වියෝ ගී ගැයෙනා හදේ – 1

0
2238

Wifey ❤ කියා දුරකතන තිරය මත ඇමතුමක් සටහන් වුණත් චිරත් ගුණවර්ධන උන්නේ ඒ ඇමතුම හා සම්බන්ධ වෙන්න බැරුවය.

 තමන් දැන් දුරකතන ඇමතුම කීප සැරයක් කට් කරන නිසා මේධාවිණී ඇත්තේ කලබලයෙන් වගේම තරහෙනුත් වෙන්න ඇති බව චිරත්ට ඒ වැදගත් ක්ලයන්ට් මීටින් එක අතරවාරෙත් මතක් නොවුණා නොවේ. ඒත් ඒ වෙලාවේ ඒ ඇමතුම ගන්න බැරි බව දන්න හන්දාම චිරත්ට කරන්න තිබිච්ච එකම දේ “අයැම් ඇට් අ මීටින්, ප්ලීස් ටෙක්ස්ට්” කියා කෙටි පණිවිඩයක් යවන එක පමණකි.

අනතුරුව මීටින් එක අතරවාරයේ තමන්ගේ ඉස්සරහ ඉඳගෙන වොඩ්කා වීදුරුව අතේ තියාගෙන වෙරිමතෙන් මොන මොනවදෝ කියන ක්ලයන්ට් දිහා බලාගෙන ඉන්න අතරෙම “හ්ම්ම්ම්, ඔව්, ඒක තමයි, ඇත්ත ඇත්ත” කියා කියන එකය.

චිරත් එවූ කෙටි පණිවිඩය දිහා බලාගෙන මේධාවිණී ඇත්තටම උන්නේ අඩක් කෝපයෙනුත් අඩක් දුකෙනුත් ය. චිරත් එක්ක යාලුවෙද්දි චිරත්ට ඇත්තටම තිබ්බේ තමන්ගේ ඇඩ්වටයිසින් රස්සාව පමණකි.

“මම මොන දේ වුණත් චිරත්ව අතාරින්නෙ නෑ, අම්මිලා අකමැති උනොත් මම පැනලා ගිහින් හරි චිරත්ව බඳිනවා” කියල පවුලේ එකම ළමයා විදියට අම්මලාව බය කර චිරත්ව කසාද බැඳ ගත්තත් අම්මා කියන විදියට “ඔයාම කරගෙන අන්තිමේ දැන් ඔයාම නිකන් දුක්විඳිනවා” නේද කියා නොහිත ඉන්න මේ වගේ දේවල් වෙද්දී මේධාවිණීට පුලුවන්කමක් නැත. 

“ඔයාලගෙ ගෙවල් වල වගේ ඉතින් අපි ඉපදෙද්දිම රත්තරන් හැන්ද කටේ ගහගෙන ආවෙ නැති එක ඇත්ත. මං ඔයා නැතුව වෙන කෙල්ලෙක්ව කසාද බැන්දනම් මං ඇත්තටම මෙච්චර මහන්සි වෙන්නෙ නෑ බබා. එහෙනම් මම මේ ජොබ් එක විතරක් කරගෙන ඉන්නවා. ඒ උනාට මම ඔයාව මැරි කරලා එද්දිත් ඔයාගෙ ගෙදර අයට පොරොන්දු උනානෙ මම ඔයාට කිසිම දුකක් දෙන්නෙ නෑ කියල.

මට ඇත්තටම ඕන ඔයාගෙ අම්මල තාත්තලා ඔයාව කොච්චර සැපෙන් සන්තෝසෙන් තිබ්බද ඒ තරම්ම හරි ඊට වඩා හරි සන්තෝසෙන් සැපෙන් තියන්න බබා. අපේ දරුවා වෙනුවෙන් ලොකු දෙයක් අනාගතේ වෙනුවෙන් කරන්න.

ඔයාගෙ අම්මල ඔයාට සැලකුවා වගේ අපෙ කෙල්ලට සලකන්න. ඒකයි බබා මෙච්චර මම මහන්සි වෙන්නෙ. මම මේ බිස්නස් එකේ වැඩේ පටන් ගන්න හැදුවෙත් ඒකයි. ඔයා දන්නවනෙ මගෙ පඩිය. ලංකාව ඇතුලෙ මම වෙන මොන ඇඩ් ඒජන්සි එකකට ගියත් මාසෙකට නිකන් ලක්ශ දහය දොලහ හොයන්න බෑනෙ බබා. ඔයාලගෙ තාත්තල වගේ අපිට පරම්පරාවෙන් ආව බිස්නස් නෑ.

 මගෙ කෙල්ලට කවදහරි ලොකු වෙද්දි තමන්ගෙම කියල බිස්නස් එකක් තියෙන්න ඕන කියල හිතලා තමයි මම මේ නැහෙන්නෙ. මම ඉස්සරට වඩා ගෙදර එන්න පරක්කු වෙන්නෙ ඒ හන්දා. මට ඉස්සර වගේ නිතරම ඔයා ළඟ ඉන්න බැරි වෙන්නෙ ඒ හන්දා. ඔයාට ගෙදර වැඩයි කෙල්ලගෙ වැඩයි ඔක්කොම කරගන්න වෙන්නෙ තනියෙන් ඒ හන්දා.

ලොකු කාලයක් නෙවෙයි මට තව පොඩි කාලයක් දෙන්න.

මේ ඔක්කොම ගාණට මිම්මට සෙට්ල් වුණාට පස්සෙ මට ආයෙම ඉස්සර වගේ ඔයයි කෙල්ලයි ළඟට වෙලා ඉන්න පුලුවන්. තරහා නෑ නේද?”

කියා මේ වගේ ගෙදර එන්න පමා වෙච්ච මුල් කාලයේ තමන් ඒ කතාව පිළිගත්ත බව අඟවමින් හිනා උනත්, ඒ චිරත් නැති දිගු රාත්‍රින් ද, චිරත් ට එන්නට බැරිවෙන පුංචි පෙත්මලීගේ පේරන්ට්ස් මීටින් වලට තනිවම සහභාගි වෙමින්ද ගෙවූ දිනයක් එකින් එක වැඩිවෙද්දි හිත අස්සේ වූ තනිකමේ වේදනාව පොඩ්ඩ පොඩ්ඩ වැඩි වී කෝපයක් බවට පරිවර්තනය වන බව මේධාවිණීට තේරුණාය. අනෙක් අතට ඒ කෝපයෙන් වටවුණු වේදනාවට දිය පොහොර වත්කරවන්නට අම්මාගේ කියමන් ද හේතුවක් වන බව මේධාවිණීට නොහිතුනා නොවේ. 

“ඔයාට අපි කිව්වානෙ ඕක කරගන්න කලින් කොහෙද ඔයා අපි කිව්ව දෙයක් ඇහුවද? තාත්ති ඔයාව ඔස්ට්‍රේලියා යවල යුනිවසිටි එකකටත් යවන්නනෙ ඉඳියෙ. දරුවෙක් උනාම දෙමව්පියො කියන දේ පොඩ්ඩක් හරි අහන්න ඕන. අම්මල දරුවන්ට වරදක් කරන්නෙ නෑනෙ.ඔයාටම දැන් ඒක තේරෙනවා ඇතිනෙ. පෙත්මි ලොකු වෙලා ඔය වගේ මෝඩ තීරණයක් අරගෙන දුක් විඳින කාලෙක ඔයාට තේරේවි” කියා අම්මා කියද්දී මේධාවිණී හිත අස්සේ මොන දේ තිබුණත් තමන් වෙනුවෙන් වගේම චිරත් වෙනුවෙන් කතා කරන්න අමතක කලේ නැත. 

“අම්මා කියනව වගේ දුකක් කරදරයක් ඉතින් නෑනෙ. අපි මේ හොඳට කාලා බීලා ඉන්නෙ. චිරත් අර ඉතින් මේ දවස්වල රෑ වෙන්නෙ එයාගෙ අර බිස්නස් එක පටන් ගත්ත මුල් කාලෙනෙ. අනික දැන් තාත්ති උනත් අපේ කම්පනීස් පටන් ගන්න මුල් කාලෙ සෑහෙන මහන්සි උනා කියල අම්මම කිව්වෙ. ඇඳුම් මහලා කඩවල්වලට දාන්න තාත්ති ඇඳුම් බෑග් උස්සගෙන තමයි ගියේ කියලා”

“ළමයො තාත්ති එහෙම මහන්සිවෙලා මේ බිස්නස් ඔක්කොම බිල්ඩ් කලේ ඔයාවත් ඒ වගේ දුක් විඳල උඩට එන්න හදන මනුස්සයෙක්ට කසාද බන්දලා දීලා ඔයත් දුක්විඳලා හැමදේම මුල ඉඳලා පටන් ගන්න බලන්න නෙවෙයි. ඔයා අපිට ඉන්න එකම ළමයා. තාත්තිට හැමදාම ඕන උනේ අපි වගේම හොඳ බිස්නස් ෆැමිලි එකක වෙල් ස්ටැබ්ලිශ්ඩ් මනුස්සයෙක්ට ඔයාව බන්දල මේ බිස්නසුත් ඔයාලටම දීල ඉන්න.

 චිරත් වගේ මේ ගමක ඉඳල කොළඹ ඇවිත් යුනිවසිටි ගිහින් හැමදේම මුල ඉඳල පටන් ගන්න ට්‍රයි කරන මාස් පඩි කාරයෙක් එක්ක ජීවත්වෙන එක ලේසි නෑ කියල අපි මුල ඉඳලම කිව්වට ඔයා ඇහුවෙ නෑනෙ. තාත්තිගෙ යාලුවා විජේවික්‍රම අංකල් ගෙ පුතාගෙ ප්‍රපෝසල් එකට කැමති උනා නම් ඔයාට අද ඔහොම උදේ නැගිටල කෑම හදල බබාව ඉස්කෝලෙ දාලා වැඩට ගිහින් ආයෙ ගෙදර ඇවිත් වැඩ කරන්න, ඒ විතරක් නෙවෙයි ඔක්කොම තනියෙන් කරගන්න වෙන්නෙ නෑනෙ. එහෙනම් ඒ ළමයව මැරි කරල හොඳට සැපට ගෙදරට වෙලා ඉන්න තිබ්බා. ඒ බෝයිගෙ වෙඩින් එකට ගියානෙ අපි. ඒ කෙල්ල මේ එහෙම ඔයා තරම් ලස්සනවත්, ඉගෙන ගත්තවත් කෙල්ලෙක් නෙවෙයි. ඒත් දැන් හරි ශෝක් එකට විජේවික්‍රමලගෙ සල්ලි උඩ පීන පීන ඉන්නවා”

“සල්ලි නෙවෙයිනෙ අම්මි හැමදේම” කියා එවෙලේ තමන්ගේ කටෙන් පිටවුණේ මන්ද්‍ර ස්වරයෙන් බවත්, ඒ මන්ද්‍ර ස්වරයට හේතුව තමන් දෙතොලෙන් මොන දේ කිව්වත් හිත ඇතුලෙන් අම්මා ඒ කිව්ව කතාවට එකඟ වීම නොවේද කියාත් මේධාවිණී සිතුවාය.

“හැමදේම සල්ලි නෙවෙයි නම් මොකටද ළමයො ගෙදර එන්නෙත් නැතුව චිරත් රෑ තිස්සෙ නැහෙන්නෙ? මොනවද ඔය මීටින් කිය කිය එයා රෑ වෙනකන් කරන්නෙ? කවදාවත් රස්සාවක් කරන්න උවමනාවක් තිබ්බෙ නැති ඔයා මොකටද ඔහොම නැහෙන්නෙ? සල්ලි නැතුව කොහොමද බබා ජීවත්වෙන්නෙ?

 අපි මුල ඉඳලම ඕක කිව්වා. සල්ලි හම්බ කරන එකලේසි දෙයක් නෙවෙයි ඒක නිසා ඔයා වගේ මේ අපි ළඟ ඉන්නකම් පොඩ්ඩක්වත් දුක්වින්දෙ නැති ඔයාට හොඳටම ගැලපෙන්නෙ ඕල්‍රෙඩි සල්ලි තියෙන තැනක් බවත් අපි කිව්වා.

ඔයා මේ චිරත්ට පිස්සු වැටිලනෙ හිටියෙ ඒ කාලෙ. ඔයාගෙ ඔලුව කෑවෙ ඔය යුනිවසිටි එකේ පිස්සො තමයි. ඔයා යන්නම ඕන කිව්ව හන්දනෙ අපි කැම්පස් යන්න දුන්නෙ.

තාත්ති ඒත් එපා කියද්දි මමමයි කිව්වෙ ඔයා කැමතිනම් ඔන්න ඔහේ යන්න දෙන්න ගෙදරම ඉඳල නිකන් එපා වෙන්නෙ නැතෑ කියල. මං හරියට රිග්‍රෙට් කරනව අද ඒ ගත්ත තීරණේ ගැන.යුනිවසිටි යන්නෙ නැතුව ඔයා ගෙදර ඉඳියනම් අද ඔහොම දුක් විඳින්න වෙන්නෙ නෑනෙ.කැම්පස් විකාර වලින් ඔලුව පුරවගෙන අන්තිමේ විහින් වලක වැටිච්ච එක තමා ඔයා කරගත්තෙ”

කියා චිරත් පරක්කු වෙන දවස්වලට කෑවද බිව්වද කියා සොයා බලන්නට දුරකතන ඇමතුම් දෙන අම්මා කියන කතන්දර චිරත් කෙරේ හිතේ ඇති අංශු මාත්‍ර තරම් කෝපය බිඳෙන් බිඳ වැඩිවෙන බව තේරුණත් මේධාවිණී උන්නේ ඒකට කල යුත්තේ කුමක්ද කියා තේරුම් ගන්න බැරි තැනකය. හිත තිබුණේ තනිවම හැමදේම කරගන්නට වීම නිසා උපන් කෝපයෙන් පිරී ගොසින් ය.

“මොකද්ද චිරත් මේකෙ තේරුම? ඔයා කීයටද ගෙදර එන්නෙ? මං කොහොමද මේ හැමදේම තනියෙන් කරගන්නෙ? දෙයක් කතා කරගන්නවත්, ප්‍රශ්නයක් ගැන කතාකරගන්නවත් ඔයා ගෙදරක නෑ කොයි වෙලාවෙ බැලුවත්. මොන විකාරයක්ද මේක? මේක කසාදයක්ද?”

 කියා කෝපය නිසා වේගයෙන් වේගයෙන් ටයිප් කල වට්සැප් පණිවිඩය චිරත්ගේ දුරකතනය වෙත ගිය බවට ඒ පණිවිඩයට එහා පැත්තෙන් රැඳුණ හරි සලකුණු දෙක කියාපෑවද මේධාවිණී තවත් විනාඩි කිහිපයක් ඒ දෙසම බලා උන්නේ චිරත් ඒ පණිවිඩය කියවූ බවට සැලකරන නිල් පැහැ හරි ලකුණු දෙකේ සළකුණ දැන් දැන් දෙනෙත් ඉදිරියේ පෙනී යතැයි බලාපොරොත්තුවෙනි.

විනාඩි ගාණක් ගෙවී ගොසිනුත් එය නොවූ තැන දුරකතනය වසා ඇඳ මතට විසි කල මේධාවිණී ඇඳ මත දිගාවී කල්පනා කලේ එක දෙයකි.

“අම්මා කිව්ව දේ ඇත්තද? චිරත්ව බැඳලා මම කරගත්තෙ මෝඩකමක් ද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here