රන් මල් දම් – 72

ජිනේන්ද්‍ර සහ අම්මාගේ ගැටලුවම් ඉක්මවා යමින් සෙත් නිරාවරණය විය. එදින  මන්දාරම් නින්දට ගියේ දිලුම්ගේ කාමරයේය. ඔහු කොහොමටත් මැදියමේ වාහනය ගෙන යන මානසිකත්වයක උන්නේ නැත. නිම්නාවී පිළිබඳව දැනෙන හැඟීම ඔහුට කිසිලෙසකින්වත් විස්තර කර දක්වන්නට හැකි තරමක වූයේ නැත. ඕ සැබැවින්ම යමෙකු පතන ප්‍රේමයක් තරමට සිටිනවා නොවේද ?. මේ පිළිබඳව චානකට පවසන්නට මන්දාරම් පසු දින තෙක් ඉවසීම තීරණය කලේ චානකගේ ප්‍රතිචාරද ඇස් ඉදිරියේම දකින්නය.

පසුදින මන්දාරම් නිම්නාවීට සමුදුන්නේය. ඒ  අතරවාරයේ දිලුම්ට කෙටි පණිවිඩයක්ද තැබුවේය.

” මගේ නම සෙත් මන්දාරම් වර්ණකුල මල්ලී .. ඒ සෙත්ට බැඳුන හැම කතාවක්ම දන්නවා මම දැන් …”

විනාඩි කිහිපයක් ඉක්මෙද්දී දිලුම් ඔහු අමතමින් උන්නේය. මන්දාරම් ඉතා කෙටියෙන් හරය පමණක් පවසා දිලුම්ගේ වැඩ කටයුතු වෙනුවෙන් බාධා නොකර ඇමතුම විසන්ධි කලේය. යන අතරමඟ ප්‍රියලාල්ගේ නිවෙසට ගොස් ඔහුද වාහනයට නංවා ගත්තේය.

” ස්වර්ණා කවදාවත්ම මට සමාව දෙන එකක් නෑ පුතා …”

” කමක් නෑ .. ඒත් ඔයාට සැනසීමෙන් ඉන්න පුලුවන් වේවි අංකල් … මේක මෙතනින් ඉවර කරලා දාන්න … සමහර රහස් තියෙනවා අංකල්, ඒ රහස් රැකගෙන ඉඳලා අදාලම තැනදි හෙළිදරවු වෙන එක තමයි හොඳම … එහෙම රහස් රැකගෙන ඉන්න එක ලේසි නැහැ…  එහෙම රහස් රකින්න පුදුමාකාර තරමේ හික්මීමක්, තියෙන්න ඕනි.. රහසට සම්බන්ධ අනෙක් පාර්ශවය ගැන සීමා රහිත හැඟීම් කන්දක් තියෙන්නත් ඕනි .. අම්මා අංකල්ව තේරුම් ගනීවි .. මායි, අයියයි ඔය දෙන්නා තේරුම් ගත්තා වගේම …”

නිවසට ගොස් ප්‍රියලාල් සහ ස්වර්ණාට කතා බහ කරන්නට ඉඩ දී, මන්දාරම් චානක සොයාගත්තේය. ඔහු එදින නිවසේ සිටින වරුවක් වූ නිසා උන්නේ අඩ නින්දේය.

” මොකෝ බං … උඹ ඊයේ හනි මූන් ද ?…”

මන්දාරම් සිදුවීම පවසද්දී චානක උන්නේ  ඔහු විශ්වාස කිරීමට සූදානම් පවා නැති වග පෙන්වමිනි.

” හිතාගන්න බැහැ බං .. ඒත් ඒක තමයි ඇත්ත … සෙත්ගේ  සුරංගනාවී වෙලා ඉඳලා තියෙන්නේ නිම්නාවි බං .. කෙල්ල ඒ කාලේ ඉඳගෙනම ආදරේ කරලා මට … මං දන්නේවත් නැතුව ..”

” උඹේ ජීවිතේ පුදුම ආතල් එකක්නේ ගන්නේ උඹෙන් … යකෝ .. මේ මාස දෙක තුනේ වෙච්ච දේවල්  හිතපංකෝ… “

” තව ඉවර නෑ බං …”

මන්දාරම් ගේ ස්වරූපය යම් වෙනසක් වූ බව  චානක හැඳින්නේය. ඔහු කිසිත් නොවිමසා බලා උන්නේ මන්දාරම්ටම ඉඩ දෙමිනි.

” අර කතාවේ …”

” මොන කතාවේද ?…”

” අම්මගෙයි, ප්‍රියලාල් අංකල්ගෙයි, ජිනේන්ද්‍ර අයියාගෙයි කතාව …”

” ඉතින් …”

” ඒ කතාවේ තියෙන අන්තිමම රහසත් හෙළිදරවු වුනා..”

” අනේ මේ … තේරෙන්න කියහංකෝ …”

” අපේ අම්මාගෙයි, ප්‍රියලාල් අංකල්ගෙයි  දරුවා එදා හොස්පිට්ල් එකේදි නැති වෙලා නෑ බං … ඒ දරුවා තවම ඉන්නවා …”

මන්දාරම් එක හුස්මට කියා දැම්මේය. චානක ඒ කවුරුන්දැයි කියා විමසුවේ හෝ නැත. ඔහේ බලා උන්නේය. සිතට රූප මතුව එද්දීත් පාලනය කරගෙන මන්දාරම් දෙසම බලා උන්නේය.

” ජිනේන්ද්‍ර බං .. ඌ මගේම අයියා …”

චානක සයනයෙන් පැන්නේය. කාමරය පුරා ඒ මේ අත  ඇවිද්දේය. ජිනේන්ද්‍ර ස්වර්ණා වෙත දක්වන අසීමිත සෙනෙහසට හේතුව එය බව වටහා ගත්තේය.

” එතකොට ඌ ඒක දන්නවාද ?..”

” දන්නවා ..”

” ඇයි නැන්දාට නොකියා ඉන්නේ එහෙනම් ඌ?…”

” ප්‍රියලාල් අංකල් කියලා ඒක දැනගත්තොත් අම්මාට දරාගන්න බැරි වේවි කියල.. ඒ නිසා අයියා ඒක නොකියා ඉන්න පොරොන්දු වෙලා.. ඒත්, දැන් ප්‍රියලාල් අංකල් අම්මාට ඒක කියන්න යන්නේ …”

” යකෝ ..මේක නිකන් … මට තේරෙන්නේ නෑ …”

චානක යළි මන්දාරම්ගෙන් විවිධ දෑ විමසුවේය. මන්දාරම්  චානක හා සමඟ එක්ව සිදුව ඇති සිදුවීම් සියල්ල ගලපමින් උන්නේය. එක්වරම ස්වර්ණා මහ හඬින් බැණ  කෑ ගසන හඬක් ඇසුණි. මන්දාරම් සහ චානක කාමරය වෙතට යද්දීම ජිනේන්ද්‍රගේ මෝටර් රියද මිදුලට ඇතුලු වූයේය. ගාලු යන්නට පෙර අම්මා දැක යන්නට ඔහුට අවැසිව තිබුණි.

” තව කොච්චර බොරු කරනවාද මට ?… කොච්චර බොරු කරනවාද ?…”

ස්වර්ණා සන්සුන් කරවා ගැනීම චානක වෙත පැවරූ මන්දාරම් ප්‍රියලාල්ට පසෙකින් හිඳගන්නට සැලැස්වූයේය. චානක කිසිත් පවසන්නට හෝ පෙරම, ජිනේන්ද්‍ර කාමරය තුළට ඇතුලු වූයේ හඬට හේතුවද විමසමින්මය. ස්වර්ණාගේ හැඬුම සහ කෑ ගැසීම නැවතුණි. කාමරයේ සිටින තම පියා දුටු ජිනේන්ද්‍ර වික්ෂිප්ත වූයේය.

” තාත්තා කොහේද මෙහෙ ?…”

ඔහු විමසුවේ පොදුවේය. ස්වර්ණාගේ මුහුණුවර ට හේතුව කියවාගන්නට ඔහුට හැකි වූයේ නැත. මේ තමා දෙස බලා සිටින්නේ තම මවය කියා දැන උන්නත්, තමා ඔහුගේ වැඩිමහල් දරුවාය යන වග ඕ දැනගෙන බව ඔහුට සිහිනෙකින්වත් සිතුනේ නැත.

” ඇයි බං ?..”

ඔහු ඉන් පසුව විමසුවේ චානකගෙනි.  එහෙත් චානක උන්නේද එක් වැකියකින් එහි සිදුවන්නේ කුමක්දැයි පැහැදිළි කරන්නට නොහැකිවය. අවසානයේ ස්වර්ණා මහ හඬින් කෑ ගසා ජිනේන්ද්‍ර ඇමතුවේය.

” මගේ රත්තරං පුතේ ..ඔයත් කොහොමද අම්මාට නොකියාම ඉන්න හිතුවේ රත්ටහ්‍රං …”

ජිනේන්ද්‍ර එතැනම බිත්තියට වාරු වූවේය.

.

.

.

නිම්නාවී රාජිකාට ගත දොවාගන්නට උදව් කර ඇයට ඇඳුම් ඇන්දුවාය. රැගෙන විත් තිබූ උදෑසන අහාරය ගන්නා තුරු ළඟටම වී උන්නාය.

” ඇඳෙන් බහින්න එපා අම්මේ … ඇහුනානේ ඩොක්ටර් කිව්ව එක …”

ඕ ඊළඟ වතාවේ අවධාරනය කර රාජිකාගේ හිස පිරිමැද්දාය. රෝහල් කාමරය තුල දැනෙන මුදු සුවඳ පෙර දින සවස මන්දාරම් ගෙන ආ මල් පොකුරෙන් බව සිහි කරමින් රාජිකා තම සිහිය පරික්ෂා කර ගත්තාය. දින හතරකට පෙර තනිව නිවසේ සිටියදී, හදිසියේ හටගත් හෘද්‍යාබාධයෙන් තම ජීවිතය ගැලවේයැයි ඇයට සිහිනෙකින්වත් සිතූනේ  නැත. සිහිනෙන් මෙන් ඇසුණේ දිලුම්ගේ සහ තවත් නන්නාදුනන යුවතියකගේ හඬකි.

” අම්මාව ඉක්මනට ඇඩ්මිට් කරමු ..”

ඇය පැවසු බව රාජිකා සිහි කලාය. ඒ නිම්නාවී  නොවන බව ඇයට විශ්වාසය. එසේ නම් ඒ දිලුම්ගේ පෙම්වතිය විය යුතුය.

” නිම්නාවී …”

” කතා කරන්න මහන්සි වෙන්න එපා අම්මේ .. කියන එක අහන්නකෝ …”

” එදා මල්ලි එක්ක මාව හොස්පිට්ල් ඇඩ්මිට් කරේ කවුද ?..”

ඇය එලෙසින් විමසද්දී ඩයස් කාමරය තුලට ඇතුලු වූයේය.

” ඒ දිලුම් බඳින්න ඉන්න දරුවා .. ඊයෙත් ඇවිල්ලා ගියේ …”

රාජිකා දෑස් කඳුලින් පුරවා ගත්තාය. තමා ඔවුන්ගේ අයෙකු නොවී ඈතටම විසිව ගොස් ය යන අසරණ  හැඟීමක් දැනුණි. ජීවිතය කෙතරම් පුරවාගෙනයැයි සිතා උන්නත් කෙතරමක නම් හිස් තැනක් තිබී ඇතිද ?

” අඬවන්න එපා අම්මාව තාත්තේ .. මල්ලි රන්දුලා අක්කාව ඔයාට හඳුන්වලා දේවි අම්මේ … ඔයා ඉස්සෙල්ලම සනීප වෙන්නකෝ …”

නිම්නාවී යන්තමින් එහෙමද පවසා දැම්මාය. ඩයස් පැමිණ උන්නේ රාජිකා ප්‍රිය කරන සුප් කෝප්පයක් එක්කය. නිම්නාවී ඔවුන් දෙදෙනාට ඉඩ දී රෝහල් කොරිඩෝවට ආවාය. මන්දාරම් පැමිනෙමින් සිටින්නේ කා සමඟ දැයි දුටු ඕ  එය අදහා ගන්නට නොහැකිව මෙන් බලා උන්නාය. ඉන් පසුව වහා ඒ වෙත ඇවිද ගියාය. චානක සහ ඔහුගේ පෙම්වතියගේ පසෙකින් ජිනේන්ද්‍ර සහ කාව්‍යා එමින් උන්හ. ඕ ඔවුන් අසලින් නැවතුනාය. අහේතුකවම කාව්‍යාගේ අත දෙස බැලුණි

” කවදාද ?…ඔයා ඔෆිස් යනවා කියලානේ කිව්වේ..”

 නිම්නාවී ඇසුවේ මන්දාරම්ගෙනි.

” අද . මේ එන ගමන් ..ඔව් ඉතින් .. මඟුලක් වුනාම ඔෆිස් එකේ නිවාඩුවක් ඉල්ලගන්න වෙනවානේ ….”

” ඉතින් .දෙයියනේ …. . ඉස් ඉස්සෙල්ලම හොස්පිට්ල් එකකට එක්කන් ආවේ ?…”

” ඉතින් කාව්‍යාට අම්මාව බලන්නෝනා කිව්වා …”

මන්දාරම් තමා අතෙහි වරදක් නැති බව හඟවමින් කීවේය. නිම්නාවී මදක් නැවී කාව්‍යා සිප ගත්තාය. කාව්‍යාගේ ජීවිතයට උදාවුණු අඳුරු කාල වෙනුවෙන් යලි යළිත් සමාව ඉල්ලීමට නිම්නාවීට අවැසිය.

” ඔයා අක්කේ ආයේ ආයේ එකම කියවනවා නම්, මම ආයේ ඔයාට කතා කරන්නේ නෑ ..”

කාව්‍යාගේ සුන්දර තර්ජනය සිහිව ඕ කිසිත් නොපවසාම උන්නාය.

.

.

.

මන්දාරම්  නිම්නාවීගේ  කොපුලක් ඉම්බේය. දෙදෙනා හිඳ උන්නේ හික්කඩුවේ සංචාරක හෝටලයක් විසින් නඩත්තු කරන වෙරළකය.

” මං ඔයා එනකල් තව කොච්චරක් කල් වුනත් බලාගෙන ඉන්නවා කියලා මම ඉස්සරම ඔයාට කිව්වා නේද නිම්නාවී …?”

” හ්ම්ම් …”:

” ඒත් ඔයා මං එනකල් මේ බලාගෙන හිටපු තරම් ….”

මන්දාරම් තමාට වාරුවී , ජීවිතයේ ඉතිරි  අවුරුදු වෙනුවෙන් හුස්ම අල්ලන යුවතියගේ කොපුලක් යලි ඉම්බේය.

” ඔයා ඒවි කියලා හිතුවේවත් නැහැ සෙත් .. හැමදේම හීනයක් වගේ …”

” අම්මා හැමදාම මගේ ජීවිතේට  යහපතක්මයි කලේ නිම්නාවී .. දැන හෝ නොදැන අම්මා මේ වතාවේ කලෙත් ඒක … “

” හ්ම්ම් …”

” අම්මා ප්‍රියලාල් මාමාව මැරි කරාට ඔයා ඩිසපොයින්ට්ද ?..”

” නෑ …. “

” ප්‍රියලාල් මාමා එයාගේ බිස්නස් ඔය තුන්දෙනාටම බෙදලා කියලා ඔයා දන්නවාද ?..”

” හ්ම්ම්..: අයියා කියන්න ඇත්තේ චානාටත් සමව දෙන්නෝනි කියලා.. ඌ මගේ සහෝදරයා කියලා අයියා දන්නවා …”

” සෙත් ..”

” ම්ම්ම්..”

” හැමදේම හොඳින් වේවි නේද සෙත් ?…”

” බය නොවී ඉන්න මැණිකේ ..  මේ වෙච්ච හැමදේම අපි දෙන්නා තනි තනිව දරාගත්තා නේ.. ඉතින් ඇයි දැන් බැරි .. අපි දෙන්නාම ඉන්නවා.. අපි දෙන්නා එක්ක තව කොච්චරක් දෙනා ඉන්නවාද ?…”

සෙත් ගේ හඬ තුල වූයේ අනාගතය වෙනුවෙන් නැඟෙන සුබ සිහිනම පමනක් ය. නිම්නාවී දෑස් වසාගෙන සෙත්ගේ බාහුවකට ගුලි වූවාය.

 ඉතින්, ජීවිතයේ අඩක් ගෙවුන පසුවද වස්සානය උදා විය හැකි බව ඔබට දැන් විශ්වාසයි නේද ?… එක් නපුරු තත්පරයකට, එක් නපුරු විනාඩියකට, එක් නපුරු පැයකට, එක් නපුරු වරුවකට, එක් නපුරු දවසකට, එක් නපුරු සතියකට, එක් නපුරු මාසයකට, එක් නපුරු අවුරුද්දකට ඔබේ අනාගත හීන උදුරාගන්න නොදී සිටිය යුතු බව රන් මල් දම් අවසානයේ හිතෙනවා නේද ?…..

මම අපේක්ෂා ගුණරත්න

අද ඔබේ අදහස් වෙනුවෙන් කොමෙන්ටු තීරය දෙස බලා හිඳිමි 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles