හද සාගරේ – 24

0
5139

ආදියා ගේ නෙතු විවර වූයේ ඉතාමත් සන්සුන් ව ය. නො කැඩී හෝරා ගණනාවක් ඒ තරම් දිගු සුව නින්දක් ලැබූයේ බෝ කලකට පසුයි. එබැවින් ඒ අවදි වීම අතිශය ප්‍රබෝධවත් විය.
ඇය නිශ්චල ව අසා සිටියා ය. නිහැඬියාව මිස කිසිත් ඇසුනේ නැත. ජංගම දුරකතනයෙන් වෙලාව බැලූ ඕ යහනෙන් පැන්නා ය.
ජිනාදරී මුළුතැන්ගේ දෙසට එන විට දෙව්රම් සිටියේ විද්‍යුත් කේතලයට වතුර තබා තේ හදන්නට සූදානම් වෙමිනි. ජිනාදරී දුටු ඔහු ප්‍රසන්න සිනහවක් තිළිණ කළේ ය.
“ගුඩ් මෝනිං ආන්ටි”
“ගුඩ් මෝනිං පුතා. අනේ කෝ එහාට වෙන්නකො. මං තේ ටික හදල ගන්නං”
“අනේ කමක් නෑ ආන්ටි. මට දැං ඕව පුරුදුයි. අනික ආන්ටිල මගෙ අමුත්තොනෙ”
“පුරුදු වුණාට කමක්නෑ අපි ඉන්නකල් මං මේ වැඩ ටික කරන්නංකො. පුතා එහාට වෙන්නකො”
දෙව්රම් ජිනාදරී ට කුස්සිය පවරා පසුබෑවේ සතුටෙනි. වතුර උතුරන තුරු ඔවුන් දෙදෙනා කතා කළේ සපූ ගැන ය. දෙව්රම් වන් පිරිමියෙකු ප්‍රතික්ශේප කළ හැකි ගැහැනියක ගැන ජිනාදරී පුදුම වූවා ය.
“එක අතකට පතාගෙන ආපු හැටියට තමයි පුතා හැමදේම. ඇස් දෙකේ තියාගෙන අපි හදපු දරුවෙක් පේන්නැද්ද දැං අර. ඕක සිද්දවෙන්න නොදී කෙල්ලව බේරගන්න අපි කොච්චර මහන්සි වුණාද… කරුම විපාක ගෙවන්න තියනවනං වලක්කන්න ලේසි නෑ”
ආදියා නැවුම් වී මුළුතැන්ගේ දෙසට පැමිණියේ ඒ වෙලාවේ ය. දෑත් පපුවෙහි බැඳගෙන පැන්ට්‍රි කබඩ් එකට හේත්තු වීගෙන සිටි දෙව්රම් ඇස් පිරෙන්නට ඇදෙස බැලුවේ ය.
“ගුඩ් මෝනිං මිස්ට දෙව්රම්”
ඒ සුබ පැතුම වෙනදාට කාර්යාලයේ දී වාගේ සැහැල්ලු හා දඟකාර වූයේ නැත. ඒ ලැජ්ජාශීලී බව ආදියා ට ගැලපෙන්නේ නැතැයි එසේ ඇදෙස බලා සිටින අතරේ දෙව්රම් ට සිතිණ.
“ගුඩ් මෝනිං. කෝ ඉතිං ඔෆිස් යන්න කලින් ගෑනු ළමයි නැගිටල කෑම හදාගත්තෙ එහෙම නෑනෙ”
“හපොයි උයන්නම කෙනා”
ඒ සරදම ජිනාදරී ගෙනි.
“නාගන්න වෙලාව තියල තමයි නැගිටින්නෙ. මං එතකොට උයල කෑම බෙදල බෑග් එකට දාල ඔක්කොම කරල ඉවරයි. නාගෙන ඇවිත් ඉතිං යුද්දෙ වගේ ලෑස්ති වෙන්නෙ. ඒ අතරෙ මං පස්සෙං දුව දුව බත් කටවල් හතර පහක් කවාගන්න ඕනෙ. නැත්තං බඩගින්නෙ තමයි දුවන්නෙ”
“ඒ කියන්නෙ බබෙක් නේ…”
“අපි ඉන්නකං ඉතිං හොඳයි. කසාද බැඳල ගිය කාලෙක තේරෙයි රඟේ. දැන් ඔය අක්කට පේන්නැද්ද…”
ජිනාදරී දෙව්රම් ට තේ එක පිළිගන්වත්දී නිශ්ශංක ද මුළුතැන්ගෙට පැමිණෙමින් සිටියේ ය. ආදියා ගේ හිස මත සිය පීතෘත්වයේ සුරත තැබි හෙතෙම දිගු හුස්මක් ගත්තේ ය.
“මේ වෙන දේවල් දිහා ඇස් කන් ඇරං බලං ඉන්නවනං අක්ක කරගත්ත දේ චූටි දුවත් කරගන්නෑ. අපි ළඟ ඉන්නකල් විතරනෙ ඉතිං ඔය ඔක්කොම හුරතල්. ඊට පස්සෙ මොකෝ ටිකක් දවල් වෙනකල් නිදාගන්න පුළුවන් කියලද… ඒක නිසා තාත්තල අම්මල ළඟ ඉන්නකල් දුවලට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෝනෙ”
“ඔය පේනවනෙ පුතා. තාත්ත තමයි ඕනවට වැඩිය හුරතල් කරන්නෙ”
“ඒකනෙ ආන්ටි දුවල එයාල ලංවෙන පිරිමින්ගෙනුත් තාත්ත වගේ කෙනෙක් හොයන්නෙ. පොඩ්ඩ එහා මෙහා වුණ ගමන් තාත්ත තරං කිසිම පිරිමියෙක් මට ආදරේ කරල නෑ කියල කියන්නෙ”
“අන්න පුතාට තේරුණා”
නිශ්ශංක හඬ නගා සිනහ වූයේ ය. ආදියා නම් දෙව්රම් දෙස බැලුවේ හෝ නැත. නමුත් ඔහු ගේ දෑස් කාන්දම් සේ ඈ මත එල්ලී ඇති වග ඇයට නො දැනුණා නොවේ.
“ඊයෙ කලබල නිසා කියන්න බැරි වුණානෙ. මං හෙට ඉඳං උදේටත් කෑම හදල ඕනෙ කියල කියන්නං”
දෙව්රම් එහෙම කියත්දී නම් ආදියා ගේ ඇස් වහා ඔහු වෙත යොමු විය.
“අනේ කරදර වෙන්න එපා පුතා. අනිත් එක මේ ඉන්න දවස් දෙක තුනේ මං උයන්නං”
“අර හාදයගෙ රස්සාවට බඩේ පාර ගහන්නයි හදන්නෙ අපේ නෝන”
“එයාගෙ පේමන්ට් එකනං කොහොමත් කරනව ඉතිං. අම්ම කෙනෙක් අතින් උයන බත් ටිකක්නං කන්නත් ආසයි”
ඔහු කෙතරම් නම් නිර්ව්‍යාජ ද? ඒ සිනහව කෙතරම් නම් අවංක ද? ආදියා ට ඕන වුණේ ඔහු දැඩිව වැළඳගන්නටයි. නමුත් දැනෙන්නට බලන්නටවත් ඇයට ඉඩක් නැතිවා නොවේ ද?
එදා නිශ්ශංක ආදියා කැටිව බස් නැවතුම තෙක් ගියේ ඇයට පාර පෙන්වන්නටත් එක්කයි. දෙවරම් ඒ වෙලාවේ පිටතට නෑවිත් කාමරයට වී සිටියේ ය. සාමාන්‍යයෙන් ඔහු ඒ තරම් උදයෙන් කාර්යාලයට යන්නේ නැත. ආදියාව රියෙහි නංවාගෙන යන්නට කතා කිරීමෙන් ඇය තවත් අපහසුවට පත් වෙනු ඇතැයි ඔහු සිතුවේ ය. අනිත් අතට ඔහු එවැනි යෝජනාවක් කිරීම නිශ්ශංකලා අපහසුවට පත් කරනා හේතුවක් වන්නට ද පිළිවන.
සාරධා අවදි වී මුළුතැන්ගෙට පැමිණියේ හොඳට ම දවල් වී දිනේශ් තේ ඉල්ලූ පසුව යි. උදෑසන ට පොඩි පොඩි ඔක්කාර ගති පවතින නිසා, පහුගිය කාලයේ ම කිරි කහට හදාගෙන ක්‍රීම් ක්‍රැකර් බිස්කට් දෙක තුනක් ද සමග කාමරයේ දොරට ජිනාදරී විසින් තට්ටු කරනු ලබන මොහොත තෙක් ඇය ඇඳෙන් බැස්සේ නැත. නමුත් අද එහෙම සිටිත හැකි නොවේ.
නිශ්ශංකලා ගෙදරින් නික්ම යනු ඇතැයි සාරධා සිතුවේ ම නැත. තරමක් රෑ බෝ වන තුරුත් ඈ බලා සිටියේ ඔවුන් යළි පැමිණෙනු ඇත කියා ය. කුඩා සිත්මි ද දරු ගැබක් ද සමගින් තනිව රැය ගත කරන්නේ කෙසේ ද? දිනේශ් ට කතා කොට ගෙන්වා ගන්නවාට වැඩිය කතා නොකර ම සිටිනා එක හොඳ යයි ඇයට සිතේ. ඔහු එනවාට වැඩිය නො එනා එක හොඳ යයි හිතේ එක පැත්තක් කොඳුරා කියයි. සැබවින් ඇයට ඇයව ම නොතේරෙන තරම ය. දිනේශ් සමගින් ගෙවනා දිවියෙහි ඇයට සතුටු වන්නට කියා අංශු මාත්‍රික හේතුවක් නොවේ. පිරිමියෙකුට සිය දරු පවුල ගැන වන වගකීමෙන් බිඳක්වත් ඔහු දරන්නේ නැත. උපයනා සොච්චම බීමතට ද රස්තියාදු මිතුරු ඇසුරට ද වැය කරනවා මිස සාරධා ට සතයක් හෝ දෙන්නේ නැත. ඇය සතුව යම් මුදලක් වෙතැයි දැනගත හොත් එය ද කඩා වඩා ගන්නා තුරු ඉවසිල්ලක් නැත. අපා දුකක් වූ මේ කරුම ජීවිතය මැද්දේ දී ඇයට ඈ ගැන ම දැනෙන්නා වූ කෝපය ක්‍රෝධයක් වී පිට වන්නේ දෙමාපියන් මතිනි. ඔවුන් ගැන කිසිදු අනුකම්පාවක් ඇයට දැනෙන්නේ නැත. ඒ අතීතයේ දී දිනේශ් ගෙන් ඇය ගලවා ගන්නට ඔවුන් දැරූ උත්සාහය ගැන සිහි වන්නේ ද නැත. ඒ වෙනුවට ඇය නො රිස්සුම් වන්නේ ඇයට මෙවන් විවාහයක් කරගන්නට ඔවුන් ඉඩ දුන් එක ගැන ය. එය විකෘති මානසික තත්වයක් කියා ඇයට වැටහෙනවා නොවේ. ඇයට වන්නේ ගෙදර අයගෙන් පළි දැරීමේ චේතනාවක් පමණකි. ඇයට මෙවන් ඉරණමක් අත් වී තිබියදී ඔවුන් යහතින් හිඳීම ගැන කිසිදු සතුටක් ඇයට නො දැනේ. එකකොට ඕනෑ වන්නේ ඔවුන්ට වද දී ඔවුන් ද අසතුටින් අතෘප්තිමත් බවෙන් තබන්නටයි. විටෙක සිත්මි ඔසවා පොළොවේ ගසන්නට ඇයට සිතේ. දිනේශ් ට උල් වූ යමකින් ඇන ම රා දමන්නට සිතේ. අම්මා ට බණින්නට, නංගී එක්ක රණ්ඩු වෙන්නට, තාත්තා ගෙන් පළි දරන්නට සිතේ. ආදියා ලස්සනට හැඳ පැළඳ රැකියාවට යනු දකිත්දී ඉවසා ගන්නට බැරි ඊර්ෂ්‍යාවකින් ඇය පුපුරු ගසයි.
මැදියම් රැයටත් ආසන්නව තිබියදී සාරධා දිනේශ් ට ඇමතුමක් ගෙන ඔහු ව ගෙන්වා ගත්තේ ඇගේ වියරු සිතිවිලි ගැන ඇයට ම බියක් දැනුණු හින්දා ය. බිම ඇද වැටී ලේ විලක් මැද ඇය වැතිර සිටිනවාත්, කුස ඔත් දරුවාගේ ලේ කැටිති ඒ අතරේ වනවාත් ඇයට පෙනෙන්නට විය.
“යාන්තං අරුං ගියා නේ එහෙනං”
දිනේශ් ගේ මුහුණේ සිනහ රැල්ලක් විසිර ගියේ ය. සාරධා ඔහු ට රැව්වා ය.
“ගියාට එනව”
“මං දන්නව නො එන විදිහට වැඩ කරන්න”
“මේක තමුන්ගෙ තැනක් නෙවෙයි හරිද… මේක ඒ මිනිස්සුන්ගෙ තැන. ඊලඟට යන්න වෙන්නෙ පොලිස් කූඩුවට නෙවෙයි හිර කූඩුවට”
තේ එක මේසය මතින් තබා ඇය ගස්සාගෙන ගියා ය. දිනේශ් බලා සිටියේ යටැසිනි. මේ තරම් හොඳට දේවල් සිදු වෙමින් තිබියදීත් සාරධා අසතුටින් කිම දැයි ඔහු ට තේරුණේ නැත.
දෙව්රම් කාර්යාලයට පැමිණියේ නැත. ඔහු එහෙම කළේ හිතා මතා ම ය. එතකොට පහසුවෙන් වැඩ ටික කරගෙන දවස ගත කරනා එක ආදියාට පහසුවක් වනු ඇත.
“දෙයියනේ මට ඔහොම දෙයක් වුණානං අද ඔෆිස් එනව බොරු. එහෙනං මට ෆිට් එක හැදිල… දත කට පූට්ටු වෙලා… දවස් ගාණකට සිහිය ගන්නත් බැරි වෙනව”
මල්ෂා එසේ කීවේ විහිළුවට නොව ඇත්තට ම ය.
“මාත් දන්නෑ මට එහෙම නොවී තියෙන්නෙ ඇයි කියල”
“හරි වෙලාව ආවහම බඹරෙ වැල්ලෙත් කැරකෙනව කියන්නෙ ඕක තමයි නංගි”
“පිස්සුද ආ… මේක හොඳ වෙලාවක් ද…”
“නැත්තං. කාල බීල ආතල් එකේ හොටෙල් එකක නිවාඩුවක් ගතකරනව වගේනෙ”
“මටත් දැනෙනව දැන්නං… මං හොඳ හෝටලේකින් කෑව වගේ කියල”
“මෙහෙමයි. ඕක ගැන ලැජ්ජ වෙන්න ගියොත් තමයි අවුල. දැන් තියෙන්නෙ අර පරණ දේවල් අමතක වෙන අසනීපයක් හැදිල වගේ ඉන්න. එතකොට පොරත් බලයි ඇත්තටම මේ මොකද්ද වුණේ කියල”
“ඒ වුණාට විලි ලැජ්ජාවෙ බැරුවා අප්පා…”
හවස ආදියා යන විට දෙව්රම් රූගත කිරීම් අවසාන වී ගෙදර ඇවිත් ජිනාදරී උයන තැනට වී කියවමින් සිටියේ ය. ඇයට ටෙලි නාට්‍ය ගැනත් නළු නිළියන් ගැනත් දැනගන්නට ඕපාදූප ඕන තරම් තිබිණ. කිසි ආඩම්බරයකින් තොරව, ජිනාදරී අහන හැම දේට ම ඔහු පිළිතුරු සැපයූවේ ය. ආදියා එක මඳහස් බැල්මකින් විතරක් ඔහු මගහැර ඇවිත් කාමරයේ දොර වසාගත්තා ය.
දෙව්රම් ඇයට පාඩුවේ ඉන්නට හැරියේ ය. ඇය ඉන්නා වගක් හෝ නො දන්නා තරම් මෘදු හැසිරීමක සිටියේ ය. ඔහු ගේ ගෙදරත්, ඔහු ගේ හිතත් පිරී තිබේ. ඒ පිරුණු බව කාලාන්තරයක් තිස්සේ හදවත අපේක්ෂා කළ යමක් බව ඔහු ට ම දැනෙමින් තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here