුත්තුට වැරදෙන්නෙ නැතිවෙන්න මම කියන්නෙ ආන් ඒ හන්දා. දෙයක් නැති උනාම තමයි මුත්තු අපිට ඒකෙ වටිනකම තේරෙන්නෙ. ඒ නිසා මුත්තු හොඳට මතක තියාගන්න ගෑණු ආස නෑ තමන්ට ගහන බණීන පිරිමින්ට. වචනෙන් නොකිව්වට උන්ට ඕන තමන්ට ආදරෙන් සලකන, උදව් පදව් කරන පිරිමින්ව මිසක් ගහන බණින පිරිමින්ව නෙවෙයි කියන එක”

ඒ කතාව අහගෙන උන් සින්නමුත්තු කසාද බැන්දේ කනිශ්ක සපරමාදු ටයිම්ස් වතුයායේ රැකියාවෙන් සමුගෙන ගොස් වසර ගණනාවකට පස්සෙය. ඒ වත්තේම ලැයිම් කාමරයක අම්මෙක්ටත් අප්පෙක්ටත් දාව ඉපදිච්ච කෙල්ලොම තුන් දෙනෙක් උන්නු පවුලක බාල කෙල්ල වෙච්ච පාර්වතී ය. පාර්වතී කලේත් වත්තෙ දලු කඩන එකය. දලු කැඩිල්ල අතර වාරයේ ඇහැට ඇහැ ගැටිච්ච, හිතට හිත ගැටිච්ච සින්නමුත්තුව කසාද කොලේ උඩ අත්සන් කර තමන් සන්තක කරගන්න පාර්වතීට වෙන හේතු උවමනා උනේ නැත. වෙන සහෝදර සහෝදරියන් නැති හන්දා තනියෙන් ඉන්න ලැබෙන ලැයිම් කාමරයේ හොදට අතපය දිග හැර ජීවත්වෙන්න පුලුවන්කම ලැබෙන එකත්, ධනුශ්ට විතරක් දෙවනි වෙන සින්නමුත්තුගේ උඩ රැවුල කරකවපු ලස්සන රූපයත්, කංකානි රස්සාවත් ඒ කසාදෙට කැමතිවෙන්න පාර්වතීට හේතු සැපයුව්වාය.

කසාදෙ තීන්දු වෙච්ච දවසේ සිටම සින්නමුත්තු පාර්වතීගේ ලෝකය අස්සේ තන්ගමගන් චිත්‍රපටයේ ධනුශ්ගේ චරිතෙ රඟපාන්න හිතුවේ පාර්වතී සමන්තා වෙන්න කැමතිද කියලවත් අහන්නෙ නැතුවය. කොටින්ම දෙන්නාගෙ කසාදෙන් පස්සේ එකට ගතකල පළවෙනි රාත්‍රියෙත් “පාර්වතීට බඩගිනි නම් කන්න දෙයක් හදලා දෙන්නද?” කියාත් සින්නමුත්තු ඇහුවේ තංගමගන් චිත්‍රපටයේ ධනුශ් සමන්තාට කෑම හදලා දෙන එක මතක් කරගෙනය.

උදේ වැඩට යන්න කලින් පාර්වතී කෑම හදද්දී ගේ අතුපතු ගාන වැඩ කරන්නත්, ගේ අස්පස් කරන්න උදව් වෙන්නත්, පාර්වතීට මාස් අමාරුව හැදිච්ච දවසට පාර්වතීගේ ඇඳුම් හෝදල, ගෙදර වැඩ ඔක්කොම තමන්ගේ කර උඩට දාගන්නත් තරම් හොඳින් සින්නමුත්තු ධනුශ්ගේ චරිතෙ හොඳටම කළේය. කසාදෙ මුල් මාස කීපයේ පැණී බේරි බේරි තිබිච්ච වරකෙට හෙණ ගැහුවේ මාස් අමාරුව හැදී ලැයිම් කාමරේ අස්සේ බඩ කොර කරගෙන පාර්වතී හාන්සි වී ඉද්දී සින්නමුත්තු පාර්වතීගේ රෙදි පෙරෙදි හෝදනවා පාර්වතීගේ කසාද බැඳලා ගිය අක්කෙක් දැක්ක වෙලාවේය.

“මේකිගෙ මිනියට ලෙජ්ජ නෑ, ගේණි වගේ ඔක්කොම වැඩපල තමා කරනවා.මේකිගේ කුණු රෙදි එහෙමත් හෝදනවා තමා. මිනියෙක් කොරන වෙඩ ද ඕවා? චිකේ චිකේ අපේ මිනියලටත් ලෙජ්ජයි” කියා ඉන්පස්සෙ දවසක වත්තෙ උත්සවයක් වෙලාවේ වත්තේම තව ගෑණීයෙක්ගෙ කටෙන් එළියට එනතුරුම පාර්වතීට සින්නමුත්තුගේ පිරිමිකම ලැජ්ජා වෙන්න හේතුවක් තියා, දෙවරක් තියා එක්වරක්වත් හිතන්න හේතුවක් වෙලා තිබුණේ නැත. පාර්වතීට කාලි අම්මා වැහුණේ වත්තේ ගෑණු තමන්ව දකින දකින තැන්වල සින්නමුත්තුගේ පිරිමිකම ඉස්සර කරගෙන හිනාවෙන්න පටන් ගත්ත තැනය.

“මගෙ මිනියගෙ පිරිමිකම දන්නෙ මම නෙ. උම්බල මොකටද ඒක ගැන හිතන්නෙ?” කියා මුල් කාලෙ ඕකට කටගහගෙන ගියාට වත්තෙ ඔක්කොම පිරිමි පාහේ එකම විදියට තමන්ගේ ගෑණිට සලකද්දී තමන්ගෙ මිනිහා විතරක් වෙනස් වෙච්ච එක ඇත්තටම උන්දැගේ පිරිමිකමේ අඩුවක් ද කියා නොහොත ඉන්න පාර්වතීට පුලුවන් උනේ නැත.

“උම්බල හින්දා මට කොච්චර නම් ලෙජ්ජද? අනික් මිනියල වගේ ඉන්න බෙරි මොකද? ගේණිගෙ රෙදි ඕදනවද හරිහමං පිරිමියෙක්” කියා පාර්වතී ඤරුඤුරු ගාන්න පටන් ගත්ත මුල් කාලයේ සින්නමුත්තු ඕක වැඩිපුර හිතන්න ගියේනැත. ඒත් පස්සෙ පස්සෙ පාර්වතී තමන් එක්ක අමනාපෙන් ඉද්දි, දකින දකින වෙලාවට රණ්ඩු වෙද්දී වගේම පාරෙ යද්දිත්, රස්සාවට යද්දිත්, දන්න පිරිමි කිණ්ඩියට වගේ හිනාවෙද්දිත් සින්නමුත්තුට ඔය ප්‍රශ්නෙ ඔලුවට ගන්නෙ නැතුව ඉන්න පුලුවන් වුණේ නැත.

පාර්වතී ගෙදර ගියේ සින්නමුත්තු එක්ක නිදාගන්නත් බෑ කියා කිව්ව දවසක “මං මෙච්චර ආදරේ වෙලත් එයි පාර්වතී මට නපුරු වෙන්නෙ?” කියා සින්නමුත්තු ඇඬෙන්න ලංවෙන්න කටහඬකින් අහපු දවසේය. ඒත් “මං කසාද බෙන්දේ උඹලා පිරිමි කියලා හිතලා, ලෙජ්ජ නෙද්ද ගේණු වගේ අඬන්න?” කියා අසා තවත් දහසක් කතාද, අපහාසත් කියා සින්නමුත්තුගේ පිරිමිකමට ලැජ්ජා කරය. “සින්නමුත්තු ආම්බල ඉල්ල (සින්නමුත්තු පිරිමියෙක් නෙවෙයි)” කියා වත්තෙ කතාව පැතුරුණයින් පස්සේ රස්සාවටවත් යන්නෙ නැතුව ගේ අස්සේම හිර වී උන්නු සින්නමුත්තු අම්මත් අත්තම්මත් කොච්චර කංකෙඳිරි ගෑවත් ගෙයින් එළීයට බැස්සේ නැත.

“නන් ආම්බිල්ලෙයි තාන්ඩා (මම පිරිමියෙක් තමයි යකෝ)” කියා තමන් කොච්චර ඕක කියන්න ගියත් මිනිස්සු ඕක විශ්වාස කරන්නෙ නෑ කියා දන්න හන්දාම සින්නමුත්තු උන්නෙ සද්ද නැතුවය. පාර්වතී ගිහින් තිබ්බේ ආයෙ නොඑන්න බව සින්නමුත්තු දැනගත්තේ අම්මා ඇවිත් “අවතිරුම්බි වරමාට්ටේන්න සොල්ලරා (ඒකි ආයෙ එන්න බෑ කියනවා)”කිව්වයින් පස්සෙය. මෙච්චර දවසක් ගෙ අස්සට වෙලා කල්පනා කර සින්නමුත්තු එළියට බැස්සේ වත්තෙ හැමෝගෙම ඇස් නලලට අරගෙන යන විදියටය.

මෙච්චර දවසක් ඇන්ද කලිසම්, සරම්, කමිස වලින් මිදිච්ච සින්නමුත්තු අම්මාගේ පරණ රතු සාරියක් හැඳ, කොණ්ඩේ මල් ගවසා, පා මුදුත්, පා සළඹත් දමා ගත්ත දෙපයින් තේ වත්ත මැද්දෙන් ඇවිදන් ගියේ සද්ද කර කර ය.

මුලින් හිනාවෙච්ච මිනිස්සු පවා උන්නේ හිනාවෙනවද, විහිලු කරනවද කියා හිතාගන්න බැරුවය. අනෙක් අතට සාරියකින් වැහිච්ච වුනත් සින්නමුත්තුගේ මූණෙ තිබිච්ච මෙච්චර දවසක් කවුරුවත් නොදැක්ක පිරිමිකම ඉස්සරහ දෙයක් කියන්න තේ වත්තෙ පරම්පරාව උන්නේ බයෙනි.

“පිරිමියෙක්ට සාරි ඇඳන් අහවල් රෙද්දක්ද ඕයි කරන්න තියෙන්නෙ?” කියා සින්නමුත්තුගෙන් අහන්න පුලුවන් උනේ වත්තේ ඒ වෙද්දි සැනිටරි ඉන්ස්පෙක්ටර් විදියට උන්නු කණ්ඩම්බි මහත්තයටය. මෙච්චර වෙලා ඔලුව වැහෙන්න දාගෙන උන්නු සාරි පොට පල්ලෙහට දමා සින්නමුත්තු කතාව කියන්න ගත්තේ ඉන්පස්සේය.

“මං ධනුශ් වගේ ගේණිට ආදරෙන් සලකද්දි ගේණිගෙ ඔලුව කේවා මුං මං මිනියා නෙවෙයි කියලා.ඉවසල ඉවසල බෙරිම තැන මං එඬුවා ඒම කියන්න එපා. මං ආදරේට තමයි ඔක්කොම කරන්නෙ කියලා. ඒවුනාට ඒකි නෙවෙයි එහුවෙ. ඒකිටත් ලොකු උනේ මං කරන ඒව නෙවෙයි වත්තෙ ගේණුයි මිනියලයි කියන ඒවා. මං ඔඳට සලකද්දි, අනිත් මිනියල වගේ ගේණිට ගහන්නෙ බනින්නෙ නෙති වෙද්දි මුං කතා හැදුවා තමා මං පිරිමි නෙවෙයි කියලා. ආමා, නා අම්බිල ඉල්ල, ඉප්පෝ පොම්බිල තාන්, මම පිරිමියෙක් නෙවෙයි. මම දැන් ගේණියෙක්.උම්බලට ඕන උනේ ඒක කරගන්නනෙ. ඉතින් දැන් මං ගේණියෙක්. මම බොන්නෙ නෑ, ගහන්නෙ බනින්නෙ නෑ,  මම බයයි, උඹල කියන ඕන දෙයක් මම අහගෙන ඉන්නවා, දැන් සන්තෝස ද උඹලට?

උඹලට නෙ ඕන වුණේ මාව ගේණීයෙක් කරගන්න.ගේණිට ගහන්නෙ නෙති නිසා මම ගේණි. බොන්නෙ නෙති නිසා මම ගේණි. ගේණිට උදව් කරන නිසා මම ගේණි. මම සන්තෝසයි මම ගේණි කියන්නෙ. ගේණුන්ට ගහන පිරිමියෙක් කියනවට වඩා මට සන්තෝසයි මම ගේණි කියන්න. බීල කෑ ගහ ගහ එන්නෙ නෙති හින්දා මම කැමතියි මම ගේණි කියන්න. ගේණි වගේ මම දෙන් සාරි අඳිනවා, කොණ්ඩෙ මල් ගානවා, පොට්ටු තියනවා

මම දෙන් ගේණීයෙක්. මම ලෙජ්ජ නේ ඒක කියන්න”

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles