වියෝ ගී ගැයෙනා හදේ – 23

0
2078

“වැඩවල හිරවෙන එක හොඳයි තමන්ට තමන්ගෙ කියල කට්ටිය නැත්තම්” කියා කියන ගමන් වලාකුලු වීරවර්ධන මේසය උඩ තිබුන තේ පෝච්චියෙන් තේ බිඳල් මේධාවිණී ඉදිරියේ තිබුන තේ කෝප්පයට තේ බිඳක් වක්කරමිනි. ඒ හමුව ඇත්තටම වුණාක්දැයි හිතාගන්නට බැරුව මෙන් මේධාවිණී උන් සිතුවිලි කදම්බයක් අස්සේ හිරවීය.

“ඔයාගෙ එක්ස් හස්බන්ඩ් ඔයා එයාගෙ දෙයක් කියලා හිතලා නෑ. එයාගෙ දෙයක් කියල හිතුවනම් එයා ඔයාව පරිස්සම් කරගන්නවා නේද?” කියා වලාකුලු වීරවර්ධන අහපු වෙලේ මේධාවිණී කලේ චිරත් බේරාගැනීම පිණිස ඇත්ත කියනවට වඩා බහුතරයක් දෙනා ඔහොම වෙලාවක කියන දේ කියපු එකය.

“ඒක දිග කතාවක් වලාකුලු”

“ඉතින් වෙලාවක ඒ දිග කතාව කියන්න”

“ඔයාගෙ ෆෝන් බිල් එක ඉවර වෙන වැඩක් තමයි ඒක”

“ඉතින් ෆෝන් බිල් එක ඉවර කරගන්නෙ නැතුව අපි ඒ කතාව අහමු”

“ඒ කිව්වෙ?”

“ඔයා කැමති නැද්ද දවසක මීට් වෙලා කතාකරන්න”

“මං වගේ…”

“ඔය දැන් කියන්න හදන්නෙ ඔයා වගේ ඩිවෝස් වුන ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් එක්ක එලියෙදි මීට් වෙන එක මට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියල හිතන එක නම් ප්ලීස් කෙල්ලෙ මම මේ එච්චර ගොංත ආදිකාලෙ ඩයල් එකක් කියල හිතන්න එපා. අවුරුදු තිස් පහයි මට තාම. මිලෙනියල් කෙනෙක්” කියා වලාකුලු සිනාසෙද්දී මේධාවිණී කලේත් ඒ නිසාවට හීන් සැරේ එක්වෙන එකය.මේ හමුවීම සිදුවුනේ ඒ අනුවය. එහෙත් මේධාවිණී උන්නේ කුමන අන්දමේ කතාවක් කුමන තැනකින් ආරම්භ කරන්නද කියා හිතාගන්න බැරුවය.

“ඉතින්” කියා වලාකුලු තමන් දිහාවට ඒ දෙනෙත් බැල්ම පා කර එවද්දී මේධාවිණී තිගැස්සුනේ වලාකුලුගේ ඒ වචන වලත් බැල්මේත් රැඳී තිබුණේ තමන් විසින් කියන්නට පොරොන්දු වුණ දිග කතාව අහන රුචිකත්වය බව තේරුම් ගිය නිසාය.

“ඇයි ඔයාට මගෙ කතාව අහන්න ඕන කියල කිව්වෙ?” කියා තමන් ඇහුවේ මේ කතාව කියන මොහොත තවත් පමා කරගන්නට බව දැන උන්නේ මේධාවිණී පමණකි.

“ඒ කතාව දැනගන්න තරමට තමයි මට ලේසිවෙන්නෙ මම ඔයාට ට්‍රීට් කරන්න ඕන මොන විදියටද කියල තේරුම්ගන්න” කියා වලාකුලු එයට දුන්න උත්තරය බොහෝ දේ කියවෙන්නක් බව මේධාවිණීට නොතේරුනා නොවේ.

“ඇයි ඔයා මට ට්‍රීට් කරන විදියක් ගැන හිතන්නෙ”

“ඒක හොඳ ප්‍රශ්නයක්. හැබැයි මම දැන්ම ඒකට උත්තරේ දෙන්න යන්නෙ නෑ. ඒත් මෙහෙම කියන්නම් මම කැමතියි මම ආශ්‍රය කරන මිනිස්සු කවුද එයාලට මම ට්‍රීට් කරන්න ඕන හරි විදිය මොකද්ද කියල දැනගෙන එයාලව ආශ්‍රය කරන්න. මොකද ගොඩක් මිනිස්සු ජීවත්වෙන්නෙ මේධා කවදාවත් හරිවිදියට කාගෙන්වත් ට්‍රීට්මන්ට් එකක් ලබන්නෙ නැතුව. මං හිතනව මිනිස්සු විදියට අපේ වගකීම යුතුකම වෙන්නෙ ඒ වගේ අයව තේරුම් අරගෙන එයාලට හරියට ට්‍රීට් කරන එක කියලා. මන්දා ඔයාට ඒක මොන විදියටද තේරෙන්නෙ කියල”

“නෑ මං කැමතියි ඔයා කිව්ව ඒ කතාවට. ගොඩක් අය හිතන්නෙ තමන් ගැන විතරනෙ. අනුන් ගැන හිතල, අනිත් අය කියන්නෙත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සු කියල හිතල ආශ්‍රය කරන අය ඉතින් නැතිම තරම් නෙ”

“ඔයාට අතීතෙ උනෙත් එහෙම දෙයක් ද?”

“ම්ම්ම් මං හිතන්නෙ ඒ වගේ දෙයක්. චිරත් හොඳයි. මම එයාව සම්පූර්ණ නරක මනුස්සයෙක් විදියට කාගෙවත් ඉස්සරහ පෝට්‍රේ කරන්න කැමති නෑ. මොකද එහෙම කරොත් මම නරක මනුස්සයෙක් වෙනව සහ අනික ඒක බොරුවක්. සම්පූර්ණ කලු චරිතවත් සුදු චරිතවත් නෑනෙ”

“අපි හැමෝම කාගෙ හරි කතාවක නරක චරිතයක් රඟපානවා කියල මං කොහේදි හරි දැක්කා”

“ඒක තමයි චිරත් නරක මනුස්සයෙක් නෙවෙයි. මම එයාව කැම්පස් යන කාලෙ ඉඳල දන්නවනෙ. අපි යාලුවො, බැච් මේට්ස් ලා විදියට ඇත්තටම ආශ්‍රය කලේ නැති තරම්. අෆෙයාර් එකකින්ම තමයි අපේ කතාව පටන්ගන්නෙ. සමහරවිට ඒක වෙන්නැති අපිට වැරදුන තැන. යාලුවෙක් විදියට මම එයාව දැනගෙන ඉඳියනම් සමහරවිට අෆෙයාර් එකක් පටන් ගන්නෙ නැතුව ඉන්න උනත් ඉඩ තිබුනා”

“ඒක තමයි මම මුලින්ම කිව්වෙ, අපි ගොඩක් අය වරද්දගන්න තැන තමයි අෆෙයාර් එකකට යන්නෙ ගොඩක්වෙලාවට අනික් කෙනාව හරියට දැනගන්නෙ නැතුව. එතනදි තමයි අපිට මිස් වෙන්නෙ අනික් කෙනාට අපි කොහොමද ට්‍රීට් කරන්න ඕන විදිය කියල දැනගන්න එක”

“ට්‍රීට් කරන්න ඕන හරි විදිය දැනගත්ත නම් ඔයා හිතන්නෙ මගෙයි චිරත්ගෙයි සම්බන්ධෙ කවදාවත් ඩිවෝස් එකකින් ඉවර වෙන එකක් නෑ කියලද?”

“ම්ම්ම් ඔව්. ඩිවෝස් එකකින් ඉවර වෙන එකක් නෑ නෙවෙයි. සමහරවිට ඩිවෝස් එකකට යන තැනට ඔයාලා නොඑන්න තිබුනා”

“ඒ කිව්වේ?”

“ඩිවෝස් එකකට යන්න මූලික වෙන ප්‍රධාන හේතුව මොකද්ද?”

“ම්ම්ම් මොකක් හරි ප්‍රශ්නයක්, තේරුම්ගන්න බැරි එක වගේ”

“නෑ”

“එහෙනම්?”

“ඩිවෝස් එකකට යන්න හේතුවෙන එකම සාධකේ මැරේජ් එකනෙ ළමයො. ඔය දෙන්න යාලුවෙලා අර මල් මල් සීන් කෝන් ටික කතාකරන්න ගත්ත කාලෙ දෙන්නට දෙන්න තේරුම් ගන්න උත්සහ කරා නම් කවදාවත් ඔයාලා දෙන්න මැරේජ් එකකට නොයා ඉන්න තිබුනා. එහෙනම් ඩිවෝස් එකක් නෑ. ඔය දෙන්න අතරවෙච්ච ප්‍රශ්නෙ මොකද්ද කියන එක මම දන්නෙ නෑ. ඒත් ගොඩක් ඩිවෝස් කේසස් වෙන්නෙ අවුරුදු ගණන් යාලුවෙලා කසාද බැන්ද මිනිස්සු උනත් හරියට ඒ අවුරුදු ගාන ඇතුලෙ එකිනෙකාව තේරුම්ගන්න, එකිනෙකාට ට්‍රීට් කරන්න ඕන විදිය තේරුම් ගන්න උත්සහ කරන්නෙ නැති එක. අපි යාලුවෙලා ඉන්න කාලෙ හිතනවනෙ ආදරේට පුලුවන් ඕනම බාධකයක් ජය අරගෙන ඉස්සරහට යන්න කියලා.

ඒත් ඒක ඇත්තටම බොරුවක්නෙ මේධා. ආදරේ කියන දේට ඕනම බාධකයක් ජයගෙන යන්න පුලුවන් වෙන්නෙ ආදරේ කරන මුල් කාලෙදි. ස්පෙශලි මැරේජ් එකකට වගේ දේකට ආවම ඔය ආදරේ කියන දේ වැලිඩ් වෙන්නෙ හරිම පොඩි පොයින්ට්ස් කීපයක විතරයි. අනිත් හැම වෙලාවම ඕනම මනුස්සයෙක් අපිත් ඇතුලුව බලාපොරොත්තු වෙනවා අපේ පාට්නර් අපිට හරියට ට්‍රීට් කරාවි කියන එක. ඕනම මනුස්සයෙක් බලාපොරොත්තු වෙන ට්‍රීට්මන්ට් එකක් තියෙනව. මටත් තියෙනව. ඔයාටත් තියෙනව. අපේ පාර්ට්නර් කියන කෙනාට පුලුවන් වෙන්න ඕන අපිට ඒ විදියට ට්‍රීට් කරන්න. ඒක එහෙම නොවෙන තැන්වලදි අපිට අපේ අෆෙයාර් එක, අපේ පාට්නර්ව එපා වෙන එක සාමාන්‍යයි වගේම සාධාරණයි.

අනික් කෙනාට ට්‍රීට් කරන ඕන හරි විදිය දැනගන්න අපි එයාව හරියට තේරුම් ගන්න ඕන. ඒක දවසකින් දෙකකින් කරන්න බෑ ඉතින්. සමහරවිට ඔයාගෙයි ඔයාගෙ හස්බන්ඩ්ගෙයි අතරෙ තිබුනෙත් ඒ වගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

අනික් දේ තමයි අපි අනික් කෙනාව හරියට දැනගෙන හිටියාත්, එයා බලාපොරොත්තු වෙන ට්‍රීට්මන්ට් එක මොකද්ද කියල දැනගෙන හිටියත් අපිට ඒ විදියට එයාට ට්‍රීට් කරන්න බැරිවෙන්න පුලුවන් මේධා. ඒක තේරුම්ගන්න එක, දැනගෙන ඉන්න එක රිලේශන්ශිප් එකකදි මාරම ඉම්පෝටන්ට්. මොකද අපේ එඩියුකේශන් ලෙවල් එක, අපේ ස්ටේටස් එක, ලුක්ස් වගේ දේවල් බලල ඒව උඩ ඇතිවෙන ඇට්‍රෑක්ශන් කියන දේනෙ මේධා පස්සෙ කාලෙක ආදරයක් වෙන්නෙ. ඒත් ඒකම විතරක් මදි ආදරේකට, සම්බන්ධතාවයකට පවතින්න. අපි එන්නෙ කොතනින්ද, අපේ ජීවිතේ පටන්ගත්තෙ, පැවතුනේ කොතනින්ද කියන එක අපේ රිලේශන්ශිප්ස් වලට හරියට බලපෑම් කරනව. සමහරවිට ඒ බලපෑම් මුල් කාලෙදි මතුවෙන්නෙ නෑ පස්සෙ කාලෙක තමයි මතුවෙන්නෙ. එක්සාම්පල් එකක් ගත්තොත් ඔයා පොඩි කාලෙ ඉඳලම හරි ප්‍රිවිලෙජ්ඩ් ජීවිතයක් ගෙවපු මනුස්සයෙක් කියන එක එහෙම ලායිෆ් එකක් තිබුනෙ නැති හැමදේම තනියෙන් බිල්ඩ් කරගත්ත ඔයාගෙ පාට්නර් කියන මනුස්සයට ගැටලුවක් වෙන්න පුලුවන්. ඒත් ඔයාට ඔයාගෙ අතීතෙ ලැබුන තිබුන දේවල් වෙනස් කරන්න බෑනෙ. එහෙම තැනකදි ඔයාම හිතන්න කොහොමද ඔයා අනික් කෙනාට හරියට ට්‍රීට් කරන්නෙ කියල” කියා වලාකුලු වීරවර්ධන කියද්දී මේධට හිතන්න ඉතුරුව තිබුනේ එකම එක දෙයකි.

කෙනෙක්ට දෙන්න ඕන ට්‍රීට්මන්ට් එක මොකද්ද කියන එක දැනගෙන ඉන්න සබඳතාවයක් ඇතුලේ වලාකුලු කියන තරම්ම වැදගත්වෙනවානම් “මට ට්‍රීට් කරන්න ඕන හරි විදිය වලාකුලු දන්නවා වෙන්න පුලුවන්ද?” කියන එකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here