ජීවිතය  කවියක් නොවේ – 2

0
4405


සියුම්  හිසරදයක් දැනෙමින් තිබූ බව සැබෑය.එහෙත් ඊට වඩා රිදුම් දෙමින් තිබුණේ සිතයි.කොහොමටත් හසාරා යනු ඕනෑම ක්ෂේත්‍රයක ඉහළට යාමට තරම් දක්ෂකමක් , කැප කිරීමක් තිබූ අයෙකු බව විශ්වාසය. ඒ සියල්ලටම වඩා ඇයට යන තැනක කැපී පෙනෙන්නට තරම් රූපයක් විය.අද ඇය ලැබූ මේ උසස් වීම වෙනුවෙන්  කාලාන්තරයක් තිස්සේ සිය රාජකාරිය වෙනුවෙන් ඈ  ඇප කැප වූ අයුරු හොඳින්ම දැන සිටියේත් ධනංජයය.ඒ සඳහා හසාරාට සහාය වන්නට දැඩි උවමනාවක් ඔහුට විය.ඇය බබළනු දකින්නට උවමනාවක් ඒ සිතෙහි විය.එහෙත් මෙවේලෙහි සිතට දැනෙමින් තිබුනේ ඇපැහැදුම් හැඟීමකි.
ඒ කුමක් නිසා ඇති වූ හැඟීමක්දැයි  වටහාගන්නට ඔහු උත්සාහ නොකළේය.

වසර දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ හෙමි හෙමිහිට ඉදි වූ මහා මන්දිරය තුළ කෙදිකවත් නොවූ අයුරේ තනිකමක් ධනංජයට දැනෙමින් තිබිණ.තෙමහල් නිවසක් වූ එය සියලු සැප පහසුකම් වලින් සමන්විත වූවකි.මේ අයුරින් නිවසක් ඉදි කරන්නට තමාත් හසාරාත් සිහින මැවුවේ විශ්ව විද්‍යාලය තුළදී බව ඔහුට පසක් වූයේත් ඒ හදිසියේමය.

ඉඩමක් මිලදීගෙන නිවසක් ඉදි කරන්නට උවමනාව වූයේ ධනංජයටය. එහි සියලු සැලසුම් නිර්මාණය කළේ හසාරාගේ උවමනාව පරිදිය.සැබවින්ම ඈ දුරදිග හිතා වැඩ කළ අයෙකි.නිවසේ සියලු වැඩ නිමකරවා විදුලි පහන් සියල්ල දල්වා ගෙඋයනෙහි වන සිමෙන්ති බංකුවේ වාඩිවී පැය ගණනක් ගතවන තුරා තමාත් ඇයත් නිවස දෙස බලා සිටි අයුරු ධනංජය සිහි කලේ  දැවිල්ලක්වන් වේදනාවකින් සිය ලඟ ඇවිල යද්දීය.

“ අපි දිනුම් නේද ධනා….”

එවේලෙහි හසාරා ඇසුවේ ඔහුගේ එක් උරහිසක් මත හිස තබාගෙනය.තමා ඇගේ නළලතට වැටී තිබූ අකීකරු කෙහෙරැල්ලක් මෑත් කරමින් ඒ නළලත සිප ගත් අයුරු ඔහුට මතකය.

“ එක අතකින් අපි හරි වාසනාවන්තයි කියලා මට හිතෙනවා ධනා…අපි දෙන්නා කවදහරි මේ වගේ ගෙයක් හදන්න ඕන කියලා හීන මැව්වා.දැන් ඉතින් මැරෙනකං අපි දෙන්නා මේකේ ඇතුලේ සතුටින්ම ජීවත් වෙමු..තමන් දකින හීන වලට යන්න පුලුවන් කීයෙන් කී දෙනාටද…”

මිනිසුන් ජීවත් වීමට හරි හම්බ කරගත යුත්තේ සතුටය.ඒ බව  ධනංජය හොඳින් වටහා ගත්තේ පසුගිය දින වලදීය.මෑතක සිට ඒ සතුට සැනසීම ඔහුගේ සිතෙහි වූයේ නැත.විටෙක මහත් වූ ආත්මානුකම්පාවක් වී ලය රිදවාලන ඒ හැඟීමට ඔහු බියය.

නිවසේ වැඩ නිම වූවාට පසුව  එතෙක් භාවිතා කළ කුඩා වාහනය විකුණා ඊට වඩා සුව පහසු මිල අධික වාහනයක් මිලදී ගන්නට හසාරත් ධනංජයක් තීරණය කළේ තවදුරටත් සමාජය තුළ තමාට ලැබෙමින් පවතින තත්ත්වය හා ගෞරවය නිසාය.. ධනංජය රජයේ කාර්යාලයක ගිණුම් නිලධාරියෙකු වද්දී පෞද්ගලික අංශය තෝරා ගත් හසාරා දිනෙන් දින සිය වෘත්තීය මට්ටමෙන් ඉහල තලයකට පිවිසියාය. වර්තමානය වන විට ධනංජයගේ වැටුප හසාරාගේ වැටුමෙන් පහෙන් එකක් තරම් විය.එනිසාම තමා මේ විඳින සුවපහසුවට වැඩි දායකත්වයක් දරන්නේ හසාරාය යන සිතුවිල්ල ඔහුගේ සිතට වද දෙන්නට වූයේ පරාජිත හැඟීමක්ද සමඟින්ය.

සුසුමක් හෙලා නැගී සිටි තරුණයා නිවසේ   නිදහස් අවකාශයක වූ මේසයක් වෙත ගියේ මත්පැන් බෝතලයකුත් අයිස් කැට කිහිපයක් වන වීදුරු බඳුනකුත් රැගෙනය.ශීතකරණය හැර කට ගැස්මට යමක් සොයා ගැනීමට ඔහුට අපහසු වූයේ නැත.අල පෙති බැඳුමක් හා පෙති කැපූ කොළ පැහැති ඇපල් ගෙඩියකුත් ඔහුගේ තනි සාදය සරසන්නට විය.පුරුද්දක් වශයෙන් මත්පැන් පානය නොකළත් මිල අධික මත්පැන් බෝතලයක් ඔහුගේ නිවසේ වැරදුනේ නැත.

දුක,  කෝපය,  ලැජ්ජාව , පරාජය එකට එකතු වී සැදුම්ලත් ඒ හැඟීම මදකට  හෝ පහව ගියේ   මත්පැන් උගුරු දෙක තුනක් උගුරෙන් පහළට ගලා ගිය පසුවය.

වෙලාව පාන්දර එක පසු වී තිබිණ.ධනජය පසෙක වූ තම ජංගම දුරකථනය අතට ගෙන ඊට එබුණේ සිතට දැනුණු කාන්සිය මදකට හෝ මගහැර ගන්නට සිතාගෙනය..ක්ලික් හඬ නංවමින් පැමිණි කෙටි පණිවිඩය විවර කළ ඔහුට දැනුනේ දුරකථනය පොළොවේ ගසන්නට තරම් කෝපයකි.හසාරා සේවය කළ දුරකථන සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂ ධූරය හෙබවූ කිහිපදෙනා මැද සිනහවෙන් උන්නේ තම බිරිඳ බව  ඔහුට මොහොතකට අමතකව ගිය  සෙයකි.තත්පර කිහිපයක් ජංගම දුරකථනය දෙස බලා උන් ඔහු දුටුවේ පිරිමින් සියල්ලෝම  පරදා නැගී සිටි ගැහැනියක හා ඇගේ උල් සපත්තුවලට යටව සිටිනා පිරිමින්ය.ඒ ගැහැණියගේ මුවෙහි වූයේ උඩඟු සිනහවකි.ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිනා  සිනහවකි.

ධනංජය තෙවන මත්පැන් වීදුරුවත් හිස් කලේ එක හුස්මටය. වාහනයක් පැමිණෙන හඬත් ගේට්ටු  විවරව යළි වැහෙනා  හඬත් ඉදිරිපස දොර විවරවන හඬත් එකක් පසුපස එකක් වන සේ පිළිවෙලට ඇසෙද්දී ඔහු තවත් මත්පැන් වීදුරුවක් හිස් කළේ දැන් දැන් මේ නිවස තුළට පැමිණෙන අයෙකු තමාගේ මත්පැන් බෝතලය උදුරාගනීයැයි බියකින් සේය.

අවසන බොඳ වූ දෑස් වලින් ඔහු දුටුවේ තමා ඉදිරිපිට සිටගෙන   මල් කළඹකුත් කුසලානයකුත්  අතින් ගත් තමාගේ සුන්දර බිරිඳ නොව රවාගත් මුහුණකින් තමා දෙස බලා සිටින හැඩි දැඩි ගැහැණියකි.ඒ දෑස් කෝපයෙන් රත් පැහැ ගැන්වී දිලිසෙමින් තිබ්ණ.

“ ධනා ඔයා මොනවද මේ කරන්නේ… හිස කැක්කුමයි කියලා නේද ගෙදර ආවේ?.ඇයි මේ ඩ්‍රින්ක්ස් ගන්නේ…ඔයා හොඳින් නේද..ඊටත් මේ තනියම..”

එක පිට එක ප්‍රශ්න  කිහිපයක් ඇසූ හසාරා කලබලයෙන් ඔහු වෙත පැමිණියේ මල් කලඹත්,  කුසලානයත් අසල වූ මේසයක් මත තබාය.

“ මං හොඳින්…මං මං හොඳින්.උඹ බලන් හිටියේ මං වැටෙන කල්ද…මං ලේසියෙන් වැටෙන මිනිහෙක් නෙමෙයි.මං හොඳින්…”

“ මොනවද ධනා  ඔයා මේ කියවන්නේ..ඇයි දෙයියනේ මං ඔයා වැටෙනකල්  බලන් ඉන්නේ.අනේ මං කීප සැරයක්ම එන්න හැදුවා.ඒත් නිර්මිතා තමයි මාව නැවැත්තුවේ…එයා කිව්වා ඔයා මට එන්න එපා කිව්වා කියල…”

“ ඇයි උඹ එන්නේ….අද උඹේ දවස…උඹ ලෝකෙටම රැජිණක්.උඹට මතකද ඔතනට එන්න පාර පෙන්නුවේ කවුද කියලා..උඹට මතකද..”

“ අනේ ඇයි ධනා මේ ..කවදාවත් නැතුව ඔයා මට උඹ කියලත් කතා කරනවා..එන්න  අපි  ඇඳට යමුකෝ..ප්ලීස්…”

“ ඇඳට යන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳගෙන.මගේ ප්‍රශ්නෙට තාම උත්තරයක් හම්බ වුණේ නෑ.කවුද උඹට ඔතනට එන්න පාර පෙන්නුවේ…කවුද උඹට පාඩම් කරන්න නිදහස දුන්නා.එතකොට පාඩම් කරද්දි ප්ලාස් එකට තේ හදලා දුන්නේ කවුද…පුළුවන් විදිහකට උයලා උඹට කන්න දුන්නේ කවුද…උබත් එක්ක රෑ නිදි මරාගෙන ස්ටඩී රූම් එකට වෙලා වාඩි වෙලා හිටියේ..උදේට ඔෆිස් යන්න ඇඳුම් ටික අයන් කරලා ඇඳ උඩින් තිබ්බේ..කවුද..”

“ අනේ ධනා  මේ හැමදේම කළේ ඔයා තමයි.අද මං තැනක ඉන්නවනම් ඒ ඔයා කරපු කැප කිරීම් නිසා.ඒක මං නොදන්නවා නෙමෙයි ධනා..ඒත් එකපාරටම ඇයි ඔයා මෙහෙම කතා කරන්නේ..”

“ මට මහන්සියි බං..මට හරිම මහන්සියි. උඹ  තව සතුටු වෙයං…ඔව් උඹ  දවසින් දවස ඉනිමඟේ අඩියෙන් අඩිය නැගලා අහසට යන්න ඕනේ.මට තරහක් නෑ..මට ඉරිසියාවකුත් නෑ…උඹ සතුටු වෙලා වරෙන්..මං ඇඳට යනවා.නින්ද තමයි දැන් මගේ සතුට.ඇඳට ගියහම නින්ද යන්නෙ නැති වෙන එකට හොඳම ඖෂධය තමයි මේක…ඊට පස්සේ මට කිසි දෙයක් මතක් වෙන්නේ නෑ..එළිවෙනකං මං ඉන්නේ මගේ ලෝකේ..”

“ අනේ ධනා  අපි කාමරේට යං…ඔයාට හොඳටම වැඩියි.දෙයියනේ ඔලුව කැක්කුම නැති වෙන්නද මෙච්චර බිව්වේ?.අපරාදෙ මට තිබුණේ ගෙදර එන්න.ඔයා එතනින් ආවට පස්සේ මට එතන ඉන්න හිතක් තිබුණේ නෑ.ඒ උනාට වොයිස් කට් දෙන්නයි පින්තූරවලට ඉන්නයි ඕන නිසා මං එතනට වෙලා හිටියා..මං ඔයාගේ ඔලුවට තෙල් ටිකක් දාලා මසාජ් කරන්නද..”

“ එපා…….එහෙම කරන්න හොඳ නෑ..තත්වෙට හොඳ මදි..මට නින්ද යනවා දැන් හොඳට.ආයෙත් මොකක්ද ලියන විභාගේ… අපිට පුළුවන් ආපහු එකතුවෙලා පාඩම් කරන්න..දැන් පඩියත් වැඩි ඇතිනේ. අපි ගමු ප්ලේන් එකක්…හිතුණු ගමන් රූං ගාල අහසින්  යන්න පුළුවන්.කොහොමටත් දැන් හසාරා මන්දාකිණි සමර දිවාකර  යන්නේ අහසින්…මෙන්න මෙහෙම..”

ඔහු  පැවසූයේ අහස් යානයක් ගමන් කරනා අයුරු පෙන්වමින්ය.එහෙත් සමබර නොවූ ධනංජය එක් පසෙකට ඇලව ගියේ හසාරාට කෑ ගැසෙද්දීය.

“ අනේ ධනා…”

“ නෑ.. නෑ ..මාව අල්ලන්න එපා….මට තවම කෙලින් යන්න පුළුවන්.මේ ධනංජය වැටෙනකල්  බලන් ඉන්න මිනිස්සුන්ට මං මේ කියන්නේ.ධනංජය සමරදිවාකර කියන්නේ කෙලින් යන මිනිහෙක්….”

ධනංජය ඔවුනගේ මදක් විසල් වූ නිදන  කාමරය දෙසට වැනි වැනී ඇවිද ගියේ එසේ පවසමින්ය.ඔහු තවමත් සවස් යාමයේ උත්සවය සඳහා ඇඳගෙන ගිය සුදු පැහැ අත් දිග කමිසයත් අලු පැහැ කලිසමත් පිටින්ය.වෙනසකට වූයේ මෙරුන් පැහැති ටයිපටියත් අළු පැහැති කෝට් එකත් ගලවා දමා තිබීමය.

( යළිත් හමු වෙමු..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here