හදිසියේම ලෙඩින් වැටෙන එක ගෙදර ඉන්න දවස් වල නැති ලෙඩත් මවලා පෙන්වන සුන්දර දින කීපයක් වුණත් පතිනියක් වුණාට පස්සේ ඒක ඒ තරම් සුන්දර දෙයක් නෙවෙයි.
හෝදන්න තියන රෙදි ගොඩවල් ඇස් පියා ගන්න හැම වෙලාවකම ඇස් ඉස්සරහ මැවිලා පේන්න ගන්නවා. හැඩි වෙන ගේ අස් කරන්න බැරිඅමාරුවෙන් වුණත් නැගිට ගන්න හිතෙනවා.
ගෙදර ඉන්න දවස්වල ලෙඩ වුණාම අම්මා හදන සුප්, කැඳ මතක් වෙනකොට ඇස් දිය වෙන්න ගත්තත් මම හිත හයිය කරගත්තේ දැන් මම වෙන කැදැල්ලක කිරිල්ලියක් කියන එක මතක් කරගෙනමයි.
අමාරු ගතිය වැඩි වෙනකොට ඇස් පියාගෙන ඇඳේ ගුලි වෙනවට වඩා විකල්පයක් නැහැ. ඩොක්ට දීපු බෙහෙත් පෙති බොන්න කලින් හොඳට කන්න කීවත් මට කෑම අප්පිරියයි. සේරටම වඩා කඩ කෑම.. මේ වගේ වෙලාවක මතක් කරන්නවත් නොහිතෙන තරම්.
“තාරු… අපි මේක බීලා ඉමුද? “
හුඟක් වෙලා නිදා ගත්තු මට භානුක කතා කරන්නේ ආදරෙන්. කෝප්පයේ දුම් දාන්නේ මොනවද කියලා බලන්නවත් මට හිතක් නැහැ. මොනවා හරි කඩ කෑමක්!!
“අනේ මට බෑ භානු. ඔයා දන්නවනේ. කඩ කෑම මට අරහං”
“කවුද කඩෙන් ගෙනාවේ.මේ චෙෆ් භානුකගේ සුප් එකක්”
අදහගන්නත් අමාරුයි. අම්මා හදලා දෙන සුප් එකේ රස පදම නොතිබ්බට මේකත් නරකම නෑ. සුප් එකත් බෙහෙත් වඩියත් ආයෙමත් නින්දකට ඇරයුම් කරන පාටයි. ඒ නින්දෙන් පස්සෙ යන්තම් ඇඟට පණක් දැනෙනකොට මම කාමරෙන් එළියට ආවේ හැඩි වුණු ගේ මැදින් ඇවිද ගෙන යන්න හිතාගෙන.
නෑ..
මං තරම් හැඩට නැතත් භානුක පුලුවන් තරමට ගේ අස් පස් කරලා..
මම කිචන් එකට එබුණේ භානුක ඉන්නේ එතැන බව තේරුණු නිසා. ඔහු කලබලෙන් රෑට උයනවා. වෙනදා මට පොඩි අත් උදව් දෙන භානුක අද මටත් වඩා කඩිසරව කුස්සියේ වැඩ. හොඳටම හැඩි කරගෙන තමයි . ඒත් මොකද??
“උයන්න මහන්සි වෙන්නේ ඇයි භානු?”
“පිරිමි උයන එක ගෙදර වැඩ කරන එක ලැජ්ජාවක් නෙවෙයි තාරු.වයිෆ්ට බිසී වෙන, ලෙඩ වෙන වෙලාවට ඒ දේවල් කරන්න හස්බන්ඩ් කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන. උයලා නෑ තමයි. ඒත් බැරිකමකුත් නෑ වගේ”
ඕනෑම කරදර වෙලාවක හිත නිවන හිනාවත් එක්ක භානුක කියන්නේ සැහැල්ලුවෙන්.
ඔෆිස් එකේ සමහරු හස්බන්ඩ් කන පිඟාන පවා හෝදන්න ඕන බවත් ඔහුට සියලුම දේ අතට පයට කරලා දෙන්න ඕන බවත් උජාරුවෙන් කියන හැටි මට මතක් වෙනවා. ඒ ජීවිතවල ඇත්තටම සතුටක් තියෙනවද?
“ගිහින් නිදාගන්න තාරු. ඉක්මනින් සනීප වෙලා ඔයාගේ කුස්සිය අස්පස් කරගන්න.මේ මට පුලුවන් තරම..”
භානු හිස අතගාන්නේ ආදරෙන්..
“ආදරෙන් ජීවිතේ ගෙවනවා කියන්නේ මේකට භානුක. ජීවිතේ බෙදා හදා ගන්න එකට”
– නිබන්ධිකා –