විපාක

චතුරි කෝපය දරාගන්න බැරිකමට කාමරේ පුරා එහෙ මෙහෙ ඇවිද්දා. තමන්ගේම ගෙදර තමන්ට බෝඩිංකාරයෙක් වගේ ඉන්න වුන එක ගැන චතුරිගේ කෝපය අසාධාරණ නැති බවම චතුරි හිතුවා. සංකල්පගේ නෑදෑ පරම්පරාවම දන්වන්නේවත් නැතිවම මෙහෙම මතුවීම කොහොමටවත් ඉවසන්න ඕනි නැති බව තමයි චතුරි හිතුවේ.

එතනින් දේවල් නැවතුනේ නැහැ, ඒ නෑදෑයෝ චතුරිට බාධා නොවෙන්න කෑම ජාතිත් හදාගෙනම ඇවිල්ලා තිබුණේ.

” දුවට කරදර කරන එක හරි නෑනේ..  අපි හෙට ගමනට එක්කම කෑම ටික ටික හදාගෙන ආවා…”

සංකල්පගේ පුංචි අම්මා එහෙම කියනකොට චතුරිට දැනුනේ ඇණුම්පදයක් කියන ගානට. චතුරි මූණෙන් කිසි වෙනසක් නොපෙන්වගෙන එතනින් ඈතට ගියා. ඒත් හිත ඇතුලේ තිබුනේ මහ ගින්නක්.

” අපිට කන්න බොන්න නැති ගානට , හිඟන තාලෙන් එක එක ජරාව උස්සගෙන ඇවිල්ලා තව ලොකුවත් කියවනවා මෙතන ..”

චතුරි කාමරේ ඇතුලට ගියේ එහෙම  හිත හිත. කාමරේ ඇතුලේදි චතුරිට තමන් ගැන අනුකම්පාවකුත් දැනෙන්න ගත්තා.

 ” මගේ ගෙදර මාවම බෝඩිංකාරයෙක් ගානට දැම්මානේ මේ සංකල්ප ..  නෑදෑයෝ කට්ටියක් එනවා කිව්වට මෙච්චර ඒවි කියලා කවුද හිතුවේ…. “

තමගේ කෝපය සාධාරිණීකරණය කරගන්න චතුරි එක එක කාරණා හිතනවා. සංකල්ප කාමරේට ඇතුලු වුනේ චතුරි සාලේ නැති බව වටහාගෙන එහෙ  මෙහෙ ඇයව හෙව්වාට පස්සේ.

“චතු … ඇයි මේ ?…”

සංකල්ප එහෙම අහගෙනම චතුරි දිහාවට ඇවිදගෙන ආවා. චතුරි සංකල්පගේ දිහා බලන්නේවත් නැතිව උන්න පියවරේම උන්නා.

” චතුරි ….”

” ඇයි .. මොකද ?…”

චතුරි කවදාවත් නැති විදියට සංකල්පගේ ඇඟට කඩාගෙන පැන්නා. සංකල්ප බලාගෙන හිටියේ චතුරිගේ කෝපය වටහාගන්න බැරිව.

” ඔයා කාමරේට වෙලා ඉන්නේ ඇයි චතූ?.. අරහේ ඔක්කොමලා ඔයාව හොයනවානේ … ඔයා නැතුවට බලන්න මාත් මේ ආවේ… ඇයි මේ ?..”

ඉක්මනටම සිහි එළවගෙන සංකල්ප එහෙම ඇහුවා.  චතුරි උත්තර නොදීඔ ඇඳේ කොනකින් වාඩි වුණා. සංකල්ප එක්ක විවාහ වෙන්නම අවශ්‍ය බව කියලා හිතුවක්කාරකම් කරනකොට අම්මලා කියපු දේවල් චතුරිට මතක් වෙන්නත් ගත්තා.

” සංකල්ප හොඳ ළමයෙක් වෙන්න ඇති ..  ඔයාට ආදරෙත් ඇති .. ඒ වුනාට පුතේ සංකල්ප ජීවත් වෙච්ච පරිසරයට, ඔයා මේ ජීවත් වෙන පරිසරය ගලපන්න බෑ .. කසාදයක් කියන්නේ දෙන්නෙක් අතර වෙන නිකම්ම සම්බන්ධතාවයක් නෙවෙයි … ඒ දෙන්නාගේ පවුල්, ගෙවල් දොරවල්, නෑදෑ හිතවත්තු පවා කසාදෙකින් එකට බැඳෙනවා.. ඔයාම කල්පනා කරන්නකෝ, සංකල්පගේ නෑදැයොන්ට අපේ නෑදෑයෝ එක්ක හැරෙන්නවත් පුලුවන් වෙයිද කියලා… ඒක නිකන් ප්‍රශ්න හදා ගැනීමක් පුතේ .. අනෙක සංකල්ප කියන්නේ තමන්ගේ පවුලට බැඳුණු මිනිහෙක් නේ .. කසාද බැන්දා කියලා ඒවා වෙනස් වෙන්නේ නෑ ….අනෙක ඔයාට පුලුවන්ද ඔය ගමේ වලවු වල ජීවත් වෙන්න ගිහින් …”

” අපි ඔක්කොම මිනිස්සුනේ අම්මේ .. මේවා ගලපගන්න පුලුවන් …”

” කියනවා වගේ ලේසි වෙන්නේ නෑ චතුරි කරන්න ගියාම .. ඔයා දැන දැනම වලේ වැටෙන එක කරන්නේ ඔය .. වැඩි කල් යන්න කලින් ඔයාට තේරෙයි …”

අම්මා කිව්ව විදියටම වෙඩින් එක දවසේ සංකල්පගේ  නෑදෑයො ගැන තමන්ට දැනුන කලකිරීම සහ ඔවුන්ගෙන් ඉතාම දුරස්ව ඉන්න ඕනෑ කියලා හිතුන විදිය චතුරි සිහි කලා. ඔවුන් සතු අතිශය හිතවත් දයාර්ද්‍ර අවංක බව චතුරිලාගේ නෑදෑයො දැක්කේ නෝංජල්කමක් විදියට.

කොහොමටත් කොළඹ පදිංචි වුන නිසා සංකල්පගේ නෑදෑයොන්ගෙන් ඈත් වෙන්න ලැබුණ එක චතුරිව සැනසීමක තිව්වා. ඉඳලා හිටලා වරුවකට සංකල්පගේ අම්මලා බලන්න ගමේ ගිහින් එන්න වෙන එක චතුරි දරාගත්තා. මේ මාස හය පුරාවටම චතුරි කිසිම ප්‍රශ්නයක් ඇති නොකරගන්න පරෙස්සම් වුනා.

ඒත් මේ අද පුපුරලා යන්නේ ඇය ඉතා සීරුවෙන් සඟවාගෙන උන්න ඒ සියල්ල.

” චතුරි …”

චතුරි කිසිම දෙයක් නොකියා කල්පනාවක විතරක් ඉන්නකොට සංකල්ප ඇය ලඟින් ඉඳගත්තා, චතුරි සංකල්ප දිහාව බැලුවේ ඇස් වල ගින්දර පුරවගෙන.  ඒත් ඒ ගින්දර වලට හේතුවක් සංකල්පට හිතාගන්නවත් පුලුවන් වුනේ නම් නැහැ.

” ඔයාගේ නෑදෑයෝ හිතාගෙන ඉන්නේ අපිට අහේනියක් කියලාද ?..”

ටික වෙලාවක් එහෙම බලාගෙන ඉඳලා චතුරි අහපු විදියට සංකල්පට උත්තරයක් හිතාගන්න බැරිව ගියා. ඒ හින්දාම කිසිම දෙයක් කියන්නේ නැතුව ඔහේ බලාගෙන උන්නා.

” අර හත්මුතු පරම්පරාවම එකපාරටම එනකොට උයාගෙන කරගෙනත් ඇවිල්ලා තියෙන්නේ අපිට වේලක් කනන් දෙන්න තරම්වත් බෑ හිතලාද ?..”

චතුරි ආයෙම එහෙම අහලා කඩාගෙන පැන්නා.

සංකල්ප චතුරි දිහා බලාගෙන උන්නේ ඇගේ මේ විෂ සිතුවිලි ඔහු කවදාවත් විශ්වාස  නොකල තරමේ නිසා .

” අනෙක, ඔහොම විසි තිස් ගානක් එකපාරටම ගෙවල් වලට එන සිරිතක් තියෙනවාද ?.. වන්දනාවේ යන්න ආවානම් ඒක යන්නේ නැතුව …”

චතුරි ආයෙම ඇහුවම සංකල්පට දැනුනේ කලකිරීමක්. සංකල්ප කිසිම දෙයක් නොකියා කාමරෙන් ගියා. නෑදැයොන්ට කිව්වා චතුරිට හදිසි අසනීපයක් ඇවිල්ලා කියලා. ඇය නාන කාමරේ බවත් කිව්වා.

තමන්ට පුලුවන් උපරිමෙන් නෑදෑයොන්ට සැලකුවා. ඔවුන්ගේ වන්දනා ගමන වෙනුවෙන් හැකි කලමණා සූදානම් කරලා දුන්නා.

” ඔයා ඔය කියපු වචන ටිකෙන් සංකල්ප අයියා ඔයාට දුන්න ආදරේම අතුරුදන් වෙලා යන්න ඇති අක්කේ …”

චතුරි නංගීට ඇමතුමක් අරගෙන සිදුවීම කිව්වාම, නංගී එහෙම කිව්වා. චතුරි හෙමින් සීරුවේ කාමරෙන් එලියට ආවා. ඒ වෙද්දිත් සංකල්පගේ අම්මා චතුරිගේ බඩේ අමාරුවට හාල් බැදලා කැඳ එකක් හදන ගමන්. චතුරි අමාරුවෙන් ඒක බිව්වා. සංකල්ප නම් චතුරි දිහාව බැලුවේවත් නෑ.

” පුතාලටත් එක්ක අපි මේ මෝජු , බැදුම් හදාගෙන ආවේ.. ඒ වුනාට අදට මුකුත් කන්න එපා දූගේ බඩේ අමාරුව හොඳ වෙනකල්.. හොඳේ සුදු පුතේ ..”

අම්මා පිටත් වෙන්න කලින් කිහිප වතාවක්ම සංකල්පට කියනවා චතුරිට ඇහුනා. හවස් වෙනකොට කට්ටියම පිටත් වුනේ ගෙදර කිසිම දෙයක් අස් කරන්නවත් චතුරිට ඉතුරු නොකර. පොඩිදරුවෝ පවා අසුන්වල ඉඳගෙන උන්නේ ඒවාට හානි නොවෙන්න.

සංකල්ප කිසිම දෙයක් නොකියා බත් බෙදාගෙන කෑවේ චතුරි දිහාවත් නොබලා. චතුරි එහෙට මෙහෙට ඇවිද ඇවිද සංකල්පගේ අවධානය හොය හොය උන්නා.

කාලා ඉවර වෙලා සංකල්ප කෙලින්ම ගියේ කාමරේට. චතුරි සංකල්පගේ පස්සෙන්ම ගියා.

” ගිහින් කන්න … මට ටිකක් තනියම ඉන්න ඕනි …”

සංකල්ප එහෙම කිව්වේ චතුරි දිහා නොබලා. ඒත් චතුරිගේ හිතේ ගින්න, බඩේ ගින්නට වඩා වැඩිවෙලා තිබුනේ.

” මට සමාවෙන්න .. මම …”

” සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ … ඔයාගේ කොළඹ හතේ නෑදෑයොන්ට මගේ පවුල ගැලපෙන්නේ නැති බව ඔයාගේ අම්මා මට දවසක් පැහැදිලි කලා .. මම ඒක ගානකට නොගෙන   හිටියේ, ජීවත්වෙන තැන අනුව මිනිස්සු වර්ග කරන්න තරම් ඔයා පටු නැති බව මට විශ්වාස තිබුන නිසා.. ඒත් මට තේරෙනවා, ඔයත් ඒ අම්මා කියපු සිතුවිලි පරාසෙම තමයි …”

” සංකල්ප …ප්ලීස් එහෙම නෙවෙයි …”

” එහෙම නෙවෙයි නෙවෙයි .. ඒක තමයි ….ඔයාගේ පහසුවටයි අම්මලා කෑමත් හදාගෙන ආවේ.,.. එච්චර පිරිසකට උයන්න කරන භාජනවත් මෙහෙ නැති බව දන්න නිසා .. අනෙක මම කිව්වනේ ඔයාට, බස් එකකින් කට්ටිය එන බව …
 චතුරි ඔලුව වැනුවා. සංකල්ප කියන දේවල් එක්ක ඇයට දැනෙන්නේ තමන් ගැනම ලැජ්ජාවක් .

” එකම එක වතාවකට සමාව දෙන්න බැරිද ?…”

” මගෙන් සමාවක් ඕනි නෑ චතුරි ..”

” ඔහොම ඉන්න එප .. ප්ලීස් ..”

”  ගිහිල්ල කන්න …”

සංකල්ප දැඩිවම උන්න.

චතුරි සංකල්පගේ අම්මාට ඇමතුමක් ගත්තා.

” අම්මේ … වන්දනාවේ ගිහිල්ලා එහෙමම ගෙදර යන්නේ නැතුව මෙහෙ බැහැලා යන්න …. මඟට කන්න මොනවා හරි හදලා තියන්නන් මම ..පොඩි කට්ටියව පොඩ්ඩක් සෝදවගෙන එහෙම යන්න පුලුවන් නේ …”

චතුරි එහෙම කියලා සංකල්ප දිහා නොබලාම නැගිටලා කුස්සියට ගියා. පැන්ට්‍රියට අත් දෙකෙන් බර වෙලා ඉකි ගහලා ඇඬුවා.

” දැන් අඬන්නේ මොකටද ඔය …”

එකපාරටම සංකල්පගේ හඬ එක්ක උණුසුම ඇගේ වටා දැවටුණා.

” එන්න … මං කවන්නම් … අම්මාගේ අර තිත්ත කැඳ එක බීලා කට තිත්තේ නේ ඇත්තේ …”

සංකල්ප ඉතා ඉක්මනින් චතුරිව වටහාගෙන සියල්ල සාමාන්‍ය කලා.

” ජීවත්වෙන තැන් වලට අනුව වෙනස් වෙන මිනිස්සුන්ගේ චර්‍යාවන් වලට අඩුපාඩු කියන එක තේරුමක් නැහැ” චතුරි තේරුම් ගත්තා. 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles