දුක අහන අයියෙක් වෙලා මලින්දට අන්තිමේ මොනවද ලැබුණෙ?

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

මලින්දයි රුචිනියි දෙන්න කසාද බැදලත් දැන් අවුරුදු දහයකට වැඩියි. රුචිනිට වයස අවුරුදු තිස් පහයි. මලින්දට වයස තිස් අටයි. කසාද බැන්දෙ අවුරුදු විසි ගණන්වලත් මුල්ම කාලෙදි. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම යාලුවෙලා උන්නු මලින්දයි රුචිනියි කියන්නෙ හැමෝම වගේ Ideal Couple කියපු දෙන්නෙක්.

මලින්දගෙයි රුචිනිගෙයි පුංචි පුතා තමයි තුනේ පංතියෙ ඉන්න කවිත්. සතියෙ දවස් පහම උදේ ඉඳන් රෑ වෙනකම් ඔෆිස් එකේ වැඩවලට මහන්සි වෙන මලින්දයි රුචිනියි දෙන්න සති අන්තෙ ගත කරන්න එක්කො මලින්දගෙ අම්මලගෙ ගෙදර එහෙම නැත්තම් රුචිනිලගෙ අම්මලගෙ ගෙදර. වත්ත පිටිය එහෙමත් තමන් ඉන්න ගෙදරට වඩා ලොකු නිසා පුතා උනත් ආච්චිලගෙ ගෙදර යන්න හරිම ආසයි.

මේ සති අන්තෙත් මලින්දයි රුචිනියි පුතාවත් ලෑස්ති කරගෙන, කෑම එහෙමත් සූදානම් කරගෙන මලින්දගෙ අම්මලගෙ ගෙදර යන්න පිටත් වුනේ ගිය සුමානේ රුචිනිලගෙ ගෙදර ගිය හන්දා. මහන්සි අරින්නත් එක්ක පොඩ්ඩක් නිදාගෙන, කෑම එහෙම කාලා, නාලා කරල, හොඳ රෙස්ට් එකක් අරගෙන ඉරිද හවස් වරුවෙ ගෙදර එන්න ලෑස්තිවෙන අතරවාරෙ තමයි ඔලුව ගිනි තියන ඒ මැසේජ් එක රුචිනි දැක්කේ මලින්දගෙ ෆෝන් එකට ඇවිත් තියෙනවා.

“පරිස්සමෙන් එන්න” කීයලා හාට් ඉමොජි එකක් එක්ක දාලා තිබුණ මැසේජ් එක එවලා තිබුන මලින්දයි රුචිනියි දෙන්නම අඳුරන ගෑණු කෙනෙක්. එයත් කසාද බැඳපු, ෆැමිලි ලයිෆ් එකක් තියෙන, මලින්ද එක්කම වගේ ඉගෙන ගත්ත, වෙඩින් එකේදි, ඔය එක එක ෆන්ක්ශන්ස්වලදි එහෙම රුචිනිට පව මලින්ද කිසිම විශේෂත්වයක් නැතුව අඳුන්වල දුන්න කෙනෙක්.

කිසිම විශේෂත්වයක් නැතුව අඳුන්වල දුන්න කෙනෙක් තමන්ගෙ හස්බන්ඩ් ට “පරිස්සමෙන් එන්න” කියලා හාට් එමොජි එකක් එක්ක මැසේජ් එකක් එවන්නෙ මොකටද?

ඒ ප්‍රශ්නෙ හිත අස්සේ අකුණු ගහනව වගේ කෙටුවත් කලබල වෙලා, රණ්ඩුවෙලා, අඬල කරල. දරුවායි තමන්ගෙ මව් දෙමව්පියොයි ඉස්සරහ පිස්සියෙක් වගේ හැසිරෙන්න තරම් රුචිනි මෝඩ උනේ නෑ.

“කලබල උනොත් මලින්දට පුලුවන් සාක්කි උනත් හංගන්න, බොරුවක් කියන්න” කියලා හිත කිව්ව කතාවට ඇහුන්කම් දීලා සද්ද නැතුව මලින්ද මේ මැසේජ් එකට රිප්ලයි කරනවද, මොකද්ද යවන රිප්ලයි එක කියල බලන්න රුචිනි හිතුවා. හිත අස්සෙ අකුණු ගහද්දි කිසි වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්න එක කොච්චර අමාරුද කියල දන්නව උනත් යාලුවෙලා ගෙවිච්ච අවුරුදු ගාණටවත් කසාද බැදල ගෙවිච්ච අවුරුදු ගාණටවත් තමන්ට කිසිම වරදක් වචනෙකින්වත් කරල නැති මනුස්සයව එකපාර සැකකාරයෙක් විදියට දකින එක, ප්‍රශ්න කරන එක මෝඩකමක්, වරදක් කියලයි රුචිනි හිතුවෙ.

එදා ගෙදර ගිහින් රෑ කිසි වෙනසක් නැතුව නිදාගත්ත, මලින්දට හොඳට සලකපු රුචිනි මලින්ද එහෙට මෙහෙට වෙනකම් ඉඳල ඒ මැසේජ් එකට මලින්ද දාපු උත්තරේ මොකද්ද කියල බලන්න ෆෝන් එක ගත්තා.

ම්හ්. ඒ මැසේජ් එක මලින්ද ඩිලීට් කරලා. කතාකරන්න ඕන හොඳම වෙලාව ඒක බව රුචිනි තීරණය කරා.

“මම දැක්කා සම්මානි ඔයාට පරිස්සමෙන් එන්න කියල හාට් එකක් එක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයා ඒක ඩිලීට් කරේ ඇයි?” රුචිනි කෙලින්ම එහෙම අහද්දි තමන් බොරු කියන එක කරන්න ඕන නැති බවත් බොරු කියන එක මේ ප්‍රශ්නෙ තව දුර අරගෙන යන බවත් තේරුණ මලින්ද කිසිම බොරුවක් නොකිය එකපාර ඇත්ත පිළිගත්තා.

“ඔව් රුචී, සම්මානි මැසේජ් එකක් දාලා තිබුනා. මම ඒක ඩිලීට් කරා. අයෑම් සොරි”

“සම්මානි ඇයි ඔයාට ඒ වගෙ මැසේජ් එකක් දැම්මෙ? එහෙම මැසේජ් එකක් දාන්න තරම් සම්මානිට ඔයා එක්ක තියෙන සම්බන්ධෙ මොකද්ද?”

“කිසිම සම්බන්ධයක් නෑ රුචිනි. ප්‍රොමිස්. මං දන්නව මාව විශ්වාස කරන්න කියල කියන එක මේ වගේ තැනකදි තේරුමක් නැති බව. ඒත් ඒක තමයි ඇත්ත. මාසෙක දෙකක ඉඳල එයායි මමයි ඔහොම මැසේජස් වලින් කතා කරා. නරක දෙයක් නෙවෙයි. එයාගෙ හස්බන්ඩ් එක්ක වෙච්ච ප්‍රශ්නයක්. ඒක ගැන තමයි කතා කරේ. ඒ ඇරෙන්න අපි කවදාවත් මීට් වෙලා එහෙම නෑ. වැරදි දෙයක් කතා කරලවත් නෑ” කියලා මලින්ද කියද්දි ඒක බොරු කියල රණ්ඩු වෙන්න රුචිනිට උවමනා උනා නෑ. මොක උනත් මලින්දව සැක කරන්න තියෙන්නෙ එක හේතුවක් විතරක් උනාට එයාව එයාව විශ්වාස කරන්න තමන්ට කොච්චර හේතු තියෙනවද කියන එක රුචිනි දැනගෙන උන්නා.

විශ්වාසය බිඳුණෙ එකම එක පොඩි මැසේජ් එකක් නිසා බව ඇත්ත. මැසේජ් එක පොඩි උනත් හිතට දැනූන වේදනාව, තමන් ආදරේ කරන විශ්වාස කරන කෙනෙක් තමන්ට ද්‍රෝහිවුණා කියන වේදනාව හිතෙන් ලේසියෙන් අමතක කරන්න බැරි තැනමයි රුචිනි කවුන්සලින් වලට ආවෙ. මලින්ද එක්කම.

ඒ “ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. පොඩි ගැටලුවක්. ඒත් මගෙ හිතට ඒක හරි බරක් වේදනාවක්. ඒ බර වේදනාව දිගටම තියාගෙන ඉස්සරහට ගියොත් ඒක ලොකු තුවාලයක් වෙයි සහ ලොකු ප්‍රශ්න ඉස්සරහට වෙයි කියල හිතෙන නිසයි අපි කවුන්සලින් එන්න හිතුවෙ” කියලා පිළිගන්න තරම් රුචිනි බුද්ධිමත් විදියට වැඩ කල එක වගේම තමන්ගෙන් වුණ අතපසුවීම තේරුම් අරගෙන හොඳ සැමියෙක් විදියට මලින්ද කටයුතු කල එක “පුංචි මැසේජ් එකකින් වෙන්න ගිය ලොකු විනාසෙ” ගැන දෙන්නටම තේරුම් කරවල, ඉදිරියෙදි හොඳින් ඉන්න කියල දෙන කවුන්සලින් සෙශන් එකක් වුනා.

අපි පුංචියි කියල හිතෙන දේවල්, අපි නොසලකා හරින සමහර සිදුවීම් දීර්ඝකාලීනව හරි ප්‍රතිකාරයක් නොමැතිව පවතින එක පසුකාලීනව ලොකුම ලොකු ප්‍රශ්න බවට පත්වෙන්න පුලුවන්. ඇඟේ ඇතිවෙන තුවාලයක් එලියට පේන නිසා අපි බෙහෙත් දාන්න ඉක්මන් වෙනවා. ඒත් හිතේ ඇතිවෙන තුවාල එහෙම එලියට නොපෙනෙන නිසා අපි බෙහෙත් කරන එක පහුකරනව. අන්තිමේ නියපොත්තෙන් කඩන්න තිබුන දේවල් පොරොවෙන් කපන්න වෙන තැනකින් තමයි ඒ ප්‍රශ්න නතරවෙන්නෙ.

මේ සිදුවීම එක්ක අපි මතක තියාගන්න ඕන පලවෙනිම කාරණාව තමයි “කවදාවත් ඕනවට වඩා අනුන්ගෙ දුක අහන්න යන්න එපා” කියන එක.

අනුන්ගේ පවුල් ප්‍රශ්නවලට මැදිහත් වීම මුලදි හිතාගන්න බැරි විදියටම තමන්ගේම පවුලට බරක් වෙන්න පුළුවන්. මේක ආරම්භ වෙන්නේ ඉතාමත් හොඳ අදහසින්. “මනුස්සයෙක්ට උදව්වක් කරන එක වරදක් නෙවෙයින” කියලා හිතන එක ගොඩක් හොඳ දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි, ඒ ප්‍රශ්නයට නිරන්තරව මැදිහත් වෙද්දී, තමන්ගේම පවුල් ජීවිතේට බලපෑමක් වෙනවා. මුලදි හිතන් ඉඳිනවා, “එයාලා කියනව අපි අහනවා විතරනෙ” කියලා. ඒත් කාලයත් එක්ක, ඒ විස්තර තමන්ගේම ජීවිතේ බලපාන්න පටන් ගන්නවා. තමන්ගේ ගෙදර සාමය නැතිවෙලා, එයාලාගේ ප්‍රශ්න ගැන කතා කරන එක නිතර සටන් වෙන්නට හේතු වෙනවා.

මේක ගෙදරදී තියෙන විවාද, නොසන්සුන්කම් වැඩි කරනවා. සැමියා හෝ බිරිඳ අනිත් පවුලේ කතාවලට වැඩිය අවධානය යොමු කරනවනම්, ඒක නිරන්තර විරසකයක් උනත් පුළුවන්. තව ප්‍රශ්නයක් තමයි, අනුන්ගේ ගෙදර ගැටළුවක් විසඳන්න යද්දී තමන්ගේම පවුලේ විශ්වාසය හා සන්සුන්කම කඩා වැටීම. ගොඩක් වෙලාවට, බිරිඳ/සැමියා වෙන කෙනෙකුට උදව් කරන විදිහ ගැන විරුද්ධ මත ඇති වෙනවා. අනුන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න යන අය ගොඩක් වෙලාවට තමන්ගේම පවුලේ ප්‍රශ්න නොදකින්න පටන් ගන්නවා. තමන්ගේම ගෙදර ඉන්න සැමියා/බිරිඳ, දරුවන්, පවුලේ සාමාජිකයන්ට තියෙන ගැටළු වලට අවධානය යොමු කරන්න වෙලාවක් නැතිවෙනවා. තමන්ගේම ගෙදර සතුට සහ සාමය ආරක්ෂා කරන්න අමාරු වෙනවා.

ඒ නිසා “අනුන්ගෙ දුක අහන එක තමන්ට ප්‍රශ්නයක් කරගන්න නම් එපා” කියන එක මුලින්ම මතක් කරන්න ඕන.

දෙවනි කාරණාව තමයි සබඳතාවයක් ඇතුලෙ වෙන ප්‍රශ්න වලදි එකිනෙකා cooperative වෙන එක හරිම වැදගත් කියන කාරණාව.

සබඳතාවක් අතරේ ප්‍රශ්න ඇතිවෙන්න එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න විදිය තමයි සබඳතාවෙ අනාගතය තීරණය කරන්නේ. දෙන්නාම එකිනෙකාට සහය දෙන්න, හොඳට අහන්න, තේරුම් ගන්න, සහ එකිනෙකාට බරක් නොවී, එකටම එදිනෙදා ජීවිතේ ගත කරන්න හැකි වුණොත් තමයි ලස්සන සබඳතාවක් හැදින්නේ. එක් කෙනෙක් විතරක් උත්සාහ කරලා, අනිත් කෙනා එයට සහය නොදී, නොතේරුම් ගෙන, “ඇයි මටම මේවට මුහුණ දෙන්න වෙන්නෙ?” කියලා හිතද්දි ප්‍රශ්න දුරදිග යන එකයි වෙන්නෙ.

ජීවිතේ නිතර වෙනස් වෙනවා. ආදරයත් එක්කම, වගකීම් වැඩි වෙනවා, ඉස්සර සරලව කතා කරලා, එකිනෙකාගේ ලස්සනම පැත්ත බලලා ජීවත් උනාට, කසාද බැදපු පස්සේ, හෝ දරුවන් ආවට පස්සේ, ජීවිතේ දිනපතාම වෙනස් වෙනවා. එහෙම තැනකදි ප්‍රශ්නයක් ආවම වෙන වෙනම හිතන එක, අනුන්ට දුක කියන්න යන එක හෝ තමන්ගෙ පාට්නර්ට තනියෙම ප්‍රශ්නෙ විසඳගන්න ඉඩ දෙන එකෙන් සබඳතාවය හොඳ පැත්තකට නම් යන්නෙ නැති බව අමතක කරන්න එපා.

සබඳතාවයකදී, එකිනෙකාට සහය වීම, එකිනෙකා හොඳටම තේරුම් ගැනීම, තමයි ඒ සබඳතාවය වඩා ශක්තිමත් කරන්නෙ. එක් කෙනෙක් විතරක් උත්සාහ කරනවානම්, ඒක සාර්තක, යහපත් සබඳතාවයක් වෙන්නෙ නෑ.

ඉතින් දෙන්නට දෙන්න corporate වෙන එක හරිම වැදගත් ඕනම සබඳතාවයකදි කියන එක අමතක කරන්න එපා!

මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles