විෂ වචන

අවිශ්කගේ අම්මාත් එක්ක එක ගෙදරක ජීවත් වෙන්නේ නෑ කියලාම හිතාගෙන හිටියත් ගංගාට විවාහයෙන් පස්සේ ඒ තීරණය වෙනස් කරන වුනා. ඒ නොහිතපු විදියට අවිශ්කගේ රැකියාව අහිමි වුන නිසා. රැකියාව අහිමි වුනාට පස්සේ වෙනම නිවස්ක් මිලදී අරගෙන ජීවත් වෙන එක එතරම් නුවණක්කාර නොවෙන බව ගංගාටත් වැටහුනා. ඒ නිසාම අකමැත්තෙන්  වුනත්, ගංගා අවිශ්කගේ යෝජනාවට එකඟ වුණා.

” අනේ මන්දා අවිශ්ක … ඒත් ඉතින් මෙවෙලේ වෙන කරන්න කියලා කිසිම දෙයක් නැහැනේ …ඒ නිසා අපි ඔයාලාගේ ගෙදර ඉමු .. ඔයා අලුත් තැනක ස්ටේබල් වුනාම ආයේ අලුත් විදියක් බලමු ….”

” හිත කලබල කරගන්න එපා ගංගා .. අපි ඉන්නේ උඩ නේ .. අම්මා පහල … ඔයාට කරදරයි කියලා හිතෙනවා නම්, අම්මා මෙච්චර කල් කලා වගේ උයාගෙන ඒ දේවල් තනියෙන් කර ගනීවි ..අපි උඩ කුස්සියේ උයාගනිමු …”

” අනේ අම්මෝ .. එහෙම කරන්න ගිහින් මම නපුරු ලේලි වේවි අන්තිමේදී … ඒක හරියන වැඩක් නෙවෙයි නේ …”

” ඔයාට ඕනි විදියට වැඩ කටයුතු ටික සූදානම් කරලා කරගන්නකෝ  ගංගා … අපේ අම්මා එයාගේ පහසුවෙන් ඉඳීවි .. ඔය දෙන්නා එකිනෙකා ගැන හිතලා ආතතියක් හදාගන්න උවමනා නෑ …”

දෙන්නා එක්ක ගෙදර ගියේ ඇනෙක්ස් එකේ තිබූන දේවලුත් අස් කරගෙන. ඒ ගියා විතරයි අවිශ්කගේ අම්මා දොඩම් වීදුරු  තුනකුත්  හදාගෙන ආවා. වාහනේ රියැදුරාටද සමඟින් ඇය දොඩම් සූදානම් කර තිබූ නිසා ගංගා ඇය දෙස බලා උන්නේ යම් පැහැදීමක් එක්කය.

” බඩු ටික උඩට ඇදගන්න මම පහල ළමයි දෙන්නෙක්ට  එන්න කිව්වා පුතේ .. එතකල් ඔහොම බා ගමු…”

ඕ එලෙස පවසමින් නිවස තුළට ගියාය. ගංගා අවිශ්ක වෙත සැනසුම තැවරුණු බැල්මක් හෙලුවාය. අවිශ්කද ඇය වෙත සිනාමුසු බැල්මක් හෙලුවාය.

සියල්ල පිළිවෙලට සකසා ගන්නා විට අවිශ්කගේ අම්මා රාත්‍රී ආහාරයද සකසා තිබුණි.

” දුවට මේ රසට කන්න පුලුවන්ද මන්දා … අද මහන්සි නිසා මම දෙන්නටම එක්ක ඉව්වා …”

ඕ එලෙස පවසද්දී ගංගාට යම් අපහසුවක්ද දැනුණි. වෘ ත්තියෙන් ගුරුවරියක වූ ඕ උස් හඬින් කතා බහ කරන්නේ ඒ පුරුද්දට මිසෙක , කෝපයකින් නොවන බව අවිශ්ක නිතරම පවසන අයුරු ඇයට සිහි විය.

පසුදින උදෑසන ගංගා පහල තට්ටුවට බැස්සාය, ඉරිදා දිනයක් වූ නිසා ඇයට නිවාඩු තිබුණි. අම්මා මිදුල අතුගාමින් උන්නාය, ගංගා ඇය වෙත ඇවිද ගියාය.

” නිවාඩු දවසේ පරක්කු වෙනකල් නිදාගනී  හිතුවේ මම .. තවම හය හමාරට නෑනේ දුව …”

ඇය එලෙසින් පවසද්දී ගංගා සිනාසුණාය.

“පුරුද්දට හය වෙනකොට ඇහැරෙනවා අම්මේ … “

” එහෙනම් තේ හදාගන්න.. උදේට මම කිරිබත් කන්න ඉන්නේ අද ..ඔය දෙන්නාත් කිරිබත් කනවා නම් මම එහෙමම  හාල් ලිපේ තියන්නම් …”

ගංගා හිස සැලුවාය.  අම්මා සමඟ ජීවිතය කලබලකාරී නොවන වග ගංගා වැඩි දිනක් නොගොසින්ම වටහා ගත්තාය. ඕ කිසි දිනෙක තමා සහ අවිශ්ක අතරේ සිටගන්නට උත්සාහ කලේ නැත. ඇගේ බලතල තමන් දෙදෙනා මත පටවන්නට උත්සාහ කලේද නැත. තම අඩුපාඩු ලොකුවට දකිමින් අවිශ්ක සහ තමා අතරේ ඝට්ටන තැනුවේද නැත.

කාන්තා සමූහ වල පෙනී සිටින නැන්දම්මලාට වඩා මේ අම්මා වෙනස් බව ගංග වටහා ගත්තාය. ඉන් පසුව වසර දෙකක්ම යනතුරු කිසිඳු  ගැටලුවක් නැතිවම ඔවුහු ජීවත් වූහ.

අවිශ්කගේ අම්මාගේ වැඩිමහල් සොයුරාගේ බිරිඳ මාස කිහිපයකට අවිශ්කගේ අම්මා සමඟ නැවතෙන්නට ආවේ ඒ අතරය.

” මට විනටර් එකේ එහෙ ඉන්නම බෑ.. ඒ නිසා මම අයියාව විතරක් යැව්වා…”

විදෙස්ගතව සිටින පුතු  වෙත නොගොස් සිටීමට හේතුවක්ද ඇය කීවාය. එහෙත්, ඒ සත්‍යම හේතුව නොවන බව අවිශ්කගේ අම්මා දැන උන්නාය. මෙවෙලෙහි ඒවා ඇද කලබල කරගන්නට අවැසි නොවන නිසාම ඕ නිහඬවම උන්නාය. අයියා වෙනුවෙන් ඇය ට හැකි උපරිමයෙන් සැලකුවාය.

ලොකු නැන්දාට පිටුපාන්නට නොහැකි කමට එකඟ වූවාට, අවිශ්ක උන්නේ ඒ පැමිණීම ගැන අකමැත්තෙනි. ඇය කේසර අයියාගේ බිරිඳට දුන් මානසික වදයක්  ගැන අවිශ්කද දන්නේය. දැන් ගංගා කෙරෙහිද  යම් විෂ පහර එල්ල විය හැකි බව ඔහු නිකමට සිතා තිබුණි.

ගංගා නිවෙසට එන විට රාත්‍රී අටත් පසුව තිබුණි. ගත දොවාගෙන ආහාර ගන්නට ඇය එන තෙක්  අවිශ්ක සහ අම්මා බලා සිටීම පලමු විවේචනය ලෙසින් ඇරඹුණි.

” එතකොට නංගිද ලේලිට වැඩකාරකම් කරන්නේ ?…”

ඕ උස් හඬින්ම ඇසුවාය.

” මොනවාද අක්කේ මේ අහන්නෙ එ?.. අද දුවට පිටරට කම්පැණි එකක් එක්ක මීටින් එකක් .. ඉතින් ඒ ඔක්කොම වැඩ ඉවර කර එන්නේ ඔය ..නැත්නම් වෙනදාට පහ හමාර වෙනකොට එයා ගෙදර …”

ලොකු නැන්දා ඉන් නිහඬ වූවත්, ඉන් පසුවද  යමක් වෙනුවෙන් අර අදින බව අවිශ්ක ඉවෙන් මෙන් දැන උන්නේය. ගංගා මේසයට විත් හිඳ ගත්තාය.

” අනේ ඇයි අම්මේ තලප කූරු ගාන්න මහන්සි වුනේ … අම්මගේ කකුල් අමාරුව එක්ක …”

“: ඕක මහ අමාරුවක් නෙවෙයි .. රස්නෙන් කාලා ඉමු ….”

ඉන් පසුව ආහාර ගෙන නිම වෙනතුර වූයේ නිහැඬියාවය.

” අවිශ්ක දැන් බැඳලා අවුරුදුම තුනක් විතර නේ ..?’

සාලයේ හිඳගෙන සිටියදී ලොකු නැන්දා එලෙස විමසාගෙන එන විට අවිශ්කට මඟ හරින්නට හැකි වූයේ නැත.

” දෙක හමාරක් නැන්දේ …”

” තාම වෙනසක් නෑ ?…”

ඕ ගංගා දෙස බලමින් විමසද්දී, අවිශ්ක ගංගා දෙස සන්සුන්ව සිටින්නයැයි පවසන බැල්මක් හෙලුවේය.

” එහෙම එකක් නෑ නැන්දේ ඉතින් …”

” අවශ්‍ය ප්‍රතිකාරයක් තියෙනවා නම් බලලා කරගන්න .. නැත්නම් අර කේසර අහු වුනා වගේ වෙන මිනිස්සුන්ගේ ළමයින්ට නම් දෙන්න වෙයි …”

අවිශ්ක ඉවසීමෙන් උන්නේ අම්මා පෙනෙන්නට ආ නිසාය.

” කැත කතා කියන්න එපා නැන්දේ … දැන් තාක්ෂණය දියුණුයි .. නළ දරුවෝ හදනවා කියන්නේ ඔය කියනවා වගේ ජරා වැඩක් නෙවෙයි…”

” අනේ උඹලා දන්න තාක්ෂණ … මගේ බල්ලාවත් යන්නේ නෑ ඕකිගේ හොර පැටවු බලන්න …”

නැන්දා උස් හඬින් පවසද්දී අවිශ්ක ගංගාවද කැටුව උඩු මහලට ගියේය. අම්මා පසුදින උදෑසන උඩු මහලට ආවේ ගංගා නින්දෙන් නැගිටිද්දීමය.

” ලොකු නැන්දා යනකල්, ඔය දෙන්නා උඩ කුස්සියේ උයාගන්න .. බැරි දාට මම උයලා ගෙනල්ලා දෙන්නම් .. .. එලියේ පඩිපෙලින් ගෙට එන්න තියාගන්න …. ලොකු නැන්දාට තියෙන්නේ මහ විෂ තොල් දෙක්ක දුව .. ඔයා ඒ වචන අහන්නවත් ඕනි නෑ ..ඔය බඩේ ඉන්න පැටියාටත් ඇහෙනවා ඕවා …”

දෙමස් ගැබිණියකව සිටින ගංගාගේ හිස පිරිමැද පවසන අම්මා දෙස අවිශ්ක සෙනෙහසින් බලා උන්නාය.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles