ඉන්දියාවේ නීති පවා වෙනස් කළ නිර්භයා ඝාතනය

මේ ලිපිය සුරක්ෂිත නැති සමාජයක් තුළ ජීවත් වන කාන්තා අපිට ඕනෑම මොහොතක  අනතුරක් වීමේ ඉඩක් පවතින බව සිහි කරන නිර්භයා ඝාතනය ගැනයි .මෙය තුළින් අපිට දීමට අවශ්‍ය සැබෑ පණිවිඩය ඔබේ ආරක්ෂාව ගැන සහ ඔබේ දියණියගේ ආරක්ෂාව ගැන ඔබ නිරන්තරයෙන්ම අවධානයට ලක් විය යුතු බව මෙන්ම සමාජයක් ලෙසම සියලු දියණිවරුන්ගේ ආරක්ෂාව ගැන ද අපි වගවිය යුතු බවයි.

නිර්භයා! ඔබට ඒ නම අමතකව ගොස් තිබෙන්නට  බැහැ.වසර කිහිපයකට පෙර ඉන්දියාවේ වූ සාහසික ස්ත්‍රී දූෂණයේ වින්දිත තරුණිය ඇයයි.අදටත් ලෝකයේ ඕනෑම කෙනෙකු කම්පනය කරන්නට ඇය සමත්

nirbhaya

නිර්භයාට සිදුවූයේ කුමක්ද?

නිර්භයාගේ සැබෑ නම නිර්භයා නෙවෙයි.ඇය එනමින් ප්‍රසිද්ධ වන්නේ ඝාතනයෙන් පසුවයි.Jyoti Singh ඇගේ සැබෑ නමයි.ඇය 2012 දෙසැම්බර් දහසය වැනිදා මිතුරෙකු සමඟ මුනිර්කා බස් නැවතුමෙන් බසයට නගිනවා.ඇය ඒ වනවිට භෞත චිකිත්සාව හදාරන විසි තුන් හැවිරිදි යුවතියක්.ඇගේ මිතුරා අවීන්ද්‍රට අමතරව බසයේ තවත් පිරිමින් හය දෙනෙකු සිටිනවා.මිතුරෙකු සමඟ සිටි නිසා නිර්භයාට ඒ ගැන ගැටලුවක් ඇති වෙන්නට නැහැ.

නමුත් නිර්භයා සහ මිතුරාට ගැටළුවක් දැනෙන්නට ගන්නේ බසයේ දොරගුලු ලන්නට පටන් ගත් පසුවයි.නිර්භයාගේ මිතුරා මේ ගැන ප්‍රශ්න කරන්නට පටන් ගත්තත් ඔහුට පහර දෙන්නට ඒ නොමිනිසුන් ක්‍රියා කරනවා.රියදුරා දිල්ලිය පුරා බසය පදවන විට බසයේ පිටුපස අසුනේ නිර්භයා සමූහ දූෂණයට ලක් වීමට පටන් ගන්නවා.අනතුරුව නිර්භයාට යකඩ පොල්ලකින් පහර දෙමින් ඇයව දැඩි ලෙස පීඩාවට පත් කරන්නටත් දූෂකයන් පසුබට වන්නේ නැහැ.

දැඩි ලෙස අපහරණය කර තුවාල සිදු කරන ලද නිර්භයාවත් ඇගේ මිතුරාවත් ගමන් ගන්නා පිටතට විසි කර පාපතරයන් පිටව යනවා.ඔවුන්ගේ සිරුරු දුටු අයෙකු පිළිබඳ දිල්ලි පොලීසියට දැනුම් දෙනවා.දැඩි ලෙස සිරුරට වධ හිංසා කර තිබූ නිසා නිර්භයාගේ ජීවිතය ආරක්ෂා කරගන්නට ඇය සිංගප්පූරු රෝහලකට යොමු කෙරුණත් නිර්භයා මිය යනවා.ඒ දෙසැම්බර් විසි නවවෙනිදාවකයි.

මිය යන්නට පෙර සාක්ෂි ලබා දීම

මිය යන්නට පෙර සාක්ෂි ලබා දුන් අවස්ථාවේ ඇය තමන්ගේ දූෂකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා තිබුණා.ඒ වෙනුවෙන් ඉන්දීය පොලිසියට ජනතාවගෙන්ද දැඩි බලපෑම් එල්ල වන්නට පටන් ගත්තා.International Women of Courage නම් සම්මානයක් ඇයට පිරිනැමුවේ ඇය මේ සාහසික අපරාධයට පසු ජීවත් වීමට ගත් ධෛර්යය වෙනුවෙන්. Jyoti Singh නම් නාමය වින්දිත තරුණිය වෙනුවෙන් යොදන්නට ඉන්දීය මාධ්‍ය වලට ඉඩ ලැබෙන්නේ නැහැ.ඒ ඉන්දියාවේ සාමාන්‍ය නීතියයි.ඉන්දියාවේ මාධ්‍ය සදාචාරය අපේ රටට වඩා යම් තරමකට ඉහළින් තියෙනවා.අපේ මාධ්‍ය නම් දූෂණයට ලක් වූ දැරියගේ නිවසට යන පාර,ඇගේ පාසල හා විශ්ව විද්‍යාලය පවා ශෝකී සංගීත රාව සමඟ ඉදිරිපත් කරන්නට තිබුණා.නමුත් ඉන්දියාව එසේ කළේ නැහැ.එනිසා නිර්භයා යන නම ඇයට ලබා දෙන්නේ මාධ්‍ය විසින්.නමුත් කාලයාගේ ඇවෑමෙන් වැරදිකරුවන් දඬුවම් ලැබූ පසු ඇගේ නම මාධ්‍යට හෙළි කරන්නේ ද ඇගේ මව වීමත් විශේෂත්වයක්.

Asha Devi, mother of the victim of the fatal 2012 gang rape, displays the victory sign at patiala house court, after a Delhi court issues death warrant against all 4 convicts, execution to be held on 22nd January, in New Delhi on Tuesday.

අපරාධකරුවන්ට දඬුවම්

බස් රථයේ රියදුරු වූ රාම් සිං, රාම් සිංගේ සහෝදරයා වූ මුකේෂ් සිං, කාය වර්ධන උපදේශන සහායක විනේ ෂර්මා, පළතුරු විකුණන පවන් ගුප්තා, ආක්ෂේ ඨාකූර්, සහ අවුරුදු දහ හතක බාලවයස්කාර අපරාධකරු නිර්භයා නඩුවේ චූදිතයන් ලෙස නම් කෙරෙනවා.ආක්ෂේ තාකූර්, විනේ ෂර්මා, පවන් ගුප්තා සහ මුකේෂ් සිං හට මරණ දඬුවම් 2013 වසරේදී නියම වුණා.ඔවුන් සිව් දෙනා නවදිල්ලි නුවර අධිආරක්ෂිත තිහාර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැම්මා. ඒ 2020 වසරේදී.රාම් සිං බන්ධනාගාරය තුළ 2013 වසරේදී සියදිවි හානි කරගත් බව කියැවෙනවා.බාල වයස්කරුට ඉන්දීය අධිකරණයේ උපරිම නීතිවලට අනුව වසර තුනක සිර දඬුවමක් පමණයි නියම වන්නේ.නමුත් නඩු වාර්තාවල කියැවෙන අන්දමට නිර්භයාගේ බඩවැල් ආදිය එළියට අදිමින් ඇයට දැඩි හානි කර ඇත්තේ ද ඔහු ව්සින්.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ඉන්දියාවේ නව පනතක්

මේ නඩු තීන්දුව ඉන්දියාවේ ස්ත්‍රී දුෂණවලට එරෙහි දඬුවම් සම්බන්ධයෙන් හොඳ දිශානතියක් බවයි කියැවෙන්නේ.ඉන්දියාවේ තිබූ පැරණි නීති අලුත් කරමින් අපරාධකරුවන්ට නීතියේ සිදුරු අතරින් රිංගා යන්නට නොදී Nirbhaya Act ලෙස නව නීති සකස් වුණා නිර්භයාගේ දෙමාපියන් 2013 වසරේ නිර්භයා අරමුදල පිහිටවන්නේ හිංසනයට ලක් වන්නියන්ට නීති ආධාර ලබා ගැනීම පහසු කරමින්.

නිර්භයා,මරණය හමුවේ සටන් කර මියගොස් අවසන්.ඇය ගතේ තුවාල සුව කරගෙන ජීවත් වූවානම් හිතේ තුවාල ඉක්මනින් සුව කරගත හැකි තරම් නිර්භීත කෙල්ලක්.නමුත් දෛවය ඒ ඉඩ ඇයට ලබා දුන්නේ නැහැ.

නිර්භයා වැනි දියණියන් නැවත නැවතත් පීඩාවට පත් විය යුතු නැහැ.එසේ වන්නට දියණියන්ට ප්‍රවේසම් වීම සහ කල්පනාකාරී වීම ඉගැන්විය යුතු බව ඇත්තක්.නමුත් ලිංගික සතුට ලැබිය යුතු වන්නේ බලහත්කාරයෙන් නොවන බවත් බලහත්කාරයෙන් කිසිවක්ම ලබා ගත නොහැකි බවත් නරුම වීම වෙනුවට ආදරණීය වීම මිනිසත්කමේ ලක්ෂණයක් බවත් පුතුන්ටත් වටහා දිය යුතුම කාරණාවක්.

නිර්භයාව තලා දැමූ නරුමයන් බඳු නොමිනිසුන් ලෝකයෙන් තුරන් වේවා!

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles