සොහානි නිමේෂ්ගෙන් දික්කසාද වෙන්න තීරණය කලා. අවුරුදු හයක් ආදරේ කරලා කසාද බැඳලාත් සොහානි නිමේෂ්ගෙන් දික්කසාද වෙන්න ඉල්ලනකොට හැමෝම ඒ දිහා බැලුවේ නුහුරට. ඒ තියා සොහානිගේම අම්මයි තාත්තයි දෙන්නාත් මේ ගැන හිතුවේ සැකෙන්.
” තව පාරක් හිතලා බලන්න දෝණි .. නිමේෂ් කියන්නේ කතා බහ කරලා ප්‍රශ්න විසඳගන්න බැරි ළමයෙක් නෙවෙයි නේ …”
අම්මා සොහානිට එහෙම කියන්නේ සිය වෙනි වතාවට විතර. සොහානි අම්මා කිව්ව දේ ඇහුනේ නැති ගානට හිටියා.
” දෝණි …”
” මං තීරණයක් අරගෙන ඉවරයි අම්මේ .. මං ඔයාලාට වද දෙන්න ගෙදර ඉන්නේත් නෑ වැඩි කල් .. මම ෆර්ම් එක කිට්ටුවෙන් ඇනෙක්ස් එකක් බලලා තියෙන්නේ … මම ඒක ක්ලියර් කරගත්තම එහෙ නැවතෙන්නම් …මට මෙවෙලේ මේ වැඩ ටික කරගන්න විතරක් උදවු කරන්න ….”
” ඒත් නිමේෂ් කියන්නේම තව පාරක් කතා කරමු කියලානේ දෝණි …”
“අනේ මට එයත් එක්ක කතා කරන්න දෙයක් නෑ ….අම්මට ඕනි දෙයක් තියෙනවා නම් කතා කරගන්න ….”
සොහානි තමන්ගේ තීරණය වෙනස් කරන්න සූදානමක් නැති ගානට එහෙම කියලා නැගිට්ටා. අම්මාට ඉන් එහා සොහානි එක්කල කතා කරන්න පුලුවන් කමක් තිබුණේ නැහැ.
එක පාරටම පත්තු වුණ බෝම්බේ දිග පළලක් හිතාගන්න බැරුව නිමේෂ් උන්නේ හිර වෙලා. සොහානි කියන්නේ අවබෝධයෙන් ජීවත් වෙන්න පුලුවන් ගැහැණියක් කියලා නිමේෂ් දන්නවා. ඇය එක්ක ගෙවපු හැම දවසක් ගැනම නිමේෂ්ට තිබුණේ සෑහීමක්, සැහැල්ලුවක්. ඒත් සති දෙකක ඉඳලා එකපාරටම සොහානි වෙනස් වෙන්න ගත්ත බව නිමේෂ්ට මතකයි. ඊට පස්සේ එක පාරම සොහානි දික්කසාදයක් ගැන කතා කරනකොට තමන් ට දැනුණේ අකුණු දාස් ගානක් ඔලුව උඩ පුපුරලා ගියා වගේ කියලාත් නිමේෂ් සිහි කරා. පහුගිය දවස් වල හදිසි අනතුරකට මුහුණ දීලා රෝහල් ගත් වෙලා ඉන්න තමන්ගේ සමීපම මිතුරාව බලන්න ගිහින් නිමේෂ් උන්නේත් සොහානිගේ මේ තීරණය නිසා ඇති වුන කම්පනය එක්ක.
” මොකෝ බං උඹ … ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ මම .. උඹ නේ නිකන් මැරිලා වගේ ඉන්නේ…”
” එහෙම අවුලක් නෑ බං .. උඹට කොහොමද ?..”
” තව ඉතින් මාසයක් හමාරක් ඉන්න වෙයි මෙහෙම ..”
” හරි … මං ගිහින් එන්නම් එහෙනම් …”
නිමේෂ් සමුදුන්න විදිය ගැනත් මිතුරාට එතරම් සෑහීමක් තිබුණේ නැහැ. ඒ නිසාම මිතුරා සොහානිට ඇමතුමක් ගත්තා. ඒත් සොහානිගෙන් පිළිතුරු ලැබුනේ නැහැ. මිතුරා ඒ ගැන වැඩිය නොහිතාම අමතක කලා.
නිමේෂ් පහුවෙනිදා සොහානිව මුණ ගැහෙන්න සොහානිලාගේ ගෙදර ගියා. සොහානි නිමේෂ් එක්ක කතා කරන්න එකඟ වුණේ , සෑහෙන්න වෙලා කාමරේ ඇතුලේ දොර අඟුලු ලාගෙන ඉඳලා.
” සොහානි … අඩුම තරමේ මම මොකද කලේ කියලා කියන්න ….”
” ඔයා කරපු දේවල් මගෙන්ම ආයේ ආයේ අහන්න ලැජ්ජ නැද්ද ඔයාට ?..”
” ආයේ ආයෙම ඕකම කියන්නෙපා සොහානි .. ඔව් .. මට ලැජ්ජ නෑ කියලා හිතාගෙන ඔයා කියන්නකෝ … මොකක්ද වුනේ ?…”
” ස්පා ගානේ ගිහින් ගෑණු ලවා ඇඟ අතගාවගන්නකොටයි, ෆීල්ඩ් විසිට් යනවා කියලා නන්නාඳුනන ගෑණු බුක් කරගෙන අවුටින් යනකොටයි, නොතිබුණ ලැජ්ජාව දැන් තියෙන්න විදියකුත් නෑනේ එක අතකට …”
සොහානි යක්ෂණියක් වගේ කඩාගෙන පැන්නා. ඒ සද්දෙන් ගේ ඇතුලේ උන්න සොහානිගේ අම්මාත් තිගැස්සුණා. නිමේෂ් කිසිම වෙනසක් නැතුව සොහානි දිහා බලාගෙන උන්නා.සොහානි උන්නේ ඉන් එහාට වචනයක්වත් කියාගන්න නොහැකි තරම් කෝපයෙන්.
” ඔයා ඔය කිව්වේ හිතේ තියෙන දෙයක්ද ? නැත්නම් ඇත්තටම දන්න දෙයක්ද ?..”
නිමේෂ් ඊට පස්සේ ඉවසීමෙන් එහෙම ඇහුවා. සොහානි නිමේෂ්ට හිනා වුනේ සරදමට. නිමේෂ් ඒත් ඉවසීමෙන් බලාගෙන හිටියා.
“ඔයාට ලැජ්ජ නැද්ද නිමේෂ් .. තවත් මාව ප්‍රශ්න කරන්න ..”
සොහානි අම්මලාට ඇහේවි කියලා බයෙන් වගේ නිමේෂ් ළඟට වෙලා එහෙම ඇහුවා. නිමේෂ් යන්තම් හිනා වුණා.
” ඔයා මගෙන් ඩිවෝස් වෙන්න ඉල්ලන්නේ, ඔය කරපු චෝදනා වලට මාව හේතුවක් අහන්නේවත් නැතුව, මට කතා කරන්න ඉඩක්වත් නොදී මාව වැරදිකාරයා කරලා නම්.., ඔව් , අපි ඩිවෝස් වෙමු … වෙන්න ඕනි දේවල් බලලා කියන්න …”
නිමේෂ් එක පාරටම එහෙම කියලා නැගිටලා ගියාම සොහානිට අමුත්තක් දැනුණා. ඒ අමුත්ත සොහානිගේ අම්මාටත් වැටහුනා.
අම්මා සොහානි ළඟින් ඉඳගත්තා.
” මොකක්ද දෝණි ඒ කතාව …?..”
” අනේ මන්දා අම්මේ .. අර නිමේෂ්ගේ හොඳම යාලුවෙක් ඉන්නවා දනුක කියලා.. දනුක දවසක් මට කතා කර වෙලාවක කිව්වා නිමේෂ්ව ස්පා එකකට ඇරලවන්න ආවා කියලා.. මං හිතුවේ විහිලුවට කියලා.. මම ඒක ගනන් ගත්තේ නැතුව ඉඳලා, නිමේෂ්ට කෝල් එකක් ගත්තා..ඒත් ෆෝන් එක ආන්සර් කලේ නෑ. පස්සේ මම ඔෆිස් ලයින් එකට ගත්තාම නිමේෂ් වේලාසන ගිහින් කිව්වා… එදා ගෙදර ඇවිල්ලා නිමේෂ් කිසිම වෙනසක් නෑ වගේ උන්නා..
පස්සේ මම ආයේ දනුකට කතා කරලා ඇහුවා ඇත්තටමද එදා කතාව කිව්වේ කියලා… එතකොට එයා කිව්වේ, දනුක ස්පා වලට ඇඩික්ට් වෙලාලු ඉන්නේ.. ඒගොල්ලෝ කෙල්ලන්ව අරගෙන අවුටින් යනවාලු.. ෆීල්ඩ් විසිට් වලට කියලා යනකොට එහෙම ගෑණු අයවත් අරගෙනලු යන්නේ….”
” ඉතින් ….”
” මම පස්සේ නිමේෂ් ෆීල්ඩ් විසිට් කියලා ගිය දවසක ඔෆිස් එකට කතා කලා සයිට් එකක කෙනෙක් විදියට.. එදා කිව්වේ එහෙම විසිට් එකක් නෑ කියලා …”
“ඉතින් ..”
” ඉතින් අහන්නේ ඇයි අම්මේ.. අවුරුදු ගානක් ආදරේ කරලා කසාද බැඳපු මිනිහා ඔහොම දෙයක් කරහම තව ඉවසන්න ඕනිද ?..”
” එතකොට දැන් ඒ මිනිහා එහෙම කරාම කියලා ඔයා දන්නවාද ?…”
” ඉතින් දනුක මොකටද බොරු කියන්නේ ?…”
” හරි ..ආයේ ඔය දනුකට කෝල් එකක් ගන්නකෝ මටත් ඇහෙන්න ..”
සොහානි දනුකට ඇමතුමක් ගත්තා. දනුක ඇමතුම ට පිළිතුරු දුන්නේ රෝහල් කාමරයේ ඉඳගෙනම.
” ආහ් ..ඔහොම තමයි ඉතින් … මෙච්චර දෙයක් වෙලා එක කැඳ උගුරක් අරගෙන ආවේ නෑ ….”
” මොකද්ද දනුක වුනේ ?..”
” ඇයි නිමේෂයා කිව්වේ නෑ ?…”
” නෑ …”
” ඒක නම් වෙන්න බෑ … ඌ මේ ඔයා හදලා දුන්නා කියලා ඊයේ හවස මට සුප් එකකුත් ගෙනල්ලා දුන්නානේ …”
සොහානි අම්මා දිහා බැලුවා. අම්මත් වික්ෂිප්ත වෙලා බලාගෙන උන්නේ.
” මොකක් හරි අවුලක්ද ඕයි ?… “
සොහානි අඬ අඬා හැමදේම කියනකොට දනුකට හිතාගන්න බැරි උනා. තමන් විහිලුවක් විදියට පටන් ගත්ත කතාව සෑහෙන්න දුර ගිහින් බව තේරුණා. ඔහු සොහානිට ඒ ගැන කිව්වේ පුදුමාකාර කලකිරීමක් එක්ක.
” ඔය ෆීල්ඩ් විසිට් කියලා ඔයාට කියලා ගිය දවස පහුගිය මාසේ මගේ උපන්දිනේ දවස.. එදා අපි ගියේ මේ මාසේ ඔයාගේ උපන්දිනේට තෑගි දෙන්න කාර් එකක් බලන්න … එක අතකට උඹ ඌව ඩිවෝස් කරපං බං ..උඹලා එක වහලක් යට ජීවත් වෙන්නේ ඔච්චරට සැකේ පුරවගෙන නම්, අඩුම තරමේ එහෙම දෙයක් කතා බහ කරගන්න තරම් අවබෝධයක් උඹලා ළඟ නැත්නම්, ඔය ජීවිත වෙන වෙනම යන එකමයි හොඳ ..”
සොහානි අතට අහු වුන ඇඳුමක් ඇඳගත්තා. ගෙදර ළඟින් බහිනකොට සොහානි වෙවුලනවා.
ගේට්ටුවෙන් ඇතුලු වෙනකොටම සොහානි දැක්කා මිදුලේ පැත්තක නවත්තලා තිබුන නවීන පන්නයේ මෝටර් රියක්. සොහානි අඩියට දෙකට ගෙදරට ඇතුල් වුණා. නිමේෂ්ට ඒ වෙනකොටත් දනුක විස්තරේ කියලා තිබුනේ.
සොහානි නිමේෂ්ව දැක්කාට පස්සේ එක අඩියක්වත් ඉදිරියට ඇවිදගන්න බැරිව එහෙමම බලාගෙන උන්නා.
මෙවෙලේ වගකීම් සහගත වෙන්න නිමේෂ් තීරණය කරලයි තිබුණේ. ඔහු සොහානි දිහාවට ඇවිදගෙන ගියා.
” කාලා ඉමු ..”
නිමේෂ් කිව්වාම සොහානි අඬාගෙනම නිමේෂ්ව වැළඳගත්තා.
” මෙච්චර දේවල් කතා බහ කරලා ජීවිතේ ඉස්සරහට ආව අපි දෙන්නාට ඔය දේ කතා කරගන්න බැරි උනේ ඇයි කියලා මම දන්නේ නෑ සොනාලි … මම සර්ව සම්පූර්ණ මිනිහෙක් නෙවෙය් … ඔයා අකමැති දේවල් මගේ අතින් වෙන්න පුලුවන්.. වැරදි අත්වැරදීම් වෙන්න පුලුවන් .. ඒත් ඒ හැම වෙලාවකට පස්සේම මගේ කතාව අහලා ඉන්න තරමටවත් අපි දෙන්නා ක්ලෝස් නෑ කියලා දැනෙන එක මරණීයයි …”
සොහානිට ඒ වෙනුවට දෙන්න උත්තර තිබුනේ නැහැ. ඒත්, තමන් නපුරු හීනයකින් ඇහැරුණ බවත්, මඟ හැරුණ යමක් ජීවිතයට පුරවා ගත් බවත් ඇය තේරුම් ගත්තා,
ReplyForwardAdd reaction |