නිම්නාවීගේ හැඬුමසෙත්ට නවතා ගන්නට නොහැකි වූ තැන, ඔහු මදක් ඉදිරියට නැමී ඇගේ හිස් මුදුන සිම්බේය. තත්පර කිහිපයක්ම හාදුවේම උන්නේය. නිම්නාවීගේ කඳුලු වියැකුණි. ඕ එක්වරම ඔහු අසලින් නැගිට අසල අසුනේ හිඳගත්තාය.
සෙත් ඇය දෙස බලා උන්නේ වික්ෂිප්ත බැල්මකිනි. ඇය තමා වෙත දක්වන බැඳීම විටෙක දරා ගැනීමට අපහසු තරමේ බව ඔහු කල්පනා කලේය. තමන් දෙදෙනා හඳුනාගෙනපවා තවම ගෙවී ඇත්තේ මාස කිහිපයකි. එහෙව් කාලයක් ඇතුලත මේ බැඳීම ඇය මෙතරම් තදින් අල්ලා සිටීම සෙත්ගේ හදවතට මහ බරක්ව දැනුනේය.
සෙත් නිවසින් පිටව ගියේ දිවා ආහාරයද ගෙනය. ජිනේන්ද්‍ර දඅම්මා සමඟ සිටින නිසා ඔහු ඒ ගැන වැඩිපුර සිතුවේ නැත.
” හෙට අනිද්දා දිහාවට මාව ආන්ටිව බලන්න එක්කගෙන යනවාද ?…”
නිම්නාවී අසීරුවෙන් මෙන් එලෙස විමසූ අයුරු වාහනය අධිවේගයේ ධාවනය කරගෙන එන විට මන්දාරම්ට සිහි විය. මන්දාරම් ඇය අපහසුවේ නොහෙලන්නටම සිතාගෙන පිළිතුරු දුන්නේය.
” ආයේ එක්කගෙන යන්නේ මොකටද ?.. නොදන්න තැනක් යැ ?..”
” ඔයා කිව්වනේ තනියෙන් කොහේවත් යන්න එපා කියලා..”
නිම්නාවී නෝකාඩුවට කීවාය. ඔහු සිනාසෙමින්ම ඇයට එකඟ වූවේය. මන්දාරම් ගීතයක් වාදනය වෙන්නට හැරියේය. පොත් කියවීමත්, ගීත ඇසීමත් පසුගිය මාස දෙක තුනේ තමා අතින් මඟ හැරුණු බව ඒ අටහ්රවාරයේ සිහි විය.
“මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න
එත හැකියි නම් නුඹට සවස්වල හමුවන්න
මේ ගෙවෙන දවස් උව කමක් නෑ විඳගන්න
ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න
පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න
විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න
එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න
ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න…..”
ගංගාධර ගයමින් උන්නේය. නිම්නාවී මන්දාරම්ගේ සිත තුල පාවෙමින් උන්නාය.
මන්දාරම් නිවසට පැමිණ ජිනේන්ද්‍ර සමඟ සිදුව ඇත්තේ කුමක්දැයි කීවේය. එහෙත් ප්‍රියලාල් තමා මුණ ගැසීමට අවශ්‍ය බව කිව් පණීව්ඩය ඔහු කීවේ නැත.
නිම්නාවී මුහුණු පොත සහ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම සක්‍රීය කලාය. අවන්හලේදී සෙත් ගෙන දුන් සේයයාරුවක් එක් කලාය. කාව්‍යාගේ ගිණුමක් වේදැයි සොයා එය අසාර්තකමව ගිය නිසා කණ්ඩායමේ වූ මිතුරියන්ගෙන් කාව්‍යාගේ කණ්ඩායමේ අයවලුන් සොයා බැලුවාය.
” ඒයි ..නිම් …. සැබෑ වෙනසක් … උඹ ප්‍රොෆයිල් අප්ඩේට් කරලා …. “
මැසෙන්ජර් පණිවිඩය ආවේ නිම්නාවී කෙතරම් අත් හැර පසෙකට වන්නට උත්සාහ කල්ද, සතියකට වරක්වත් පිලීතුරු නොඑන බව දැන දැනම පණිවිඩ එවන එංගලන්තයේ පදිංචිව සිටින විශ්ව විද්‍යාල මිතුරියකගෙනි.
” ලොකු කතාවක් තියෙනවා කියන්න …”
“උඹට මොකක්ම හරි ලොකු කතාවක් තියෙන බව අපි දැනගෙන හිටියා නිම් … අපේම බැච් එකේ උන් උඹලාගේ අම්මාගෙන් සල්ලි අරගෙන උබ ගැන ඔත්තු දෙන බව දැණගත්ත දවසේම අපි ඒක දැනගත්තා … ඒත් ඒක උබෙන් කොච්චර ඇහුවත් උබ ඉබි කට්ටක් ඇතුලට රිංගගන්නවා වගේ හැංගුණා…”
” මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ..”
” දැන් කරන්න මොකක්ම හරි දෙයක් තියෙනවා ඒ කියන්නේ ?..”
” ඔව් … මට දැන් නිදහසක් දැනෙනවා…”
” සන්තෝසයි ..අප්‍රමාන සන්තෝසයි … මම වට්සැප් ගෲප් එකටත් ඇඩ් කරන්නම් ..පින් සිද්ද වෙයි ආයේ ලෙෆ්ට් වෙන්න නම් එපා.. ඔක්කොමලාට උඹව මතකයි ..උඹ හැමෝටම කරපු උදව් අපි තවම කතා වෙනවා…”
” මට කොහොමම හරි කාව්‍යාව හොයාගන්න ඕනි සාරා …”
නිම්නාවී තමා අතින් වූ වරද මදකින් පැහැදිලි කර කී පසු, කාව්‍යා සෙවීමේ වගකීම කණ්ඩායමේ අයවලුන්ට බාර දී නිම්නාවී පසෙකට වී සිටින්නයැයි සාරංගා විශ්වාසයෙන්ම කීවාය.
” මම කල්පනාලට කියන්නද උබව කන්ටැක් කරගෙන එලියේදි මීට් වෙන්න කිලලා… හම්මෝ … උඹ ඔය හිර ගෙදරින් එලියට එන්න හිතපු එකම මාර වටිනවා නිම්…”
” සතියකින් දෙකකින් වගේ.. මේ දවක් වල ප්‍රශ්න ..අපි රෑට කතා කරමු ..”
නිම්නාවී මිතුරියට සමුදුන්නාය. ඉන් පසුව ඉතා ගැඹුරු සුසුමක් හෙලා ජනේලයෙන් පිටත අහස දෙස බැලුවාය. නිල් පැහැ අහසක් මෙතරම් සැහැල්ලුවෙන් තමා අවට වූ වගවත් ඇයට සිහි නැති බව ඕ කල්පනා කලාය. දැන් අහසට යටින් ඇති හරිත පෑඅ තුරුපත්ද පෙනෙන්නේය. මේ සියල්ල තමා වටා වන සැනසීමේ කොටස් බව දැනෙන්නේය.
නිම්නාවී අම්මාගේ කාමරය වෙත දෙතුන් වතාවක්ම එබුණාය.
” කන්නත් එපා කිව්වා බබා … මං හිතේ සැකේට දොරේ යතුරත් ගලවගෙන ආවේ..”
නිවසේ උදව්වට සිටින කාන්තාව පැවසූ පසු යම් ගිණි පුපුරක් ඇගේ හිස මතටද වැටුනේය. තමා මෙතරම් කල දරා උන් පලියට, ඇයට් සියල්ල දරාගෙන සිටීමට හැකි වේයැයි සිතිය නොහැකිවා නොවේද ?.. ඕ පියා වෙත ඇවිද ගියාය. අම්මා තනි නොකල යුතු බව කිවාය. පියා සිටින්නේ බීමතින් බව වැටහුණු නිසා ඔහුගේ හිස පිරිමදිමින් නිහඬව අඩ හෝරාවක් පමණ උන්නාය. ඩයස් නිම්නාවීගේ දෑත් සිප ගත්තේය.
අවුරුදු ගනනාවක් ඇගේ ජීවිතය සිර ගතව තිබුණ බවවත් වටහා ගන්නට තරම් සිහියක තමා නොඋන්නේ මන්දැයි ඔහු පහත්, මත් හඬින් විමසා ගත්තේය. එහෙත් නිම්නාවී උන්නේ ඒ සියල්ල අසාගෙනය. තාත්තා වේදනාවෙ කියවනවා වුව, ඒවාට පිළිතුරු දෙන්නට මේ කාලය නොවන බව ඕ වටහා ගත්තාට. තාත්තා සිටින වේදනාව නිවිය යුත්තේ ඔහු තුලින්ම බව ඕ සිතුවාය.
නිම්නාවී කාමරයට ගියේ තාත්තාට නින්දට යන්නටද අවැසි තත්වය සකසා දීමෙන් පසුවය. ඒ අතරවාරයේද ඕ අම්මාගේ කාමරයට එබුනාය. හැලහොල්මනක් නැතිවම අම්මා නින්දේ සිටින් බව යලි දැක මුලුතැන්ගෙය වෙත ගොස් එබුණාය.
” අම්මාව ටිකක් බලන්නකෝ .. මව දැක්කම තව තරහ ගනීවිද දන්නෙ නෑනේ…”
” බබා කාමරෙන් ඉන්නකෝ.. මං නෝනා ගැන ඇහැ ගහගෙන ඉන්නේ… තව ටිකකින් වදෙන් පොරෙන් හරි බත් කටක් කවන්නම් …”
නිම්නාවී හිස සලා ඉවතට ඇවිද ගියාය. ජීවිතය කෙතරම් අමුතුදැයි ඇයට සිතෙයි. බල සම්පන්න බව පෙන්වාගෙන සිටින කණු ඉදිරී බිම වැටෙන්නට මහ වේලාවක් ගත නොවෙයි. ඉන් පසුව ඔවුන්ට නැගී සිටීම පහසු නැතිවා විය යුතු බව නිම්නාවී සිතුවාය.
: මං ඔයා එක්ක තරහ නෑ අම්මා… ඔයාට මා එක්ක ජීවත් වෙන්න උවමනා නම් ඉස්සරහට, මං ඔයාව මට පුලුවන් උපරිම ආදරෙන් බලාගන්නවා… සෙත් එයාගේ අම්මාව බලාගන්නවා වගේ… ඔයා කල හැමදේටම ඔයාගෙ කතාවක් ඇති … ඒකෙන් කියවෙන්නේ නෑ ඔයා කල හැමදේම හරි කියලා.. ඒත් ඔයාගේ කතාව අහලා, ඒ කතාව මොක වුනත් ඒක තේරුම් ගන්න මට පුලුවන් අම්මේ.. හරියට සෙත් කලා වගේ .. එයා මට ජීවිතේ කොහහොමද දරාගන්නේ කියලා කියල දීලා තියෙන්නේ අම්මේ…”
රාත්‍රී දහයට පමණ නිම්නාවීට සාරංගාගෙන් වට්සැප් ඇමතුමක් ලැබුණි.
” මේ කියන එක අහලා කලබල වෙන්නෙපා නිම් .. ඒත් මේක දැනගත්තාට පස්සේ උඹට නොකියා ඉන්න බැරි වුනා …. කාව්‍යා දැන් ඉන්නේ ගාල්ලේලු … එයා මැරිඩ් .. හස්බන්ඩ් එයාව චීට් කරලා.. එයා සුසයිඩ් කරගන්න ගිහින් ..පස්සේ හස්බන්ඩ් මෙයාව ඩිවෝස් කරලා…. ඊටත් පස්සේ කාව්‍යා ඇක්සිඩන්ට් වෙලා .. දැන් කෙල්ල වීල් චෙයාර් ලු ඉන්නේ .. ගාල්ලේ කොන්වන්ට් එකක ටීච් කරනවලු වොලන්ටියර් …. “
නිම්නාවී නළල අල්ලාගෙන සයනයේ හිඳ ගත්තාය. සිදුව ඇත්තේ කුමක්ද ?..
” හෙට කල්පනාට ෆ්‍රී කිව්වා.. උඹට ඕනි නම් එයා එන්නම් කිව්වා කාව්‍යාව බලන්න යන්න …”
සාරංගා එලෙසින්ද පවසනු ඇසුණි.
නිම්නාවී මොනවාදෝ පවසා ඇමතුම ව්සන්ධි කලාය.
“.. දැන් කෙල්ල වීල් චෙයාර් ලු ඉන්නේ ..”
යළි එලෙසින් ඇසුණි. ඕ හිස බදා ගත්තාය. ඇසිල්ලෙන් මන්දාරම්ට ඇමතුමක් ගත්තාය. ජීවිතය මෙහෙම අසාධාරන වන්නේ ඇයිද ?
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |