“මේ මිනිහාගෙන් මට දික්කසාද වෙන්න ඕන මහත්තයො. මූ මාව කෑවා. මට එපා තවත් මේ මිනිහව. එක තප්පරයක් ඉන්නෙ නෑ මම මූත් එක්ක. වනචරයා. පරයා. බල්ලා. තෝ කෑව මාව. මීට වඩා හොඳයි උඹ මාව මරන් කෑවනං. කාපිය මාව. කාපිය මාව” කියාගෙන කාන්තිලතා පොලිසිය අස්සේ බෙරිහන් දෙද්දී පොලිසියෙ රාලහාමිලාද, කූඩුවල දමා උන්නු වැරදිකරුවන්ද, එක එක ඒව අස්සන් කරගන්න ඇවිත් උන්න මිනිස්සුන්ද උන්නේ මුදල් නොගෙවා නාට්‍යයක් බලන්නට ලැබුණ එක ගැන සන්තෝසයෙන් මෙන් ය. කටත් ඇරගෙනය. සමහරු දුරකතන වලින් සිද්දිය රෙකෝඩ් කරගන්න ගමන් ය.
“දික්කසාද වෙන්න නම් තමුසෙලමෙතන පොලිසියට ඇවිල්ල හරියන්නෙ නෑනෙ.යනවා ලෝයර් කෙනෙක් හොයාගෙන.හොරුයි,මංකොල්ලකාරයොයි අල්ලන ඒව මදිවට දැන් තමුසෙලතමුසෙලගෙ උවමනාවට කරගත්ත කසාද දික්කසාද කරන එකත් අපිට කරන්න වෙලාද?”කියන එවෙලෙ පොලිසියෙ උන්නු ලොකු මහත්තය ඇවිත් කියද්දී උනත් කාන්තිලතා නිහඬ උනේ තප්පරේකට දෙකකට පමණකි.කාන්තිලතා කෙස්ස කඩාගෙන ඇඳිවත අවුල්කරගෙන පිස්සියෙක් මෙන් එක එක ඒවා කියව කියව ඉද්දී පොලිස් මහත්තයා කලේ ඇස් දෙක කරකවා වට පිට බලන එකය.
කාන්තිලතා එක්කම ආව, කාන්තිලතා බණීන අතර දිගු කරන අතේ ඇඟිලිවල කෙළවරේ රැඳී ඉන්න, හිස බිමට නවාගෙන, ලැජ්ජාවෙන් බලාගෙන ඉන්න, පොඩිවෙච්ච කලිසමට යට කල සුදු පාට පොඩිවෙච්ච කමිසයක් ඇඳන් ඉන්න කාන්තිලතාගේ මිනිහා යැයි සිතන්නට හැකි මනුස්සයෙකුත්, ඒ මනුස්සයට එහා පැත්තෙන් හිටගෙන කාටවත් මූණ පේන්නෙ නැතිවෙන්න බිත්තිය පැත්තට හැරි ඉන්න ගෑණියෙකුත් පොලිස් මහත්තයගෙ ඇස්වල ගැටුණේ ආන් ඒ විදියටය.
“එකත් එකටම මේක මේ හොර මගුලක් වෙන්නැති” කියා පොලිස් මහත්තයට හිතුවේ ගෑණු දෙන්නෙක්ට මැද්දේ තෙමිච්ච කුකුල වගෙ උන්නු පිරිමියව දැකය. පෙනුමෙන් දැක්කම එහෙම අවලං වැඩක් කරන්න පුලුවන් එකෙක් කියල නොපෙනුණත් “දැන් කාලෙ ඉන්න ලෝක අණ්ඩපාලයන්ව මනින්න පුලුවන්ද පෙනුමෙන්” කියා මහ බුද්ධිමතා වගේ හිතන ගමන් පොලිස් මහත්තයා තුන්දෙනාටම කතා කරගෙන තමන්ගේ කාර්‍යාල කාමරය වෙත ගියේ මේන් මේ වෙලා තියෙන සීන් කෝන් එක මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් තුන්දෙනාගෙන්ම අහගන්න හිතාගෙනය.
“තමුන්ගෙ නම මොකද්ද?” කියා පොලිස් මහත්තය කාන්තිලතා වෙත හැරී අහද්දිත් කාන්තිලතා උන්නේ මෙච්චර වෙලා අඬපු හන්දා බරවී තිබිච්ච නාහෙ සුරුස් ගා හැට්ටෙ අතකින් පිහිදාගන්න ඔලුව බරකරන ගමන් ය.
“කාන්තිලතා සුබසිංහ”
“එතකොට මේ කවුද?” කියා පොලිස් මහත්තය තාම බිම බලාගෙන ඉන්න මිනිහාත් ගැහැණියත් දෙස බලා අනතුරුව කාන්තිලතා දෙස බැලුවත් කාන්තිලතා උත්තර දුන්නේ එක්කෙනෙක් කවුද කියන එක ගැන පමණකි.
“මේ මගෙ කසාද පුරුසයා. රත්නසිරි”
“එතකොට මේ අනිත් ගෑණු කෙනා කවුද?” කියා ඇහුවම කවුරුන් හෝ ඒකට උත්තර දේවි යැයි පොලිස් මහත්තය හිතුවත් ඒකටත් උත්තර දෙන්න හිතුවේ හොටු පැන්න, රතු වෙච්ච මූණෙන් අඬ අඬ උන්නු කාන්තිලතාමය.
“වෙන කවුද මහත්තයො? වෙන කවුද? පවුල් පංසල් වෙලා තලස්තානි වෙලා ඉන්න නාකි පිරිමින්ව ගේ අස්සෙ දාගෙන රීරිමාංසෙ සූරන් කන්න ඉන්න බැල්ලියො මේ. මේකි මේකි තමයි මෙච්චර කල් හොඳට තිබ්බ මගෙ ජීවිතේ විනාස කරේ. උඹ ආ දා ඉඳල තමයි මගෙ මිනිහා වෙනස් උනේ. අවුරුදු ගාණක් කොච්චර හොඳට අපි පවුල් කෑවද? කිසි අඩුවක් පාඩුවක් කලේ නෑ මං මේ මිනිහට. උදේ ඉඳල ඇහැරගෙන උයල පිහල ගෙවල් අස් කරල, දානෙ බත් එක වගේ බත් එක හදලා දීලා මං මේ මිනිහව වැඩට පිටත් කලේ. ළමයි නැති හන්ද කුරුල්ලයි කිරිල්ලියි වගේ අපි ඉඳියෙ. ළමයි නැති එක අපි කවදාවත් ප්‍රශ්නයක් කරගත්තෙ නෑ.
මං උදේ නැගිටිද්දි ඒ එක්කම නැගිටල ඇවිත් මට උයන්න උදව් වෙච්ච, නිවාඩු දවස්වල වත්ත පිටිය අස්පස් කල, රෑ වෙනකම් මාත් එක්ක හින්දි පිච්චර් බල බල උන්නු මිනිහව ගේ අස්සට දාගත්ත පට්ට පඳුරි මේකි තමයි මහත්තයො වෙන කවුද?” කියා කාන්තිලතා අතත් උස්සගෙන තාමත් නමක් ගමක් හරියට දන්නෙ නැති මනුස්සයෙක් වෙච්ච අර අනිත් ගෑණි දිහාවට පනිද්දි මෙච්චර වෙලා බුම්මට්ටා වගේ බකංනිලාගෙන බිම බලාගෙන උන්න කාන්තිලතාගෙ මනුස්සයා යැයි කිව්ව රත්නවීර අත උස්සන් පැන්න කාන්තිලතාගේ අතකින් අල්ලාගන්න එක අතක් දික්කරන ගමන් තමන්ගෙ සම්පූර්ණ ඇඟ හරවා අනිත් ගෑණි දිහාවට පැන ඒ ගෑණිව වහගත්තේ නියපිටින් පාරක් කන්න දෙන්න ඉඩක් තියෙන්නෙ නෑ කියන ආකාරයේ සුපර් මෑන් ඇක්ශන් එකක් දාන ගමන් ය.
පොලිස් මහත්තයත් අන්දුන් කුන්දුන් උනේ ඒක දැකය. සුපර් මෑන් ඇක්ශන් එක නොවේ තමන්ගේ ගෑණි ඉස්සරහ පිට ගෑණියෙක්ව පරිස්සම් කරගන්න තරම් රත්නවීර කාරයට තිබිච්ච පිරිමිකම දැකය.
“මේ ඕයි ගහ මරාගෙන ප්‍රශ්න විසඳගන්න බෑනෙ. තමුසෙල මොකක් හරි වෙච්ච ගමන් අත උස්සන් එන එකනෙ කරන්නෙ. දෙපැත්තට වෙනව දෙපැත්තට වෙනවා. නැත්තම් මං තුන්දෙනාම කූඩුවට දාන ඕන මගුලක් කරගන්නව කියල මරාගන්න බැරි නම් ඕන එකක්” කියා පොලිස් මහත්තය ඉඳගෙන උන්නු පුටුවෙන් මදක් ඉස්සී යකා වගේ කියද්දී කාන්තිලතා ආයෙ අත තමන් ලඟට ගද්දී රත්නවීර ආයෙ හිමිජ්ජ වගේ බිම බලාගත්තේය.
“හරි කාන්තිලතා කියනව දැන් මට ප්‍රශ්නෙ පටන් ගත්තෙ කවද්ද මොකද්ද උනේ කියල? ඇඬිලි පැඩිලි බෑ. ගහමරාගන්න මිනිහට බණින ඒව බෑ. ප්‍රශ්නෙ කියනව”
“උදේ ඉඳල ඇහැරගෙන උයල පිහල ගෙවල් අස් කරල, දානෙ බත් එක වගේ බත් එක හදලා දීලා මං මේ මිනිහව වැඩට පිටත් කලේ. ළමයි නැති හන්ද…” කියා කාන්තිලතා ආයෙ සුපුරුදු අඬහැරේම පාන්න යද්දී මේ පාර අත ඉස්සුවේ පොලිස් මහත්තයාය.
“එව් එව් මං දන්නවා, ළමයි නැති හන්ද කුරුල්ලයි කිරිල්ලියි වගේ හිටියෙ. මට ඒවයින් වැඩක් නෑ. මට කියනව කුරුල්ලටයි කිරිල්ලිටයි මොකද උනේ කියල” පොලිස් මහත්තය කියද්දි කාන්තිලතා ආයෙ පරක් බරවෙච්ච නාහෙ හැට්ටෙ අතෙන් පිහිදගත්තාය.
“ඔක්කොම ප්‍රශ්න පටන්ගත්තෙ දැන් මාස තුනක විතර ඉඳල මහත්තයො. අපි අතරෙ ඇත්තටම කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. අපි හොඳට හිටියා. ළමයි නැති එකවත් රටේ ලෝකෙ අනිත් උන් ඇහුවට මෙයා කවදවත් මට වචනයක්වත් කියවල තියා රවල බලලවත් නෑ.මෙයා විතරනෙ රස්සාවට යන්නෙ. මං ඉතින් කරන්නෙ ගෙදර ඔය තියෙන වැඩපල ටිකක් කරන් ෆිල්ම් එකක් බලන් ඉන්න එක. දෙන්නයිනෙ ඉන්නෙ එහෙමකට කියල වැඩක් නෑ කරන්නත්. හරි සන්තෝසෙන් හිටියා.
එහෙම සන්තෝසෙන් ඉඳපු මනුස්සය එකපාර වෙනස් වෙලා කියල මට තේරෙන්න ගත්තෙ පොඩ්ඩ ඇත්තන් තරහ යන්න පටන් ගත්තයින් පස්සෙ. කවදාවත් මට වචනයක් කියල නැති මනුස්සය, වෙනද වැඩ නැති දවස්වලට, ලෙඩක් නැත්තන් පොඩ්ඩක්වත් ඇඳට වෙලා ඉන්නෙ නැතුව, ගේ අතු පතු ගාන, අස් පස් කරන වැඩ කරන මනුස්සයට මාව එකපාර පේන්න බැරුව ගියා. ගෙදර වැඩ කරන එක පේන්න බැරුව ගියා. මං මොකක් හරි වැඩක් පලක් කරන්න ගියාම චුස් චුස් ගාන්න පටන් ගත්ත. කුකුල අඬලල ගෙදර යනකම් බුදියන්න පටන් ගත්තා. හොඳට උන්නු මනුස්සය එකපාර මල යකෙක් වගේ හැසිරෙන්න ගත්තම මොන ගෑණිටද මහත්තයො තරහ නොයන්නෙ? මොන ගෑණිටද ඉවසන් ඉන්න පුලුවන්. අන්න එහෙම වෙලාවක මගෙ කටෙන් පිටවුණා තමයි මොකෙක් හරි නාඩගමකට ලෑස්ති වෙනව කියල මට පේනව කියල. අනේ ඒත් මං හිතුවෙ නෑ මහත්තයො මේ මිනිහ මෙහෙම නාඩගමක් නටන්න හදනවා කියල” කාන්තිලතා ආයෙම අඬන්න පටන් ගත්ත එකෙන් කතාව ආයෙම විනාඩි කීපයකට නතර වුණත් පොලිස් මහත්තය ඉවසන් උන්නෙ මොක උනත් ඉතින් තමන්ගෙ මනුස්සය නාඩගම් නටද්දි ඉවසන් ඉන්න හරි හමන් ගෑණියෙක්ට බැරි බව දන්න හන්දාමය.
“හරි ඊටපස්සෙ?”
“කොහොමහරි ඉන්පස්සෙ මේ මිනිහගෙ වෙනස් කම් එක්ක මට සැක හිතුනා. වෙනද වැඩ ඉවරවෙච්ච ගමන් ගෙදර ආව මනුස්සය පැය දෙක තුනක් පරක්කු වෙලා තමයි ගෙදර එන්න පටන් ගත්තෙ. සති අන්තෙ දවස්වලත් මෙච්චර දවසක් තිබ්බෙ නැති වැඩ රාජකාරිවලට පැය දෙක තුනක් ගෙයින් එලියට ගිහින් එන්න පටන් ගත්තට පස්සෙ තමයි මට තේරුනේ මං මෙහෙම ගෙදරට වෙලා තවදුරටත් බලාගෙන ඉන්න ගියොත් මට යන එන මං නැතිවෙන විත්තිය. ඒ විදියට තමයි මං මිනිහ අද උදේ පැය දෙක තුනක වැඪකට එලියට යනවා කියල කුමාරයා වගේ ඇඳ පැළඳගෙන යද්දි පරක්කුවෙලා මිනිහට නොපෙනෙන්න පස්සෙන් ගියේ.
එහෙම යද්දි තමා මං දැනගත්තෙ පැය තුන හතරක ගමනක් කියලා මූ යන්නෙ අවලං ගමනක් කියලා. මේ ගෑණිගෙ ගෙදරට යන්නෙ. පැය තුන හතරක් නිදිවැදලා එන්න” කියාගෙන අඬන ගමන් කාන්තිලතා ආයෙම වතාවක් තමන්ගෙ හොටු ටික හැට්ට අතෙන් පිහිදල දැම්මාය.
“ඇත්තද මේ කියන කතාව? තමුසෙ මේ නිවාඩු දවස්වලට මේ අනිත් ගෑණු මනුස්සයගෙ ගෙදර යනවා කියන්නෙ නිදාගන්න?” කියා පොලිස් මහත්තය කියද්දී මෙච්චර වෙලා බිම බලාගෙන හොරා වගේ උන්නු රත්නවීර ඔලුව උස්සා බැලුවේය.
“ඔව් මහත්තයො” කියා රත්නවීර කිසි ගාණක් නැතුව වැරැද්ද පිළිගනිද්දි පොලිසියෙ එවෙලෙ ඔය කතාව අහන් උන්නු ඔක්කොම වගේ තප්පරේකට තිගැස්සුනේ “අම්මටහුඩු මුගෙ තියෙන ගට් එක” කියා හිතන ගමන් ය.
“තමුසෙට මෙච්චර හොඳ, ගෙදර වැඩපල ටික ඔක්කොම කරන ගෑණියෙක් ඉද්දි මොන රෙද්දකටද අයිසෙ මේ වෙන ගෑණු එක්ක නිදාගන්න ගියේ?”
“මං නිදාගන්න ගිය එක ඇත්ත. හැබැයි මං මේ ගෑණි එක්ක නිදාගන්න ගියේ නෑ මහත්තයා” කියා රත්නවීර කියද්දී ආයෙ පාරක් කතාව අහන් උන්නු මිනිස්සු එකිනෙකාගෙ මූණ බලන් කල්පනා කලේ මූ මේ කියන්නෙ මොන ජාතියේ අප්‍රබංසයක්ද කියා හිතාගන්න බැරුවය.
“මං නිදාගන්න ගිය එක ඇත්ත.දවස් ගාණක් ගිය එක ඇත්ත. හැබැයි ඒ එක දවසකවත් මම මේ මනුස්සය එක්ක නිදාගත්තෙ නෑ මහත්තයො. මේ මනුස්සය එහෙම මේ පිරිමි එක නිදාගන්න මනුස්සයෙක් නෙවෙයි. වැදගත් විදියට බෝඩිමක් කරගෙන…” කියමින් රත්නවීර කතාව කරගෙන යද්දී හොටු පැනල උන්නු කාන්තිලතා ආයෙම වතාවක් කඩං පැන්නාය.
“වැදගත් විදියට? වැදගත් විදියට ඉන්න ගෑණු අනුන්ගෙ මිනිස්සුන්ව තමන්ගෙ ගෙයි කාමර අස්සෙ රිංගවගන්නවද? ආ කියහං මට ඒක. වැදගත් ගෑණි. ඒකි වැදගත් එතකොට මම කවුද මිනිහො?”
“ඔව් වැදගත් විදියට බෝඩිමක් කරන් ගිය ගෑණියෙක් තමයි. ඒ ගෑණිගෙ බෝඩිමේ හිස් කාමරයක් තිබ්බා තාම කවුරුවත් අරගත්තෙ නැති. මං ඒකට ගිහින් තමයි මහත්තය නිදාගත්තෙ. නිකන් නෙවෙයි මං සල්ලි ගෙවල නිදාගත්තෙ”
“අහ් සල්ලිත් දුන්නද? කීයද ගාණ මේකිගෙ? තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි සල්ලි ගෙවල වනචර ගෑණු ලඟට යන්නෙ?”
“මං වනචර ගෑණු ලඟට ගියේ නෑ. මේ ගෑණි වනචර ගෑණියෙකුත් නෙවෙයි. මං සල්ලි දුන්නෙ මේ ගෑණිගෙ කාමරේට මිසක් මේ ගෑණිට නෙවෙයි”
“තමුන්ට නිදාගන්න ගෙයක් තියෙද්දි මෙච්චර හොඳ ගෑණියෙක් ඉද්දි තමුසෙ මොකටද ඕයි වෙන ගෑණියෙක්ට සල්ලි දීලා ඒ ගෑණිගෙ ගෙදර කාමරේක නිදියන්න ගියේ?” කියා පොලිස් මහත්තය ඇහුවේ ඇත්තටම මේ කතාවෙ අගක් මුලක් හිතාගන්න බැරි හන්දාය. හොඳට, සුව පහසුවට ඉන්න තමන්ගෙම කියා ගෙයක් තියෙද්දි සල්ලි ගෙවා ගෑණියෙක්ගෙ බෝඩිමක් අස්සෙ රිංගන්න තරම් පිස්සුවක් මිනිහෙක්ට එන්න කොච්චර ලොකු හේතුවක් තියෙන්න ඕනද කියන එක ඇත්තටම ප්‍රශ්නයක් බව පොලිස් මහත්තය හිතුවේය.
“ඇත්ත, සුවපහසු ගෙයක්, අතට පයට හැමදේම කරල දෙන ගෑණියෙක් ඉන්නව. පිටින් දකින මිනිහෙක්ට හිතෙනවා ඇති ඒක මාර සුපිරි ජීවිතයක් කියල. වැඩ ඇරිල මහන්සිවෙලා ගෙදර එන දවසක හවසට නාලා කාලා මහන්සියට නිදාගන්න ඉඩක් නැතුව ගෑණි එක්ක රෑ වෙනකම් පිච්චර් බලන්න වෙන, වැඩ නැති දවස්වලට පවා පොඩ්ඩක් වැඩිපුර නිදාගන්න ඉඩක් නැතුව, මහන්සියට ඇලවෙල ඉන්න ඉඩක් නැතුව, සතියෙ දවස් පහම ඔෆිස් එකේ වැඩ කරල සති අන්තෙයි නිවාඩු දවස්වලයිත් ගෙදර දාහක් වැඩ කරන්න උනාම මිනිහෙක්ට එපා වෙන්නෙ නැද්ද මහත්තයො?
මේ පොලිසියෙ රාජකාරිය කරලා ගෙදර ගිහින් තව වැඩ රාජකාරි කරන්න වෙන එක මහත්තයට උනත් එපා වෙන එකක් නැද්ද? ළමයිනුත් නැති එකේ නිස්කලංකෙ ගෙදර ඉන්න පුලුවන්කම තියෙද්දි උදේ ඉඳන් රෑ වෙනකම් ඇහැරන් වැඩපල කරන්න මෙයාට පිස්සු උනාට මට එහෙම කරන්න බෑ මහත්තයො. මට මෙච්චර වැඩ කරන්න බෑ, මටත් මහන්සි දැනෙනව කියල කියන එක මෙයාගෙ හිත රිදෙන්න හේතුවක් වෙයි කියල හිතුව හන්ද තමයි මං මෙහෙම දෙයක් කරේ.
මං වෙන ගෑණියෙක් එක්ක නිදාගත්තෙ නෑ මහත්තයො. මං මේ මනුස්සයගෙ බෝඩිමේ හිස් කාමරේක සල්ලි දීලා නිදාගත්තෙ ඒ පැය ගාණ නිස්කලංකෙ නිදාගන්න එතන මට ලැබෙන ඉඩ ගෙදර ලැබෙන්නෙ නැති හන්දා.
මං ඕක කිව්වනම් දවස් ගාණක් ඕකට මූණ එල්ලන් ඉන්නවට වඩා බොරුවක් කියලා මෙහෙම කරන එක එයාටයි මටයි දෙන්නටම හොඳයි කියල මට හිතිච්ච හන්දා”
ReplyForwardAdd reaction |