දෙවන වසන්තය

අවසාන නඩු වාරයෙන් පස්සේ තාරුකා අම්මයි තාත්තයි එක්ක උසාවියෙන් එලියට ආවේ ජීවිතේ ලොකුම සැනසීම තමන්ගේ අතට ලැබුනා කියන  හැඟීම එක්ක. හිතුවක්කාරව කරගත්ත විවාහය ඇතුලේ ජීවිතේ බලාපොරොත්තු වෙන කිසිම දෙයක් නැති බව වැටහෙද්දී පවා ඇය කලේ ආදරේ නාමෙන් හැමදේම නිවැරදි කරගන්න උත්සාහ කල එක. ඒත් සංජයගේ ඉවරයක් නැති බීමත්කම, ගුටි බැට වලින් පිරුණ හවස්, අවලාද වලින්ම පිරුණු දවස් ගැන තාරුකාට තිබුණේ කලකිරීමක්ම විතරයි. කොටින්ම සංජයගේ අම්මලා පවා තාරුකාට කිව්වේ සංජයගෙන් වෙන් වෙලා ගෙදර යන්න කියලා.

” උඹට තවම යන්තම් අවුරුදු විසි හය පිරුනා විතරයි දුවේ.. තව  ජීවත් වෙන්නම සෑහෙන්න කාලයක් තියෙනවා .. එහෙව් එකේ මේ නරකාදියේ වැටිලා දුක් විඳින්නම හිතන්න එපා… උඹේ අම්ම අප්පලා උඹව  උස් මහත් කලේ මෙහෙම නරුමයෙක්ගෙන් ගුටි කකා අඬාවැටෙන්න නෙවෙයි නේ .. මේ මගේ කුසෙන් වදාපු එකා තමයි .. ඒත් මට වෙන කියන්න දෙයක් නෑ … ජීවිතේ එකපාරක් වැරදුන පලියට ඒ කරුමේ කර ගහගෙන ජීවත් වෙන්න එපා දුවේ…”

සංජයගේ අම්මා ඔහොම දිගටම කරුණු පැහැදිලි කරාට පස්සේ දවසක තාරුකා මහ ගෙදර ගියා. අඬ අඩා ඇගේ ජීවිතේ වැරදුන බව කිව්වා. අයියයි මල්ලීයි නම් එවෙලේම සංජයව මරලා දාන්න තරම් තරහකින් හිටියේ.

” මේ වෙලාවේ ප්‍රශ්නේ වෙන අතකට යවන්නේ නැතුව ඔය දෙන්නා පැත්තකට වෙලා ඉන්න.. සුදූ දැන් ඩිවෝස් වෙන්න උවමනාවෙන් නම් ඇවිල්ලා ඉන්නේ, ඒකට උදව් කරන එකනේ අපි කරන්න ඕනෑ… ඒකට ඕනි දේවල් කරන්න ..”

එදායින් පස්සේ තාරුකා ආයෙම සංජය ලඟට ගියේ නැහැ. සංජය කිහිප වතාවක්ම තාරුකාව එක්කගෙන යන්න ආවත්, තාරුකා සංජයව මුන ගැහෙන්න වත් සූදානම් වුනේ නැහැ. සංජය අම්මා ලවාත් තාරුකාව ගෙන්නගන්න සෑහෙන්නම උත්සාහ කලා. ඒත් තාරුකා ගත්ත තීරණේ වෙනස් කලේ නැහ.

නඩු වාරයක් ගානෙත්, ආයේ ආයෙම තාරුකාගේ හිත වෙනස් කරවගන්න සංජය සෑහෙන්නම උත්සාහ කලා. ඒත් තාරුකා දැනගෙන හිටියා, අවුරුදු පහක් තිස්සේ තමන් ළඟින්ම ඉඳලත් වෙනස් නොවුන කෙනාට කිවිම අවස්තාවක් දෙන්න ඕනි නැහැ කියලා.

අවසාන නඩු වාරෙන් පස්සේ දවසේ තාරුකා නැගිට්ටේ අලුත්ම ජීවිතයක් ලැබුන ගානට. අයියාගේ මැදිහත් වීමෙන් තාරුකා ආයෙම ඉගෙනගන්න පටන් ගත්තා. ඉතුරු කරගත්ත කිසිම මුදලක් තාරුකා අතේ නොතිබුනත් අම්මලා ඇගේ ඉගෙනීම් වෙනුවෙන් දෙවතාවක් නොහිතාම වියදම් කලා.

” උඹ අන්තිමේදී හරි මේ තීරණේ ගත්ත එකට නම් මම හරිම කැමතියි තාරු … ජීවිතේ අපි ගන්න සමහර තීරණ වරදිනවා තමා.. ඒත් ඒ වැරදි නිවැරදි කරගන්න තරම් අපි හයිය වෙන්නෝනි …”

තාරුකාව මුණ ගැහෙන්න ආව, පහුගිය අවුරුදු පහ පුරාම තාරුකාගේ ජීවිතේ හැම අහුමුල්ලක්ම දැනගෙන උන්න මිතුරිය එහෙම කියනකොට තාරුකා සැනසීමෙන් හිස සැලුවා.

‘ සංජය තවම උඹට සෙට් වෙන්න හිතන එක නවත්තලා නෑ … මට දවස් දෙක තුනක්ම කෝල් කරලා  තිබුණා….”

” උඹ කතා කරන්න යන්න ඕනි නෑ … ආයේ මට එයාට දෙන්න ආදරයක් කියලා දෙයක් ඉතුරු වෙලා නැහැ … එයා මගේ ආදරේ මරලාම දැම්මා … මට එයාව මං නොදන්නම මනුස්සයෙක් දැන් …”

” ඒක හරි … ඔය ඩිග්‍රී එක ඉවර කරගෙන රට පලයං .. මේ ඔක්කොම අමතක කරලා එහෙට වෙලා ජීවත් වෙයං …”

” එහෙම මුකුත් හිතලා නැහැ මම .. අම්මාවයි, තාත්තාවයි බලාගෙන මෙහෙට වෙලා සැනසීමෙන් ඉන්නයි ඕනි ..”

” එහෙම හිතන්න එපා තාරු … තවම උඹට විසි හතයි … මිනිස්සු ජීවිත දෙවැනි වතාවට පටන් ගන්න වයස බාධාවක් කරගන්නේ නැති එකේ, උඹට ඕනෑ තරම් කල් තියෙනවා…”

තාරුකා මිතුරිය දිහා බලලා හිනා වුනා. ඇයට ආයෙම ආදරය ගැන විශ්වාසයක් හදාගන්නවත් අවශ්‍ය නොවන බව මිතුරියට කිව්වා.

කාලය ටිකෙන් ටික ගෙවෙනකොට සංජීව අහල පහල ගෙදරක කාන්තාවක් එක්ක ආයෙම විවාහ වෙලා බව දැනගත්තම තාරුකාට කිසිම හැඟීමක් දැනුනේ නැහැ. ඇය සංජයගේ අම්මාගේ දුක සැප නම් විමසලා බැලුවා.

අවුරුදු තුනක් ගෙවුණා. තාරුකාගේ උපාධිය අවසන් වෙනකොටම ඇයට රැකියාවකුත් ලැබුණා. ඒ රැකියාව ඇයට වෙන් කලේ අයියාගේ මිතුරෙක් බව ඇය දැනගත්තේ සෑහෙන්නම පස්සේ.

ඔය අතරේදී අයියාගේ යාලුවෙක් තාරුකාට විවාහ යෝජනාවක් ගෙනැල්ලා කියන ආරංචිය එක්ක තාරුකාගේ සන්සුන් ජීවිතයට ආයෙම කුණාටුවක් ගෙනාවා. ඇය උන්නේ පහුගිය නරක අත්දැකීම් වලින් පීඩාවටම පත් වෙලා නිසා, ඇයට අවශ්‍ය වුනේ තනියම ගෙවන සැහැල්ලු ජීවිතයක්ම විතරයි.

” අරුල් නරක එකෙක් නෙවෙයි නංගී…”

” සංජයත් නරක එකෙක් කියලා මම හිතුවේ නෑ..”

” ඒ යකා වගේ නෙවෙයි .. අරුල් කියන්නේ අවුරුදු පහලොවකට එහා මගේ යාලුවා .. මම ඌව දන්නවා…”

” අනේ මට ඕනි නෑ අයියේ … මට ආයෙම ඕනි නෑ …”

” හරි .. බඳින්න අනම් මනන් මුකුත්ම ඕනි නෑ … ඔයා ඌ එක්ක කතා බහ කරලා ඉන්නකෝ ඉස්සෙල්ලම ..”

” එහෙම ඕනිත් නෑ. එතකොට හිතනවනේ මම ටිකක් හරි එයාගේ යෝජනාවට කැමතියි කියලා…”

” නෑ නෑ .. ඌ එහෙම හිතන්නේ නෑ …”

අන්තිමේදි තාරුකා අරුල් එක්ක හිත මිතුරු කතා බස් වෙනුවෙන් පැටලුණා. තාරුකාගේ ජීවිතේ ඉරි තලා ගිහින් තිබුන හැම තැනකම නොරිදෙන පැලැස්තර යොදන්න අරුල්ට පුලුවන් වුනා. තාරුකාට නොදැනෙන්නම ඔහු ඇගේ ජීවිතය තුල ඉඩ හොයා ගත්තා.

අවුරුදු දෙකකට පස්සේ, තාරුකා අරුල් එක්ක විවාහ වුනා. ඉන් පස්සේ ඇය ජීවිතේ සැනසීම වෙනුවෙන් කරපු හොඳම ආයෝජනයේ සුව වින්දා.

” අනේ අරුල් ..”

එක දවසක් මහ සද්දේට කෑ ගහගෙන තාරුකා කුස්සියේ ඉඳන් සාලෙට ආවා. අරුල් ඇය දිහාව නිහඬවම බලාගෙන උන්නේ ඇයට කියන්න ඉඩ දීලා.

” අනේ.. සංජය අර බැඳපු ගෑණු කෙනා සංජයගේ අම්මට ගහලා.. අම්මව තල්ලු කරලා .. අම්මා වැටිලා දැන් ඉස්පිරිතාලෙලු .. මට මේ ඉස්සරහ ගෙදර ඇන්ටි කිව්වේ ..”

අරුල් තාරුකා එක්කම රෝහලට ගියා. තාරුකාට සංජයගේ අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම අක්‍රන්න උදව් කලා.

” මට ආයෙම ඒ ගෙදර ජීවත් වෙන්න බෑ දුවේ.. මට ඔය වැඩිහිටි නිවාසෙකට ඇතුල් වෙන්න හදලා දෙන්න .. මගේ රත්තරං බඩු ටිකක් තියෙනවා.. ඒ ටික ඉල්ල්ලා තමා අර යක්සනී මට ගැහුවේ..”

තාරුකා අරුල් දිහාව බැලුවා.

” ඒවා හිතන්නේ නැතුව ඉන්නකෝ අම්මේ.. ඉස්සෙල්ලාම සනීප වෙන්නකෝ..”

අරුල් තාරුකා වෙනුවෙන් කතා කලා.

අන්තිමේදී, සංජයගේ අම්මාට අරුල්ගේ මැදිහත් වීමෙන් තාරුකාගෙයි, අරුල්ගෙයි ගෙදර දොර ඇරුණා.

” ඔයා කාත් කවුරුවත් නැතිව , තනිව ඉන්න ඕනි අම්මා කෙනෙක් නෙවෙයි … තාරු මට කියලා තියෙනවා, අම්මා එයාට සලකපු විදිය .. දැන් අපි අම්මාව බලනවා..”

අරුල් එහෙම කියනකොට තාරුකා තමන්ගේ ජීවිතේ දෙවෙනි වස්සානය දිහා බැලුවේ හිත පුරාම ඉතිරෙන ප්‍රීතියෙන්.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles