කසුන්ත එදා ගෙදර එද්දි “මැණික්” ගෙදර හිටියෙ නෑ. කතාව පටන් ගත්තෙ කසුන්ත මැණික්ව එහෙම නැත්තම් එයාගෙ වයිෆ් වෙච්ච, බබාගෙ අම්මා වෙච්ච සඳමිණීව හොයන්න යන එකෙන්.
“ ඔයා කොහෙද?” කියල කසුන්ත වැඩ ඇරිලා ඇවිත් කාර් එකෙන් බැස්සෙ සඳමිණීට කතා කරගෙනමයි. ගෙදර දොර තිබුනෙත් ලොක් කරලා උනාට තමන්ගෙ සද්දෙ ඇහිලා ඉබේම වගේ දොර ඇරුනෙ හරියට කවුරුහරි දොර ළඟට ඇවිත් කතා කරාම දොර ඉබේම ඇරෙන්න ඕන වගේ කියලා හිතලා.
කසුන්ත කොච්චර “ඔයා කොහෙද?” කියල කතා කරත් සඳමිණී නෙවෙයි කසුන්ත ඉස්සරහට ආවෙ. කාමරේට ගිහිල්ලා දවස පුරාම දාගෙන ඉන්න සපත්තු දෙක ගලවන්න කසුන්ත ඇඳ උඩ වාඩිවුනා. සපත්තු දෙක ගලවල ඇඳ යටට දාලා ගඳ ගහන සොක්ස් දෙක ඇඳ උඩ වාඩිවෙලා ඉන්න ගමන්ම කම්මැලි කමට හෝදන්න රෙදි දාන බාස්කට් එකට විසි කරල දැම්මට බාස්කට් එකට වැටුණෙ එක සොක්ස් එකක් විතරයි. අනික බිම වැටුණා. කසුන්ත නොදැක්කට පාවෙලා වගේ ගිහිල්ලා බිම වැටිච්ච සොක්ස් එකත් හෝදන රෙදි දාන බාස්කට් එකට වැටුණා.
කසුන්ත ඇඳෙන් නැගිටල යද්දි එයා ඇඳේ වාඩිවෙලා උන්නු තැන ඇඳ රෙද්ද ඇකිලිච්ච එකත් ඉබේම වගේ හැදිච්ච බවත් කසුන්ත දැක්කෙ නෑ. කොච්චර කතා කරත් “එයා” එහෙම නැත්තම් කසුන්තගෙ බබාගෙ අම්මා වෙච්ච සඳමිණී නෙවෙයි කසුන්ත ඉස්සරහට ආවෙ. පුංචි බබා හිටියෙ කොට් එකේ හොඳට දොයියගෙන. බබා එහෙම දොයියන්නෙ හොඳට කිරි බීල බඩ පුරවගත්තයින් පස්සෙ බව කසුන්ත නොදන්නවා නෙවෙයි.
“අම්මි” බාතෘම් එකේවත් කුස්සියෙවත්, ගාඩ්න් එකේවත්, සාලෙවත් කොහෙවත් හිටියෙ නෑ. හැබැයි ගේ අස්පස් වෙලා, බබාගෙ චූ දාපු රෙදි හේදිලා ඇඳුම් රැක් එකේ එල්ලිලා, ගාඩ්න් එකත් හොඳට නීට් එකට තියෙනවා දකිද්දි තමයි කසුන්තගෙ හිතට පොඩි අමුත්තක් දැනුනේ.
“අම්මේ සඳමිණී ගෙදර නෑනෙ, මං වැඩ ඇරිලා ගෙදර එද්දිත් එයා පේන්න හිටියෙ නෑ” කියල කසුන්තගෙ ෆෝන් එකෙන් කසුන්තගෙ අම්මගෙ ෆෝන් එකට කෝල් එකක් ගියේ අන්න ඒ විදියට.
“සඳමිණී ගෙදර නෑ?” කියලා ප්‍රශ්නාර්තයක් එක්ක අහපු අම්මා ගෙයින් එළියට බැස්සෙ ඇඳගෙන උන්නු ඇඳුම පිටින්ම කසුන්තගෙ ගෙදර ගිහින් මොකද්ද මේ අප්‍රභංසෙ කියලා අහගන්න හිතාගෙන.
—————————————————————————————————————————–
“ඔයා ආස දුවෙක්ටද පුතෙක් ටද මැණික්?”
කසුන්ත එහෙම අහද්දි කසුන්තයි සඳමිණීයි යාලුවෙච්ච මුල් කාලේ. කසුන්තට සඳමිණීව හම්බුනේ කැම්පස් එකේදි. අවුරුදු කීපෙක ගැප් එක තිබුණ කසුන්ත කියන සීනියර් අයියා අන්තිම අවුරුද්දෙ ඉඳ්දි තමයි සඳමිණී කියන ජුනියර් නංගි කැම්පස් එකට ආවෙ.
සාමාන්‍යයෙන් පට්ට සුපර් සීනියර් බැච් එකේ අයියල අක්කල අලුතෙන් බහින නැව් වලට රැග් කරන්න ආවෙ නැතුවට මොකෝ ඇවිත් ඉන්න අලුත් නැව් මොන වගේද නැද්ද කියල බලන්න ආව වෙලාවක තමයි කසුන්තගෙ ඇස් වලට සඳමිණීව මාට්ටු වෙන්න. පිට කොක්කක්වත් ඇතුලෙ කොක්කක්වත් සඳමිණීට නෑ කියල දැනගත්තට මොකෝ කසුන්තට ලේසි උනේ නෑ සඳමිණීව අල්ලගන්න එක.
“අයිය පාස් අවුට් වෙලා ගියයින් පස්සෙ මට තනියෙන් අවුරුදු තුන හතරක් මේකෙ තනියෙන් ඉන්න වෙන්නෙ” කියල සඳමිණි කිව්වට කෙල්ල එහෙම කියන්නෙම තමන්ව නොදැක ඉන්න බැරි ආදරයක් හිතේ තියෙන හන්දා බව කසුන්තට නොතේරුණා නෙවෙයි. ඒ විදියට තමයි සඳමිණීලගෙ රැග් සීසන් එක ඉවර වුණයින් පස්සෙ කසුන්තල ෆයිනල් එක්සෑම් ඉවරවෙලා කැම්පස් එකෙන් යන්න කලින් සඳමිණී එක්කම මල් බකට් එක අරගන්නත් පුලුවන් වුණේ.
කසුන්තගෙයි සඳමිණීගෙයි ආදරේට කිසිම තැනකින් කිසිම විදියක විරුද්ධත්වයක් තිබ්බෙ නෑ. ඇත්තටම දෙපැත්තෙන්ම දෙපැත්තට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ.කසුන්තගෙ උසට මහතට වත්ක හිතවත්කම් වලට උගත්කමෙනුයි රුව ලස්සනෙනුයි හැදියාවෙනුයි ගැලපිච්ච සඳමිණීව කසුන්තගෙ පැත්තෙ අය භාරගත්තෙ ආදරෙත් එක්ක. පිරිමි ළමයිම දෙන්නෙක් උන්න කසුන්තගෙ අම්මා සඳමිණීව භාරගත්තෙ ලේලි නෙවෙයි දුවෙක් විදියට. “මට බැරිවෙච්ච කාලෙක වතුර ටිකක් හරි පොවන්න ඉන්නෙ ඒ දරුවා විතරයි” කියල කසුන්තටයි කසුන්තගෙ මල්ලිටයි දෙන්නටම නෝක්කාඩු කියන්නත් අම්මා නෙවෙයි දෙපාරක් හිතුවෙ.
සඳමිණී රස්සාවට යද්දි කසුන්ත රස්සාවට ගිහින් අවුරුදු තුන හතරකුත් වෙලා නිසා ඉතුරු කරගත්ත සල්ලි වලින් පොඩි වෙඩින් එකක් අරගෙන තමන්ගෙම කියල ගෙදරකට යන්න පුලුවන්කම දෙන්නම තිබුනා. කසාදෙන් අවුරුද්දක් දෙකක් ගෙවෙනකම් දෙන්නම දරුවෙක් ගැන හිතන්නෙ නෑ කියල තීරණේ කරේ කැම්පස් එකේදිත් දෙන්නට හිතේ හැටියට ආදරේ කරන්න ඉඩ හම්බුනේ හරිම පොඩි කාලයක් හන්දා “අපි ටික කාලයක් ආදරේ කරල බබෙක් හදමු නේද?” කියල දෙන්නම කතා කරගෙන හිටියෙ.
“ඔයා ආස දුවෙක්ටද පුතෙක් ටද මැණික්?” කියල කසුන්ත ඇහුවෙ ඒ අවුරුදු දෙක ගෙවුණට පස්සෙ. මුල් කාලෙ ඉඳලම කසුන්ත සඳමිණීට කතා කරේ මැණික් කියලා. අනික් හැමෝම ඉතින් ආදරේට පැටියෝ, පණ, වස්තුව කියල කතාකරද්දෙ “ඔයා ඇයි මට මැණික් කියලා බහු වචනෙන් කතා කරන්නෙ?” කියල සඳමිණී කසුන්තගෙන් නිතරම වගේ ඇහුවෙ කලින් වතාවෙ කසුන්ත දුන්න උත්තරේ අමතක නිසා නෙවෙයි, ආයෙ ආයෙ ඒ හේතුව අහන්න තිබ්බ ආශාව, උවමනාව හන්දා.
“මට ඔයාව මැණික් කැට කෝටි ගාණක් තරම් වටිනවා” කියල ලස්සන ඇස් දෙක හීනි කරල බලලා කසුන්ත හිනාවෙලා කියද්දි, හවස වැඩ ඇරිලා එද්දි අරගෙන ආව තමන් හරිම ආස කැන්ඩොස් චොකලට් බාර් එක අතේ තියද්දි, මුලු ජීවිත කාලෙම ඔය කතාව ඇහෙනවනම්, ඔය විදියට කසුන්ත හිනාවෙලා තමන් දිහා බලනවනම් ජිවීතේ අමාරු නෑ නේද කියල සඳමිණී හිතපු වාර ගණන අනන්තයි.
ඒ ආදරේ හෙමිහිට ගලාගෙන යද්දි තමයි කසුන්තයි සඳමිණීයි තාත්තෙකුයි අම්මා කෙනෙකුයි වෙන්න යනවා කියන ආරංචිය ඒ දෙන්න අතරට ආවෙ.
ඒ පුදුම සන්තෝසෙකුයි, ආදරේකුයි වගේම මෙච්චර දවසක් “මැණික්” කෙනෙක් විතරක් වෙලා උන්නු සඳමිණීව “අම්මි” කියන තැනට අරගෙන යන ගමන්.
————————————————————————————————————————
“අම්මි ඔයා කෑවද?”
“අම්මි මම එනකම් නොකා ඉන්න එපා, ඔයා කන්න”
“අම්මි ඔක්කොම විටමින්ස් ගන්න, බබාට හොඳයි කියලමයි ඩොක්ටර් ඔය ඔක්කොම දුන්නෙ”
“අම්මි කන්න ආස දේවල් කියන්නෙ බබා කන්න ආස දේවල් නේ, ඒ නිසා ඔන්න ඔයාට මොනවහරි කන්න ආස නම් මට නොකිය ඉන්න එපා. මගෙ රත්තරන් කොලු පැටියානෙ මේ එන්න යන්නෙ මාව බලන්න”
“ඔයා අම්මිට වඩා මට නේද පුතේ ආදරේ?” කියලා කසුන්ත බඩ ඇතුලෙ දඟලන පොඩ්ඩට බඩට මූණ තියන් කතාකරද්දි සඳමිණී ඒ හැමදේම දිහා බලාගෙන හිටියෙ හරි ආදරෙන්. බබා හම්බුනාට පස්සෙ රස්සාවට යන්නෙ නෑ කියන එකත්, බබාට ටිකක් තේරෙන වයසක් වෙනකම් ෆ්‍රී ලාන්ස් ප්‍රොජෙක්ට්ස් කීපෙක විතරක් වැඩ කරන බවත් සඳමිණී හිතුවෙ තමන් රස්සාවක් කරත් නොකරත් කසුන්ත උපයන ඒව එක්ක තමන්ට අඟහිඟයක් වෙන්නෙ නෑ කියලා දන්න හන්දා. කසුන්තටත් ඉතින් ඒකට විරුද්ධ වෙන්නෙ හේතුවක් තිබ්බෙ නැති හන්දම තමයි කිව්වෙ “අම්මි කැමති නම් එච්චරයි, මගෙ විරුද්ධත්වයක් නෑ” කියලා.
පුතා හම්බුණයින් පස්සෙ කසුන්තගෙ කටෙන් පිටවුණේ පුතා ගැනම කතන්දර විතරයි.
“අම්මි පුතා කෑවද?”
“අම්මි පුතාට කුක්කු පෙව්වද?”
“අම්මි ඔයා අමතක නොකර කන්න, නැත්තම් පුතාට කුක්කු නැතිවෙයි” කියල කසුන්ත කියද්දි සඳමිණීගෙයි ගෙදර අයයි කසුන්තගෙ ගෙදර අයයිත් ඒ හැම කතාවකටම ඕනවට වඩා හොඳට පෝරයි වතුරයි දැම්මා.
“කිරි දෙන අම්මා කෙනෙක්නෙ, ඇඟ ගිණියම් කරන කෑම කන්න හොඳ නෑ”
“අම්මා කෙනෙක් වුණේ ලඟඳිනෙ, බඩ තදවෙන්න අඳින්න හොඳ නෑ”
“දැන් ඉතින් අම්මා කෙනෙක්නෙ, ඉස්සර වගේ කෙල්ල වගේ දුවල පැනලා ඉඳලා හරියන්නෙ නෑ” කියන කතා අහගෙන සඳමිණී දවස් ගාණක් ගෙව්වා.
ඒ දවස් ගාණම කසුන්තයි, ගෙවල්වල අය සඳමිණීව දැක්කට, සඳමිණීව ටිකෙන් ටික නොපෙනී යන බව, ටිකෙන් ටික එයාව ෆේඩ් වෙලා යන බව ඒ කාටවත් තේරුණේ නෑ.
“සඳමිණී පේන්නෙ නෑ කියලා” කසුන්ත දැනුම් දුන්නයි පස්සෙ කසුන්තගෙ ගෙදර අයයි, සඳමිණීගෙ ගෙදර අයයි ඇවිල්ලා සඳමිණීව හැම තැනම හෙව්වත් සඳමිණීව කවුරුවත් දැක්කෙ නෑ.
“අම්මි ඔයා කොහෙද?” කියල කසුන්ත අඬ අඬ වගේ අහද්දිවත් සඳමිණී එළියට ආවෙ නැති එකේ තමයි කට්ටිය හිතුවෙ පොලිසියටවත් ගිහිල්ලා කියන්න ඕන කියලා සඳමිණීව පේන්න නෑ කියන එක. ඊට කලින් අල්ලපු ගෙදර ඉන්න රීටා ආන්ටිට කතාකරලා සඳමිණීව දැක්කද කියල අහන්න පය ඉස්සර කලේ කසුන්තගෙ අම්මා. රීටා ආන්ටි රිටයර්ඩ් මිඩ් වයිෆ් කෙනෙක් හන්දා සඳමිණීට බබා හම්බෙන්න ඉද්දියි බබා හම්බුනාට පස්සෙයි උදව් කලේ පවුලෙ මනුස්සයෙක්ටත් වඩා ලෙංගතුව කියන එක කාටවත් අමතක වෙලා තිබුනේ නෑ.
“අනේ රීටා අක්කෙ බලන්නකො, අපේ මේ සඳමිණී පේන්න නෑනෙ” කියාගෙන කසුන්තගෙ අම්මා ගෙට ගොඩවෙද්දි රීටා ආන්ටි හිනාවුණේ හරියට එයා ඒක වෙන බව දැනගෙන උන්න වගේ. ඇවිල්ල අඬහගපු හන්දා ගෙට ගොඩ නොවී ඉන්න බැරිකමට රීටා ආන්ටි කසුන්තගෙ අම්මා එක්ක ගෙදරට ගොඩ වෙද්දිත්, කසුන්තල, සඳමිණීගෙ අම්මල ගෙයි ඉස්තෝප්පුවට වෙලා කඳුලක් පෙර පෙර “මේ ළමයා කොහෙ ගියාද?” කියලා තැවි තැවි ඉද්දිත් ඒ කාගෙවත් ඇස්වලට පේන්නෙ නැතුව “හැංගිලා ගිහින් උන්නෙ සඳමිණීව, කසුන්තගෙ මැණික්ව” රීටා ආන්ටි දැක්කා. මේ හැමදේම මෙයාකාරයෙන් වෙද්දි ඒව නොදැක, නොඇසී රොබෝ කෙනෙක් වගේ ගෙදර වැඩයි දරුවගෙ වැඩයි කර කර තාම ගේ ඇතුලෙ ඉන්නවා.
රීටා ආන්ටි ඒ දිහා බලාගෙන ඉද්දි, සඳමිණී එක තප්පරේකට වගේ නැවතිලා රීටා ආන්ටි දිහා බලලා හීනියට හිනා වුණා.
“ඉබේම වගේ ගෙදර අස්පස් වෙද්දි, බබාගෙ වැඩ ඉබේම වගේ වෙද්දි, කෑම ටික හැදිලා ඉබේම වගේ මේසෙට එද්දි, හෝදන්න තියෙන රෙදි ඉබේම වගේ හේදෙද්දි මෙච්චර දවසක් ගෙදර අයට සඳමිණී වෙච්ච, කසුන්තට මැණික් වෙච්ච මාව “අම්මි” කෙනෙක් විතරක් වෙද්දි ඒ කාටවත් ආයෙ සඳමිණීව, මැණික්ව පේන්නෙ නැතුව යනවා කියල මම කවදාවත් හිතුවෙ නෑ?
ඇත්තටම එයාලට මාව පේන්නෙ නැතුව ගියේ කොහොමද කියල මට තාම හිතාගන්න බෑ. මැණික් තාම කැන්ඩොස් චොකලට් කන්න ආස බව. මැණික් තාම තුරුලු වෙලා නිදාගන්න ආස බව, මැණික් තාම කසුන්තගෙ ආදරේ විඳින්න ආස බව කසුන්තට නොපෙනී ගියේ කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ?
ඒ හැමෝටම මාව පේන්නෙ නැතුව ඉද්දි රීටා ආන්ටිට විතරක් මාව පෙනුනෙ කොහොමද කියලත් මට හිතාගන්න බෑ” කියන කතාව සඳමිණීගේ ඒ හිනාව අස්සෙ ඇඳිලා තියෙන බවත් රීටා ආන්ටි ඒ තප්පරේට දෙකට දැක්කා.
-උදතාරී-
ReplyForwardAdd reaction |