වියෝ ගී ගැයෙනා හදේ – 26

0
2382

එදා චිරත් එක්ක දහවලේ එලියට ගොස් හිතේ හැටියට ආස දේවල් කා බී තාත්තා විසින් අරන් දෙන්නට පොරොන්දු වෙච්ච සෙල්ලම් බඩු  ඔක්කොම අතේ එල්ල ගත්ත පෙත්මලී හවස් වරුවේ සීයාගෙ ගෙදර අම්මා විසින් පවත්වන්නට නියමිත උපන්දින පාටිය උදෙසා ගෙදර ආවේ සන්තෝසයෙනි.

“තාත්ති එන්නෙ නැද්ද හවසට?” කියා හුරතල් තාලෙට කට උල් කරගනිමින් අහන පෙත්මලීට “අම්මි මට එන්න කිව්වෙ නෑනෙ බබී” කියා ඇත්ත කියන්න චිරත් කිසිම වෙලාවක හිතුවේ නැත. මොක උනත් පෙත්මලී ඉන්නේ අම්මා ළඟය. තමන් සහ මේධා අතර කුමනාකාරයේ ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න වල විශබීජ දරුවෙකුගේ ඔලුවේ පුරවා ඒ දරුවා බිඳුණු දරුවෙකු බවට පත් කරන්නට උවමනාවක් චිරත්ට තිබුණේ නැත.

“තාත්ති අද දවසෙම බබී වෙනුවෙන් නිවාඩු ගත්ත නිසා හවස එන්න වෙන්නෙ නෑ. ඒ උනාට අපි නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ මීට් වෙද්දි තාත්තිට කන්න ඔයා බර්ත් ඩේ කේක් කෑල්ලක් ගේනව නේද?” 

“හා, අම්මි කිව්ව හවස බර්ත් ඩේ එකට අම්මි එල්සා ප්‍රින්සස් කේක් එකක් ගේනවා කියල. බ්ලූ කලර්. බබී තාත්තිට අයිසින් ගොඩක් තියෙන කේක් කෑල්ලක් ගේන්නම් කො සැටඩේ” කියා කෙල්ල කියද්දී හිත අස්සේ කොච්චර දුකක් තිබුනත් චිරත් ඒ සියලු දුක සුසුමක තවරා පෙත්මලීට නොතේරන අන්දමින් මල් සුවඳක් හමන ඇගේ සිනිදු කෙස් අස්සේ ඒ සුසුම සඟවා යැව්වේය.

තාත්තා එක්ක විනෝද වුන පෙත්මලී ගෙදර එද්දිත් මේධාවිණී උන්නේ නිදන කාමරයට වී හවසට හැඳ පැලඳගන්නට අවශ්‍ය කරන දේවල් සූදානම් කරමිනි. ඉස්සර නම් කොහේ හෝ යන්නට කලින් “මේ ඇඳුම හොඳද ඒකට මේ කරාබු දෙකද මේ කරාබු දෙකද ගොඩක් මැචින්?” කියා ඇහුවේ චිරත්ගෙන් උනත් චිරත් රාජකාරි කටයුතු එක්ක කාර්‍යබහුල වෙද්දී එවන් ප්‍රශ්න තමන් විසින් තමන්ගෙන්ම අසා විසඳගන්න මේධාවිණී පුරුදු වුනාය. අද බොහෝ කාලයකට පස්සේ ඒ ප්‍රශ්න යලිත් වතාවක් දුරකතන තිරයක් මත ටයිප් කර තමන්ව ලස්සනට දකින වෙන කෙනෙකුගේ සිතුවිලිවල උදව්වෙන්ද තෝරගන්න හැකිවීම ගැන තමන් සතුටු විය යුතුද දුක් විය යුතුද කියන ප්‍රශ්නය මේධාවිණීට නොතිබුනා නොවේ.

“මං හිතන්නෙ හවස තියෙන ෆන්ක්ශන් එකක් වගේම ඔයා සම්පූර්ණ බ්ලූ කලර් තීම් එකක යන නිසා ඔය මෙරූන් කලර් ඇඳුම සෙට් වෙන්නෙ නෑ මේධා” කියා වලාකුලු තමන් විසින් යැවූ පින්තූරයකට පිලිතුරු එව්වයින් පස්සේ මේධා ඒකට උත්තර යවන්න ඇඳ උඩ වාඩි වුණාය.

“සුදු පාට එකක් අඳින්නද එහෙනම්? ලයිට් බ්ලූ එක්ක වයිට් මැච් වෙනව නේද?”

“ම්ම් එපා. ඔයා ගාව තියෙන බේබි පින්ක් වගේ කලර්ස්වල ඇඳුම්?” කියා වලාකුලු එයට පිලිතුරු එවද්දී මේධා වාඩි වී උන් තැනින් නැගිට ගොස් ඇඳුම් කබඩ් එකේ එල්ලා තිබුන ඔක්කොම ඇඳුම් අතරේ ලා රෝස පැහැයට හුරු ඇඳුම් එලියට ගෙන ඒවාගේ පින්තූර වලාකුලුට යවන්න හිතුවාය.

“මං හිතන්නෙ මේක ඔයාට ගොඩක් ලස්සන වෙයි” කියා වලාකුලු විසින් ඒ ඇඳුම්වලින් එකක් තෝරා එවුවායින් පසු ආයෙ වතාවක් ඒ ගැන හිතන්න ඕන නැති යැයි හිතන්නට තරම් මේධා උන්නේ වලාකුලුගේ වචන විශ්වාස කරමිනි.ඒ ලා රෝසපැහැ ගවුමට ගැලපෙන ආභරණ ද වලාකුලුගේ උදව්වෙන්ම තෝරගත්තයින් පස්සේ “බේබි පින්ක් ගවුමක් ඇඳලා මම පෙත්මලීට වඩා බබා වගෙ ඉඳිවිද දන්නෙ නෑ?” කියා වලාකුලුට කෝල් කර හිනාවෙමින් අහන්න මේධා අමතක කරේ නැත.

“ඔයාගෙ කොහොමත් තියෙන්නෙ බේබි ලුක් එකක් තමයි. හිනාවෙද්දි කම්මුල් දෙක එහෙම රෝස පාට වෙනවා පොඩි එකෙක්ගෙ වගේ’

“පිස්සු”

“ඔව් ඇත්ත”

“මොකද්ද?” 

“පිස්සු තමයි”

“කාටද?”

“මට?

“ඇයි ඒ?”

“ඔයාව දැකපු දවසෙ ඉඳල මටම තේරෙනව මට පොඩ්ඩක් පිස්සු වගේ කියල” වලාකුලු විසින් දුන් උත්තරේ හිත අස්සේ එකපාරම ක්ශණික සතුටක් ගොඩනගන්න හේතු උනත් ඒ කතාව අස්සේ තමන්ට තමන්ගෙ පැත්තෙන් වගේම වලාකුලුගේ සහ තමන්ගේ ජිවිතයට සම්බන්ධ සියලුම දෙනාගේ පැත්තෙන් හිතන්න බොහෝ දේ තිබෙන බව මේධාවිණීට අමතක උනා නොවේ. ජීවිතේ එකපාරක් ආදරය හා සම්බන්ධ හේතුවක් නිසා හිත රිද්දගත්ත, වසර ගණනාවක් නාස්ති කරගත්ත කෙනෙක් විදියට තමන් මෙයාකාර ක්ශණික සතුටක් ගැන හිතීම පවා නොකල යුතු බව දන්නවා උනත් මේධාවිණී උන්නේ ඒ තප්පරේක දෙකක ක්ෂණික සතුට නිසාවෙන් උපරිම ආනන්දයක් විඳිමිනි. “අයෑම් ඔන් ක්ලව්ඩ් නයින්” කියා කියනවා ඇත්තෙ මෙයාකාර සතුටකට බවත් ඒ සතුට ගෙන ආ හැක්කේ වලාකුලු වන් මිනිහෙකුට පමණක් බවත් මේධාවිණී එවෙලේ හිතුවාය.

“ඔයා හවසට මොකද්ද ඇඳන් එන්නෙ?” කියා වලාකුලුගෙන් අහන්න තමන්ට යුතුකමක් නැතත් ඒ ප්‍රශ්නය වලාකුලු විසින් අවසානයට කියන්නට යෙදුන දෙයට උත්තර දෙනවට වඩා මේ මොහොත පහසු කරවන බවක් හිතුන නිසාවෙන් මේධාවිණී දෙපාරක් නොහිතා එය අසා දැම්මාය.

“ම්ම්ම් මම සුදු ශර්ට් එකක් තමයි රෙඩි කරල තිබ්බෙ. ඩෙනිම් එකක් එක්ක අඳින්නෙ. අවුලක් නෑනෙ. මම තව පොඩි ෆොටෝග්‍රැෆර් කෙනෙක්වත් අරගෙන එන්න කියල හිතුවෙ. මම මේන්ස් ටික කවර් කරද්දි මිනිහට පුලුවන් නෙ ඉතුරු ටික බලන්න කියල”

“ඔයාට මං කොච්චර කිව්වත් ඕකට යන ගාණ කියන්න කියලා ඔයා ඒකට උත්තර දෙන්නෙ නෑනෙ”

“ඔයා ඒ චාරජ්ස් ගැන හිතන්නෙ නැතුව ඉන්නකො. අනික ඔයා හිතනවද මම කවදාවත් ඔයාගෙන් ඔය වගේ දේකට සල්ලි ගනීවි කියල”

“ඒ උනාට ඒක ණයක් තියාගන්නව වගේ වැඩක් නෙ. මම එහෙම කාටවත් ණය වෙලා නෑ’

“හරි හරි අපි ණය ගෙවන්න වෙන විදියක් හොයාගමුකො” කියා වලාකුලු කියද්දී ඒ කිව්වෙ කුමක්ද කියා අහන්න මේධාවිණීට උවමනා උනත් හිතට උවමනා උනත් දෙතොල ඒ වචනවලට පිටවෙන්නට උඩක් දුන්නේ නැත. අනෙක් අතට ඒ ණය ගෙවීමේ කතාව මොකද්ද කියා අහන්න මේ වෙලාවේ ඉඩකඩත් කාලයත් නැති බව මේධා නොදැන උන්නා නොවේ.

“හවස පාටි එකට මෑන්ස් එනවද?” කියා වලාකුලු අහද්දී ඔහු අහන්නෙ කවුරු ගැනද කියන කතාව මේධාට මුලින්ම තේරුණේ නැත. “කවුරු ගැනද ඔයා අහන්නෙ?” කියා ඇහුවයින් පසුව “මම කිව්වෙ ඔයාගෙ එක්ස් හස්බන්ඩ්ව” කියා වලාකුලු අහද්දී “නෑ අපේ තාත්ති එක්ක එයා එච්චර හොඳ නෑ. තාත්තිත් එහෙමයි. ඒ නිසා මම ඉන්වයිට් කරේ නැ. අනික අපි ඩිවෝස් උනෙත් රීසන්ට්ලි. මම එයාට මේ බර්ත් ඩේ එකට ඉන්වයිට් කරොත් ඔයා දන්නවනෙ ඩිවෝස් ගැන දන්න ගොඩක් අය ඕක වැරදියට දකින්නයි හිතන්නයි පුලුවන්” කියා කිව්වට ඒ වචන දෙතොල් වලින් පිටවුණේ හදවත මත්තේ මහා බරක් ඉතුරු කරමින් බවක් මේධාවිණීට නොතේරුනේ නොවේ.

“ඉස්සර ඉඳලම එහෙමද අංකලුයි එයයි?”

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වේ ඔයාලගෙ අෆෙයාර් එක තියෙන කාලෙත් අංකල් එච්චර කැමති උනේ නැද්ද එයාට?”

“ඇත්තටම නෑ. මම මුලින් හිතුව මැරේජ් එකෙන් පස්සෙ හරියාවි කියල. පස්සෙ බබා හම්බුනාම හරියාවි කියල. ඒත් මට දැන් තමයි තේරෙන්නෙ ඒ දෙන්නම කිසිම එෆර්ට් එකක් ගත්තෙ නෑ කියල ඒ දෙන්නගෙ රිලේශන්ශිප් එක වර්ක් අවුට් කරන්න. මමත් මුලින් හිතුවට දෙන්නෙක්ගෙ මැරේජ් එකකට එයාලගෙ පේරන්ට්ස්ලාගෙ, රෙලටිව්ස්ලගෙ රිලේශන්ශිප්ස් ඉම්පෝටන්ට් නෑ කියල මටත් මගෙ මැරේජ් එක ඇතුලෙදි තමයි ඒක ලොකු බොරුවක් කියල තේරුම් ගියේ. එලියෙන් රණ්ඩු නොදාගත්තට තාත්තයි චිරතුයි දෙන්නට දෙන්න ඒ දෙන්නම සැහෙන රිජෙක්ට් කරා කියල මටත් දැන් තමයි තේරෙන්නෙ. මම කොච්චර ඒ රිලේශන්ශිප් එක බිල්ඩ් කරන්න හැදුවත් ඒ දෙන්නගෙ උවමනාවක් නැතුව ඒක වෙන්නෙ නෑ කියන එක මට තේරුනේ පස්සෙ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here