හද සාගරේ – 37

0
10896

දෙව්රම් සන්දනායක රිය පැදවූයේ කුරුල්ලෙකු ගේ සැහැල්ලුවෙනි. හිත කියන්නේ පුදුම දෙයක් යයි ඒ අතරේ ඔහු ට කල්පනා විය. මේ හිත ම මීට මාස කිහිපයකට පෙර, සපූ ඔහුගෙන් වෙන්ව යාමට සූදානම් වන කාලයේ දී කෙතරම් නම් පීඩනයක් අත්වින්දේ ද? ආපසු හැරී බලත්දී ඒ තත්වය හිතා ගන්නට පවා අපහසු වූවකි. නැවතත් ඒ බිඳුණු හිත පිළිසකර කරගත හැකි වෙතැයි ඔහු සිතුවේ ම නැත. සපූ නැති ජීවිතයක් ගැන හිතා ගන්නට බැරිව, ජීවිතය අයැදිමින් ඔහු ඈ පසුපස ගියේ ය. ඔහු ව අත්හැර යන්නට එපා කියමින් පින්සෙණ්ඩු වූයේ ය. ඈ නො සලකා හරිත්දී තර්ජනය කළේ ය. ඈ බිය වද්දන්නට හෝ ඇගේ අනුකම්පාව දිනා ගන්නට මත් පැන් බීම වැනි නො කළ යුතු දේ පවා කළේ ය. හඬමින් වැළපෙමින්, රණ්ඩු කරමින් ඇයව ම අයැද සිටියේ ය. නමුත් ඒ කිසිවකින් ඈ රඳවාගත හැකි වූයේ නැත. ඔහු ගේ හදවත කීති කොට ඉරා දමමින්, ඒ හද මන්දිරයෙන් සපූ නික්ම ගියා ය. ඔහු ටික කලක් ඈ මත්තේ හැපුණේ ය. ඔහු ගේ ම ජීවිතය විනාශ කරගන්නට තැත් කළේ ය. නමුත් ටික ටික ඒ සුළි කුණාටුව ඈතකට ගසා යන්නට විය. ඔහු නිශ්චල වෙමින් සිටියේ ය. මඳින් මඳ සිත සන්සුන් වන්නට විය.
හිත කියන්නේ එක ම ස්වභාවයක බෝ කලක් නතර වී පැවතිය හැකි දෙයක් නොවනා බව දෙව්රම් විසින් ඉගෙනගන්නා ලද්දේ එම සිදුවීම නිසා ය. විශේෂයෙන් ම සදාකාලිකව දුක් විඳිමින් වැළපෙමින් ඉන්නට හිතකට ඕනෑ නැත. එය ඉක්මනින් ම සන්සුන් වෙරළක් හමුවීමට අපේක්ෂා කරයි. සියලු සුළි කුණාටු ඉදිරිය බලා හමා යයි. ඒ පසුපසින් සාමය පැමිණෙයි.
අප තැති ගනුයේ සිත්හි එකී ස්වභාවය නො දන්නා තාක් ය. කැළඹෙනුයේ අප තනි වෙතැයි සිතනා බැවිනි. නමුත් ස්වභාව ධර්මය යමක් සිදු කරනුයේ හේතු විරහිතව නොවේ. මිනිසුන් අප වෙතට සමීප කරනුයේ සේ ම අපෙන් ඈත් කරනුයේ ද හේතු ඇතිව ය. ඈත් කිරීම නිසා ඇති වන රික්තකයට වෙනත් වඩා සුදුසු අය ආකර්ෂණය කිරීමේ අභිලාෂයෙනි. සපූ ගෙන් හිස් වූ ඉඩට ආදියා ආදේශ කිරීමේ සැලැස්මක් සොබා දහමේ තිබෙන්නට ඇත. ඔහු නො දන්නවා වූවාට ඈ ඔහු දෙස බලා හිඳ තිබෙන්නේ බෝ කලකට පෙර සිටයි. ඇය ඔහු වෙනුවෙන් ප්‍රේමය එක්රැස් කරමින් හිඳ තිබෙන්නේ ඔහු නො දන්නා කාලයක සිටයි. නමුත් ඔහු නො දත් දේ සොබා දහම දැන හිඳ තිබේ!
හැම දේම වෙන්නේ හොඳට යයි සාමාන්‍ය මිනිසුන් අතරේ තිබෙනා වහර, කාලයක් තිස්සේ ලත් අත්දැකීම් මත පිහිටා ගොඩනැගූවක් විය යුතු ය. ඔහු වටා සිදු වූ සියල්ල වී තිබෙන්නේ ඔහු ගේ ම හොඳට යයි දැන් පැහැදිලි ය. නමුත් එදා ඒවා සිදු වෙත්දී දෙව්රම් විඳවූයේ ඔහු මහත් අවාසනාවන්ත මිනිසෙකු යයි සිතාගෙනයි.
පුතා අද, අන්තිමට ඔහු ගමේ ගෙදර විත් ගිය දාට වැඩිය හිතේ සැහැල්ලුවෙන් හිඳිනා වග සාලිය ට දැනේ. ඔහු නො දන්නේ ඊට හේතුවයි.
“චොක්ලට් එකක් ගන්න ඕනෙ”
කියමින් දෙව්රම් සුපිරි වෙළෙඳසැලක රථ ගාලේ රිය නතර කළේ ය.
“චොකලට්…”
නාලිනී ගේ දෑස් අතර නළල ප්‍රදේශයේ රැල්ලක් නැඟිණ.
“ඔව්. පොඩි එකාට”
නාලිනී ගේ සැක දුරු කරනු වස් ඒ පොඩි එකා කාගේ කවුදැයි පහදා කියන්නට දෙව්රම් ට සිදු විය.
“නිශ්ශංක අංකල්ගෙ දුව බැඳල ඉන්න පිස්සු මිනිහ නිසා තමයි ඒ මිනිස්සුන්ට කරදරේ. දෙයියනේ කියල ටික කාලෙකට හරි හිරේ ගිය එක තමයි දැන් තියන සැනසිල්ල”
ඒ ප්‍රකාශයෙන් නාලිනී ගේ සැකය දුරු වනු වෙනුවට එය තවත් තීව්‍ර වූයේ ය. සැමියා සිරගත වූ, දරුවෙකු සිටිනා හා තවත් දරුවෙකු ලැබෙන්නට සිටිනා තරුණ ගැහැනියක සිටින නිවසට සිය පුත්‍රයා නිතර යාම් ඊම් කරන්නේ කවර අරමුණක් ඇතිව ද? නාලිනී තුළ ඒ දෙමාපියන් ගැනත් ඇති වූයේ කේන්තියකි. ඒ වගේ තැනකට ඔවුන් මේ වාගේ කොල්ලෙකු ගෙන්වා ගැනීම සදාචාර සම්පන්න නැත. මේ ගමන ගොස් පැමිණීමෙන් පස්සේ දෙව්රම් ට මේ ගැන තේරුම් කොට දෙන්නට ඇය සිතාගත්තා ය. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කපන්නට වෙන තැනට වර්ධනය වීමට හැරිය යුතු නැත!
“පොඩි එකෙකුට විතරක් නෙවෙයි… අපි ඔක්කොමල කෑමකට යන එකේ… ඒ ගෙදරටත් මොනා හරි අරන් යන්න ඕන නේද පුතා…”
දෙව්රම් රියෙන් බහින්නට පෙර සාලිය එසේ විමසූයේ නාලිනී වෙතට හැරෙමිනි.
“ඔව් ඔව්. මොනාහරි අරං එන්න. නැත්තං අපි මේ නිකං ගෙවල් වලට ගිහින් හිඟන්නො වගේ කාල බීල එනව කියල හිතයි”
“අපෝ… ඒගොල්ලො එහෙම හිතන මිනිස්සුනං නෙවෙයි අම්මෙ. ඒත් කමක් නෑ අපි මොනාහරි ගමුකො. යමු තාත්තෙ”
“අම්ම ඔය ඉන්නෙ හිතේ මොකාක් හරි කෝන්තරයක් තියාගෙන ගොයියො”
සාලිය සිනහ වෙවී එසේ කීවේ රියෙන් බැස වෙළෙඳ සංකීර්ණය වෙත ගමන් කරත්දීයි. ඔහුගේ පවා හිතේ වූ යම් සැකයක් දුරු කරගන්නට ඔහු ට උවමනා වී තිබුණා විය හැක.
“මන්නං දන්නව තාත්තෙ… ඔය හිතේ තියං පුපුරන්නෙ මොකද්ද කියල”
දෙව්රම් පල කළේ සැහැල්ලුවකි.
“මොකද්ද…”
“දැං ඔය මනුස්සය හිරේ ගිය දරුවො ඉන්න ගෑනු ළමයව බලන්නයි මං එහෙට යන්නෙ කියල තමයි අම්ම හිතන්නෙ”
මේ නගරය නොව රජරට සිය ගම් පෙදෙස වාගේ ය සාලිය හඬ නගා සිනහ වූයේ.
“ඉතිං ඒක එහෙමද…”
“පිස්සුද තාත්තෙ… අම්ම හිතන විදිහ ඉතිං…”
ඒ වචන ටික සාලිය ට ප්‍රමාණවත් ය. දැන් ඔහු ගේ හිත ශුද්ධ ය. දෙව්රම් නිදොස් කොට නිදහස් ය. එනිසාවෙන් ම සාලිය ගමනේ ඉතිරිය හිතේ නිදහසෙන් ගියේ ය.
ආදියා ගේ හදවතෙහි වූයේ ගැස්මකි. අද දවසේ කවරාකාර දෑ සිදු වනු ඇත්ද, ඒවාට කොහොම මූණ දිය යුතු ද කියා ඇය ට වූයේ දෙගිඩියාවකි.
“මට හිතෙනව දෙපැත්තෙම අම්මල තාත්තල ඉන්න වෙලාවෙ… අපි ගැන ඒගොල්ලොන්ට කියන්න”
පෙර දා දෙව්රම් එසේ කියත්දීත් ඇය තිගැස්සී ගියා ය.
“අනේ දැන්ම එපා”
“ඇයි… වෙන ගෑනු ළමයි කොල්ලන්ට කරදර කරන්නෙ ඉක්මනට ගෙදරට කියන්න කියලයි”
සරදමක් සේ කීවා ට දෙව්රම් ගේ ස්වරයෙහි හැබෑ ප්‍රශ්නාර්ථයක් නො වූවා ම නොවේ.
“ඒත් මට බයයි. එයාල කැනති වෙයිද නැද්ද කියල හිතනකොට”
“අකමැති වෙනවනං ඒකට හේතුවක් තියෙන්නෙ ඔයාගෙ අම්මටයි තාත්තටයි. මං ඩිවෝස් වෙච්ච පිරිමියෙක් නිසා. තමන්ගෙ චූටි දුවව එහෙම පිරිමියෙක්ට දෙන්න තාත්ත කෙනෙක් අකමැති වුණත් ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් අපි කාටවත් නෑ තමයි”
දෙව්රම් ගෙන් සුසුමක් ගිළිහිණ.
“ඔයාගෙ අම්මට වුණත්… ඔයා වගේ ලොකු මහත්තයෙක්ට මං වගේ කෙනෙක් මදි වෙයිද කියන්න බෑනෙ. එහෙම ප්‍රශ්නයක් දැන්ම ඔළුවට දාගන්න මට බෑ වගේ. තව ටික කාලයක් මට මෙහෙම ඔයා ළඟින් ඉන්න දෙන්න”
“ඔයාගෙ කැමැත්තක්”
අත් හරින්නට බැරි ලෝභී හැඟීමකින් ඒ වෙලාවේ ඇය දෙව්රම් ගේ අතක් දෑතින් ම වැළඳගෙන ඔහු ගේ අත් බාහුවේ මූහුණ හොවාගත්තා ය. සන්සුන් ඉවසිලිවන්ත ප්‍රේමයකින් ඔහු ඈ හිස් මුදුන සිපගත්තේ ය.
ජිනාදරී එදා දිවා ආහාර පිළියෙළ කරන්නට පටන් ගත්තේ උදෙන් ම ය. ඒ ගැන ආදියා නො මනාපය හැඟවූවා ය.
“මෙච්චර උදෙන් උයන්නෙ මොකටද අනේ”
“ඒ මිනිස්සු ආවහම පිළිඅරං කකාබහ කර කර ඉන්නව මිසක් කුස්සියට වැදිල උය උය ඉන්න බෑනෙ”
ඇගේ නිදහසට කාරණය එබඳු ය. කෙසේ වෙතත් ඕ තොමෝ එදා දන්නා ශිල්ප සියල්ල දමා හැක්තාක් රසවත්ව ආහාර පිසුවා ය. ඒ ගැන නිශ්ශංක ගේ විහිළු තහළු ඉවසා ගන්නට ද සිදු විය.
දෙව්රම් ලා ගෙට ගොඩවූයේ සිනහව හා සතුට අරගෙනයි. නිශ්ශංක හා ජිනාදරී ඔවුන්ව පිළිගත්තේ සතුටෙනි. සාරධා පේන මානයේ සිටියා ය. දෙව්රම් සිත්මි ව හුරතල් කළේ ය. දැන් දැරිය ඔහුට වඩාත් ළෙංගතු ය. දෙව්රම් පැමිණි විට ඔහු වෙත විත් ඇඟෑළුම් පායි. අහිමි වූ පිය සෙනෙහස වෙනුවෙන් ඔහුගෙන් යමක් බලාපොරොත්තු වෙයි. දෙව්රම් ඈ උකුළේ තබාගෙන ආදරය පෙන්වයි. ඔහු ද දියණියක ගැන ආශාවෙන් සිටියේ ය. නමුත් දියණියක තබා පුතෙකු බිහි කරන්නටවත් සපූ එකඟ වූයේ නැත.
“දැම්ම ළමයි හදාගෙන බෑ අනේ. ඊට පස්සෙ මට නිදහසේ ටෙලි ඩ්‍රාමා එකක්වත් ගන්න පුළුවන්ද…”
මේ ගැන ඔහු ට කතා කරන්නට ඕනෑ වූ ඕනෑ ම අවස්ථාවක සපූ ගේ ප්‍රතිචාරය එබඳු විය.
“අපිට ජීවත් වෙන්න විදිහක් නැතුව නෙවේනෙ. ඔයාට ඇක්ට් කරන එක නවත්තලම දාන්න පුළුවන්. ඊට වැඩිය අපිට බබෙක් වටිනවනෙ. ඕන්නං එයා ටිකක් ලොකු වුනාම ඔයාට ආයෙ ෆීල්ඩ් එකට එන්න පුළුවන්. එහෙම කරන අය ඕනතරං ඉන්නෙ”
“අනේ ඒවුණාට මේ හොඳම කාලෙ ළමයි බමයි කරගහං ඉන්න මට බෑ”
සපූ සිය තීරණය වෙනස් නො කරන්නට තරම් මුරණ්ඩු වූවා ය.
සාලිය නිශ්ශංක සමගින්, කාලයක සිට දැනගෙන සිටි කෙනෙකු සමගින් වාගේ සුහද පිළිසඳරට වැටුණේ ය. නමුත් නාලිනී ගේ මූණේ හොඳක් වූයේ නැත. ඇය සිටියේ තරමක නො සන්සුන් කමකිනි. කුසක් දරාගෙන ඒ මේ අත වන සාරධා ඇගේ සිත අවුලෙන් අවුලට පත් කොට තිබිණ.
සිසිල් බීම පිරවූ වීදුරු- බන්දේසියක් මත තබා ගෙනෙනා විට වීදුරු ගැටෙන හඬක් නැගේ. ඒ හඬට ආදියා තමන් තුළින් ම බිය වූවා ය. වීදුරු පෙරළේවිද බීම ඉහිරේවිද වැනි විකාර සිතිවිලි ඇගේ හිත තුළ හොල්මන් කළේ ය. එබැවින් ඇය පිය තැබුවේ වඩාත් හෙමින් හා ප්‍රවේසමෙනි. ඒ මොහොතේ ආලින්දයේ වූ හැම නෙතක් ම ඇය වෙතට යොමු වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here