හද සාගරේ – 38

0
5320

බීම වීදුරු ගැටෙමින් නැගෙන ටිලිං හඬ දැන් දැන් ආදියා ගේ පපුව දෙදරවන හඬක් සේ නැගේ. තවමත් වීදුරු මතින් ඇස් ඉවතට නො ගත්තත් හැම නෙතක් ම ඈ වෙත යොමු වී ඇති බවක් ඇයට දැනේ. ඒ හින්දා ම තිගැස්ම වැඩි ය. එතකොට අත් වෙව්ලා බන්දේසිය ගැහෙනවා ද වැඩි ය. වීදුරු වලින් හඬ නැගෙනවා ද වැඩි ය. යළිදු චක්‍රයක් ලෙස හද ගැහෙනවා ද වැඩි ය.

“දැන් කෑම කන වෙලාව කිට්ටු නිසා රසකැවිලි මුකුත් ලෑස්ති කළේනං නෑ”

පසුබිමෙන් ජිනාදරී ගේ හඬ නැඟිණ. ආදියා ට යන්තම් හුස්මක් වැටුණේ ඊට පස්සේ විය යුතු ය.

“ආ… ඒක හොඳයි. නැත්තං ඔය අනංමනං කාල බඩ පැලෙනකල් බත් කන්‍න බැරුව යනවනෙ”

සාලිය ගේ පිළිතුරට සිනහවන් නැඟිණ. ආදියා බීම වීදුරු සහිත බන්දේසියත් සමග පහත් වූවා ය. එතැන හිඳ සිටියේ නාලිනී ය. වළලු ලූ අතින් වීදුරුව ගැනෙනවා ආදියා බලාගෙන ය. අම්මා ගේ මූණ දකින්නට ඇස් හරවන්නට තරම් දිරියක් ඇයට වූයේ නැත. ඊළඟට අනිත් අසුන් ළඟ ද පහත් වී ඇය බීම වීදුරු  පිළිගැන්වූවා ය.

“මේ කවුද…”

එහඬින් ආදියා දෙදරා ගිය බව සහතික ය. නාලිනී එසේ විචාලේ ඇය අරමුණු කරගෙන වග ආදියා ට හොඳින් ම දැනිණ. බන්දේසියත් ගෙන එකත්පස් වෙන ගමන් ඇගේ ඇස් දෙව්රම් ළඟ නතර විය. ඔහු සන්සුන් ව කීවේ ඇයට ද නිශ්චල වන ලෙසයි.

“මේ අපේ චූටි දුවනෙ”

ජිනාදරී ගේ මුව අග ම පිළිතුර විය. නාලිනී හිස යන්තම් ඉහළ පහළ වැනුවා ය.

දෙව්රම් ට අම්මා ගැන බියක් නො දැනුණා නොවේ. ඇය මේ ගමන තුළදී හැසිරුණේ අමුතුවට ය. ඔහු නො හිතූ ආකාරයකට ය. ආදියා මුල සිට ම අම්මා ගැන බිය වූ බව ද දෙව්රම් දනී. එබැවින් හිත ගැස්සෙන කිසිත් නො සිදු වෙනවා නම් හොඳ ය. ආදියා ගේ බියපත් ඇස් ගැන ඔහු ට දුක සිතේ. සතුට වැඩි කරගන්නට පැමිණි ගමනින් ඇගේ හිතට කැළඹීමක් එක් වෙනවාට ඔහු රිසි නැත.

දෙව්රම් බීම උගරකින් මුව තෙමා ගත්තේ ය. එහි ඔහු ට දැනුණේ අමෘතමය රසයකි. හෙතෙම වීදුරුව මඳක් ඔසවා එහි වන බීම දෙස බැලුවේ ය.

“මාර රසයිනෙ. මොනාද ඒ ඩ්‍රිංක් එක…”

“අනේ මන්දා මන්නං බයේ හිටියෙ බීල කවුරුහරි වචනයක් කියනකං”

ජිනාදරී අවංකව ම කීවා ය. ඒ වෙලාවේ ඇගේ සුරත සැනසුමකින් වාගේ පපුව අල්වාගෙන තිබිණ.

“මං කිව්ව අර කඩේ  බීම බෝතලයක් කඩල දෙමු කියල. කොහෙද ඉතිං අපේ චූටි දුව වෙනසකටත් එක්ක කියල වරකා ජූස් එකක් හැදුවනෙ”

“වරකා වලින්ද මේ බීම එක හැදුවෙ…”

නාලිනී ගේ ඇස් විශ්මයෙන් දැල්විණ.

“ඇත්තටම හරිම රසයිනෙ”

අනිත් අයට කෙසේ වතුදු දෙව්රම් ට නම් අම්මා ගේ ඒ වචන සවනට අම මී වත් කරන්නා සේ විය.

“අනේ ඇත්තමයි අපේ වතු වල ගස් යට වැල වරක වැටි වැටී යනව. කවදාවත් අපිට හිතිල නෑනෙ ඒවගෙං බීම හදල බොන්න පුළුවං ඇති කියල”

සාලිය වහා සිය බිරිඳට එකඟ වූයේ ය.

“ඒ අතිං කොළඹ ළමයි අපිට වැඩිය හරිම ඉස්සරහිං ඉඳං හිතනවනෙ. ඇත්තට අපේ ගම් වල වව්ලො කාල හැලිල යන වැල වරක වලින් බීම හදන බිස්නස් එකක් පටං ගන්නත් පුළුවන්නෙ”

“ඔන්න බිස්නස් අයිඩියාස්. ඕව නිකංම දෙන්න බෑ නේ චූටි දුව… සෑහෙන්න චාජ් කරන්න වෙනව”

නිශ්ශංක හඬ නගා සිනහ වෙත්දී සාලිය ද ඒ සිනහවට හවුල් වූයේ ය.

“මොළ ගෙනියන නැවක් නේ…”

දෙව්රම් අඩ සිනහවකින් මිමිණුවේ සරදමට මෙනි. ආදියා මූණ නෝක්කාඩු කරගත්තා ය.

නාලිනී ගේ මූණේ වූ යම් කිසි අපැහැදීමක් මත එතෙක් ඔවුන් අතරේ වායු අංශු වලට ද කාන්දු වී තිබි බරැති පීඩනය, ඉනික්බිති අතුරුදන් ව තිබිණ. නාලිනී වරකා බීම හදනා හැටි ගැන ආදියා ලං කොටගෙන විචාලා ය. මුලදී සබකෝලයෙන් වාගේ ඇරඹුණ ආදියා ගේ කතාව පසුව අතිශය සැහැල්ලුවක් ගති.

“කොහොමද අපේ පුතා මේ කට්ටියව අඳුරගත්තෙ…”

නාලිනී ගේ ඒ කඩඉම් ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඔහු සූදානම් වී නො සිටි බව ද දෙව්රම් ට සිහි වූයේ ඒ වෙලාවේ ය. ජිනාදරී ඔහු ව ඒ අපහසුවෙන් මුදා ගත්තා ය.

“අංකලුයි පුතයිනෙ යාළුවො දෙන්න වෙලා තියෙන්නෙ”

“යාළුකං වලට වයස අදාල නෑනෙ ඉතිං. නැද්ද මං අහන්නෙ…”

නිශ්ශංක ඔහු ට පුරුදු සැහැල්ලු කොක්හඬලෑම කළේ ය. සාලිය කැමැත්තෙන් ම ඊට හවුල් වූයේ ය.

“නැත්තං නැත්තං. නිශ්ශංකට කියන්න… ගමේ මට ඉන්න යාළුවො වැඩි හරියක්  මේ අපේ පුතාටත් වඩා බාල කොලු කුරුට්ටො”

“ඔව් අනේ. පුතාටත් වඩා බාල පොඩි ළමයින්ට මෙයා කිසී ගාණක් නැතුව මල්ලි කියනව. මාර අයිය තමයි මෙයා”

නැවත ද සිනහවකි.

“ඉතිං උං මට අයිය කියද්දි මං මල්ලි කියන්නැතුව වෙන අහවල් එකක් කියන්නද… පුතා කිව්වනං සමහර විට අපිට ඊට වැඩිය දුරස් ගතියක් දැනෙයි මං හිතන්නෙ. අයියෙ මල්ලි කිව්වහම ලේසියෙන්ම වැඩේ යනව”

“හොඳම වැඩේ කියන්නෙ මෙයාගෙ ඇච්චො බැච්චො ටික මෙයාට අයිය කියල මට නැන්දා කියන එකනෙ”

“මෙයාට කේන්ති ආන්න ඒකට”

ඔවුන් ගේ සිනහවන්ගෙන් ගෙදර පිරී ඉතිරිණ. දෙව්රම් ට දැනුණේ පුදුමයකි. එය මේ තරම් පහසුවෙන් සිදු වනු ඇතැයි ඔහු සිතුවේ ම නැත.

 නාලිනී ගෙදර ගෑනු උදවිය සමගින් මුළුතැන්ගෙට ම ගොස් කතා බස් කරන්නට වූවා ය. සාරධා පත්ව ඇති තත්වය ගැන ජිනාදරී ගෙන් විස්තරාත්මකව දැනගෙන අම්මා කෙනෙකු වශයෙන් කණගාටු වූවා ය.

“මොනා වුණත් දැං කරනවනං කරන්න තියෙන්නෙ දෙකයිනෙ නංගියෙ. එක්කො ඒ හාදයව දික්කසාද කරල අතාරින්න ඕනෙ. එහෙම නැත්තං වැරදි හදාගන්න කියල පැහැදිලි කරල ආයෙ දෙන්න එකතු වෙන්න ඕනෙ”

“අනේ මන්නං හිතන්නෑ අක්කෙ ආයෙ හැදෙන මනුස්සයෙක් කියල”

“එහෙනං ඉතිං දික්සාද කරල…”

“දරුවො දෙන්නෙක් එක්ක දික්කසාද වෙලාත් මොනා කරන්නද කියල හිතාගන්න බෑ අක්කෙ. මේකනං මේ ළමයගෙ පූරුවෙ කරුමයක් කියලයි මටනං හිතෙන්නෙ”

ගෑනු කතා හා පිරිමි කතා අතරේ කාලය ගත වෙනවා දැනුණේ හෝ නැති තරමි. එදා ම හමු වූ අය සේ නොව කාලයක් තිස්සේ දැන හැඳින සිටි අය තරමට සමීප බවක් ඔවුන්ට දැනෙමින් තිබිණ. ඉක්මනට කෑම කා ගෙදර යා යුතු යයි කියමින් පැමිණි නාලිනී, හවස තේ බොන්නට ද කැමැත්තෙන් ම එකඟ වූවා ය.

“අපේ පුතා නංගිගෙ තේ එකේ වර්ණනාව කරනව ඉවරයක් නෑ. මගෙ තේ එකේ ජිනාදරී ආන්ටිගෙ තේ එකේ වගේ කහට නෑලු. ඒක කියපු විදිහට මටත්නං නංගි හදන තේ එකක් බොන්න හිතිලයි තියෙන්නෙ”

ඒ අනුව ඔවුන් නික්මුණේ තේ බීත් හෝරාවක් දෙකක් ගත වූ පසුයි.

“යං යං. නැත්තං ආන්ටිට රෑටත් උයන්න වෙයි”

කියමින් පිටත් වීම ගැන සිහිපත් කළේත් දෙව්රම් ය. ඔවුන් රෑ කෑමටත් නතර කර ගන්නට ජිනාදරී නම් උත්සාහ කළා ය. නමුත් දෙව්රම් ඊට එකඟ වූයේ නැත. ඔවුන් නිශ්ශංකලාගේ ගෙදරින් නික්මුණේ ආරාධනා දෙකක් කරමිනි. එකක්, කොළඹින් පිටත් වීමට පෙර දෙව්රම් ගේ ගෙදරට කෑමකට පැමිණෙන ලෙසයි. දෙවැන්න, දෙව්රම් ද සමගින් රජරට ඔවුන්ගේ ගෙදර පැමිණෙන ලෙසයි. නිශ්ශංකලා ඒ ආරාධනා ද්විත්වය ම සතුටු සිත් වලින් පිළිගත්හ.

“එහේ චූටි දුව ඔයා වැඩකරන කම්පනි එකේමලු නේද වැඩ කරන්නෙ…”

කොයි මොහොතක හෝ අම්මා ඔතැනින් පටන් ගන්නා බව දෙව්රම් දැන සිටියේ ය. මේ තරම් ඉක්මනට, රිය තුළදී ම ඒ කතාව ඇරඹෙනු ඇතැයි ඔහු සිතුවේ නැත.

“ඔව්. ඒ වුණාට මට එච්චර නෝට් වෙලා තිබුණෙ නෑ. පස්සෙ තමයි මං දැනගත්තෙ ආදියා ගෝල්ඩන් ලීව්ස් එකේමයි කියල”

දෙව්රම් ඇඟට පතට නො දැනෙන පිළිතුරක් දුන්නේ ය.

“ඒ ළමයනං හරි හුරුබුහුටියි. කොළඹ ගෑනු ළමයෙක් නිසාද මන්දා අවංක පාටයි. අර සපුමලීල වගේ කපටි අම්මණ්ඩිල නෙවෙයි වගේ”

සාලිය බොරුවට උගුර පෑදුවේ ය. නමුත් කිසිත් නො කීවේ ය. දෙව්රම් නම් ඉදිරිය බලාගෙන සිටියා මිස හිස සැලුවේ හෝ නැත.

“ඒ වගේ ළමයෙක්වනං පුතා ආයෙ බැන්දත් කමක් නෑ”

සාලිය ගේ කැස්ස කක්කල් කැස්සක් සේ වර්ධනය විය.

“මොකද මේ… කැස්සනං වතුර ටිකක් බොන්නකො”

නාලිනී සැර වූවා ය. දෙව්රම් රිය පැදවූයේ පාෂාණිභූත ඉරියව්වකිනි. නමුත් ඔහු මඳකින් ලිහිල් වන්නට වූයේ ය. අසීරුවෙන් උගුර යටින් ඒ වචන කිහිපය පිට කරගත්තේ ය.

“ඒත් අම්ම හිතනවද බැඳල ඩිවෝස් වෙච්ච මනුස්සයෙක්ට ඒ අංකල්ල මලක් වගේ හදපු දුවෙක් දෙයි කියල…”

අත පොවන මානයක පිළිතුරක් වූයේ නැත. හුස්ම පවා බරට දැනිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here