හද සාගරේ – 33

0
5813

නිශ්ශංක දෑත් ගෙල පිටුපස බැඳගෙන යහනේ වැතිර සිටියේ ය. ඔහු ගේ දෑස් සිවිලිම වෙත යොමු වී තිබුණත්, යහන කොනක හිඳගෙන කොණ්ඩය ගොතන ජිනාදරී ව නො පෙනෙනවා නොවේ. එහෙම ම හිඳ පනාව කණ්ණාඩි මේසය මතින් තැබූ ඕ තොමෝ, බිත්තිය අයිනෙන් යහනට නැගී, දෙපා පොරෝනාවෙන් පොරවාගත්තා ය.

“මොනා වුණත් අපිට දැන් සැනසීමයි තමයි. ඒත් ලොකු දුව දකිනකොට මට හිත වාවන්නෑ”

නිශ්ශංක ගේ අවධානය යොමු වී තිබුණේ වෙනත් දිශාවක ය. තත්පර කිහිපයක ඇවෑමෙන් ඔහු සිය හඬ අවදි කළේ ය.

“ඇයි අර චූටි දූව බන්දල දෙන්න කෙනෙක් හොයන්න ඕන කියල හදිස්සියෙම කිව්වෙ…”

ජිනාදරී මඳකට නිහඬ වූයේ ඈ එසේ කීවේ කොයි වෙලාවේ ද කියා නිරවුල් කරගන්නට මෙනි. එකෙනෙහි ඇයට ඒ සිදුවීම සිහිපත් විය.

“ආ… නෑ…”

ඒ සිනහවෙන් පිරුණු නිර්ව්‍යාජ හා සත්‍ය පිළිතුරකි.

“මං එහෙම කිව්වෙ නිකං. චූටි දුව ඔයා ළඟට වෙලා හුරතල් වෙවී හිටපු නිසා. අපිට තාම චූටියි වගේ දැනුණට ඇත්තටම දැන් ඉතින් එයා කසාද බඳින වයසෙනං තමයි”

“ඒක මිසක්”

නිශ්ශංක ගේ පීතෘ හදවතට දැනුණේ සැනසුමකි. ගෙල යටින් මුක්කුවක් ගසාගෙන සිටි එක්  අතක් ගෙන හෙතෙම පපුව පිරිමැද ගත්තේ ය.

“මං හිතුව කෙල්ල මොකක්හරි සම්බන්දෙක පැටළිලයි කියල ඔයාට ඉව වැටිලයි කියල”

“අපෝ නෑ. තවමනං එක වතාවකටවත් එහෙම හිතන්න දෙයක් වෙලා නෑ. ඒකනෙ ඉතිං මං කිව්වෙ කටයුත්තක් හොයන්න ඕනයි කියල. මං හිතන්නෑ මෙයානං කැමති කෙනෙක්ව හොයාගනී කියල. එහෙම හොයාගන්නවනං මෙලහකට ඒක වෙලානෙ”

“හ්ම්”

“දැං මේ ලොකු දුවගෙ ප්‍රශ්නෙ විසඳගන්නෙ කොහොමද අනේ. හෙට අනිද්දට ඔය බරෙන්     නිදහස් වේවි. එතකොට දරුවො දෙන්නයිනෙ. සිත්මිව මොන්ටිසෝරි යවන්නෝනෙ ඊලඟට. අනිත් කිරිකැටියව ලොකු කරගන්න ඕනෙ. ඔයාට පුළුවන්ද ඔය හැමදේම ඔයාගෙ අත්දෙකේ මහන්සියෙන් කරන්න… දෙයියනේ මාව බැන්ද දා ඉඳං තාම නිවනක් නෑනෙ”

ජිනාදරී ගේ හඬ යන්තම් බිඳී ගියේ ය. ඇය මුදු ලෙස සැමියා ගේ අත් බාහුවක් පිරිමැද්දා ය. පපුව හිර වී තිබිණ. පවුලක බර ඉහිලූයේ තනි ඔහු ය. ඇය ගේ දොරත් දරුවනුත් බලා කියාගෙන ඔවුන්ට උගන්වාගෙන සිටියා ය. ඒ මුළු කාලය පුරා නිශ්ශංක කිසිවකට කන්කෙඳිරි ගෑවේ නැත. නැති බැරිකම් කීවේ නැත. කළ යුතු සියල්ල සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් කළේ ය. කීයක් හෝ ඉතිරි කරගන්නට බස් නැවතුමක දුර පයින් ගියේ ය. මිතුරන් කිහිප දෙනෙකු එක් වී මී විතක් පුරන්නට සූදානම් වන අවස්ථා මගහැරියේ ය. විනෝද ගමන් වන්දනා ගමන් පසුවට කල් තැබුවේ ය. අඩිය ගෙවෙනා තුරු එක ම සපත්තු කුට්ටම දමාගෙන කාර්යාලයට ගියේ ය. මේස් වල හිල් ගැන ජිනාදරී පැමිණිලි කළ විට, “කවුරුත් දකින්නෑනෙ ජිනා” යි උපේක්ෂා සහගත මඳහසකින් කීවේ ය. සිංහල අවුරුද්දට වුව අලුත් ඇඳුමක් ගත්තේ ගෙදර අනිත් අයට මිල දී ගෙන දී ඉතිරියේ හැටියට ය. එක්කෝ කලිසම ය. නැත්නම් කමිසය ය. ගෙදර වියදමට දෙන මුදලින් රහසේ ඉතිරි කරගත් යමකින් එතකොට ජිනාදරී ඔහු නො ගන්නා කමිසය හෝ කලිසම මිල දී ගනී.

“මෙහෙම හිටියට අම්ම තමයි බැංකුව”

එහෙම වෙලාවට ඔහු සිනහ වෙවී එසේ පවසනයුරු මේ දැනුත් ඇය ට සිහි වේ. නිශ්ශංක කියන්නේ පරිසමාප්ත අර්ථයෙන් ම තාත්තා කෙනෙකි. ස්වාමි පුරුෂයෙකි. බිරිඳට හෝ දියණිවරුන්ට කිසිදු අඩුපාඩුවක් හෝ හිත්රිදීමක් වන්නට ඉඩක් නො තැබූ, ඔවුන්ට කැළලක් ඇති නොකළ මහා පුරුෂයෙකි. ලොකුවට වත්කම් නැතිවාට, පවුල වෙනුවෙන් මහා හිතවත්කම් ඇති ඔහු, ජිනාදරී සැබවින් ම මහා පුරුෂයෙකි.

“මේක තමයි ජිනා මගෙ නිවන. ඔයයි කෙල්ලො දෙන්නයි. තව වෙන මොනාද… ලොකු කෙල්ල ගැන හිතට නිවනක් නෑ තමයි. ඔයා කිව්වත් වගේ මේ කෙල්ලගෙ අනාගතේ ගැන හිතනකොටත් පිස්සු වගේ. අර පොල් බූරුවට මොන දෙයක් කරලවත් පිළිවෙලක් කරන්න බෑනෙ”

නිශ්ශංක සුසුමක් හෙළුවේ ය. ජිනාදරී ඔහු ගේ අත් බාහුව මතින් හිස තියා අතක් පපුව මතින් දැමුවා ය. ජිනාදරී ගේ හිසට යට වී ඇති අතේ අතැඟිලි වලින් ඔහු ඇගේ හිස පිරිමැද්දේ ය.

“මං මැරෙන්න කලින් මේ කොයි දේත් පිළිවෙළක් කරන්නෝනෙ. ඔයාගෙ හිතට බරක් ඉතුර කරල යන්න බෑ”

“මො… නාද අනේ කියන්නෙ… මැරෙන කතා කියන්නෙ…”

ඔහු යන්තම් හිනැහුණේ ය.

“ඉතිං අපි මැරෙනවනෙ ජිනා. මොකෝ නොමැරී ඉන්න කියලයැ. දැං ඉතිං ගොඩක් කල් හිටිය. අපේ ඔෆිස් වල අපේ වයස් වලයි වැඩි අයයි අඩු අයයි හෙමි හෙමිහිට යමින් ඉන්නෙ. තාමත් ඉන්න තරං ඉතිං අපි වාසනාවන්තයි. එහෙමයි කියල හැමදාම ඉන්න බෑනෙ ඉතිං. ලොකු කෙල්ලගෙ ප්‍රශ්නෙ කොහොම විසඳන්නද කියල තාම මං කල්පනා කරනව. බලමුකො. ම්…”

නිශ්ශංකගේ පපුවෙහි මුහුණ ස්පර්ශ වන සේ, සිය තුරුණු වියෙහිදී සේ ම ජිනාදරී නෙතු පියාගත්තා ය. නමුත් මේ නින්දට යන වෙලාවේ හිත රිදෙන කතාවක් කී එක ගැන ඇගේ හිතේ පහන් බවක් වූයේ නැත.

ඒ වෙලාවේ සාරධා සිටියේ මානසික විඩාවක් තුළයි. මේ වෙලාවේ ම ඉල්ලූ මුදල දෙන්න කියමින් ඔහු දුරකතනයෙන් කරදර කළේ ය.

“දොර අරින්න බෑ. යතුර තාත්තල ළඟ. හෙට උදේට එනව”

කියා ඇය දුරකතනය ක්‍රියා විරහිත කළා ය. නමුත් ඇස්  පියවෙන්නේ ම නැත. ඊළඟ මොහොත ගැන දැඩි අවිනිශ්චිත බවක් ඇගේ හිත මුළුමනින් නො සන්සුන් කොට තිබිණ.

දෙව්රම් ගෙදර ආවේ ඒ වෙලාවේ ය. එදා හැන්දෑවේ සිට රෑ වන තුරු ම රූගත කිරීමක් සිදු විය. ගෙදර විත් දිය නාගෙන, තේ එකක් හදාගෙන ඔහු මුළුතැන්ගෙයි මේසය අස හරිබරි ගැහී වාඩි වූයේ ය. මේ වෙලාවේ ඇය නිදනු ඇතැයි සිතුණ ද දුරකතන ඇමතුමක් නො ගෙන ඉන්නට හිත හදාගත හැකි වූයේ නැත.

පළමු හැඬවුම සම්පූර්ණ වීමටත් පෙර මුදු සර නැඟිණ. දෙව්රම් ගේ මුහුණට සිනහවක් ආවේ ය.

“නිදි නැද්ද…”

“ම්හු”

“වෙනදටත් පරක්කු වෙලාද නිදියන්නෙ…”

“ම්හු”

“එහෙනං අද…”

“බලං හිටිය ඉතිං”

“මොනාද…”

“කෝල් එකක් එනකං”

ඔහු ගේ මනබන්ධනීය සිනහව, ඒ සියුම් හඬ ඇසුණ මතින් ආදියා ට සිතින් මවාගත හැකි විය.

“කාගෙන්ද…”

“අනේ ඉතිං”

“ඔයාට කෝල් එකක් ගන්න තිබුණනෙ”

“බිසීද දන්නෑනෙ”

“හ්ම්. ශූට් එක ඉවර වෙලා ඇවිත් වොශ් එකක් දාගත්ත විතරයි මේ. ඉතිං…”

“මහන්සිද…”

“ම්… මහන්සි තිබුණ. ඒත් දැන් නෑ. ඒකනෙ ඔයා හැපී පිල් එක කියන්නෙ”

“කෑවද…”

“නෑ. තේ එකක් හදාගත්ත… ඕගොල්ලො ගියාට පස්සෙ රෑටනං කෑවෙම නැති තරං ආදියා. ඒක කියන්න තේරෙන්නැති මහ මූසල හැඟීමක්. බඩ දනව හොඳටම දැනෙනව. ඒත් කෑම ටිකක් කන්න හිතෙන්නෙම නෑ. කටට දාගත්තත් ගිලෙන්නැති තරං. උගුර හිරවෙනව. ගෙදරයි ජීවිතෙයි ඔක්කොම පාළු වෙලා ගියා වගේ වුණා”

“එහෙනං මෙහෙ එන්න”

“ඔයාගෙ රූම් එක ශෙයා කරගන්න දෙනවද…”

දෙව්රම් හඬනගා සිනහ වූයේ ය. සැහැල්ලුවේ විහඟුන් තටු සලා ඉගිල ගියේ ය. ආදියා මූණ රතු කරගෙන සිනහව ගිලගත්තා ය.

“තාත්තට ඇහුනනං බලාගන්න තිබුණ”

“ඔයාව ශේප් කරගන්න කලින් මං තාත්තව ශේප් කරගත්තෙ. එයා මගෙ යාළුවනෙ”

ආදියා දුරකතනය සවනට තදකර ගත්තා ය. ජීවිතය පිරීතිරී යමින් තිබේ. ආදරය දෝරෙ ගලා යමින් තිබේ. ඒ මොහොත තුළ ඇයට කාලය මත්තෙහි නතර වෙන්නට පිළිවන් වී නම් ඇය එහෙම කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here