වියෝ ගී ගැයෙනා හදේ – 35

0
3191

මේධාත් වලාකුලුත් අතෙන් අත අල්ලාගෙන කතාකරමින් උන්නා දූටුවයින් පස්සෙ තවදුරටත් මේධාගේ ලෝකයේවත් ජීවිතයේවත් තමන්ට ඉඩක් නැති බව තේරුම්ගන්න චිරත්ට වෙනස් හේතුකාරණා උවමනා උනේ නැත. මේධා විසින් තමන්ව ඇයගේ ජිවීතයෙන්ද හදවතින්ද පිටුවහල් කර ඇති බව චිරත් එදා ඒ විදියට ඔවුන් දෙදෙනාව දුටුවයින් පස්සේ තේරුම්ගත්තේය.

“උඹ හිත ඇතුලෙන් මේධා ගැනම හිත හිත හිටියට මේධා එහෙම කරල නෑ කියන එකයි, මේධා මූව් ඔන් වෙලා කියන එකයි වරදක් විදියට අපිට දකින්න බෑනෙ චිරා. අනික මොක උනත් මේධා කියන්නෙ ගෑණියෙක්. ඩිවෝස් වෙලා දරුවෙක්ව තනියෙන් බලාගෙන ඉන්න තරුණ ගෑණියෙක්. එහෙම ගෑණියෙක් ආයෙ අෆෙයාර් එකකට යන එක මැරේජ් එකකට යන එක වරදක් කියල කියන්න හිතන්න පිරිමි වෙච්ච අපිට පුලුවන් කියල මම හිතන්නෙ නෑ. වෙන හැමදේම වෙන්නෙ හොඳටනෙ කියල හිතෙනවා ඇරෙන්න දැන් මං හිතන්නෙ උඹට වෙන කරන්න දේකුත් නෑ” කියා සමීර කියද්දි චිරත් උන්නේ ඇත්තටම තමන් විසින් කල යුත්තේ කිව යුත්තේ කුමක්ද කියා හිතන ගමන් ය.

“මේධා වෙන කෙනෙක් එක්ක අෆෙයාර් එකකට යන එක හරි මැරේජ් එකකට හරි යන එක වරදක් කියල මම කියන්නෙ නෑ සමීර. අනික මේධා ඒකට ඉක්මන් උනේ නැතත් මේධාගෙ අම්මල තාත්තල කොහොමත් ඉක්මන් වෙලා එහෙම දෙයක් කරල දෙනව කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ නිසා මෙහෙම දෙයක් වෙනව කියල කවදහරි මම දැනගෙන හිටියෙ නෑ කියල කියන්න මට පුලුවන් කමක් නෑ. මගෙ හිතට වද දෙන්නෙ මේධා වෙන කෙනෙක්ට ලංවෙලා කියන එක නෙවෙයි මචං” කියා චිරත් කියද්දී සමීර හෙමින් සැරේ චිරත් වෙත ආවේ ඒ කතාව මොකක්ද කියා වඩා හොඳින් අහගන්න බලාපොරොත්තුවෙනි. 

“එහෙනම්?”

“මට බයයි මට දරුවව නැතිවෙයිද කියල” චිරත් කියද්දී ඔහු මුව මත අපහසුවෙන් සිනාවක් හැඳ ගත්තද චිරත්ගේ වදන් වල වූ වෙව්ලීම කියා පෑවේ හඬන්න බැරි කමට හිනාවෙන තාත්තා කෙනෙකුගේ වේදනාව සහ ආදරයය.

“එහෙම වෙන්නෙ කොහොමද මචං? කෙල්ල උඹට පණ ඇරලනෙ” කියා කියමින් චිරත්ගේ උරහිස මත අත තැබුවද මේ ලෝකෙ නොවෙනස් නොවන දෙයක් නැති බව සමීරට හිත මතක් කර නුදුන්නා නොවේ. 

“ඒක ඇත්ත. ඒත් ඒ තාම ඒ කෙල්ලගෙ ලෝකෙ ජීවිතේ තාත්තා කියන තැන ඉන්නෙ මං විතරක් හන්දා නේද? වලාකුලු හරි මේධා කසාද බඳින වෙන මනුස්සයෙක්ට හරි එතනට එන එක ලොකු ගේමක් නෙවෙයි නේද? මට සතියට දෙකකට වතාවක් විතරයි දරුවව හම්බුවෙන්නෙ. එහෙම තැනකදි සතියෙ ඉතුරු දවස් හයේම නිතරම පේන්න කරන්න ඉන්න මනුස්සයෙක් දරුවට ආදරේ වෙන එක, දරුව ඒ මනුස්සයට මට වඩා ලංවෙන එක වෙන්න පුලුවන් දෙයක් නේද?” කියා චිරත් අහද්දී සමීර තප්පර ගාණකට නිහඬව උන්නත් ඒ නිහැඬියව ඊට වඩා දුර දිග ගෙනියන්න සමීරට පුලුවන් නොවුනේ චිරත් තමන් ඇසුව දෙයට උත්තරයක් බලාපොරොත්තුවෙන් තමන් දිහාවම බලාගෙන උන්නු හන්දාය.

“එච්චරම නෙගටිව් විදියට හිතන්න එපා මචං. අනික උඹ මෙහෙම හිතපංකො. කොච්චර කරත් කෙල්ල කවදාවත් උඹව අමතක කරන්නෙ නෑකියන එක මට ශුවර්. අමතක වෙනවනම් බං මේ ගෙවිච්ච කාලෙ හොඳටම ඇතිනෙ කෙල්ලට උඹව අමතක කරන්න. ඒ උනාට ඒක එහෙම වෙලා නෑ කියන එකට හොඳම එක්සාම්පල් එක තමයි එදා බර්ත් ඩේ පාටි එක දවසෙ කෙල්ල උඹවම ඕන කියල අඬපු එක. එහෙම එකේ උඹ එච්චරම නෙගටිව් විදියට හිතල මූද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න හිතන්න යන්න එපා.

අනික උඹ මෙහෙම හිතපංකො. මේධා කසාද බඳින මනුස්සය කවුරු උනත් ඌ පෙත්මලීට ඇත්තටම ආදරේ කරන, තාත්තා තරම්ම ආදරෙන් සලකන මනුස්සයෙක් වෙනවනම් ඒක අපිට සන්තෝස වෙන්න කාරණාවක් නේද? රටේ ලෝකෙ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක අපේ දරුවෙක්ට එහෙම බය නොවෙන්න, පරිස්සමෙන් ඉන්න පුලුවන් තැනක් ෆියුචර් එකක් ලැබෙනවා කියන එක ගැන අපි සන්තෝස වෙන්න ඕන” කියා සමීර කිව්වාට චිරත් උන්නේ එහෙම පහසුවෙන් එවන් දෙයක් හිතා හිත සැහැල්ලු කරගන්න පුලුවන් තැනක නොවේ. මොන දේ උනත් ඒ තමන්ගේ දරුවාය. තමන්ව තාත්තා කෙනෙක් කල දරුවාය. එහෙම දරුවාව සමීර කියන පරිද්දෙන් පහසුවෙන් වෙන මනුස්සයෙක්ට පුදන්නට නොහැකි බව දන්නේ තාත්තා කෙනෙක්ම පමණකි.

“ඔය කියන ලේසියෙන් මට ඒක කරන්න බෑ මචං. හැමදාම පෙත්මලීව මගේ විතරක් කරල තියාගන්න බෑ කියන එක මම දැනගෙන හිටියා. හැබැයි මං ඒකට රෙඩි වෙන්න ඉඳියෙ තව අවුරුදු විස්සකින් විතර කවදහරි පෙත්මලී හොඳ කොල්ලෙක්ව හොයන් කසාද බැඳල යන දවසක. නැතුව මේ තාම ඉස්කෝලෙ දෙකේ පංතියෙ ඉන්න කෙල්ලෙක් විදියට නෙවෙයි. මං කොහොමද බං මගෙ දරුව වෙන මනුස්සයෙක්ව තාත්තා කියලා පෙන්නන තැනක හිත හදන් ඉන්නෙ. අනික මේධා එහෙම දේකට ඉඩ තිබ්බෙ නැතත් මේධාගෙ මහ එවුන් දෙන්නා ඕක ප්ලෑන් කරන එකක් නෑ කියල උඹ හිතනවද?” කියා චිරත් අහද්දි ඒ ප්‍රශ්නයට දෙන්නට උත්තර නැති හන්දාම සමීර චිරත්ගේ දෙනෙත් මගහැර අහක බලාගත්තේය.

චිරත් එවන් මානසික වියවුලක හිරව ඉද්දී මේධා උන්නේ වලාකුලු සහ පෙත්මලීව ලං කරන්නට හැකි විදියක් ගැන කල්පනා කරමින් පෙත්මලීව එලියට එක්කරගෙන යන වෙලාවක වලාකුලුටත් එන්න යැයි කියන බලාපොරොත්තුවෙනි. 

පෙත්මලී වඩා ආස කරන මූද අද්දර දවසක් ගෙවන්න යන දවස ප්ලෑන් උනේ ඒ අනුවය. කොළඹින් උදේම පිටත් උනොත් පැයකින් එකහමාරකින් විතර අහංගම සීක්‍රට් බීච් එක වෙත යන්නට හැකි බව මේධාට කිව්වේ වලාකුලුය.

“බීච් එක කියල ඉතින් ඔය මවුන්ට් හරි ගෝල් ෆේස් හරි එක්කරගෙන යන්න පුලුවන් උනාට බබාටයි ඔයාටයි දෙන්නටම චේන්ජ් එකකට අපි ගෝල් පැත්තෙ ගිහින් එමු. අහංගම සීක්‍රට් බීච් එක හරි ට්‍රෙන්ඩින් හැබැයි උදේම ගියොත් ෆොරිනර්ස්ල කීප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් නෑ. බබාට සෙල්ලම් කරන අතරවාරෙ ඔයාට බීච් එකේ පොඩි නැප් එකක් දාන්න උනත් පුලුවන්.මට බැරිය අම්මගෙයි දුවගෙයි ලස්සන ෆොටෝස් ටිකක් උනත් අරගෙන දෙන්න” කියා වලාකුලු කියද්දි මේධා උන්නේ ඒ ගමන යන්න ආසා උනත් එයට ඔව් කියනවද නැද්ද කියා හිතාගන්න බැරුවය. මේ හැමදෙයක්ම වගේ වෙන්නේ එක්තරා විදියක ඉක්මනකින් බව හිතේ එක පැත්තක් කියද්දි අනෙක් පැත්ත උන්නේ ඒ කලබලය වැලඳගන්න ආශාවකින් පෙලෙමින් බව මේධාට නොදැනුනා නොවේ.

එහෙත් තමන් එක වතාවක් කලබල වී ගත් තීරණයක් නිසා ජීවිතය අතරමග නතර කරගත් ගැහැණියකි. ඒ හා සමානවම ගන්නට යන දෙවන තීරණයක් කලබලයෙන් නොගන්න තරමට හොඳ බව මේධාට වටහා දුන්නේ ඒ අතීතයේ දුක්බර නටඹුන් ය.

කෙසේ හෝ දවස් කිහිපයක් වලාකුලු විසින් කරන ලද එකී යෝජනාව ගැන සිතා බලා මේධා අවසානයේ වලාකුලුට ඒ ගමන යන්නට අවසරය ලබා දුන්නේ පෙත්මලීගෙන්ද ඒ ගැන අසාය.

“බබා කැමතිනෙ සී බලන්න යන්න. අපි යන් නේද?” කියා අම්මා අහද්දී පෙත්මලී උඩ පැන්නේ කලින් වතාවේ තාත්තා එක්ක මූද බලන්න ගොසින් ලද සුන්දර මතකයන් මතක් උන හන්දාය.

“තාත්තිත් එනවද යන්න?”

“තාත්ති බිසීනෙ බබී. තාත්තිට එන්න වෙන්නෙ නෑ මේ පාර. අපි අම්මිගෙ යාලුවා වලාකුලු අංකල් එක්ක තමයි යන්නෙ. බබී කැමති නේද?”

“කැමතියි. ඒ උනාට තාත්ති ආවනම් බබා ගොඩක් කැමතියි. වලාකුලු අංකල්ට වඩා තාත්ති හොඳයිනෙ අම්මි”

“වලාකුලු අංකලුත් හොඳයි බබී. මේ පාර සී එකට ගියාම බලන්නකො වලාකුලු අංකලුත් ශෝක් නේද කියල”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here