ජීවිතය කවියක් නොවේ – 5

0
3342

“ නිර්මිතා කතා කලේ.අනේ මන්දා එයාටත් මොනවා වෙලාද කියලා.ඊයේ එයා පිරිමියෙක් වගේ බිව්වේ..මං ඔෆිස් එකේ අයගෙන් කවර් කරගන්න සෑහෙන්න ට්‍රයි කලා.එයාට වෙච්ච දේවලුත් එක්ක තමන්ගේ ආත්ම ගරුත්වය ගැන මීට වඩා හිතන්න ඕන ධනා..වෙලාවක් තිබුණොත් අපි හවස යමුද නිර්මිව  බලලා එන්න.”

හසාරා විමසූයේ කිසිදු වෙනසක් නොපෙන්වාය..කොහොමත් ඉඳහිට දෙදෙනා අතර ඇතිවන පුංචි ගැටුම් දුරදිග ගෙනියන්නට ඇය කැමති වූයේ නැත.

“ බලමු…”

ධනංජයගෙන්  ලැබුණේ කෙටි පිළිතුරකි.ඒ හා සමගම කන්නාඩිය ඉදිරිපිට සිටගත් ඔහු සිය හිස කේවල වූ වතුර බිඳු ගසා දැමුවේ ඇඟිලිතුඩු  වලින්ය.වෙනදා නම් ඇය මෙවේලෙහි ඔහු පිටුපසින් ගොස් ඒ ගත බදාගෙන  ඔහුට තුරුළු වන්නට දෙපාරක් සිතන්නේ නැත.ඉන්පසු දෙදෙනා අතර ඇතිවන සොඳුරු ආලිංගනයට වේලාවක් අවේලාවක් නොවේ.එහෙත් වෙනදා නොදුටු ධනංජයගේ නොසන්සුන් ස්වරූපය  නිසා ඇයට එසේ කිරීමට තරම් සිතක්  වූයේ නැත. තවමත් ඔහු සිටින්නේ ඇගේ දෑස් බැල්ම මගහරිමින්ය.

“ උදේට කන්න කිරිබත් හදන්නද ..මං ඔයා නැගිටිනකල් බලාගෙන හිටියේ..”

එවරත් ධනංජය හිස වනා එකඟත්වය පල  කලා පමණි. හසාරා ආපසු හැරුනේ තැඹිලි වීදුරුව බී කිචන්  එකට එන්න යැයි පවසමින්ය.

සිය බිරිඳ කාමරයෙන් පිටව යනතුරු කණ්ණාඩියට එබී  උන් ධනංජය ආපසු හැරුණේ තැබිලි වීදුරුව එක හුස්මට හිස් කරමින්ය.බඩ දැවිල්ලත් ගතෙහිවන අප්‍රාණික බවත් ඉන් පහව යාවියැයි  ඔහු විශ්වාස කළේය.හසාරා කිසිවක් නොවිමසා සිටීම ඔහුගේ සිතේ ඇති කළේ කුතුහලයකි.”කපටි ගෑණි…” යළිත් ඔහු සිතුවේ සිතෙහිවන අපැහැදීමට හිස ඔසවන්නට ඉඩ දෙමින්ය.ඇයව උත්සව ශාලාවේ තනිකර ඒම ගැන ඕ කෝපයෙන් ඇතැයි ධනංජය සිතුවේය.වෙනදා පුංචි වෙනසටත්  එල්ලි එල්ලී පස්සෙන් එන ගැහැණිය මේ සා  නිහඬ වූයේ ඇයිදැයි ඔහු සිතුවේ ඇඳ මත තබා තිබූ කොට කලිසමත්  අත් රහිත කමිසයත් අතට ගන්නා ගමන්ය.තත්පරයකින් වෙනස් වූ සිතුවිල්ලකට අනුව ඔහු යළිත් එය ඇඳ මත තබා අල්මාරිය විවර කළේය.තද නිල් පැහැ ඩෙනිම් කලිසමත් පෝලෝ  වර්ගයේ උඩුකමිසයත් අතට ගත්තේ ඉන් පසුවය.

ඔහුට තම සිතුවිලි වෙනස් වනතුරු කාලය ගත කරන්නට වුවමනා වූයේ නැත. ඇඳුම ඇඟලා ගත් තරුණයා පහත මාලයට බැස්සේ වාහනයේ යතුරත් සිය දකුණතෙහි රඳවාගෙනය.විසිත්ත කාමරයේ මේසය මත වූ මල් කලඹත්, සම්මානයත් ඔහුගේ ඇස ගැටුණේ ලී පඩි පෙළ දිගේ පහත මාලයට බසිද්දීය.යළිත් පෙර වූ අපැහැදුම් හැඟීම ඔහුගේ සිත දවාලන්නට විය. හසාරාට නොකියාම ගෙදරින් පිටවන්නට සිතුනත් අවසන ඔහු ඒ තීරණය වෙනස් කළේය.රෑ ඇඳුමට උඩින්  ඒප්‍රණය ඇද උන් හසාරා විසිත්ත කාමරය දෙසට ඉක්මන් අඩි තබා ඇවිද ආවේ ධනජය ‘ හසාරා…’  යැයි දෙතුන් වරක්ම කෑ ගසද්දීය.

“ ඔයා කොහෙද මේ යන්න ලෑස්ති වෙන්නේ…”

“ පොඩි වැඩ වගයක් තියෙනවා හසාරා මං එළියට යනවා.මටත් එක්ක කෑම තියන්න එපා.”

“ ඉතින් උදේට කාලේ යන්න.බත් එකට කිරිත් දාලා තියෙන්නේ.මං ලුණු මිරිස කොටන ගමන් හිටියේ ..”

“ මට එපා.පරක්කු වෙනවා…”

“ ඔයා උදේ කිව්වෙ නෑනේ එහෙම හදිස්සියේ එළියට යනවා කියලා.”

“ ඔව් මේක මේ දැන්  වැටිච්ච වැඩක් “

“ ඔෆිස්  එකටද යන්නේ….”

“ නෑ..”

“ ධනා….”

එවර හසාරා ඉදිරියට පැමිණ නතර වූයේ ඔහුගේ මග අහුරාලමින්ය.කිසිවක් නොවිමසා  සිටියාට ඇය සිටියේ සිත් හොඳකින් නොවේ.

“ ඇයි…”

“ මගෙන් ඔයාට මොනවා හරි වරදක් උනාද.දවස් දෙක තුනක ඉඳලා ඔයාගේ ලොකු වෙනසක් තියෙනවා.නැත්තං මට කියන්න බැරි මොනවා හරි දෙයක් ඔයා හිතේ තියාගෙන ඒ ගැන හිතනවද.කවුරු හරි මොනවා හරි කිව්වද….ඇගේ දෑස්වල වූයේ කදුළකි…”

“ ඔයාට පිස්සු හසාරා තේරුමක් නැති දේවල් අහලා කාලේ නාස්ති කරන්න එපා.”

“ මට ඇහුම්කන් දෙන එක මීට කලින් කවදාවත් ඔයා කාලේ නාස්තිවීමක් කියලා හිතුවේ නැහැනේ.ධනා ප්ලීස්..අපි දෙන්න අතර කවදාවත් රහස් තිබුණේ නැහැ.මොකද උනේ කියල මට කියල යන්න..මට හරි දුකයි…”

හසාරා එසේ විමසුවේ දෑත් දෙපසට දිගු කර  ඔහුගේ දෑත් වලින් අල්ලාගෙනය.හීන් සීරුවේ නොදැනෙන අයුරින් ඔහු තමාගේ දෑත් ඇගේ දෑත් වලින් මුදාගන්නා අයුරු හසාරාට නොතේරුණා නොවේ.

“ මං ගිහිල්ලා එන්නම්….”

“ පරිස්සමෙන් ධනා…ඔයා යන්නේ කොහේ වුණත් ඒ මට කියලා යන්න අකමැති තැනක්.ඒ හින්ද මං අහන්නේ නෑ.වෙනදා කවදාවත් මං අහනකං හිටියේ නෑ ඔයා ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම මමත් එක්ක කිව්වා.”

කොහොමටත් ගැහැණුන් යනු වදනකින් ඉරියව්වකින් පසුබා ගන්නා අයවලුන් නොවේ.මෙවේලෙහි ඇයට ඇවැසි වූයේ කෙසේ හෝ ඔහුව කතා කරවන්නටය.

“ විකාර මනස්ගාත ඔලුවට දාලා බොරුවට කියවන්න එපා උදේ පාන්දර.ඔයා බොස් වෙන්නේ ඔෆිස් එකට විතරයි.මට ඔයා බොස් නෙමෙයි…”

ධනංජව වේගවත් පියවර තබමන් නිවසින්  පිට වූයේ එසේ පවසමින්ය.හසාරා උන් තැනම ගල් ගැසී බලා සිටියේ කෙදිනකවත් නොවූ පරිදි ඔහුගේ මුවින් පිටවී තමාට ඇසුණු ඒ වදන් පිළිබඳව අවිශ්වාසයකින් සේය.

ඉන්පසු ඇසුණේ හයිබ්‍රිඩ් වර්ගයේ කාරය සැර දමා පිටව යන අයුරුය.එහෙමම කෑම මේසයෙහි  පුටුවක් පසෙකට ඇද ඉඳගත් හසාරා යළි නැගී සිටියේ කිරිබතෙහි රොස්ගඳ සිය නාස් පුඩු වලට හොඳින් දැනෙද්දීය.

හදිසියේ ඇතිවූ සිතුවිල්ලකට නිවසින් පිට වූවාට ධනංජයට කළ යුතු විශේෂ වැඩක්වත් හමුවීමට විශේෂිත වූ අයෙක්වත් සිටියේ  නැත.අවසන ඔහු මාර්ගය අයිනේ වූ විසල් මාර ගසක් යට රිය නවතා ගත්තේ ය.

“ මොනවද අප්පා මේ වෙන්නේ…ඇයි මං හසාරාට  එහෙම කතා කලේ.ඒක වැරදියි.ඒ උනත් මං දන්නෑ මට ඊයේ පෙරේදි ඉඳලා හසාරව පෙන්නන්න බෑ.හැමදේටම වඩා මට දිරවන්නේ නැත්තේ ඒකිගේ ලොකුකම. ඒකි එනවා මාව ගයිඩ් කරන්න…මේ හැමදේටම වැරදිකාරයා මම.මමයි හසාරාව නවත්තන්න උත්සාහ කලේ නැත්තේ.මේවට දඬුවම් දෙන්න ඕනේ හසාරාට  නෙමෙයි මටමයි..”

අවසන ඔහු සිතුවේ සිය නළලත දෑගිලි වලින් පොඩි කර ගන්නා ගමන්ය. ධනංජයට විශ්ව විද්‍යාලයේ උන් මිතුරාව සිහි වූයේ ඒ හදිසියේමය.දෙවරක් නොහිතා ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ නැවත නිවසට යනවාට වඩා ඔහුව හමුවීම හොඳ යයි සිතුනු නිසාය.ධනුෂ්ක තවමත් තනිකඩයකි.

“ මචං….මමත් උඹට කතා කරන්න හිටියේ. කෝ හසාරා  ඉන්නවද.අද උදේ තමයි මම ෆෝන් එකේ නිවුස් එක දැක්කේ.කෙල්ල කොහොම හරි ටාගට් එකටම ගියා නේද..ෆෝන් එක ඔහොමම  දීපං බං විෂ් කරන්න..”

“ මෙතන හසාරයෙක් නෑ බං.උඹ  ඔය කොහෙද ඉන්නේ?..”

හසාරාට සුබ පතන්නට බොහෝ දන්නා හඳුනන මිතරන් කතා කලේ ඔහුටය.විටෙක දුරකතනය පොළවේ ගසන්නට තරම් සිතුවිලි ආවේගශීලී වුයේ එනිසාය.

“ බෝඩිමේ”

“ උඹ අද කොහේ හරි යනවද..”

“ එහෙම යන්න කියලා නම් විශේෂ තැනක් නෑ.ඇයි උඹලා පාටියකට  ඉන්වයිට් කරන්නද හදන්නේ.”

“ මඟුලේ පාටියක් නෙමෙයි බං.මං ඔය පැත්තෙ එන්නද කියලා අහන්න හැදුවේ.”

“ වරෙන් වරෙන්…තනියමනේ..හසාරවනං එක්කන් ඉන්න එපා බං .බෝඩිම අස්  කරලා නෑ ඇඳුම් දාපු දාපු තැන් වල…”

“ මං විතරයි එන්නේ.උඹ මොකුත් ලෑස්ති කරන්න එපා.මං කන්නයි බොන්නයි දෙකම අරන් එන්නේ..”

“ මචං ධනා උඹ හොඳින්ද….”

“ හොඳින් කියල කියන්නත් බෑ බං අපි ආවට පස්සේ කතා කරමු..”

මුලින්ම දුරකථනය විසන්ධි කර දැමුවේ ධනංජය.ඔහු මුහුණු පොත ගිණුමට පිවිසියේ නිකමටය.දන්නා හඳුනන සෑම බිත්තියකම හසාරාගේ සිනහමුසු මුහුණය.සියල්ලෝම ඇයට සුභ පැතුම් එක් කොට තිබිණ.පෙරදාරාත්‍රියේ රූපවාහිනී පුවත් වලත් ඇය සම්මාන ලබා ගන්නා අයුරු පෙන්වා තිබූ බව ධනංජය දැනගත්තේ එවේලෙහිය.මුහුණු පොත ගිණුම අවහිර කරමින් දුරකථනයේ දිස් වූයේ අම්මාගේ අංකයයි.

“ලොකු පුතේ ගෙදරද ඉන්නේ….”

“ නෑ අම්මා මං මේ ටිකකට එළියට ආවා.”

“ හසාර දුව ඉන්නවද ඔතන.”

“ නෑ එයා ගෙදර..”

“ ආං.. අපි දුවව ටීවී එකේ දැක්කා.තාත්තා මේ දැන් ගිහිල්ලා පත්තරෙත් අරගෙන ආවා.හරි සතුටුයි පුතේ.හසාරා දුව  දැන් අපේ දරුවෙක්.ඒක අපිට ලොකු ආඩම්බරයක්.නංගීයි  මල්ලිත් ඔයාට කතා කරා කිව්වා.ෆෝන් එක රිං උනාට ඔයා ආන්සර් කරේ නෑලු.ඊට පස්සේ දුවට කතා කරලා තිබුණා….”

“ ඔව් ටිකක් නින්ද ගියා අම්මේ පරක්කු වෙලා ඇහැරුණේ.”

“ ඒක තමයි මම ඒත් කිව්වා ඊයෙ ගෙදර එද්දි පාන්දර වෙන්න ඇති කියලා.හරි පුතේ පුතා පරිස්සමට ගෙදර යන්න මම හසාර දුවට කතා කරන්නම්.අපි මේ සති අන්තෙ ඇවිල්ල යන්න කියලා බැලුවේ.”

“ඇයි හදිසියේ”

“ මේ ලෝකයක්ම දිනුවේ අපේ දරුවෙක්නේ පුතේ ඉතින් අපි නෑවිදින් කොහොමද.හසාර දුව උනත් මොනව හිතයිද අපි නෑවිදින් හිටියොත්.මං කැවිලි  ටිකක් හදාගන්න මැගි නැන්දටත් එන්න කියලා කිව්වා.අපිට කරදරයක් නෙමෙයි.සමහර විට නංගියි  මල්ලීත් එදාට එයි.”

දිගු සුසුමක් මුදා  හැරියා මිස ධනංජය කිසිවක් නොකීවේය.සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකු වූ පියාත් ගෘහණියක වූ මවත් අහිංසක සිත් ඇත්තවුන්ය..ලොකු නංගී විවාහ වී මාතලේ පදිංචිව සිටි අතර මල්ලි වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේය.යළිත් වරක් හඳුනාගත නොහී වූ ඒ වේදනාත්මක රිදුම ධනංජයගේ ලය පාරවන්නට විය.දෙවරක් නොසිතා ඔහු මහා මාර්ගයට රිය අවතීර්ණ කළේ මිතුරාගේ බෝඩිමට යන්නට සිතාගෙනය.

( යළිත් හමු වෙමු….)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here