ජීවිතය කවියක් නොවේ – 8

0
137

විසිත්ත කාමරයේම වූ  පුටුවක් තමාගේ දෑස් පිය වුණේ කුමන මොහොතකදැයි මතකයක් හසාරාට වූයේ නැත.පෙරදා රාත්‍රියත් අවදියෙන් ගතකල නිසා ඕ උන්නේ වෙහෙසකරවය..පසෙක වූ ජංගම දුරකථනයෙන් වේලාව බැලූ  හසාරා  තමාටම දොස් පවරා ගත්තාය. වේලාව  මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුණත් ධනංජය නිවසට පැමිණි බවක සේයාවක්වත් වූයේ නැත. සියලු විදුලි පහන් දල්වා තිබුණ ද  ඒ විසල්  තෙමහල් නිවසේ අන් කවරදාකවත්  නොවූ පාළුවක්, බියක් , ගුප්ත බවක් හසාරාට දැනෙන්නට විය. කොහොමටත් ඕ ධනංජය නොමැතිව දිගු වේලාවක් මේ අයුරින් නිවසේ රැඳී සිටියාමය. ඉදිරිපස දොර වසා දැමූ ඈ ඔහුට  දුරකථන ඇමතුමක් ලබා දුන්නේ නිවස තුළට ගියාට පසුවය.

“ ඇයි….”

එයා පසින් ඇසුණේ අකාරුණික හඬකි.

“රෑ වෙලා  නිසා බැලුවේ ඔයා කොහෙද ඉන්නේ?.මං කෑමත් ලෑස්ති කරලා බලාගෙන ඉන්නවා.”

“ ඔයා කන්න මං  අද ගෙදර එන්නේ නෑ.”

“ මොකක්ද ධනා  ඔයාට මේ වෙලා තියෙන්නේ.ගෙදර එන්නේ නෑ කියන්නෙ ඔයා කොහෙද ඉන්නේ?.චුට්ටක් හිතන්න මට මේ ගෙදර තනියම ඉන්න පුළුවන්ද..කවදාවත් නැතුව ඇයි මේ..”

“ උඹට තනියම ඉන්න  බැරිනම් ඉන්න පුළුවන් තැනකට පලයන්.මහලොකු මැඩම්..උඹට කොළඹ හතෙන් ගේකුත් ලැබෙයි කියලා මං හිතුවේ..”

“ මොකද්ද ධනා ඔයා මේ කතා කරන විදිහ.ඇයි ප්‍රශ්නයක් තියෙනවා නං අපිට කතා කරලා විසඳගන්න බැරි.අවුරුදු ගානක් තිස්සෙ අපි හැම දෙයක්ම කතාබහ කරලා විසඳ ගත්තා.අනේ ප්ලීස් මගේ අතින් මොනවාහරි වරදක් උනානම් අඩුම තරමින් ඒක මට කියන්න.මං ඒ වරද හදා ගන්නම්..”

“ මචං..දැන් වැඩක්..නෑ..අපි සිංදුවක් කියමු..වරෙන් මචං..ගෑණුනං…”

එහා පසින් තවත් පිරිමි කටහඬක් ඇසුනද ඒ කවුරුන්දැයි හඳුනා ගැනීමට හසාරා අපොහොසත් විය.ඔහු තවත් යමක් පවසණුත් ධනංජය ‘ මට කතා කරන්න ඕන බං.මං කතා කරලා එන්නම්..යනුවෙන් පවසණුත් හසාරා අසාගෙනය.

“ උඹ  වැරදි කරන ගෑනියෙක් නෙමෙයිනේ…උඹ  හිතන් ඉන්නේ උඹ හරියි  කියලනේ .මං වැරදියි. මම තමයි වැරදි කරපු මිනිහා”

“ අනේ ධනා ඔයා බීලා නේද මේ රෑ තිස්සේ එළියට වෙලා බිබී මොනවද කරන්නේ?.මේ මට බයයි.ගෙදර එන්න…”

“ ඇයි උඹට ලැජ්ජයිද…මං බිව්වහම උඹට ලැජ්ජයිද..එන්න මට ගෙදරක් නෑ බං.මට ගෙදරක් තිබුණෙ ඉස්සර.මං එනකම් බලන් හිටපු වයිෆ් කෙනෙක් හිටියේ ඉස්සර.දැන් ඒක මගේ ගෙදර නෙමෙයි.ඒක මට හිර ගෙයක්..නෑ  හිරගේ  තව හොඳයි.ඒක මට බෝඩිමක්…ඒකේ ඉන්නේ ලොකු මැඩම් කෙනෙක්…”

“ ධනංජය මොනවද මේ කියන්නේ? ඔයා මොනවා හරි ප්‍රශ්නෙක ඉන්නේ. එහෙම නැත්නම් වැරදි වැටහීමක.මං කියන දේ අහල දැන් ගෙදර එන්න.මං හෙට නිවාඩුවක් දාන්නම්.අපි දෙන්න කොහේ හරි යමු..මේ ප්‍රශ්නය අපි කතා කරල විසඳගමුු ධනා.මේ විදිහට කොහොමද අපි ඉස්සරහට යන්නේ.අනේ මට බය හිතෙනවා..ඔයාට පිස්සු….”

“ මට පිස්සුුු..අන්න..අන්න…නියම වචනේ එළියට පැන්නා..උඹට දැන් මාව මදි වෙලා නේද.ඔව් මං දන්නවා. අපිට ඉස්සරහට යන්න බෑ.උඹ දැන් මහ ලොකු මැඩම් කෙනෙක්. මං… මං නිකම්ම නිකං ආණ්ඩුවේ ඔෆිස් එකක එකවුන්ටන් කෙනෙක්. උඹේ  පඩිය ගණන් කරන්න බැරි වෙද්දි. මගේ පඩිය ඇඟිලි අස්සෙන් ලිසසලා ගිහිල්ලා බිමට වැටෙනවා..අපිට එකට යන්න බෑ තමා…මං කවුද උඹ කවුද…”

“ මොනවද මේ කියවන මනස්ගාත…අනික උඹ කිය කියා..”

“ උඹ…කියන එක..ආ…සමාවෙන්න ඕන මැඩම්..දැන් අපිට එහෙම කියන්න බෑ.ඔබතුමීට කොහොමද අපි එහෙම කියන්නේ. දැන් මං කියන දේවල් තේරෙන්නේ මනස්ගාත වගේ නේද මැඩම්..”

“ ඔයාට පිස්සු ධනා  හොඳටම පිස්සු.හීනෙකින්වත් හිතපු නැති දේවල් ඔයා දැන් කියනවා..අනේ ඇයි මේ…”

“  මොකටද තවත් මේ පිස්සු මිනිහෙක් ගෙදර එනකම් බලන් ඉන්නේ..කාලා බීලා සැපට නිදා ගන්න මැඩම්…හෙට අනිද්ද වෙද්දි වැඩකාරයෝ මැඩම්ව පවන් සලලා නිදි කරවයි.….අතට පයට වැඩකාරයෝ ඉඳිද්දි මේ පිස්සු මිනිහා මොකටද..නේද මැඩම්…!

“ ඇයි  ධනා  මම කියන හැම වචනයකම වැරදි හොයන්නෙ…ප්ලීස් ඔයාට ඕනනම්  ඇවිල්ල මට බනින්න ඔයාට  ඇති වෙනකල්. එහෙම නැත්නම් ගහන්න.මෙහෙම කතා කරන්න එපා. බිබී එක එක තැන්වලට වෙලා ඉන්න එපා.ඔයාගේ ජීවිතයට මොනවාහරි අනතුරක් වුණොත්..ප්ලීස් ඔයාට මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් අපි ඒක විසඳගමු..”

“ උඹ බලන් ඉන්නේ අනතුරක් වෙනකල්ද…සමාවෙන්න…මැඩම්ටදැන් මාව වදයක්  වෙලා නේද…මං මැ⁣රෙන්නද ඕන මැඩම්..”

“ අනේ මට තේරෙන්නේ නෑ දෙයියනේ ඔයා එක්ක කතා කරන්න.අඩු තරමින් ඔයා මොනවද මේ කියන්නේ කියලවත් මට තේරෙන්නේ නෑ.කොහෙද ඉන්නේ? මට කියන්න මං එන්නම් ඔයාව එක්කරගෙන යන්න.”

“ නෑ ඕනෙ නෑ…මැඩම් කාලා බිලා සතුටින්  නිදාගන්න.මං කියපු කරපු මොනවට හරි මැඩම්ගේ හිත රිදුනනම් මට ඒකට සමාවෙන්න.අපිට දැන් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ… මැඩම් පරිස්සමට ඉන්න..මට සුදුසු තැනක මං ඉන්නවා..ඕස්ට්‍රේලියාවේ ඉන්න මැඩම්ගේ අක්කා…දැන් කතා කරන වෙලාව නේද…මට ඉන්නේ හරි දුප්පත් නෑදෑයෝ..මැඩම්ගේ අම්මයි තාත්තයිත් දැන් ඕස්ට්‍රේලියාවෙනේ…”

දුරකතනය  පසෙක වූ පුටුවක් මතට විසි විසිකල හසාරා බිම ඉඳ ගත්තේ සිය දෑතින් මුහුණ වසාගෙනය.හිටි හැටියේ සිදු වූයේ කුමක්දැයි පහදා තේරුම් ගැනීමේ හැකියාවක් ඇයට වූයේ නැත.ඔහු පැවසුවේම එකිනෙකට පරස්පර විරෝධී කතාය.සිතින් මවාගත් කතාය.ධනංජය මෙවෙලෙහි සිටින්නේ කොහිදැයි  ඈ නොදනී.ඔහු මේසා අකාරුණික පුද්ගලයෙකු වූයේ කවදා සිටදැයි  හසාරා සිතුවේ මවිතයෙන්ය.යළිත් එක් කරන්නට නොහැකි අයුරින් තමාත් ඔහුත් අතර වූ බැඳීම බිඳී ගොස් ඇත්දැයි සිතත්දී ඒ  දෑස් කඳුලකින් බර විය..කෑ ගසා හඬන්නට වූ උවමනාව ආයාසයකින් වාවාගත් තරුණිය තම නිදන කාමරය වෙත ඇවිද ගියේ නිවස තුළ දැල්වීමෙන් තිබූ විදුලි බුබුළු  නිවා නොදමමින්ය..සිත තුල වූ බියත් , වේදනාවත් සිය සිරුර පුරා පැතිර යන සෙයක් ඇයට දැනෙන්නට විය. සිතෙහි වූ කෝපයට කෑගැසුවාට ධනංජය තවත් විනාඩි කිහිපයකින් නිවසට පැමිණෙනු ඇතැයි ඈ විශ්වාස කළාය.විවාපත් වී  පත් වී ගතව ගිය ⁣සිව් වසරකට ආසන්න කාලයක්  පුරාවටම හසාරා මෙම නිවසේ එකදු රැයක්වත් තනියම සිටියේ නැත.මේ මුළු නිවසම ඔහුගේ කතා හඬින් ,සිනහ හඬින් පිරී ඇතැයි ඇයට සිතිණ..ධනංජයගේ  සුවඳ තැවරුණු සවස ඔහු ඇද සිටි උඩුකමිසය තම පපුවට තුරුළු කරගත් හසාරා ඇදෙහි  වැතිරුණේ නින්දක අවශ්‍යතාවය  නිසා නොවේ.මේසා අකාරුණික වන්නට ඔහුට තමා අතින් සිදුවූ වරද කුමක්දැයි ඈ සිතුවේ පසුගිය  දින කිහිපයේ ඔහුගෙන් විද්‍යාමාන වූ පුංචි පුංචි වෙනස්කම්  යළි යළිත් ආවර්ජනය කරමින්ය.

ධනංජයගේ දෑස්  වලින් කඳුළු බේරී  යමින් තිබිණි.හසාරා වෙනුවෙන් උපන් කෝපය වෙනුවට ඔහුට තමා ගැනම ආත්මානුකම්පාවක් දැනෙමින් තිබිණ.මෙවේලෙහි ඒ සිරුරේ  වූ  මත් බව ඒ හැඟීමට උඩගෙඩි දෙන්නට විය.ධනංජය තවත් මත්පැන් වීදුරුවක් මුවට හලා ගත්තේ මිතුරා දැන් ඇතියයි පවසද්දීය.යළිත් වතාවක් සිය සිරුරේ සියලු ඉන්ද්‍රියයන් පිළිස්සෙන  සෙයක් ඔහුට දැනෙන්නට විය.හසාරා පිළිබඳව වූ කෝපයත්,  වේදනාවත්  ,  මතකයත්  ඒ සිතින් සඟවාලන්නට ඒ පිළිස්සීමේ  වේදනාව සමත් විය.අත දිගු කර තමාව වළකන්නට ගිය මිතුරාගේ අතට පහරක් ගැසූ ධනංජය තවත් මත්පැන් උගුරු කිහිපයක් මුවට හලාගත්තේ පසෙක වූ සෝඩා සමඟවත් අයිස් කැට සමඟවත් මිශ්‍ර නොකරමය.

“ මැරෙන්න ද යකෝ හදන්නේ…ඇයි බං මේව කතාබහ කරලා ⁣බේරුමක් කරගන්න බැරි.”

“ මැරෙන්න තිබ්බනං ඒක සතුටක් බං.මගේ ගෙදර මං ආසාවෙන් ගඩොලින් ගඩොල එකතු වෙන හැටි  බලන් හිටපු ඒ ගෙදර අද මට අපායක් වෙලා.උඹ  දන්නවද අපේ බෙඩ් එකේ තියෙන මෙට්‍ර්ස් එක ලක්ෂ තුනහමාරක් වෙනවා..ඒ උනාට මං අද රෑ ගෙවන්නේ උඹේ බෝඩිමේ මෙන්න මේ පුටුවේ. අද විතරක් නෙමෙයි මීට පස්සේ මගේ ජීවිතේ ගොඩක් රැයවල් මෙතනම ගෙවේවි.උඹ මාව එළවනකල්..…හිතේ සැනසීමක් නැති තැනක් ගෙදරක් වෙන්නේ කොහොමද බං.උඹ  දන්නවද මට දැන් හරියට හසාරා පේන්නේ ඉස්සර අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ.තීරණ ගන්නෙත් එයා ඒවා ක්‍රියාත්මක කරන්නෙත් එයා…තැන් නිකං මං රූකඩයක් විතරයි.හරියට එයා වේවැල තියාගෙන මං දිහා බලන්න ඉන්නවා මට මැවිලා පේනවා බං..”

“ මං හසාරාත් එක්ක මේ ගැන කතා කරන්නම්..උඹ හොඳින් ඉන්න ඕනේ..උඹ මගේ බොක්ක..”

“ උඹට ඕනෙත් ඒකි  මාව හිඟන්නෙක් ගානට දාලා අනුකම්පා කරනව දකින්නද.එපා බං…කතාබහ කරලා ආපහු හදාගන්න තරම් ජීවිතයක් අපිට ඉතුරු වෙලා නෑ.එකී එදා ස්ටේජ් එකේ බැබළි බැබළි  මහා උජාරුවෙන් මගේ දිහා නෝන්ඩියට බලන් හිටපු හැටි  මට මේ දැනුත්  මැවිලා පේනවා බං….ඒ ඇස් දෙකේ තිබුනේ පුදුම ලොකු කමක් බං. උඹ  දැන් කොතනද ඉන්නේ? මං දැන් කොතනද ඉන්නේ කියන්න වගේ කතාවක්…ආදරේ ඉල්ලලාවත් ජීවිතේ  ඉල්ලලාවත් ඒකි ළඟ හිඟා කන්න මට බෑ බං…ප්ලීස්.. මගේ හිත හදාගන්නකම් මට මෙහෙම ඉන්න දීපන්…”

“ එතකොට උඹ වැඩට යන්නැද්ද..රස්සාව….”

“ වැඩට යන්න ඕනෙ බං. රස්සාව පරිස්සම් කරගන්න ඕනේ.මොකද මට තියෙන්නේ එච්චරයි නේ…කවදාවත් කිසිම ගෑණියෙක්ට  ඉහළට යන්නේ ඉනිමං  තියන්න එපා.උං උඩට නැගල නැගලා ගිහිල්ල අපිට පයින් ගහනවානම් දුක නෑ බං.සමච්චලයට හිනා වෙන එකයි දරාගන්න බැරි…”

“ අනේ මන්දා බං  උඹ කෑවෙත් නෑ. දැන් නිදා ගනින්.හෙට මගේ ඇඳුමක් ඇඳගෙන හරි ඔෆිස් එකට පලයන්…”

“ නෑ බං මම දවස් දෙක තුනක් නිවාඩු දානවා..උඹ ඔෆිස් එකට ගියහම මම මෙතන ඉන්න එක ප්‍රශ්නයක්ද…”

“ නෑ.. නෑ ..කිසි ප්‍රශ්නයක් නෑ මං මේවට සල්ලි ගෙවලානේ තියෙන්නේ.නිදහසේ ඉන්න ඕන හින්ද තමයි මමත් වෙනම ඇනෙක්ස්  එකක් ගත්තේ. උඹට  මුළු ජීවිත කාලෙම හරි මෙතන ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක්නෑ.ඒ උනාට මේ ප්‍රශ්න වල නැවතීමක් තියෙන්න ඕනනේ බං…”

“ මේ ප්‍රශ්න නවතින්නනම් කරන්න තියෙන එකම දෙයයි. මං නවතින්න ඕනේ..කොහොමත් දැන් එයාගේ  ජීවිතේ මාව රූකඩයක් විතරයි….ඒකි තනි වෙන්න ඕනෙ බං.මං කොච්චර ආදරේ කලාද මං කොච්චර උදව් කලාද.සමහර දවසට හසාරා  පාඩම් කරනකොට මං ඒකගේ පිටිපස්සෙන් හිටගෙන ඔලුව මසාජ් කරනව.සමහර දවසට කකුල් දෙක අතගානවා….එහෙම කරලා තමයි බං මං අද එයාව  එතනට යැව්වේ. ඒ උනාට ඒකිට  මුල මතක නෑ….”

ධනංජය නැගී  සිටියේ එසේ පවසමින්ය. වටයක් අර කැවී  වැටෙන්නට ගිය ඔහුව අල්ලා ගත් මිතුරා පසෙක වූ ඇඳ වෙත ධනංජයව  රැගෙන ගියේ කිසිවක්ම නොකියමින්ය.ඇඳට වැටුණු හැටියේම ධනංජයගේ දෑස් පියවුණේ ඔහු මත් බවේත්  උපරිම සීමාවත් පසු කරමින් සිටි නිසාය.විනාඩි කිහිපයකට පසු කුඩා මේසය අස්පස් කර දැමූ මිතුරා පසෙක වූ සුවපහසු පුටුවේ ඇලවූයේ පොරෝණයකින් සිය දෙකකුල් වසා ගෙනය.

( යළිත් හමු වෙමු…….)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here