ජීවිතය කවියක් නොවේ – 34

0
3298

එළිමහන් කඳවුර වෙත පැමිණි මානව හිමිකම් සංවිධානයක නිලධාරීන් පිරිසක් හා කතා කිරීමේ අවස්ථාව ධනංජයට උදාවිය.ඒ අනුව තමාට ප්‍රංශ රජය විසින් දමා ඇති නඩුවේ ප්‍රථම නඩු වාරය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද පැවසීය.එහෙත් ධනංජය සිටියේ තම ජීවිතය පිළිබඳව තිබූ සිහින සියල්ල අතහැරගෙනය.තමා ගැනවත් විශ්වාසයක් නොවූ ධනංජයට දැන් අන් කිසිවෙකු ගැන විශ්වාසයක් නොවේ.

‘ මේක ඔයාට නරක කාලයක් ධනංජය.හිත් වේදනා ඇතිවෙනවා විතරක් නෙමෙයි. හදිසි තීරණත් ගන්නවා.ඒ තීරණ ගැන දෙපාරක් හිතන්න..’

හසාරාගේ වදන් ඔහුගේ දෙසවන් වලට යළි යළිත් ඇසෙන්නා සේය.ධනංජය ජීවිතය පිළිබඳව වෙනස් ආකාරයකට සිතන්නට පටන් ගත්තේ ඒ වදන්   ඔත්සේ යමින්ය.එළිමහන් කඳවුරේදී විඳි  තනිකම ධනංජයට ජීවිතයේ බොහෝ දේ කියා දෙන්නට විය.එහෙත් හසාරා නිවැරදියැයි තවමත් ඔහුට නොසිතේ. ඇයත් තමාත් එක්ව ගොඩ නැංවූ ජීවිතයේ මේ දුරස්ථ බව ඇති වූයේ කවදාදැයි හරි හැටි මතකයක් නොවූවත් තම  මතකයේ වන සිදුවීම් කිහිපයක් ඔහු යළි යළිත් සිහියට නගා ගත්තේය.

විශ්ව විද්‍යාලයේ උන් මිතුරන් කිහිප දෙනෙකුත් ඔවුන්ගේ පවුලේ අයත්  එක්ව සංවිධානය කර තිබූ විනෝද චාරිකාව පිළිබඳව ධනංජයට දැනගන්නට ලැබුණේ කාර්යාලයේදීය.

“ මචං උඹලා දෙන්නත් එක්ක තමයි අපි ගණන් තියන් ඉන්නේ.ඔන්න ආයේ  චරු චුරු ගාන්නනම් එපා.අපේ සෙට් එක මෙහෙම සෙට් වුනේ නෑනෙ බං කාලෙකින්ම..”

එදවස හසාරා සිටියේ විභාගයක් සඳහා සූදානමින්ය.ඇයට රාත්‍රී ආහාර පිළියෙල කරන්නට එපා යැයි පැවසූ ධනංජය තෝසෙ කිහිපයකුත් උළුඳු වඩේ කිහිපයකුත් මිලදී ගත්තේ කාර්යාලයේ සිට එන අතරමග වූ ප්‍රසිද්ධ අවන් හලකින්ය.ධනංජය නිවසට යන විටත් ඇය උන්නේ නිබන්ධනයක්  සකස් කරමින්ය.

“ තේ එකක්වත් බිව්වෙ නැද්ද….”

“ තේ එකක්  බොන්න තියා තවම දවල්ට කෑවෙත් නෑ ධනා.හෙට ඔෆිස් එකෙත් මීටින් එකක්.ඒකටත් ප්‍රපෝසල්  එකක් හදාගන්න තියෙනවා.මට පේන්නේ අද එළි වෙනකම්ම නිදි මැරිල්ලක් තමයි තියෙන්නෙ..”

කිසිවක් නොකියා ඇගේ හිස අත ගා මුළුතැන් ගෙට ගිය ධනංජය විදුලි  කේතලය ක්‍රියාත්මක කලේ   පසෙක වූ ඇතිලිවල පියන් ඇර බලමින්ය.හසාරා පවසා තිබුණේ සැබෑවකි.ඒවායේ උදෑසන සකස් කළ මාළු පිණි එහෙමමය.යන්තමින් පිලිණු ගඳක් හමා ආවේ ද ඒවා රත් කරන්නටවත් ඇය උනන්දු නොවුණු නිසාය.මෙසේ නිරාහාරව සිටීම සුදුසු නොවේයැයි කොතරම් පැවසුවත් හසාරාට එහි ගණනක් නොවේ.ඒ ඇගේ හැටිය.වැඩක් කරන්නට පටන් ගත් විට එහි නිමාව ගැන සිතනවා හැරෙන්නට අන් කිසිවක් ගැන සිතන්නට ඇයට උවමනාවක් වූයේ නැත..උළුඳු වඩේ  දෙකක් සහ ඊට ලබා දෙන දියරමය  සම්බෝලය කුඩා පීරිසියකට දමා ගත් ධනංජය ඇය වෙත පිය මැන්නේ හොඳින් කහට යොදා සකස් කල තේ කෝප්ප දෙකකුත් අතැතිවය.

“ කන්න නම් බෑ ධනා තේ එක බොන්නම්..”

දුර තියාම ඔහු දුටු ඇය පැවසූයේ යාන්තමට හිස ඔසවමින්ය.

“ ඔයා කන්නෙ නෑ මං කවන්නේ.මේක කාලා ඉන්න ළමයෝ.අන්තිමට ගෑස්ට්‍රික් කියලා  දුක් විඳින්නනම් ලෑස්ති වෙන්න එපා.”

ඇය අසලටම පුටුවක් ලං කර කරගත් ධනංජය කුඩා වඩේ කැබැල්ලක් ඇගේ මුවෙහි තැබුවේ සම්බෝලත්  තවරා ගත්තාට පසුවය.

“ මේ අහන්නකො ..සනුකළා ට්‍රිප් එකක් ඕගනයිස් කරලා.අපේ බැච් එකේ අපිත් එක්ක එකට ඉඳපු සෙට් එකයි පවුලේ අයයි. දා හතර  වෙනිදා.තව සති දෙකක් තියෙනවා.මොකද කියන්නේ?..පිටරට ඉන්න උන් දෙන්නෙකුත් ඇවිල්ලා.ඔයාට මතකයිනේ නදීමාලුයි  අශේනුයි. අපි දෙන්නත් එක්ක ගණන් තියාගත්ත කියලා සනුකයා කතා කලා…”

“ ඔයාට පිස්සුද ධනා ..විසි දෙක මගේ  එක්සෑම් එක පටන් ගන්නවා.දා හතර පහළොව  දවස් දෙක තමයි හරියට වැඩක් කරගන්න තියෙන්නේ.මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද අනේ  එහෙම දවසකට ට්‍රිප් එකක්  යන්න කතා කර ගත්තේ..”

“ නෑ මේක මම කතා කර ගතපු එකක්  නෙමෙයි.කාලෙකින් කට්ටිය සෙට් වුණේ නැති හින්දා මටත් යන්න ආස හිතුනා.අපි දෙන්නගෙ ජීවිතය ඒකාකාරී වෙලානේ බබා.ඔෆිස් යනවා ගෙදර එනවා ආයේ ඔෆිස් යනවා ආයෙ ගෙදර එනවා.ඔයා උනත් පාඩම් කරනවා එක්සෑම් කරනවා ආයෙ තව මොකක් හරි පටලවා  ගන්නවා.ඒකයි මම හිතුවේ ඒ වගේ වෙනසක් තියෙන එක හොඳයි කියල.”

“ හොඳයි තමයි ඒ උනාට එක්සෑම් කටේ තියාගෙන මටනම් ට්‍රිප් යන්න බෑ.ඔයාට ඕනෙනම් ගිහිල්ල එන්න.මං ඒ දවස් දෙක තුනට ඔයාලගේ නංගිට හරි එන්න කියන්නම්”

“ කියන එක නෙමෙයි වැඩේ.family trip එකකට මං කොහොමද තනියම යන්නේ?.හරි… අපි ඒක අල්ලලා දාමු. හොඳ ළමයා වගේ දැන් මේ  තේ එක බීල ඉන්න මේක නිවෙනවා..” 

“ මගේ ඩ්‍රීම් එකට යන්න තව ටිකයි තියෙන්නේ.ඊට පස්සේ අපිට හරි නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් ධනා.මේ යන ගමන අතරමගදි නතර වුණොත් නතර වුනාම තමයි.එනිසා මොනවා හරි වැඩක් කරනකොට කල්පනාවෙන් කරන්න..”

“ ඉට්ස් ඕකේ මැඩම්..”

එවේලෙහි සැහැල්ලුවට නොසලකා සිටියත් මිතුරන් පිරිස චාරිකාව යාමට සූදානම් වද්දීත් වරින් වර ඒ සඳහා නිර්මාණය කරගත් වට්සැප් ගෘප් එක හරහා පණිවිඩ හුවමාරු වද්දීත් ධනංජයට වෙනදා නොවූ පාළුවක් තනිකමක් දැනුනා මතකය.සිය ජීවිතය ඒකාකාරී වී ඇතැයි ඔහුට සිතුනේ ප්‍රථම වතාවටය.මේ ජීවිතය ගැන ඔහුට කලකිරීමක් දැනුනේත් ප්‍රථම වතාවටය.

ඉන් මාස කිහිපයකට පසු තමා කාර්යාලයේ සිට නිවසට පැමිණෙද්දී පිරිමින් කිහිප දෙනෙකු මිදුලේ එක් තැනක මනිමින් සිටි ආකාරය දුටුවේ දුරදීමය.

වාහනය සර්විස්  කිරීම සඳහා යැවූ නිසා ධනංජය එදින නිවසට පැමිණියේ ත්‍රී රෝද රථයකින්ය.වෙනදා ඔහු කාර්යාලයේ සිට නිවසට පැමිණෙන්නේ හසාරාගේ කාර්යාලයට ගොස් ඇයවත් නංවාගෙනය.

“ කවුද මේ…”

පිරිස අතරට යන්නට ගිය ධනංජය ආපසු හැරුණේ නිවස තුළින් පිටතට ආ හසාරා දැකය.ඇගේ අතෙහි බන්දේසියක තබාගත් බීම වීදුරු හතරක් ද විය.

“ අනේ ධනා…මට අහම්බෙන් මේ කට්ටිය හම්බවුණේ ඔෆිස් එකේ වැඩකට ඇවිල්ලා.ඔයාට කියන්න උනෙත්  නෑ අද මාර බිසී දවසක්.අපේ අර බුදු මැදුර හදන වැඩේටයි පොන්ඩ් එක හදන වැඩේටයි මෙතන හොඳයි නේද.මං එයාලට කිව්වා මැනලා බලලා  මට ඇස්ට්‍රිමේට්  එකක් දෙන්න කියලා..”

හසාරා කියවාගෙන ගියේ එක හුස්මටය.සැබැවින්ම ධනංජය ඒ සඳහා සිතෙහි තබාගෙන උන්නේ හසාරා පැවසූ බිම් කඩ නොවේ.

“ එතන හැදුවොත් හසාර ගේ ඇතුළෙ ඉඳලම එන කෙනෙකුට විතරයි ඒක පේන්නේ.අර චුට්ටක් අර පැත්තට කළානම් සාමාන්‍යයෙන්  ගේට්ටු අරිනකොටම පේනවා..”

“ මං හිතාගෙන ඉන්නවා ධනා ඒ පැත්තේ ඕකීඩ් පාත්තියක් හදන්න.ඒක නිසා මෙතන හදමු නේද..”

හිස වනා ඇයට එකඟත්වය  පළ කළ ඔහු නිවස තුළට ගියේ  කිසිවක් නොකියමින්ය.ඈ යම් යම්  වැදගත් තීරණ ගැනීමේදී තමාව නොසලකා හරිනවායැයි  ධනංජයට  මුලින්ම සිතුනේ එදාය.පිරිස යළි පිටව යනතුරුම තමා  කාමරයෙන් එළියට නොපැමිණියා ඔහුට  මතකය.

ධනංජය දිගු සුසුමක් මුදාහැර ඉදඋන්  බංකුවෙන් නැගී සිටියේ නිලධාරියෙකු උස් හඬින් ඔහුගේ නම පවසා කතා කළාට පසුවය.ඔවුන් ධනංජය යන්න උච්චරණය කරන්නේ මිස්ටර් දැනෑජය යනුවෙන්ය.ප්‍රථම වරට ඔහුට ඒ  නම ඇසෙද්දී ඒ මුව මත සටහන් වූයේ සිනහවකි.

*****-========******=======*****====

ඉන්දුමා පැවසූ මං සලකුණු ඔස්සේ ගිය හසාරා කුඩා පාසලට ළඟා වූයේ හෝරාවකට පමණ පසුවය.බොහෝ දුරක් යනතුරු ඒ මග දෙපස වූයේ කුඹුරු යායවල්ය.ඒවා හොඳින් අස්වද්දා තිබූ ඒවාය.තවත් පෙනෙන තෙක් මානයක තරම් වූ තණකොළ බිම් තීරුවල නිදැල්ලේ ගැවසුණු ගවයන් හා එළුවන්ය.කිහිප වතාවක්ම හසාරා වාහනය නවතා  බලා සිටියේ ඔවුන් මහා මාර්ගය හරහා ඇවිද යද්දීය.ඉන්දුමා පැවසුවාටත් වඩා තමා විශ්වාස කළාටත් වඩා මේ මිනිසුන්ගේ ජීවිත දුෂ්කරයැයි ඇයට සිතුනේ  ඒ එන අතර  මඟදීය.බොහෝ අය මැණික් කටුව තෙක්

අත් දිගු වූ කමිස ඇඳ සිටියේ ගත දවාලන තරමට දැඩි වූ අව් රශ්මියෙන් බේරීම සඳහාය.ඒ බොහෝ අයගේ හිසවල් රෙදි කඩවල් වලින් ආවරණය වී තිබිණ.මුස්ලිම් ජනතාව සේම සිංහල ජනතාවත් දමිළ ජනතාවත් මේ ප්‍රදේශවල සමව ජීවත්වන බව ඉන්දුමා  පවසා තිබිණ.පාරට පෙනෙන්නට තිබූ බොහෝ නිවාස ලෑලි වලින් හෝ සිමෙන්තියෙන් සාදා ටකරන් සෙවිලි කළ ඒවාය.

මුල් පාසලේම දරු පිරිස සියයකට නොවැඩි විය.වාහනය ගේට්ටුව අයිනේ නතර කළ ඕ  ඉන්දුමා සොයා යද්දී විවේක කාමරය තුළ සිටි ගුරුවරුන් කිහිප දෙනෙකු ඔවුනොවුන්ගේ වැඩවල නිරත වී සිටියහ.සමහරු ජංගම දුරකථනයේ ය තවත් සමහරු දිනපතා පත්තරය පෙරළාගෙනය එසේත් නොමැති නම් ලොකු කතාවකය.එදත් අදත් මේ ආකාරයෙන් තමා ලබා ගන්නා වැටුපටවත් සාධාරණ සේවයක් ඉටු නොකරන මිනිසුන් හසාරාට පෙන්නන්නට බැරිය.ඔවුන් පෙන්නූ මග ඔත්සේ හසාරා යෙහෙළියව  සොයා ගියේ මහත් වූ කලකිරීමක් සිතෙහි තබාගෙනය.කුඩා පන්තිවල දරුවන් මේ ගිනි මද්දහනේත් සෙල්ලමය.සුදු පැහැයැයි කීවාට ඔවුන්ගේ ඇඳුම් ගුරු පැහැයට හුරුවී තිබිණ.

ඉන්දුමා පමණක් දරුවන් හතර දෙනකුට ගණිතය විෂය උගන්වමින් උන්නාය.මුළු  පාසලටම වූයේ ගොඩනැගිලි දෙකකි.ඉන් එහා වූ ගොඩනැගිල්ලේත් එකම එක පන්තියක පමණක් තරුණ ගුරුවරයෙකු ළමයි කිහිප දෙනෙකු වට කරගෙන යමක් පැහැදිලි කරමින් සිටියේය.

( හෙටත් හමු වෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here