ඉමන්දි ට හදිසියේම විදෙස් ගත රැකියාවක් වෙනුවෙන් ඉඩ ලැබුනා. ඒ ඇය සේවය කරප් පෞද්ගලික ආයතනයේ මැදිහත්වීමෙන් වසර දෙකක නොන්ත්‍රාත්තුවක් යටතේ. විදෙස් ගත වෙන එක ඉමන්දිගේ හීනයක් වෙලා තිබුණ නිසාම ඉමන්දි කඩිමුඩියේ ඒ වෙනුවෙන් සූදානම් වුනා. අම්මයි, තාත්තයි දෙන්නාත් ඉමන්දිගේ වැඩ කටයුතු වෙනුවෙන් හනි හනිකට වෙහෙසුණා. විදෙස් ගත වීම වෙනුවෙන් සූදානම් වෙන්න තිබුණේ මාසයක් විතරයි. ඉමන්දි ලොකු අක්කගේ ගෙදරයි, ලොකු අයියාගේ ගෙදරයි ගිහිල්ලා ඒ විස්තර කියලා කතා බහ කරලා ආවා. ලොකු අක්කා නම් තමන්ට සුභ පැතුවේ එතරම් හිත හොඳින් නෙවෙයි කියලා වැටහුනත්, ඉමන්දි ඒක ගැන එතරම් හිතුවේ නැහැ.
” එයාගේ හැටි එහෙමනේ.. චූටි දූ ඕවා ගණන් ගන්න එපා…. අපි පොඩි කාලේ ඉඳන් ගුණ ධර්ම කියලා දුන්නාට, ඒ කිසිම දෙයක් ලොකූගේ හිතේ නෑ… කොයි වෙලේ ඉන්නේත් පැහැව පැහැව.. දැන් ඔය ඔයාගේ රට ගමනට නිකන් එයා විස්සෝප වෙවී ඇත්තේ… පන්සලකට ගිහිල්ලා හිත සන්සුන් කරගන්න කියලා මම කොච්චරවත් කියනවා… සංසාර ණය තව ගෙවෙන්න ඇති …. පාපේටම තමයි එයාගේ හිත..”
එදා රෑ අම්මා එක්ක අක්කාගේ හැසිරීම ගැන කිව්වාම අම්මා එහෙම කිව්වා. ඉමන්දි ගැඹුරු හුස්මකින් ඒ සිදුවීම අමතක කරා.
” ලොකූගේ වාසනාවට නිර්මාල් පුතා දේව ඝණෙන් .. එහෙම නොවෙන්න එයාගේ පවු ලේසියෙන් යටපත් වෙලා පවුලක් විදියට ඉන්න නම් ලැබෙන්නේ නෑ…”
ඒ විස්තරේ තාත්තාත් එක්ක කියලා ඉවරවෙලා අම්මා එහෙම කියනවා ඉමන්දිට ඇහුණා. අක්කා කරන දේවල් වලින් හිත රිදවා ගන්නේ නැති බව තමන් ඉටාගෙන උන්න අබ්ව සිහි කරගෙන, ඉමන්දි නින්දට ගියා.
ඊලඟ සති කිහිපය ගෙවුණේත් කාර්‍යාලයේ වැඩ කටයුතු එක්කම, සූදානම් වෙන වැඩ වෙනුවෙන්. සති අන්තේ ඉමන්දිගේ අම්මා අක්කටයි අයියාටයි පවුලේ අය එක්කම කෑම වේලකට ආරාධනා කරලා තිබුණා. සෙනසුරාදා උදේ පාන්දරින්ම ඉමන්දිගේ ලොකු අක්කලා ආවා. ආව ගමන්ම ඇදුම් මරු කරගෙන ඉමන්දිගේ ලොකු අක්කා කලේ වත්ත පුරාම ඇවිද ඇවිද හවසට ගෙනියන්න කළමණා එකතු කරපු එක.
” තාත්තේ සියදෝරිස් ට එන්න කියන්නකෝ .. ශෝක් පොළොස් ටිකක් තියෙනවා .. කඩා ගන්න ඕනි …. කොස් ගෙඩි දෙක , තුනක් කඩලා මදුළු ගලවගෙනම යන්න ඕනි …”
ලොකු අක්කා මහ සද්දේට මිදුලේ ඉඳන් කෑ ගහනකොට, ඉමන්දි ලොකු මස්සිනා දිහා බලලා හිනාවීගෙනම මිදුලට බැස්සා. ලොකු කෙක්කට බැඳෙන විදියට හදලා තිබුණ ඇටවුමෙන් පොළොස් ගෙඩි පහක්ම කැඩුවා. ලොකු අක්කා ඉමන්දිට ඇණුම් පදයක් කියලා සිදුවීම ඉවර කරා.
” පොළොස් කැඩුවට කොස් කඩන්න බෑනේ ඕකෙන්.. සියදෝඔරිස් ගෙන්නගත්තා නම් තෝරලාම පොළොස් ටිකත් කඩාගන්න තිබුනා…”
වත්ත පහළ කොස් ගහෙන් තාත්තයි මස්සිනායි කොස් කඩාගෙන එනවා දකිනකොට අක්කා ඒකටත්කෑ ගහන්න ගත්තා.
” පුදුම ලෝභ කමක්නේ.. අර පැය ගානක් ඩ්‍රයිව් කරපු මිනිහාවත් එක්කගෙන ගිහින් කොස් කඩන්න ..අනේ මන්දා චූටි, සියදෝරිස්ට රුපියල් පන්සීයක් දෙන්න වෙනවාටද ඔය ?..>”
එච්චර වෙලා සද්ද නැතුව උන්න ඉමන්දි අක්කාගේ ඇඟට කඩාගෙන පැන්නා.
” ඉඳලා ඉඳලා ගමේ ඇවිල්ලා මිනිස්සු හිනස්සන්න එපා අක්කේ.. ඔයාට මතක නැද්ද මාස් අදෙකකට විතර කලින් සියදෝරිස් මාමා ගහකින් වැටිලා හොස්පිට්ල් හිටියා .. ඒ මනුස්සයා තාම රෙස්ට් කරන ගමන් ඉන්නේ … බෙහෙත් හේත් ටික ගෙනිහින් දෙන්නේ පවා තාත්තා….”
ලොකු අක්කා හෙමින් තාලෙට ලිස්සලා යනකොට. ඉමන්දි පොඩි උන් දෙන්නා එක්ක එකත් වෙලා පළතුරු කැඩුවා. උගුරැස්ස, නෙල්ලි, හීන් නාරන්, පේර, ඇඹුල් දොඩම්, ජම්බෝල වෙන වෙනම මලු වලට හැදුවා. තාත්තා කෙල්සෙල් කැන් දෙකක්ම කපලා තිබූන බව මතක් කරගත්තා.
අක්කා අම්මාගේ ගෙවත්තෙන් එළවලු පළා කඩාගෙන ඇවිල්ලා තියෙනවාත් ඉමන්දි දැක්කා.
” අක්කේ… ඔය බණ්ඩක්කා ටිකක් අයියාටත් තියන්නකෝ … හර්ෂි අක්කා ආසයිනේ …”
ඉමන්දි එහෙම කිව්වේ අයියලාත් අද එන බව දන්න නිසා.
” අනේ.. එයැයිට ඕනි තරම් අරගෙන කන්න බැරියැ කඩෙන් … මේ අම්මා වවලා තියෙන්නේ මට …”
එදා ඉමන්දිගේ අයියාගේ අක්කට හදිසි සැත්කමක් වෙනුවෙන් රාජකාරියට වාර්තා කරන්න වෙලා තිබුණ නිසා අයියයි, දරුවයි විතරයි ආවේ.
” ඔන්න චූටි උඹේ මහ ලොකු හර්ෂි අක්කා…ඉරිසියාවේ පැලෙන ගෑණුනේ.. එන්න බෑ කියන්න ඇති…”
අක්කා එහෙම කිව්වාට හර්ෂි අක්කා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා දන්න නිසාම ඉමන්දි අක්කා එක්ක වාද නොකර හිටියා.
කාලා, බීලා ඇලේ නාන්නත් ගිහිල්ලා කට්ටියම හවස් වෙලා ආයෙම පිටත් වුණා. මස්සිනා ඉමන්දිට ටැබ් පරිඝනකයක් ගෙනල්ලා තිබුණා. අක්කා ඒක ඉම්නදිට දුන්නේ නොදි බැරිවා වගේ.
” මම ඔයාට සල්ලි ටිකක් දාන්නම් .. ඕනි දෙයක් බලලා ගන්න චූටි ..”
අයියා එහෙම කිව්වමත් අක්කා ඒකටත් ඇණුම් පදමයි කිව්වේ.
ඉමන්දිට විදෙස්ගත වෙන්න දවස් තුනක් තියලා සිද්ද වුනේ කවුරුත් හීනෙකින්වත් නොහිතපු දෙයක්. ඉමන්දිගේ අම්මා ලෙස්සලා වැටිලා උකුල් ඇටයට හානි වෙලා රෝහල් ගත කරන්න වුණා. සැත්කමෙන් පස්සේ අම්මාට සෑහෙන කාලයක් එක් තැන් වෙලා ඉන්න සිදුවෙන බව වෛද්‍ය උපදෙස් වල කියැවුණා. ඉමන්දි පත් වුනේ අසරණම තත්වේකට.
” පිස්සුද චූටි .. අම්මාවයි, තාත්තාවයි දෙන්නාම ගෙදර ගිහින් තියාගත්තම මම කොහොමද වැඩ මැනේජ් කරගන්නේ… මම දැනටත් ලමයි දෙන්නාගේ වැඩ වලට කෙනෙක් ගෙන්නගන්නවා…”
” සල්ලි ගැන නොහිතා එහෙම කෙනෙක් හරි ගෙන්නගෙන අම්මව තියාගන්නකෝ අක්කේ ටික කාලයක් .. මම සල්ලි ගැන බලාගන්නම් …”
ඉමන්දි එහෙම කිව්වාත් අක්කා ඒකට එකඟ වුනේම නැහැ. මස්සිනාත් අක්කව එකඟ කරගන්න උත්සාහ කරනවා ඉමන්දි දැක්කා.
“ඔයාට සල්ලි ප්‍රශ්නයක් නැත්නම් අම්මාව බලලා හොඳ නර්සින් හෝම් එකක නවත්තමු .. තාත්තට උයාගෙන කාලා ගෙදර ඉන්න පුලුවන් නේ..”
අක්කා එහෙම කිව්වාට පස්සේ ඉමන්දි ආයෙම අක්කාගෙන් උදවු නොඉල්ලා ඉන්න තීරණය කලා. හර්ෂි අක්කාගේ අසනීප අම්මයි තාත්තයි දෙන්නාම බලාගන්නේ අයියයි, හර්ෂි අක්කයි නිසා ඉමන්දිට ඔවුන්ගෙන් උදවු ඉල්ලන්න හිතූනේ නැහැ, ඇය අවසානයේ තීරණය කලා විදෙස් රැකියාව අත් හරින්න. අම්මයි තාත්තයි කොයි තරම් විරුද්ධ වෙන බව දන්නවා වුවත්, ඇය වෙන විකපල්පයක් වෙනුවෙන් සූදානමක් තිබුනේ නැහැ.
හවස අම්මාව රෝහලෙන් ගෙදර එක්කගෙන යන්න හදනකොට, අයියයි, හර්ෂි අක්කයි ආවා.
” අම්මයි තාත්තයි අපේ ගෙදර ඉමු … මට පුලුවන් අම්මට සනීප වෙනකල් වැඩ ටික බලාගන්න ..”
හර්ෂි එහෙම කියනකොට ඉමන්දි පුදුමෙන් බලාගෙන හිටියා. තමන්ගේම සහෝදරිය තමන්ගේ අනාගතය වෙනුවෙන් අඳුරු වළාකුළු පා කරනකොට, නෑනා වුණ හර්ෂි ඇය වෙනුවෙන් ආලෝකය හොයනවා.
” ඔයා කොහොමද පුතේ මේ ඔක්කොම කරන්නේ.. එහෙත් අම්මායි තාත්තයි දෙන්නම ඉන්නවනේ..”
” මම උස්සගෙන ඉන්නේ නෑනේ.. අනෙක ඕනි තරම් ඉඩ තියෙන්නේ ..වෙනසකටත් එක්ක ටව්න් එකේ ජීවිතේ විඳලා බලමුකෝ … මෙයාට පුලුවන්නේ සතියකට පාරක් විතර ගිහින් මහ ගෙවල් අස් පස් කරව්ලා දාල එන්න තාත්තා එක්ක …”
හර්ෂි එහෙම කියනකොට ඉමන්දි හර්ෂිව වැලඳගත්තා.
” ඔයා නම් සංසාරේ කවදකම හරි, මගේම අක්කා …”
ඉමන්දි අඬ අඬා එහෙම කිව්වා.
ReplyForwardAdd reaction |