“දැන් ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ බබා?”
“තාත්ති අහන දේ මට තේරෙන්නෙ නෑ”
“ඔය මනුස්සයව ඔයාට තවදුරටත් ඕන කියල ඔයා හිතනවද? මැරේජ් එකක් කියන්නෙ මේ ඔහොම දුක් විඳින්න ඕන එකක් ද බබා? මෙලො දෙයක් නැති, අම්මල අප්පලා කියන උන් නැති තැන්වල ගෑණු ළමයින් නම් තමන්ගෙ ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැති හන්දා දුක් විඳිනවා උනාට ඔයාට එහෙම ප්‍රශ්නයක් නෑනෙ”
“එහෙම දෙයක් නෑ තාත්ති” කියා කිව්වාට තාත්තා කියනවා වගේ අම්මා කියනවා වගේ තමන්ගේ හිත අස්සෙත් චිරත් එක්ක ඇති මේ සම්බන්ධය ගැන දැන් තියෙන්නේ මද අමනාපයක්, අකමැත්තක් නොවෙද කියන එක නොහිත ඉන්න මේධාවිණිට පුලුවන් උනේ නැත. මේ තමන් බලාපොරොත්තු උන, චිරත් තමන්ට දෙනවා යැයි පොරොන්දු වුණ විවාහය නොවන බව දැන දැනම, යටි හිත එය පිළිගනිද්දිම තාත්තා ඉදිරියේ බොරු කිව්වත් තමන් හිත ඇතුලෙන් ඒක පිළිගන්න බව මේධාවිණී නොදන්නවා නොවේ.
“එහෙම දෙයක් නෑ කියල බොරු කියන්නෙ මොකටද ළමයො? මොකෝ ඔහොම බොරු කරලා පරිස්සම් කරගන්න හදන්නෙ අරයා සිදුහත් කුමාරයද? අනික අපි පිට මිනිස්සුද? ඔයා අපි කියන දේ අහන්නෙ නැතුව ඕක කරගත්ත කියන බයිලා එක දැන් කියලා වැඩක් නෑනෙ. ඒක ඕල්‍රෙඩි වෙලා ඉවරනෙ. හැබැයි එහෙමයි කියල මට බෑ මේ ඔයා රෑ තිස්සෙ අසනීප වෙලා ඉද්දියි, උදේ දවල් හැම වෙලාවෙම ගෙදර වැඩයි දරුවගෙ වැඩයි කරගන්න මහන්සි වෙද්දි අර මනුස්සය මේ එයාගෙ කවදාවත් ඉවරයක් වෙන්නෙ නැති බිස්නස් අල්ලගෙන නටනවා බලන්න.
ඔයා ඔයාගෙ දරුවට කොච්චර ආදරේද මමයි අම්මිත් අපේ දරුවා ගැන හිතන්න ඕන නෙ. අපිට ඔයා ඇරෙන්න වෙන දරුවෙක් නෑ. එහෙම එකේ සැනසෙන්නයි වොරි වෙන්නයි අපිට ඉන්න එකම දරුවා ඔයා. අනික ඔයා මැරි කරලා යද්දිත් මම කිව්වනෙ ඔයාගෙ මැරේජ් එක ඇතුලෙ මොන දේ උනත් ඔයාව අපිට බරක් නෑ වගේම ඔයාට හැමදාමත් අපේ ගෙදර දොර ඔයා වෙනුවෙන් ඕන වෙලාවක ඕපන් කියල. ඔයා දැන්වත් තිරණයක් ගන්න. අනික මේ තාම ඔයාට වයස කීයද ළමයො. කසාද බැඳලා ළමේක් හදාගෙන දුක් විඳින්න ඕන වයසක්ද ඔය? මේ වයසෙදි එන්ජෝයි කරන්නෙ නැතුව බිස්නස් බදාගෙන ඉඳලා අන්තිමේ නිකන් වයසට ගිහින් මැරිලා යන්න තමයි වෙන්නෙ” කියා තාත්තා කියද්දිත් අම්මා උන්නේ ඒ වදන් වලට වචනයෙන් උත්තර නුදුන්න නමුත් හිස සලමින් ඔව් කියන ගමන් තමන් දිහා බලාගෙන බව මේධාවිණී දැක්කාය. අම්මාත් තාත්තත් කියන විදියට ඇත්තටම තමන් ගෙවන්නේ තමන්ට තරම් නොවන අන්දමේ දුක්ඛිත විවාහ ජීවිතයක්ද කියා හිතෙද්දී මේධාවිණීට මතක් වෙන්නේ මේ ගැන ආලෝකා එක්ක කතා කල අවස්තා වල ආලෝකා විසින් කියන්නට යෙදුණ කතාවන් ය.
“මං උඹට කළිනුත් කිව්වනෙ, උඹේ අම්මයි තාත්තයි උඹට ආදරේට ඕව කියනවා ඇති. මොන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණත් කැමති නෑනෙ තමන්ගෙ දරුවා දුක්විඳිනවා දකින්න. හැබැයි උඹට කිසිම අයිතියක් නෑ මේ වෙලාවෙ අම්මල තාත්තල හරියටම හරි චිරත් මේ උඹව කසාද බැඳගෙන උඹව ලොකු දුකක් අස්සෙ හිරකරලා කියල හිතන්න. මොකද චිරත්ව කසාද බැන්දොත් උඹ ඔය බඳින්න කලින් ගෙදරදි ගත කරපු ප්‍රින්සස් ට්‍රීට්මන්ට් එක්ක එන ලයිෆ් එක ලැබෙන්නෙ නෑ කියල දැන දැනමනෙ උඹ බැන්දෙ.
මතකනෙ උඹම මට කිව්වා චිරත් ලගෙ ගෙදර මුලින්ම ගිය වෙලේ උඹ කල්පනා කරා කියල කවුරු මොන දේ කිව්වත් උඹ ඔය අෆෙයාර් එක නතර කරන්නෙත් නෑ ඒ වගේම කොහොමහරි චිරත් එක්ක දුක්විඳලා හරි ගොඩ එනවා කියල. එහෙනම් මේ දැන් උඹ තේරුම් ගන්න ඕන දේ තමයි එක්කො උඹේ හිත වෙනස් වෙලා තියෙන්නෙ උඹ චිරත්ට කරල කියල තියෙන්නෙ බොරුවක් කියන එක විත්තිය”
ආලෝකා එදා එහෙම කියද්දී තමන් වහා ඔලුව උස්සා “මං කවදාවත් චිරත්ට බොරුවක් කරල කියලා නෑ. මම ඇත්තටම චිරත්ට ආදරෙයි. එදා වගේම අදත්. සමහර විට ඉස්සරටත් වඩා” කිව්ව අයුරු මේධාවිණීට තාම මතකය.
“එහෙනම් මෙතන ඇත්තටම තියෙන්නෙ උඹ ඕනවට වඩා උඹෙයි චිරත්ගෙයි කසාදෙ අස්සට උඹේ අම්මගෙයි තාත්තගෙයි ඔපිනියන්ස් වලට රිංගන්න දෙන එක නෙවෙයිද?” කියා ආලෝකා අහද්දී තමන් නිහඬවම ඒ ගැන කල්පනා කල එක පවා මේධාවිණීට මතකය. ඒත් හිත තිබුනේ වඩා අම්මලා කියන දේ ඇත්ත කියන එක පිළිගන්න පැත්තට බරවීය.
“එහෙම දෙයක් නෑ තාත්ති. චිරත්ට මේ දවස්වල ටිකක් ගෙදර ඉන්න අමාරුයි එයාගෙ බිස්නස් එකේ තාම ඉතින් ස්ටාටින් පොයින්ට් එකනෙ” කියා චිරත්ගේ පැත්තට කතා කලේ හිත අස්සේ කෙලවරක සැඟවී උන්න එදත් අදත් චිරත්ට ආදරය කල, ආදරය කරන පරණ ආදරබර මේධාවිණිය. ඒ වදන් පේළිය අවසන් වෙද්දි මනුර සුමතිපාලගේ කටෙන් නික්මිච්ච සමච්චල් සහගත හිනාව කෑම මේසයට වාඩි වී පිඟාන දිහා බලාගෙන කල්පනා කරමින් උන් මේධාවිණීවත්, මේධාවිණී දිහා බලාගෙන කල්පනා කරමින් උන් කමලිනීවත් තප්පරේකට තිගස්සවන්න හේතු වුණි.
“ස්ටාටින් පොයින්ට් එක?” කියා මනුර කතාව මගින් නතරකර මේධාවිණි දිහාවටත් කමලිනී දිහාවටත් මාරුවෙන් මාරුවට ඇස් යැව්වේ ඒ සමච්චල් සහගත බව තමන්ගේ වචන වලත්, හිනාවේත්, බැල්මේත් ඕනවටත් වඩා හොඳින් තවරා ගනිමින් ය.
“එයාගෙ බිස්නස් එකේ ස්ටාටින් පොයින්ට් එකක් විතරනෙ ඉතින් හැමදාම තිබුණෙ. ඔයාම ඔයාගෙ කටෙන් කී පාරක් නම්. කොච්චර කාලෙකට කලින් ඉඳල මට ඔය මනුස්සයගෙ බිස්නස් එකේ ස්ටාටින් පොයින්ට් එක ගැන කියනවද? ඕව කියන්න හොඳයි ඔය කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න. මේධා මේ, ඔයාගෙ තාත්ති කියන්නෙ මේ බිස්නස් ෆීල්ඩ් එකට අලුත් මනුස්සයෙක් නෙවෙයිනෙ. මම බිස්නස් එකක ස්ටාටින් පොයින්ට් එක මොකද්ද, බිස්නස් එකක් දියුණු කරගන්න කොච්චර කාලයක් යනවද කියල නොදන්න මනුස්සයෙක් නෙවෙයිනෙ. එහෙම එකේ මට බිස්නස් ගැන උගන්නන්න එන්න එපා. මම බිස්නස් ගැනත් දන්නවා. මනුස්සය ගැනත් දන්නවා.
මම කැමති නෑ ඔයා මේ හැමදාම ප්‍රශ්නයක් වුනාම අඬ අඬ අම්මිට කෝල් දිදී ඉන්න එකටයි. උදව්වට කවුරුවත් නැතුව ලෙඩක් දුකක් වෙච්ච දවසට මේ වගේ අසරණ වෙලා අපිට ගිහින් ඔයාව එක්කරගෙන එන්න වෙනවටයි. එහෙම දේවල් කරන්න නම් මොකටද ළමයො අපි ඔයාව කසාද බන්දල දුන්නේ? හරි පිස්සුවක්නෙ මේ කසාද බන්දල දුන්නයින් පස්සෙ අම්මල තාත්තලට දරුවො පස්සෙ ඉන්න වෙනවනම් උන් අඬනවද හිනාවෙනවද කියල හොය හොය ඉන්න.
මෙච්චරයි මම ඔප්ශන් දෙකක් දෙන්නම් බබා. එක්කො ඔයා චිරත්ට කියන්න අපි මුලින් කිව්ව විදියට අපේ බිස්නස් එකට ජොයින් වෙන්න කියල. එහෙම නැත්තම් හොඳින් හෝ නරකින් මට සිද්ද වෙයි මගේ දරුවගෙ සතුට සැනසීම ගැන හිතලා තීරණයක් අරගන්න. ඒ මිනිහට තමන්ගෙ ගෑණිගෙ සිටුවේශන් එක තේරුම් ගන්න බැරි උනාට මට මගේ දරුවගෙ සිටුවේශන් එක ගැන තේරෙන්නෙ නැත්තෙ නෑ පුතා. මම කැමති නෑ ඒ මනුස්සය එක්ක මේ ගැන කතා කරන්න තියා මිනිහගෙ පැත්තක්වත් බලන්න. ඔය මැරේජ් එක ගැන කතාකරගන්න ආව මුල් කාලෙම මිනිහව දැක්ක වෙලේම මම කිව්වනෙ ඔයාට ලොකු දුකක් විඳින්න වෙයි කියල ඔය කසාදෙ කරගත්තොත්. ඔයා ඇහුවෙ නෑ මං කිව්ව දේ. ඒ දවස්වල ඔයාලා මේ ආදරේ කියන්නෙ මාර ලොකු දෙයක් කියලනෙ හිතුවෙ. ආදරේ ඕගොල්ලන්ට කන්න දෙනවද බබා? ආ? දැන්වත් ඒක තේරුම්ගන්න.නැත්තම් අන්තිමේ දුක් විඳින්න වෙන්නෙ තමුන්ට විතරක් නෙවෙයි අර අහිංසක කෙල්ලටත් දුක් විඳින්න වෙනවා. හරිහමන් අර්නින් එකක් නැතුව ළමයි හදලා අනේ මන්දා” කියාගෙන මනුර සුමතිපාල කෑම අවසන් කර කෑම මේසයෙන් නැගිටිද්දී කමලිනීත් මේධාවිණීත් හිඳගෙන උන් තැනින් නැගිට්ටේ පුරුද්දට වගේය.
පෙත්මලීට සෝමා එක්ක වත්තේ සෙල්ලම් කරන්නට හැර කාමරයට ගිය මේධාවිණී ඇඳේ වැටී කල්පනා කලේ ඇත්තටම ආලෝකා කිව්ව විදියට තමන්ට මෙච්චරටම හිත රිද්දගන්න, මෙච්චරටම චිරත්ව එපා වෙන්න වෙන්න තිබ්බ හේතුව මොකද්ද කියන එක.
ඊයේ රැයේ හොඳටම ඔලුව කැක්කුම හැදී ඉද්දි චිරත් කෝල් කර බවත්, අමාරු හන්දා තමන් හෙට කතා කරන්නම් කියා දුරකතනය තිබ්බ බවත් මතක් වුණේ ඒ වෙලාවේය. ඒ මතකය ඔස්සේ ආයෙ දුරකතනය අතට ගනිද්දි තමන්ට චිරත්ව මොහොතකට හෝ අමතකව ගියත් ඔහු තමන්ව අමතක කර නැති බව පෙන්වන මග හැරුණු ඇමතුම් සහ කෙටි පණිවිඩ වල සාධක ඕන තරම් දුරකතන මුහුණත මත ඇඳී තිබුණි.
ඒත් මේධාවිණී උන්නේ දෙගිඩියාවකය.
චිරත්ට අමතා තමන් කිව යුත්තේ කුමක්ද කියන එක ගැන දෙගිඩියාවකය.