අවුරුදු කෑම මේසයට සාම්ප්‍රදායික ඉන්දියානු තන්දූරි චිකන් හරියටම හදමු..

තෝසෙ, පරාටා, බිරියානි වගේ සාම්ප්‍රදායික ඉන්දියානු කෑම බීම අතර නිතරම කියවෙන අතිශය ජනප්‍රිය කෑමක් තමයි තන්දූරි ක්‍රමයට හදන කුකුල් මස් කියන්නෙ.

විවිධ ආපනශාලා වලින් විවිධ විදිහට පිළියෙල කරපු තන්දූරු චිකන් වගේම නිවසේදී පිළියෙල කරගත්තු තන්දූරි චිකන් පවා ඔබ රසවිඳල තියෙනව ඇති.

හැබැයි, හරියටම සාම්ප්‍රදායික තන්දූරි චිකන් හදාගන්නෙ කොහොමද කියල දැනගන්න කැමති smart ඔබ වෙනුවෙන් තමයි අපි අද මේ ලිපිය අරගෙන ආවෙ.

නිවසේදීම බොහොම රසවත්ව, පිරිසිදුවට පෝෂ්‍යදායී විදිහට තන්දූරි චිකන් හදාගන්න හරිම පහසුයි කියල මේ ලිපිය කියවන ඔබට තේරුම් ගන්න පුළුවන්.

සාම්ප්‍රදායික තන්දූරි චිකන් හදන්න ඒ සඳහාම ආවේණික කුළු බඩු භාවිතා කරනවා. ඒව සොයාගන්න ඔබට අපහසු නම් ඒ සඳහා ආදේශක වුනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් තන්දූරි චිකන් රස හරියටම ලබාගන්න නම් ඒ ඒ කුළුබඬු සොයාගන්න හැකි තරම් උත්සහ කරන්න කියලත් අපි මතක් කරන්න කැමතියි. 

මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

තන්දූරි චිකන් සඳහා 

සම ඉවත්කර ගත් සම්පූර්ණ කුකුල් කකුල් 06 ක්

සම්පූර්ණ යොදය සහිත යෝගට් කෝප්ප ¾ ක්

අබ තෙල් (mustard seed oil) මේස හැඳි 03 ක්

ගරම් මසාලා මේස මේස හැඳි 01 ක්

කොත්තමල්ලි කුඩු මේස හැඳි ½ ක් 

කාශ්මීර් මිරිස් කුඩු (kashmiri chili powder) තේ හැඳි 1 ¼ ක්

තලාගත් සුදුළූණු මේස හැඳි 01 ක්

තලාගත් ඉඟුරු මේස හැඳි 02 ක්

කහ කුඩු තේ හැඳි 01 ක්

සූදුරු කුඩු (cumin powder) තේ හැඳි ½ ක් 

සුදුළූණු කුඩු (garlic powder) තේ හැඳි ½ ක්

(සුදුළූණු සහ ලොකු ළූණු සිහින්ව කපාගෙන වට්ටියක අතුරා මඳ අව්ව වැටෙන් ස්ථානයක තබා සුදුළූණු සහ ලොකු ළූණු වල වතුර ඉවත්වී රන්වන් පැහැයට වේලුණු පසු බ්ලෙන්ඩරයක් භාවිතා කර කුඩු කරගෙන සුදුළූණු කුඩු සහ ළූණු කුඩු සාදාගන්න ඔබට පුළුවන්.)

ලූණු කුඩු (onion powder) තේ හැඳි ½ ක් 

ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක් 

මහදුරු කුඩු තේ හැඳි ¼ ක් 

ලුණු කුඩු තේ හැඳි 01 ක්

ලෙමන් යුෂ මේස හැඳි 03 ක්

රතුපාට ආහාර වර්ණක තේ හැඳි ½ ක් හෝ අබ තෙල් මේස හැඳි 02 ක දිය කරගත් කාශ්මීර් මිරිස් කුඩු තේ හැඳි 01 ක්

ගිතෙල් මේස හැඳි 01 ක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට යෝගට්, ලෙමන් යුෂ, තලාගත් ඉඟුරු සහ සුදුළූණු  එකතු කර හොඳින් කලවම් කරගන්න. 

එයට ගරම් මසාලා, කොත්තමල්ලි කුඩු, කාශ්මීර මිරිස් කුඩු, කහ කුඩු, සුදුළූණු සහ ළූණු කුඩු ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, සූදුරු සහ මහදුරු කුඩු එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. 

ඔබ වර්ණ ගැන්වීමට භාවිතා කරන්නේ කෘතිම ආහාර වර්ණක නම් ඒවාත් මේ මිශ්‍රණයටම එකතු කර කලවම් කරගන්න. 

දැන් සූදානම් කරගත් කුකුල් කකුල් වල පිහියකින් හරහට ඉරි 03 ක් 04 ක් පමණ කපාගන්න. 

(කුළුබඩු කුකුල් මස් වලට හොඳින් උරා ගැනීම සඳහා)

දැන් පිළියෙල කරගත් කුළුබඩු මිශ්‍රණය කුකුල් මස් වල සෑම තැනම හොඳින් ආලේප කරගන්න. ඉරි කපාගත් තැන් වලින් ඇතුලට කුළුබඩු මිශ්‍රණය ආලේප කරන්න අමතක කරන්න එපා. 

පොලිතින් ආවරණයකින් හොඳින් ආවරණය කර පැයක් පමණ ශීතකරණයේ තබාගන්න. (පැය 36 ක් දක්වා තබාගන්න පුළුවන්)

ශීතකරණයෙන් ඉවතට ගෙන කාමර උෂ්ණත්වයට පැමිණෙන තුරු පැය භාගයක් පමණ තබන්න. 

දැන් වාත්තු යකඩ හෝ වෙනත් ඝනකම් භාජනයක් ලිපතබා එයට තෙල් මේස හැන්ඳක් ඉසගන්න. 

තෙල් රත්වූ පසු කාමර උෂ්ණත්වයේ ඇති කුකුල් කකුලක් තැටියට දමා එක් පැත්තක් විනාඩි 03 ක් 04 ක් පමණ පුළුස්සා ගන්න. ඔබ කැමති නම් අඟුරු පැහැයට කුකුල් මස් කැබැල්ලේ සමහර තැන් පිලිස්සෙන තෙක්ම තබාගන්නත් පුළුවන්. 

කුකුල් මස් කැබැල්ල අනෙක් පැත්ත හරවා එලෙසම පුළුස්සා ගන්න. 

(කුළුබඩු මිශ්‍රණය නැවත කුකුල් මස් වල ගෑමෙන් වැලකිය යුතුයි)

දැන් air fryer යට දමා ෆැරන්හයිට් 400 උෂ්ණත්වයේ විනාඩි 15 ක් හෝ අවන් එකට දමා ෆැරන්හයිට් 400 උෂ්ණත්වයේ විනාඩි 20 ක් 25 ක් පමණ බේක් කරගන්න. 

ඔබ වර්ණකය ලෙස පාවිච්චි කරන්නෙ කාශ්මීර් මිරිස් කුඩු නම් එය අබ තෙල් සමඟ  මිශ්‍රකර බේක් කරගත් කුකුල් මස් කැබලි උඩින් ආලේප කරගන්න. 

ඔබට සාම්ප්‍රදායික අඟුරු රස ලබාගන්න අවශ්‍ය නම් පිළිඟැන්වීමට කුකුල් මස් කැබලි ඇතිරූ භාජනයේ පසෙකින් කුඩා යකඩ හෝ ඇළුමිනියම් භාජනයක් තබා එයට අඟුරු කැබලි දෙකක් දමාගන්න.

අඟුරු කැබලි මතට ගිතෙල් මේස හැන්ඳක් දමා එසැනින් සම්පූර්ණ කුකුල් මස් පිඟානම ෆොයිල් කොළයකින් සීල් කර වසා විනාඩි 08 ක් 10 ක් පමණ තබා ෆොයිල් කොලය ඉවත්කර පිළිඟන්වන්න. 

අඟුරු කැබලි දැල්වී අවසන් වී සුදු පැහැ කුඩු ලැබෙන තෙක් තබන්න. 

තන්දූරි චිකන් එක්කම හරි හරියට රස ගැළපෙන චට්නි එකකුත් හදාගත්ත නම්නෙ සම්පූර්ණ ඒ නිසා ඒ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියලත් අපි බලමු.

චට්නි සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය 

සම්පූර්ණ යොදය සහිත යෝගට් කෝප්ප 01 ක්

ලෙමන් යුෂ මේස හැඳි 03 ක්

සුදුළූණු බික් 01 ක් 

ගරම් මසාලා තේ හැඳි ½ ක්

කොත්තමල්ලි කුඩු තේ හැඳි ½ ක්

ලුණු කුඩු තේ හැඳි ½ ක්

වතුර මේස හැඳි 03 ක්

නැවුම් මින්ට් කොළ කෝප්ප ¼ ක් 

නැවුම් පාස්ලි කොළ කෝප්ප ¼ ක්

සාදාගන්නා ආකාරය

මේ සියල්ලම බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍රකර ගන්න. 

ඔබ කැමති නම් පිළිඟන්වන විට ගම්මිරිස් කුඩු ටිකක් උඩින් ඉසගන්නත් පුළුවන්.  

එහෙනම්, හදල බලමුද හරියටම තන්දූරි චිකන්?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles