ආදියා මන්දරී බෙත්මගේ පෙරමඟ බලා සිටියේ නො ඉවසිල්ලකිනි. මීට පෙරත් ඇය ඕනෑ තරම් දෙව්රම් කාර්යාලයට එනතුරු පෙරමඟ බලා තිබේ. කසුන් ඉරක් පෙරඹර නැගෙත්දී රත්තරං පාට හිරු එළියෙන් කුසුම් පිපෙන්නේ යම් සේ ද ඔහු ගෝල්ඩන් ලීව්ස් ද්වාරයෙන් ඇතුළට එත්දී ඇගේ සිත තුළ මල් යායක් පිබිදේ. ඒ බලා සිටීම තුළ වූයේ ප්‍රීතිමත් සැහැල්ලුවකි. නමුත් අද ඒ සැහැල්ලුව වෙනුවට ඈ බලා හිඳිනුයේ අමුතු බරක් හදින් දරාගෙනයි.
අවසන ඒ මොහොත උදා විය. ප්‍රධාන ද්වාරයෙන් ඔහු ඇතුළට ආවේ ය. නමුත් වෙනදා ඒ මුහුණේ නො වරදින මඳහස අමතක වී තිබිණ. දෙතොල් තද කරගෙන ම හෙතෙම සිය කුටියට ගියේ ය. ගිය වෙලේ සිට අතොරක් නැතිව ඇමතුම් ගත්තේ ය. විවිධ තරාතිරමේ ගෝල්ඩන් ලීව්ස් සේවකයන් කුටියට කැඳවා යම් යම් සංවාද පැවැත්වූයේ ය. අතිශය කාර්ය බහුල බවක් පෙන්වූයේ ය. දැන් දැන් ඔහු ඈ සිය කුටිය වෙත කැඳවනු ඇතැයි ආදියා බලා සිටියා ය. නමුත් එහෙම වෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත. අත්සන් කරන්නට යමක් තිබුණේ ද නැත. එහෙයින් ඇයට එහි යන්නට හේතුවක් වූයේ ද නැත. ඒ කාර්ය බහුලත්වය අතරේ රැඳී හිඳ අන්තිමට ඔහු නික්ම ගියේ ය. ඒ ගියේ ද ආදියා දෙස බලන්නේ හෝ නැතිවයි.
“ඒ මොකාද අද එයාට වැහිල ඉන්න යකා…”
මල්ෂා කොඳුළා ය. ආදියා සිනහ වෙන උත්සාහයක් ගත්තා ය. නමුත් සිනහවක් නැගුණා නොවේ. තොල් කොනක පේශියක් යන්තම් සැලී ගියා පමණකි.
දෙව්රම් සිටියේ කැළඹුණ සිතක් ඇතිවයි. ඒ නො සන්සුන් බව යටපත් කරගෙන සාමාන්‍ය තත්වයට පත් වෙන්නට ඔහු ට ඕනෑ විය. ඊට උත්සාහ ද කළේ ය. නමුත් සාර්ථක නොවූ බව ඔහු ම දත්තේ ය.
පෙර දා දිනේශ් ට විරුද්ධව පැමිණිලි කරන්නට ගිය වෙලාවේ පොලිස් නිලධාරියා ඔවුන්ගේ පැමිණිල්ල ගැන විශේෂ අවධානයක් යොමු කළේ දෙව්රම් නිසාම ය. ඒ වෙලාවේ දිනේශ් බීමතින් සිටි නිසා පසු දා උදයට දෙපාර්ශවයට ම පැමිණෙන ලෙස වෙලාවක් නියම කරනා ලදී.
“නිදහසේ රස්සාව කරගෙන ඉන්න නැති වුණානෙ මේ පව්කාරය නිසා”
නිශ්ශංක ගතු කීවේ ය. මෙහෙම ගිහින් රැකියාවේත් ප්‍රශ්න මතු වේවි ද යන සාධාරණ බිය ඔහු ට විය. ආදියා උදෙන් ම බස් එකේ කාර්යාලයට ආවා ය. දෙව්රම් සමගින් නිශ්ශංක පොලීසියට ගියේ ය. පෙර දා හැඳ සිටි කමිස කලිසම් පිටින් ම දිනේශ් ද කියූ වෙලාවට පැමිණ තිබිණ. දෙව්රම් ගේ දැන හැඳිනීමක් මත පැමිණිල්ල විභාග කළේ ඉහළ පොලිස් නිලධාරියෙකි.
“තමුං මේ මිනිස්සුන්ට පාඩුවෙ ඒ අයගෙ ගෙදර ඉන්න දෙන්නෙ නැති නිසා වහාම ඒ ගෙදරින් පිටවෙන්න ඕනෙ. තමුංගෙ බඩු මුට්ටු මොනාහරි තියනවනං ඒවත් අරගෙන අදම එහෙං යන්න ඕනෙ. සෙල්ලං කරන්න හදන්නෙපා මේක පොලිස් නියෝගයක්. ආයෙ තමුං ගැන පැමිණිලක් ආවොත් උසාවි දාල රිමාන්ඩ් කරනව අඩු ගානෙ මාස තුනකටවත්. අන්න ඒක මතක තියාගන්නව”
නිලධාරියා දිනේශ් ට තදින් ම කියාසිටියේ ය. නමුත් ඔහු එකඟ වූයේ නැත.
“ඒත් එහෙම බෑනෙ සර්”
“ඇයි මොකද බැරි…”
ඒ හඬ දැඩි විය.
“මගෙ වයිෆුයි ළමයයි ඉන්නෙ එහෙනෙ”
“තමුන්ට වයිෆුයි ළමයයි ඕනනං ඒගොල්ලොංවත් අරං යනව. තමුසෙට ඒගොල්ලො ඕන වුණා කියල මේ මිනිස්සුන්ට ගේ තමුසෙට දීල දොට්ට බහින්න බෑ”
“මට මේ හදිස්සියෙ ගෙවල් ගන්න විදිහක් නෑනෙ සර්”
“ආ හදිස්සියෙ බැරිනං පුළුවං දවසක ගන්නවකො. ඒ අරං ඇවිත් වයිෆ්වයි ළමයවයි අරං යනව. එතකං ඕන තැනක ඉන්නව හැබැයි මේ මහත්තයගෙ ගෙදරට අඩියක් තියන්න බෑ. එහෙම මෙයා ආවොත්… මහත්තය ඒ වෙලාවෙම අපිට කතා කරන්න. ඒ වෙලාවෙම ජීප් එක එවල මං තමුසෙව පොලිස්සියට කුදලං එනව හරිද… තමුසෙ මහ ලොකු මිනිහෙක්ද ඕයි අනුංගෙ ගේකට රිංගගෙන ඒ මිනිස්සුන්ට පාට් දාන්න… ආ… මේ මහත්තයලත් අදම ගෙදර යන්න. පාළු ගෙයි වළං බිඳින්න කාගෙවත් අවසරයක් මොකටද කියල මුං තව රජවෙනවනෙ නැත්තං. එහෙම මේගොල්ලොන්ට දිනුම දීල ගෙදර අතෑරල දාල යන්න එපා. අදම යන්නෝනෙ”
දෙව්රම් දෙදරා ගිය තැන එතැන ය. එය ඔහු අපේක්ෂා නොකළ සංඛ්‍යාතයක දෙදරීමකි. නිශ්ශංක සිය බිරිය හා දියණිය සමගින් ඔහු ගේ ගෙදරට පැමිණියේ සදහට නොවෙන බව ඔහු ඉඳුරා දැන සිටියේ ය. නමුත් මේ අර්බුධය මේ තරම් ඉක්මනින් සමනය වෙතැයි ඔහු සිහිනයකින්වත් නො සිතුවේ ද?
“එක අතකට ප්‍රශ්නෙ විසඳිලා ඒ මිනිස්සුන්ට නිදහසේ එයාලගෙ ගෙදර ඉන්න ලැබෙන එක හොඳයිනෙ”
ඔහු ගේ ම හිතේ පැත්තක් ප්‍රශ්න කරයි. නමුත් අනිත් පැත්ත නිහඬ ය. ආදියා ට මේ බව කියන්නට ඔහු ට හිත හදාගත හැකි වූයේ නැත. ඔහු ආයතනයෙන් පිටත් වෙත්දී ඇගේ දෑස් අහිංසක ලෙස ඔහු වෙත ම යොමු වී තිබි අයුරු දෙව්රම් අඩැසින් දුටුවේ ය. පොලීසියේ දී කුමක් සිදු වී දැයි දැනගන්නට ඇය බලා සිටින්නට ඇත. නමුත් ඔහු කෙළින් බැලුවේ ය. නො තේරෙන හේතුවක් මත හදවත එල්ලා වැටෙන තරම් බරට දැනිණ. ඕනේ නම් හැන්දෑ වන තුරු ම කාර්යාලයේ සිටිත හැකි වී ද ඔහු ට ඉන්නට හිතුණේ ද නැත. මේ හදවත දරාගෙන ආදියා දෙස බලන්නට බැරිකමක් ඔහු ට දැනේ.
දෙව්රම් ගියේ සංකේත් හමු වෙන්නටයි. නිශ්ශංකලා හවසට නික්ම යන බව කියත්දී සංකේත් හඬ නගා සිනහ වූයේ ය.
“උඹේ කසාද ගෑනිත් ගිය එකේ ඒ මිනිස්සු යන එක මොකද්ද බං…”
ඒ විහිළුව දෙව්රම් සිනහ ගන්වන්නට සමත් වූයේ නැත. අද පොලීසියෙන් නික්මුණ වෙලාවේ පටන් ඔහු ට සිනහ වෙන්නට අමතක වී තිබේ.
“ඇත්ත කියපං. දැං උඹ හිතන්නෙ අපරාදෙ උඹ දන්න අයට කියල දිනේශයට ඒ ගෙදර තහනං කලාපයක් කරපු එක කියල නේද…”
“උඹ මේ මොනා කියෝනවද මන්දා සංකේත්. රැවුල ගිනිඅරං ඉන්න වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න එන්නෙපා ඕයි”
“ඉතිං දැං තමුසෙගෙ රැවුල ගිනි අරං තියෙන්නෙ ඇයි…”
සංකේත් ගේ ස්වරය වඩාත් හාස්‍යය පසට බර විය. දෙව්රම් ගේ ඇස් ඔහු දෙස බැලුවේ රැවුමක් සමගයි.
“උඹට තේරෙන්නෑ බං. තට්ට තනියම ඒ ගෙදර ඉද්දි දැනුණ මුස්පේන්තු ගතිය නැති වෙලා ගියේ නිශ්ශංක අංකල්ල ආවට පස්සෙ. අර තුෂාන්ගෙ අජිනමොටෝයි තෙලුයි පුරෝපු කෑම අප්පිරිය වෙලා හිටපු මං කටට රහට සෑහෙන කාලෙකින් බත් ටිකක් කෑවෙ ජිනාදරී ආන්ටි උයන්න ගත්තහම”
“ඉතිං උඹ ඔය චෙෆ්ව යවල උයන්න කුස්සි අම්ම කෙනෙක් ගනිංකො. ප්‍රශ්නෙ විසඳෙනවනෙ”
“වැඩක් නෑ බං උඹත් එක්ක කතා කරල”
දෙව්රම් නො සන්සුන් වූයේ ය. සංකේත් හඬ නැගෙන සේ සිනහ වූයේ ය.
“මචාං… දැං ඔය හැංගිමුත්තම ඇති. ඕකට ෆේස් කරපං. සපූ කියන්නෙ කොහොමත් අතීතයක් විතරයිනෙ. අපි කවුරුවත් එක කසාදයක් මත්තෙ විඳවන්න ඕන නෑ. ලෝකෙ මිනිස්සුනං ඕනතරං දේවල් කියයි. ඒත් අපේ ජීවිතේ ජීවත් වෙන්න ඕනෙ අපිනෙ. ගිය එකී ගියා. උඹේ හිතේ ආදියා ගැන කැමැත්තක් තියනවනං…”
“පිස්සුද බං… උඹ මේ පයිත්තියං කියෝනව”
දෙව්රම් අසුනෙන් නැගිටගත්තේ ය. නමුත් අද දවසේ ම හිතේ තිබුණ බර එක මොහොතකින් හෑල්ලු වූවා සේ ඔහු ට දැනිණ.
දෙව්රම් ගෙදර යන විටත් නිශ්ශංකලා පිටත්ව යාමට සූදානම් වී සිටියහ. ඔවුන් බලා සිටියේ දෙව්රම් පැමිණෙන තුරුයි.
“පුතා කරපු උදව්වනං කවදාවත් අමතක වෙන්නෑ. බැඳීම් කියන දේවල් ලේ සම්බන්දකං වලින්වත් නීතියෙන්වත් ඇති වෙන්න ඕන නෑ කියල පුතා ඔප්පු කරල පෙන්නුව”
සමු ගන්නට පෙර නිශ්ශංක දෙව්රම් ව වැළඳගෙන කීවේ ය. පුතෙකු නැති ඔහු ට එක මොහොතකට දෙව්රම් තුළ පුතෙකු හමු වූවා විය යුතු ය.
“ගියාට මේ ගෙදර දොරවල් ඕනම වෙලාවක අංකල්ලට ඇරිල තියෙන්නෙ”
දෙව්රම් කීවේ සිනහ වෙන උත්සාහයකිනි. නමුත් ඔහු ට දැනුණේ තමන් තුළින් විලාපයක් නැගෙන්නා මෙනි. නිශ්ශංකලා බස්වන්නට ගිය ද ඔහු ගේ හිත කතා බහ තුළ වුව නො රැඳී අයාලේ ගියේ ය. ඩිකියෙන් බෑග් මලු ගෙන දුන්නත් ඔහු ගෙට ගොඩ වූයේ නැත.
“බෑ අංකල්. මං වෙන වෙලාවක එන්නං. අද ටිකක් මහන්සියි”
දෙව්රම් නික්ම ගියේ ආදියා තව තවත් පටලා දමමිනි. ඔහු ඇයට කතා නොකළේ ඇයි? සමුගන්නා අන්තිම මොහොතේ පමණක් ආයාසයෙන් සිනහ වූයේ ඇයි?
උපන් දා පටන් සිටි තමන්ගේ ම ගෙදර වුණත් එදා ඒ ගෙදර ආදියා ට දැනුණේ නුහුරකි. හරියට අනුන්ගේ තැනකට ආවා මෙනි. සාරධා ඇදෙස බලන්නේ වෛරක්කාරියක දෙස බලනවා වාගේ යයි ඇයට සිතිණ. ඒ සිතිවිල්ල තව තවත් ඇය අපහසුවට පත් කරනා ලදී. නමුත් සාරධා තරමක් මෙල්ල වී සිටියා ය.
බොහෝ දේවල් වෙනස් වන්නේ කාලයා ගේ ඇවෑමෙනි. නමුත් සමහර දේවල් ඉතා සුළු කාලයක් තුළදී – ඇතැම් විට එක මොහොතක් තුළ දී වෙනස් විය හැක. මීට දින ගණනාවකට පෙර දී ඇතැම් නිශ්චල මොහොතක ආදියා සිය බොත්තම් දුරකතනයෙන් දෙව්රම් ට ඇමතුම් ගත්තා ය. වදනකුදු නො දොඩා ඔහු ගේ මඳහස් සර අසා සිටියා ය. එහෙම මොහොත වල වචන වලට නැගිය නො හැකි හැඟුම් උදම් රළ සමුදායක් හදවත තුළින් පැන නගී. එතකොට ඈ දෑස් පියාගෙන හෙමිහිට උස් හුස්මකින් ළය පිරෙන්නට හරී. ආදරය තියෙන්නේ කොහේ කොතැනක දැයි නිශ්චිත නැත. අවකාශයේ කොතැනක හෝ එය වන බව නම් සහතික ය. තියෙනා තැනෙක ඒ තිබෙන්නට හැර ඇය ප්‍රේමයෙන් පැවතුණා ය.
නමුත් මේ මොහොතේ ඔහු ට එහෙම රහසිගත ඇමතුමක් දිය හැකි නොවේ. ඈ තුළ ඉසිහින් රිදුමක සෙවණැල්ලක් පතිත විය.
දුරකතනය හැඬවුණේ ඈ සසලවාගෙනයි. දෙව්රම් ගේ නම තිරයෙහි ලියැවී තිබේ. මන්දාකිණීය දිස්නයක් හදේ දැල්විණ.
“මිස්ට දෙව්රම්”
ඈ කතා කළේ සෙමෙනි. දෙගිඩියාවෙනි.
“පාළුයි අප්ප”
ඔහු සුසුමක් එක්ක හදවත අත්හැරියේ ය. ආදියා ගේ ආත්මය ග්ලැසියර ශීතලක් තුල කිමිදිණි. මොන වචනය තෝරා ගත යුතු දැයි ඇයට නිරවුල් වූයේ නැත. කිසිදු වචනයක් මේ මොහොත වෙනුවෙන්, ඔහු ගේ වචන දෙක වැළඳගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් වන්නේ නැත. එබැවින් ඕ ඒ අප්‍රමාණිත නිහඬ බව තෝරා ගත්තා ය.
“මට තිබුණෙ යන්න එපා කියන්න”
“අනේ” කියා ඇයට කියවෙන්නට ආවේ ය. අතක් උගුර පාමුළ තද කර ගත්තේ නිරායාසයෙනි. උගුර පාමුළ ගිනියම් ගුලියක් හිර වී තිබිණ.
“ඒත් එහෙම ඉන්නෙ නෑ කියල මං දන්නව. ගේ පාළු වෙලා ගිහිං ආදියා. මට ඉන්නම බෑ කියල හිතෙනව. මට එළියට බැහැල යන්නම හිතෙනව. මේක හරි අමාරුයි ආදියා”
ඔහු බිඳෙන්නට ගිය තරමි. නමුත් ආයාසයෙන් ඔහුව ම දරා ගත්තේ ය.
“එහෙම හිතන්නෙපා”
අන්තිමට ඇය කොඳුරාගත්තා ය. ඇයට ම වුව නෑසෙන තරම් වූ ඒ මිමිණුම, දුර ඈත තරුවක සිට නැගුණ දිස්නයක් වාගේ ඔහු වෙත පැමිණියේ ය. උගුර යටින් කතා කිරීම පහසු නැති බව ඈ පසක් කරමින් සිටියේ මේ මොහොතේ යි.