කාලයට සාපේක්ෂව බොහෝ දේ සිදුවෙමින් තිබිණ.තෙවන මහලේ වූ එකම කාමරයත් හිස් අවකාශයත් ධනංජය තමාගේ පහසුව සඳහා වෙන් කරගත්තේය.තව දුරටත් දෙදෙනා එක්ව කිසිවක් භාවිතයට නොගත් තරම්ය.විනාඩි කිහිපයකට වරක් දෙවරක් මුලදී සිදු වූ වචන හුවමාරුව අවසානයේ පැයකට දෙකකට වරක් තරම් දුරස්ථ විය.සිදු වූයේ කුමක්දැයි කොතෙක් ඇසුවත් කොතෙක් ඇවටිලි කලත් හැඬුවත් දුක කියෙව්වත් ඔහු ගහක් ගලක් සේ නිහඬ නිසොල් මන්ව සිටින්නට විය.දින ගෙවී ගියේ වේගයෙන් නොවුණත් යන්ත්‍රාණු සාරයෙන් සේ හසාරාත් ධනංජයත් ඒ ගෙවී යන දිනවලට මුහුණ දුන්නාය.
යමක් පවසන්නට, අසන්නට හෝ ජීවිතයේ මේ දැනෙන හැඟීම් සියල්ල බෙදා ගැනීමට ඇයට උන්නේ නිර්මිතා පමණි.දෙදෙනා අතර ඇතිව තිබූ මේ දුරස්ථභාවය කුමක්දැයි සොයන්නට ඈ බොහෝ උත්සාහ කළ බව හසාරා දැන උන්නාය. විටෙක ඈ පැය ගණනක් යනතුරු හසාරා හා දුරකතන සංවාදයේය.තවත් විටෙක ධනංජය සමගය.ධනංජයත් නිර්මිතා සමග විවෘතව යමක් කතා කරන බැව් ඇය හොඳින්ම දනී.එනිසාම නිර්මිතා කියන්නක් අසා සිටීමට සේම ඒවා විශ්වාස කරන්නටත් හසාරා පසු කලෙක පුරුදු වූවාය..ගෙවී ගිය දිනවල හසාරාත් ධනංජයත් අතර වූ එකම සන්නිවේදන උපක්‍රමය වූයේ ඈය.
අහේතුකවම තමාගෙන් දුරස් වන සැමියා දෙස බලාගෙන හසාරා විඳ වූයේ අහස පොළොව නුහුලන තරම් වූ වේදනාවකි..තම නිවසේ විසිත්ත කාමරයේ පවා නාඳුනන්නන් සේ දෙපසක බලාගෙන ඉදගෙන සිටින්නට තරම් කාලයා විසින් මේ බැඳීම දුරස්තර එකක් කර තිබිණ.වෙනදා සේ ඔහු තුරුලට යන්නට ආදරනීය හෝරාවක් ගෙවා දමන්නට සිත තුල වූ කැමැත්ත පිපාසාවක්ව සිතට වද දුන් වාර අනන්තය
සිය වේදනාව අමතක කරන්නට මෙන් ඇය තව තවත් සිය කාර්යාලීය ජීවිතය හා බැඳෙන්නට විය.පුරුද්දට සේ ඔහු වෙනුවෙන් ඇඳුමක් සූදානම් කර තැබීම, ඇඳුම් සේදීම, කෑමට යමක් සූදානම් කර තැබීම විනා සැමියෙකුට බිරිඳකගෙන් ඉටු විය යුතු යුතුකම් හෝ බිරිඳකගෙන් සැමියෙකුට ඉටු විය යුතු යුතුකම් දෙපාර්ශවයටම ඉෂ්ඨ නොවූ තරම්ය.බොහෝ දිනවල ධනංජය නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රියේය.ඔහු බීමතින් නොසිටියේ එහෙමත් දිනකය.වදනකුඳු කතා නොකලාට ඔහු එනතුරු වැරැන්ඩාවට වී නිදි මරමින් බලා සිටීමට ඇය පුරුදුව උන්නාය.
හසාරා දැන් ලෝකය පුරා ජනප්‍රියය.ලෝකයාට ඈ ඉතා අඩු වයසකින් ජීවිතය දිනූ කාන්තාවකි.ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනා ගෘහනියකි.රූපවාහිනියේ, ගුවන් විදුලියේ සේම සමාජ මාධ්‍යවලත් ඈ සුප්‍රසිද්ධ චරිතයක් වී සිටියාය.
අවසන ඕ සිතුවේ සිතා මතා දුක එකතු කරගන්නවාට වඩා දුක දැනෙන තැන්වලින් බැහැරවීම ජීවිතයට පහසුවක් වන බවය.කාලය ධනංජය විසින් සිතේ සිරකරගෙන සිටින බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනු ඇතැයි ඈ විශ්වාස කළාය.බොහෝ දිනවල රාත්‍රියට ඔහු වෙනුවෙන් ඉතිරි වූ ආහාර පාන්දර වනතුරුත් ඒ අයුරින්ම මේසය මත විය.නිවසේ වියදමට හෝ අන් කිසිඳු කටයුත්තකට ඔහුගෙන් එකඳු රුපියලක්වත් නොලැබුණු තරම්ය.පසු කලක බෝඩිම් ජීවිතයක් ගතකරන්නෙකු සේ කාමරේට පැමිණ යළිත් උදෑසන නික්මෙන සැමියාගෙන් කිසිවක් නොපතන්නට තරම් හසාරා එඩිතර ගැහැණියක වූවාය.
ඒ දුරස්ථ භාවය ධනංජය දරා ගත්තේ වෙනස්ම ක්‍රමයකටය.ඔහු තමාව සාධාරණීකරනය කරමින් උන්නේය.
ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා වෙත යාමට ලබා දුන් දිනයන් පවා මගහැරී යන්නට විය.හසාරා ඒ ගැන කතා කල සෑම වචනයකටම ඔහු කෝප ගත්තේය.අවසන ඈ වෛද්‍යවරයා වෙත ගියේද තනිවමය.ඒ සැමියා විදේශගත වී ඇතැයි යනුවෙන් පවසමින්ය.
දරු සිහිනය පවා ඇගේ සිතින් වියැකී යන බලාපොරොත්තුවක් බවට පත්ව තිබිණ.
දිනෙන් දින මේ ගිලිහී යන්නේ ජීවිතයේ වන සතුට බව දැන උන් හසාරා ඒ සෑම තත්පරයක්ම සුරකින්නට උත්සාහ දැරූවත් අවසන උරුම වූයේ සිත් වේදනාවක් සහ වෙහෙසක් පමණි.එනිසාම ඕ සියල්ලක්ම සිය ඇතැඟිලි අතරින් රූරා බිමට වැටෙන්නට ඉඩ දී නිහඬ වූවාය.ධනංජය යළිත් අතරමග නවතා දමා තිබූ අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙස වන බව ඈ දැනගත්තේ නිර්මිතාගෙන්ය.සමහර දිනක ඔහු නිවසට නොපැමිණියේය
කලක සිට සිතට දැනෙමින් තිබූ සැකය ඕ තහවුරු කරගත්තේ ඉන්පසුවය.ඒ සමගම හසාරාගේ සිතට දැනුනේ
දුකකට වඩා කළකිරීමකි. තමා පිළිබඳවම වූ ආත්මානුකම්පාවකි.කිසිවිටකත් තමා ඔහුගේ ගමන නතර නොකළ බව ඈ දනී.තමාට ඉගෙනීමෙහි පිපාසාව තරමටම ඔහුට වූයේ කම්මැලිකමකි.විශ්ව විද්‍යාලයේදී පවා ඔහුගේ නිබන්ධන සැකසුනේ ඈ අතින්ය.එහෙත් ධනංජය තමාට වඩා දක්ෂයෙකුයැයි හසාරා නිරතුරුවම විශ්වාස කළාය.හසාරාට වූයේ මහන්සියෙන් ලබාගත් ජයග්‍රහණ වුවත් ධනංජය බොහෝ ජයග්‍රහණ ලබා ගත්තේ ඔහු සහජයෙන් ගෙන ආ බුද්ධි මට්ටමත් වාසනා ගුණයත් එක් තැන්කරගෙනය.විශ්ව විද්‍යාලයේ සිටියදී ඔහු සමාජ ක්‍රියාකාරිකයෙකු විය.තමා දිවා රෑ නිදි මරාගෙන වෙහෙස වෙමින් පාඩම් කරද්දී ධනංජය එක රැයින් දෙකෙන් හසාරා දින ගණනක් වෙහෙස වූ පාඩම් මතක තබා ගත්තේය.පශ්චාත් උපාධි කටයුතුත් එක්ව සිදු කිරීමට ඔහු කැමති කරවා ගැනීමට තමා ගත් වෙහෙස අප්‍රමාණ බැව් හසාරාට සිහිවූයේ ඒ හදිසියේමය.ඔහු ඊට එකඟ වූයේම නැත. එහෙත් ඔහු හසාරාව ධෛර්‍යමත් කරන්නට හැකි සෑම මොහොතකම වෙහෙස වූයේය.
නිවස තුළ සාමය සමගිය සතුට ඇතිවන්නේ එකිනෙකා වෙනුවෙන් කරන කැප කිරීම් තුළින් බව හොඳාකාරවම දැන උන් හසාරා ඔහු තමා වෙනුවෙන් සිදුකල ඒ කැප කිරීම් වලට අගයක් ලබාදීමට ලෝභ නොවූවාය.මෙම ජීවිතය තමාගේ පමණක් නොව අපි දෙදෙනාගේමයැයි සිතාගෙන සිටි ඇයට වැරදුනේ කොතනදැයි නොතේරේ.වරෙක ඈ අධ්‍යයන කටයුතු වලට තමාගෙන් උදව්වක් අවශ්‍යදැයි ඔහුගෙන් විමසූයේ කෙටි පණිවිඩයකින්ය.ඒ කෙටි පණිවිඩයකට ඉදහිට පිළිතුරු ලැබුනත් නිවසේදී වදනක් දෙකක්වත් කතා නොකල තරම්ය.
ඔහු නිවසෙන් ආහාර ගත්තත් නොගත්තත් තමාගෙන් සහයක් අපේක්ෂා කළත් නොකලත් ඈ සියලු යුතුකම් වගකීම් නොපිරිහෙලා ඔහු වෙනුවෙන් ඉටු කළේ කැමැත්තෙන්මය.දින කිහිපයකින් මාස කිහිපයකින් මේ සා දුරස් වූයේ වසර ගණනක් පුරා දෙදෙනාම ජීවත් වන්නේ එක් හුස්මකින්යැයි සිතූ බැඳීමක් වග සිහිවද්දී හසාරාට නොහඩා සිටිය හැකි වූයේ නැත.ලොවක් දිනූ ඒ ගැහැණිය සමාජයේ විද්‍යාමාන කරන හිරු මිය ගියාට පසුව හසාරා රිසි සේ තනිවම හඬා වැටුණාය.ඒ කඳුළු ලඟ උණුවන සිතක් ඔහුට වූයේ නැත.
විනාඩි කිහිපයකට පසු ඇයට ඇසුණේ නිවස තුළට පැමිණි ධනංජය උඩුමහලට ඇවිද යන හඬය.ඔහු පසුපස ගිය හසාරා පඩිපෙළ මධ්‍යයේ නතරව ‘ කෑම සූදානම් කර ඇතැයි..’ පැවසූයේ මද හඬකින්ය.නිහඬ නිශ්චලව ගිය නිවසේ ඒ හඬ හොඳින් ඔහුට ඇසෙනා බව ඇයට විශ්වාසය.එහෙත් ඔහු නිහඬ නිරුත්තරය.දින කිහිපයක සිට නිවස තුළ රූපවාහිනියේවත් ගුවන් විදුලියේවත් හඬ නොඇසුණු තරම්ය.දුරකථන ඇමතුමක් පැමිණියත් දෙදෙනාම ඊට පිළිතුරු දෙන්නේ ඔවුනොවුනට හොර රහසේය.
තත්පර කිහිපයකට පසුව ඇයට ඇසුණේ නාන කාමරයේ වතුර මලින් වතුර වෑස්සෙන හඬය.එහෙමම පඩිපෙළ මධ්‍යයේම ඉඳගත් තරුණිය සිය දෑස් වලින් ගලා යන කඳුළු වලට ඉඩදී ඔහේ බලා සිටියාය.
තව තත්පර කිහිපයක් ගතව යද්දී හසාරාට ඇසුණේ ධනංජයගේ කාමරය තුළින් ඔහුගේ දුරකථනය නාද වන හඬය.හදිසියේ ඇති වූ සිතුවිල්ලකට ඉඩ දුන් හසාරා කාමරයට ඇවිද ගියේ වතුර මලෙහි හඬ එලෙසින්ම ඇසෙමින් තිබු නිසාය.
දුරකථන තිරයෙහි දිස්වූයේ නිර්මිතාගේ දුරකථන අංකයය.සැනසුම් සුසුමක් හෙලූ ඕ ආපසු හැරුණේ නිහඬවය.
ඊයේ පෙරේදා සිට ඒ සිතෙහි ඇතිව තිබුණේ සැකයක සේයාවකි.මේ තමාට අසීමිතව ප්‍රේම කළ මිනිසාමදැයි සිතෙනා තරමටම ඔහු වෙනස්ව යද්දී හසාරා උන්නේ විවිධාකාර මාවත් ඔත්සේ දිව යන්නට තනන සිත අපහසුවෙන් වාවා ගෙනය.ඒ සිත කොතැනක හෝ නතරව ඇතැයි සිතන්නට බිය වුවත් එසේ සිදු වූ තැන් ඕනෑ තරම් වනබව ඕ දැන උන්නාය.
තත්පර කිහිපයක් හඬ තැලූ දුරකථනය නිහඩවනු ඈ අසාගෙනය.පහත මාලයට පැමිණි හසාරා තම ජංගම දුරකථනයෙන් නිර්මිතාට ඇමතුමක් ලබාගත්තාය.
“ නිර්මි ධනංජය බාත්රූම් එකේ…මං දැක්කා ඔයා එයාගේ ෆෝන් එකට ගන්නවා.මං ඒක ආන්සර් කලේ නැත්තේ මේ වෙලාවෙ එයා ඒකත් වරදක් විදිහට දකී කියලා.”
“ ආ …එයා ඔයාට ෆෝන් එක දීලා ගියාද…”
තත්පර කිහිපයක නිහැඬියාවකින් පසුව එහා පසින් ඇසුණේ මද හඬකි.
“ නෑ මම එයා බාත් රූම් එකේ ඉන්න වෙලාවේ ෆෝන් එක රිං වෙද්දි ගිහිල්ලා බැලුවා කවුද කියලා..අනේ නිර්මි එයාගේ මේ වෙනසට හේතුවක් හොයාගන්න පුළුවන් හැම තැනක්ම මං හොයනවා..”
“ ඔයා ඔය නැති ප්‍රශ්නයක් ඇතිකර ගන්න හදන්නේ.මේ වෙලාවේ එයාගේ පෞද්ගලික ජීවිතයට මොනම විදිහකින්වත් ඇඟිලි ගහන්න එපා.අනිත් එක ඔයා මෙච්චර දුර්වල ඇති කියලා මම හිතුවේ නෑ.පිටින් ඉඳගෙන යාළුවෙක් විදිහට ඔය ප්‍රශ්නෙ දිහා බලන මටත් විශ්වාසයක් තියෙනවා ධනංජයගේ එහෙම වැරදි සම්බන්ධකමක් නෑ කියලා.ඇයි ඔයා තමන්ගේ හස්බන්ඩ්ව අවිශ්වාස කරන්නේ.එයා ඒක දැනගත්තොත් නැති ප්‍රශ්නයක්නේ..”
“ අනේ නිර්මි..මම දන්නවා ඒක වරදක් කියලා.මං මීට කලින් කවදාවත් ඒ විදිහට සැකෙන් එයාගේ ෆෝන් එක දිහා බලල නෑ.ඒකේ පාස් වර්ඩ් එක මම දන්නවා. ඒ උනාට කවදාවත් එයා නැති වෙලාවක ෆෝන් එක චෙක්කරලත් නෑ.මං දන්නෑ මට පිස්සු හැදීගෙන එනවද කියලා..ඔයා දන්නවද නිර්මි එයාට මාව තුරුල් කර ගන්නේ නැතුව නිදාගන්න බැරි වුණා.ඉස්සර මං පාඩම් කරල එනකන් එයා එතන පුටුවක් තියාගෙන ඔහේ බලාගෙන ඉන්නවා මගේ දිහා.සමහර වෙලාවට මං පාඩම් කරනකල් එයා මගේ උකුලේ නිදා ගන්නවා..එහෙම ඉඳපු කෙනෙක්ට මේ විදිහට වෙනස් වෙන්න ලොකු හේතුවක් තියෙන්න ඕනේ..”
“ මං දැන් ගත්තෙත් එයා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න තමයි.ලොකු හේතුවක් ඇතත් නැතත් එයා ඉස්සරටත් ජීවත් වෙන්න හදන්නේ මෙහෙමද කියලා අපි දැනගන්න වෙනවා..”
“ සමහරවිට මාත් එක්ක කතා කරන්න බැරි දෙයක් ඔයා එක්ක කතා කරයි නිර්මි.ඔයා මේ විදිහට අපි දෙන්න අතර මැදිහත්කරුවෙක් වෙලා අපි දෙන්නටම කරන උදව් මොනතරම් වටිනවද කියලා මට කියන්න තේරෙන්නේ නෑ.ප්ලීස් මං ගැන නැතත් ධනංජය ගැන බලන්න.ආපහු අපේ ජීවිතවලට සතුට එන්න කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි මට පුළුවන්.මං දන්නෙ නෑ සේවකයෝ දහස් ගණනක් හැන්ඩ්ල් කරන මට ධනංජය එක්ක මේ ගැන කතා කරන්න තේරෙන්නේ නැත්තේ ඇයි කියලා.”
“ ඒක තමයි මං කියන්නේ ඔයා දුර්වලයි කියලා.ඔයාට ඒක තේරෙන්නෙ නෑ තමයි.පිරිමියෙක් හැන්ඩ්ල් කරන්න තමන්ගේ සේවකයෝ එක්ක වැඩ කරන විදිහටට බැහැ.ඔයා දැන් තනිකරම ඉන්නේ ඔෆිස් මයින්ඩ් එකක.”
නිර්මිතා එසේ පවසා දුරකථනය විසන්ධි කලේ හසාරාගේ. සිතෙහි තමා ගැනම කලකිරීමක් තරහවක් ඇති කරමින්ය.තමාටත් හොර රහසේම තමා කාර්යාලීය ජීවිතයට ඇබ්බැහි වී ඇතැයි හසාරාට සිතුනේ මුල්ම වතාවටය.
(යළිත් හමු වෙමු….)
ReplyForwardAdd reaction |