මා සෙව්ව මැණික හමුවුණා!

“මේ සම්බන්ධෙ හරියන්නෙ නෑ මේඝ. මං හිතන්නෙ නෑ මං හොයන කෙනාව මට කවදාවත් ඔයා තුලින් හොයාගන්න පුලුවන් වෙයි කියලා. ඔයා වගේ මේ කලබල වෙලා තීරණ ගන්න, හදිසියෙ හිතල ට්‍රිප් යන්න ප්ලැන් කරන, බර්ත් ඩේ, ඇනිවසරි එකට විතරක් සර්ප්‍රයිස් කරන කෙනෙක්ව මට වැඩක් නෑ.

ඇයි ඔයාට තේරෙන්නෙ නැත්තෙ මාව? ඇයි ඔයාට බැරි මං කැමති කෙනෙක් වගෙ වෙන්න. ඉස්සර ඔයා කොච්චර හොඳට ඉඳියද? ඔයා පස්සෙ පස්සෙ තමයි වෙනස් වෙන්න පටන් ගත්තෙ” කියලා මනුශා කියවගෙන කියවගෙන යද්දි මේඝත් උන්නෙ මෙදා පාර නම් මාත් කටවහන් ඉන්නෙ නෑ කියලා හිතාගෙනමයි.

“මං විතරක් වෙනස් වෙච්ච ගාණට කතාකරන්න එපා මනුශා හොඳේ. ඔයා නිකන් කතාකරන්නෙ මේ ඔයා පොඩ්ඩක්වත් වෙනස් උනේ නෑ වගේනේ. ඔයාට අනුන්ගෙ ඇඟේ තියෙන පොල් කෙන්ද පේනවා තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ නම් පේන්නෙ නෑ.”

“ඔව් පේන්නෙ නෑ තමයි. කාටවත් තමන්ගෙ වැරදි අඩුපාඩු පේන්නෙ නෑනෙ අනුන්ගෙ ඒව මිසක. අනික ඔයා ඔය මගේ අඩුපාඩුවක් කියලා කියන්නෙ මම ඔයාගෙන් පර්ෆෙක්ස් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව බලාපොරොත්තු වෙන නිසානම් එහෙම මනුස්සයෙක් වෙන එකෙන් ඔයාට වෙන පාඩුව මොකද්ද කියල මට කියන්නකො. මම ඔයාගෙ හැම බර්ත් ඩේ, ඇනිවසරි, හැම ස්පෙශල් ඩේ එකක්ම මතක තියාගෙන ඉඳලා ඔයාව සර්ප්‍රයිස් කරනව. මට පුලුවන් හැම වෙලාවකම මම ඔයාට තෑගි ගන්නව, මම යන හැම ෆන්ක්ශන් එකකටම වගේ මම ඔයාව අරගෙන යනවා. ඔයා මොනවද කියන්නකො මම වෙනුවෙන් ඒ විදියට කරන්නෙ? එහෙම කිසිම ස්පෙශල් දෙයක් කරන්නෙත් නැතුව ඔයා මෙතන මම ඔයාගෙන් පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ව විතරක් එක්ස්පෙක්ට් කරද්දි ඒකත් වරදක් කියල කියන්න එපා. මම එච්චරනෙ ඔයාගෙන් ඉල්ලන්නෙ”

“අනේ මේ මනුශා, ඔයා ඔය ඉල්ලන පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ්ලයි, පර්ෆෙක්ට් රිලේශන්ශිප් කියල දේකුයි නෑ. ඕක මානසික ලෙඩ හැම මගුලෙම පර්ෆෙක්ට්කම බලන්නෙ. ඔයා ඔය ඔයා මාර පර්ෆෙක්ශනිස්ට් කෙනෙක් කියල හිතන් හිටියට ඕක මානසික ලෙඩක්. ඔයා ඕන මගුලක් කරගන්න. මට නම් මේ වගේ පිස්සු රිලේශන්ශිප් එකක් තවදුරටත් මේන්ටේන් කරන්න උවමනාවක් නෑ. ඔයා ඕන මගුලක් කරන්න. ඔයාගෙ ඔය පට්ට පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ්ව ඉක්මනින්ම හම්බෙලා ඒ මනුස්සය ඔයාගෙ ඔය මානසික ලෙඩේ හොඳ කරන්න කියල මම විශ් කරනවා”

අවුරුද්දක් විතර ඇදගෙන ආව අෆෙයාර් එක බ්‍රේක් අප් වෙලා මේඝ තමන්ගෙ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ඇඩ් වෙච්ච එක ගැන මනුශා දුක් උනේ නැ. “ගැලපෙන්නෙ නැති මනුස්සයෙක් එක්ක ඉන්නවට වඩා හොඳයි එහෙම කෙනෙක්ව අත ඇරලා පර්ෆෙක්ට් කෙනෙක්ව හොයාගන්න මහන්සි වෙන එක” කියල තමයි ඒ හැම වෙලාවකම මනුශා හිතුවෙ සහ හිත ඇතුලෙන් තමන්ව සාධාරණීකරණය කරගත්තෙ. මේඝ කියන්නෙ මනුශාගෙ පට්ට දිග එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ අලුත්ම අප්ඩේට් එක. මනුශා නම් හිතුවෙම හොඳම කෙනා හොයාගන්න පුලුවන් ඔය විදියට දාහක් විතර ට්‍රයල් කරාට පස්සෙ කියලා.

හැබැයි කලීන් බ්‍රේක් අප් වෙච්ච කොල්ලො නැතිවෙච්ච වෙලේ දැනුනට වඩා මේඝ එක්ක බ්‍රේක් අප් උනාට පස්සෙ හිතට දැනිච්ච වේදනාව වැඩි කියල දැනිච්ච හන්දම තමා මනුශා එදා රෑ නිදාගන්න ගිහිල්ලා දෙයියන්ගෙනුත් ඉල්ලුවෙ තමන්ට පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයලා දෙන්න කියලා.

“මට වෙන කිසිම දෙයක් ඕන නැ. එක එක මිනිස්සු ලඟ පාච්චල් වෙලා, දාහක් විතර අයව ට්‍රයල් කරලා මට දැන් ඇත්තටම එපා වෙලා තියෙන්නෙ. මටත් ජිවීතේට සතුටක් නිදහසක් තියෙන්න ඕන. කොච්චර කාලයක් මම පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොය හොය ඉන්නද? අනික එහෙම පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව බලාපොරොත්තු වෙන එක වරදක්ද? අර අනිත් හැමෝටම වගේ හොඳම හොඳ ලස්සන ජීවිත ලැබිලා තියෙන්නෙ එයාලට හම්බුවෙච්ච පර්ෆෙක්ට් පාට්නර්ස්ලා හන්දනෙ. ඉතින් මං එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එක වරදක් ද? මට පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව විතරයි දෙයියනේ ඕන. එතනින් පස්සෙ මගේ අනිත් හැම ප්‍රශ්නයක්ම විසඳෙයි” කියල දෙයියන්ගෙන් ඉල්ලුව මනුශා එදා රෑ නින්දට ගියා.

——————————————————————————————————————————-

“දීප්ත වීරසිංහ වගේ කෙනෙක් එකපාර ඔෆිස් එකට ආවෙ කොහොමද කියන එක මට හිතාගන්න බෑ” කියලා මනුශා එයාටම කියාගත්තෙ ඔෆිස් ඇරිලා ගෙදර ඇවිත් බාතෘම් එකට වෙලා වොශ් දාගන්න අතරවාරෙ. 

මනුශා එහෙම හිතද්දිත් දීප්ත ඔෆිස් එකට ඇවිල්ලා සතියක් දෙකක් ගිහිල්ලා. පොඩ්ඩක්වත් අවුල් වෙච්ච නැති කොණ්ඩෙ, ගානට රැල්ලක්වත් නැතිවෙන්න අයන් කරපු ශර්ට් එක, පර්ෆෙක්ට් පිචින්, ලැන්ග්වේජ් ස්කිල්ස් ඔක්කොම තිබ්බ දීප්ත වීරසිංහ කියන්නෙ ඕනම ඔෆිස් එකක ඉන්න ඕන “අයිඩියල් ටීම් වර්කර්” කෙනෙක් විදියට තමයි මනුශලගෙ ඔෆිස් එකේ උන්නු හැමෝම වගේ කතා කරේ. ඔෆිස් එකේ වැඩ පැත්තෙන් ගත්තොත් ඇත්තටම දීප්තගේ කියන්න තියා පේන්නවත් කිසිම විදියෙ වරදක් තිබුණෙ නෑ.

“එයාගෙ අපාට්මන්ට් එක තියෙන්නෙ කලම්බො සෙවන් වලලු. එන වාහනෙත් දැක්කනෙ. මෙච්චර මේ අව්ව තියන රටේ පාරවල්වල ඇවිල්ලවත් පොඩ්ඩක්වත් දූවිලි පොදක්වත් වැදිලා නෑනෙ. දීප්ත තරම් මාර ලස්සනට තියෙනවා වාහනේ. අකවුන්ට්ස් එකේ මිගාරල එක්කලුනෙ මිනිහ ලන්ච් ගන්නෙ. කැම කන පිලිවෙල බලාගෙන භාවනා කරන්න පුලුවන් කියලා කට්ටිය කියනවලු. ඒතරම් මාරම නීට්නස් එකක් තමා මිනිහගෙ වැඩ වල තියෙන්නෙ” කියල කට්ටියම කතාකරද්දි මනුශාට හිතුනෙ එකම එක දෙයයි.

“දීප්තගෙ වර්ක් ලයිෆ් එක තරම්ම එයාගෙ පර්සනල් ලයිෆ් එකත් පර්ෆෙක්ට් නම් මරු” 

ඒක ඇත්තටම එහෙමද කියලා හිතාගන්න මනුශාට ඇත්තටම වැඩිය මහන්සි වෙන්න උනේ නැ. කොහොමත් ගාණට මිම්මට අයි බ්‍රෝ ත්‍රෙඩින් කරලා, මූණට ෆේශල් දාලා. ඔෆිස් එද්දි ලස්සනට මේකප් දාගෙන, ලස්සනට ඇඳ පැළඳගෙන එන මනුශගෙ ළඟ මුලින්ම තමන්ගෙ ඇස් දෙකයි ටික දවසකින් හිතයි නතරකරගන්න දීප්තට මහ අමුතුවෙන් කාරණා උවමනා උනෙත් නෑ. අනික දීප්ත එක්කම නිතරම එකට වැඩ කරන්න වෙච්ච එකෙන් මනුශාට දීප්ත ඇත්තටම මොන ජාතියේ මනුස්සයෙක්ද කියල හොයාගන්න හිතාගන්නත් වැඩේ ලේසි කරා. ඔෆිස් එක ඇතුලෙදි දකින මාරම පර්ෆෙක්ට් දීප්තම තමයි එලියෙ පර්සනල් ලයිෆ් එකේදිත් ඉන්න කියන මනුශා තේරුම්ගත්තෙ ඔෆිස් ටයිම් එකෙන් පස්සෙ, එලියෙ කැෆේවලදි, රෙස්ටුරන්ට් වලදි කෝපි බොන්න, චැට් එකක් එහෙම දාන්න ගියපු වෙලාවල්වල. දීප්ත කියන්නෙ තමන් මෙච්චර කාලයක් හොය හොය ඉඳපු පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ් කියල තේරුම් ගත්තට පස්සෙ මනුශාට උවමනා වෙච්ච එකම දේ දීප්තව තමන්ගෙ කරගන්න එක. තමන් බලාපොරොත්තු වෙච්ච පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක තමන්ට ලැබෙන්න යන පර්ෆෙක්ට් ලයිෆ් එක ගැන සිහින මවපු එක. ඒත් කෙල්ලෙක් ඉස්සර වෙලා කොල්ලෙක්ගෙන් එහෙම අහන එක තමන්ව පර්ෆෙක්ට් කෙල්ලෙක් කියල දීප්ත හිතන එකෙන් පොඩ්ඩක් විතර ට්‍රැක් එක මාරු කරන්න හේතුවෙන දෙයක් හන්දා මනුශා සද්ද නොකර ඉවසගෙන බ්ලාගෙන හිටියෙ දීප්ත අද අහවි, හෙට අහවි කියලා.

ඒ විදියට තමයි හරිම ලස්සන කැෆේ එකක, මනුශත් ලස්සනට සැරසිල ඉඳපු, දීප්ත ඇරේන්ජ් කරපු කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක් වෙලාවෙදි දීප්ත ඒ දෛවෝපගත ප්‍රශ්නෙ මනුශාගෙන් ඇහුවෙ.

“මං හිතනවා ඔයා තමයි මට ගැලපෙනම කෙනා කියලා. අපි යාලුවෙලා බලමුද?” කියලා දිප්ත අහපු විදියට තමන්ට නෙවෙයි වෙන කිසිම කෙල්ලෙක්ට හා කියනවා ඇරෙන්න වෙන දෙන්න වෙන උත්තරයක් නෑ කියල මනුශා දැනගෙන උන්නා.

දීප්ත මනුශා ආදර කතාව පටන් ගත්තෙ. ඔෆිස් එකෙ වැඩත් බැලන්ස් කරගෙන යන ගමන්, පර්සනල් ලයිෆ් එකත් ලස්සනට මේන් ටේන් කරගෙන ගිය අෆෙයාර් එකේ මුල් මාස කීපයේ දිම “මෙතනින් එහාට ඔයාගෙ එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක තවදුරටත් අප්ඩේට් වෙන්නෙ නෑ” කියන මට්ටමේ ඇශුවරන්ස් එකක් මනුශාට දෙන්න තරම් පුලුවන් විදියෙ පර්ෆෙක්ට් විදියකට තමයි දීප්ත හැසිරුනේ. 

බඳින්න කලින් සෙක්ස් කරන්නෙ නැති, රූම් වලට කෙල්ලව එක්කරගෙන යන්නෙ නැති, කෙල්ලගෙ ජිවිතේ හැම ස්පෙශල් දවසක්ම කෙල්ලටත් කලින් මතක් වෙන, කෙල්ලට පීරියඩ්ස් වෙන දවස් හරියට දැනගෙන ඒ දවස් ලංවෙද්දි එයාට ඕන කරන හැමදේමද, ක්‍රේවින්ග්ස් එක කෑම බීමද පික් මී එකෙන් ඕඩර් කරල ලඟටම ගෙනත් දෙන, එලියට ගියාම අතෙන් අල්ලන් ඉන්න, කෙල්ලගෙ ඔලුව රිදීගෙන එද්දිම වගේ ඒක තේරුම් අරගෙන පැනඩෝල් කාඩ් වතුර බෝතල් එහෙම ලං කරල දෙන, කොටින්ම මනුශා බලාපොරොත්තු වෙච්ච පර්ෆෙක්ට් ට්‍රැක් එකෙන් තමන්ගෙයි මනුශගෙයි ජීවිතේ පොඩ්ඩක්වත් ට්‍රැක් අවුට් වෙන්න ඉඩ දෙන්නෙ නැතුව හැමදේම ගාණට මිම්මට තිතට කොමාවට කරන්න දීප්තට තිබුනෙ පුදුමාකාර හැකියාවක්.

හදිසියේ හරි මනුශාට දීප්තගේ මෙන්න මේ දේ මෙහෙම වෙනස් උනා නම් හොඳයි කියල හිතුන දවසකට පස්සෙ මනුශා ඒ ගැන වචනයක් කතා නොකරත් දීප්ත මනුශාට ඕන විදියට වෙනස් වුනා.

වැරදිලා හරි මොකක් හරි දෙයක් මනුශා අකමැති විදියට උනොත් ඊට පස්සෙ දවසෙ දීප්ත ඒක මනුශාට ඕන විදියට වෙනස් කරා.

කිසිම රණ්ඩුවක් තියා රණ්ඩුවක් වෙන්න හේතුවක් නැති, කඳුලක් තියා සුසුමක් හෙලන්න හේතුවක් නැති, දුකක් කියා දුකක සේයාවක්වත් නැති පර්ෆෙක්ට් ලයිෆ් එකක් අන්තිමේ ලැබුනත් නිතර දකින කරමලේ සුදුයි කියනවා වගේ මනුශට කල් යන්න යන්න එක දෙයක් හිතුනා.

ඒ “ඇත්තටම මනුස්සයෙක් මෙච්චර පර්ෆෙක්ට් වෙන්න පුලුවන්ද?” කියන එක. ඒ සැකේ හිත අස්සෙ හෙමින් හෙමින් ඔඩු දුවන අතරවාරෙ දීප්ත එන්න එන්න තව තවත් පර්ෆෙක්ට් උනා. මනුශට දීප්තගෙ ස්පෙශල් ඩේස් අමතක වෙද්දි දීප්ත මනුශා ඩේලි කියන දේවල් පවා තව මාස ගාණකින් ඇහුවත් මතක හිටින විදියෙ පර්ෆෙක්ට් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ට්‍රේන් උනා. දීප්ත එන්න එන්න පර්ෆෙක්ට් වෙද්දි මනුශාගෙ හිතේ තිබුන සැකේ පොඩ්ඩ පොඩ්ඩ වැඩිවුණා.

“මනුස්සයෙක් එච්චරම පර්ෆෙක්ට් වෙන්න පුලුවන්ද?” කියන ප්‍රශ්නෙ හිතුන දවසක මනුශාට හදිසියෙම දීප්තගෙ අපාට්මන්ට් එකට යන්න උනා දිප්ත එක්ක මනුශාට අමතක වෙලා තිබුනා යාලුවෙක්ගෙ එන්ගේජ්මන්ට් පාටි එකකට යන්න රෙඩිවෙන්න. ඉක්මනට ඇඳ පැලඳගෙන ආව මනුශා දීප්ත එනකම් කලේ එයාගෙ කලම්බො සෙවන් වල තියෙන මනුස්සයෙක් ජීවත්වෙන තැනක්ද කියල කවුරුන්ට උනත් සැක හිතෙන අන්දමේ කුණු බිංදුවක් බිම නැති, එක රැල්ලක් වැරදිලා නැති පට්ටම පර්ෆෙක්ට් අපාට්මන්ට් එකේ එහෙ මෙහෙ ඇවිදින ගමන් කල්පනා කර කර.

බාගෙට ඇරිලා තිබුන ලා කහ පාට එලියට එලියට විහිදිච්ච හැංගිලා වගේ තිබුන කාමරයක් අස්සට යන්න මනුශා පාර හොයාගත්තෙ ඒ ඇවිදිල්ලෙ එක ස්ටෙප් එකක් විදියට. ඒක දීප්ත වගේ කෙනෙක්ගෙ අපාට්මන්ට් එකේ තියෙනවා කියල බලාපොරොත්තු වෙන්න බැරි විදියෙ මහ අමුතු කාමරයක්. ගෙදර අනික් හැම කාමරේකම වගේ සුදු පාට ලයිට් තියෙද්දි මේ කාමරේ විතරක් තිබුනේ කහ පාට ලයිට් එකක්. මුලු කාමරේටම තිබුනෙ එකම එක ලී මේසයක් විතරයි. ඒ මේසෙ උඩ සුදු පාට ලස්සන විශාල කම්පියුටර් ස්ක්‍රීන් එකක් තිබුනා. පැත්තක සුදු පාට මවුස් එකකුයි කී බෝඩ් එකකුයි තිබ්බා.

මනුශා ඒ කී බෝඩ් එකේ කී එකක් ප්‍රෙස් කලේ නිකමට මොකද වෙන්නෙ කියලා බලන්න වගේ. හිතුවෙ නැති විදියට ස්ක්‍රීන් එක ලා කහපාට එලියක් එක්ක පත්තු වුණා.

ඕපන් වෙලා තිබ්බ ෆෝල්ඩර් එක ඇතුලෙ තිබ්බෙ ෆයිල් මහ ගොඩක්. Mnausha version 1, Manusha version 2, 3, 4, 5, 6,7…… කියලා මහ ගොඩක් අංක එක්ක තමන්ගෙ නම තියෙන ෆයිල් ටික දැක්කම තප්පර ගාණකට මනුශා පොඩ්ඩක් විතර කන්ෆියුස් උනා.

“තමන්ගෙ නමින් මොනවද මේ දීප්ත මෙච්චර ෆයිල් තොගයක් කම්පියුටර් එක අස්සෙ පුරවගෙන ඉන්නෙ?” කියල හිතන ගමන් මනුශා ඒ එක එක ෆයිල් ඕපන් කර කර බැලුවා.

ඒ හැම එකකම තිබුනෙ තමන් ගැන මාරෙටම ඩීටේල් කරලා ලියපු විස්තර ඇතුලත් ෆයිල්ස්. තමන්ගෙ ආසම කෑම, තමන් අකමැතිම දේවල්, තමන්ගෙ ලොකුම ඉන්සෙකියුරිටීස් වගේ මහ ගොඩක් ඒ එක එක වර්ශන් වල අප්ඩේට් වෙවී තිබුනා. පොයින්ට් ෆෝර්ම් එකෙන් ඒ ෆයිල් ඇතුලෙ කරන්න ඕන දේවල් ලියල තිබුනෙ කාටහරි ඕඩර් එකක් දෙනවා වගේ. ඒක හරියට සොෆ්ට්වෙයා එකක කෝඩ් එකක් වගේ. ඒ කෝඩ් එකෙන් පණ පෙවෙන්නෙ Deeptha_Weerasinghe_humanoid_robot_version 4.0 කියන එක මනුශා දැක්කෙ එවෙලේ.

relationship_guideline = { 

“comunication_guideline”: [ 

“අතීතය ගැන වැඩිය නොවිමසන්න; සැහැල්ලෙවෙන් කතාකරන්න.”, 

“ඇයගේ බුද්ධිමත් බව අගයන්න, නමුත් ඇගේ රැකියාවේ අනාගතය ගැන වැඩිදුර ප්‍රශ්න ඇසීමෙන් වළකින්න – මක්නිසාද යත් ඇය කණස්සල්ලට පත් වේ.”, 

“ඇය අසතුටෙන් බව පෙනේ නම්, ඇයව කුඩා දෙයකින් විශ්මයට පත් කරන්න. ප්‍රශ්නය ගැන වැඩිය නොවිමසන්න.” 

],

 “system_warning”: “යථාර්තවාදී බව පවත්වාගෙන යන්න. පමණට වඩා පරිපුර්ණ වීම ඇයගේ සැකයට හේතු විය හැක.”

 } 

print(relationship_guidelines)

මනුශා උන්නෙ කරකියාගන්න දෙයක් නැතුව. හරි වෙලාවට කියන්න ඕන හරිම දේ මොකද්ද, කරන්න ඕන හරිම දේ මොකද්ද, තමන්ට ඕන මොනවද, එපා මොනවද කියන එක ගැන තමන් කියන්නත් කලින් දීප්ත තමන් බලාපොරොත්තු වෙච්ච විදියටම කල එක තමන් එදා “දීප්ත මාර පර්ෆෙක්ට් නේද?” කියල හිතුවට ඇත්තටම වෙලා තියෙන්නෙ තමන් හීනෙන්වත් හිතුවෙ නැති දෙයක්නෙ කියන එක මනුශාට තේරෙන්න පටන් ගත්තෙ ඒ කෝඩ් එක දැක්කම.

“මනුස්සයෙක් එච්චරම පර්ෆෙක්ට් වෙන්න පුලුවන්ද?” කියල හිත ඇතුලෙන් තමන් තමන්ගෙන්ම අහද්දි මනුශා ආපසු හැරුනෙ කාමරෙන් එලියට, ඉන්පස්සෙ අපාට්මන්ට් එකෙන් එලියට යන්න හිතාගෙන.

ඒත් පුදුම ලස්සන හිනාවක් එක්ක කාමරේ දොර ළඟ උන්නු දීප්තගෙ මූණෙ ඇඳිලා තිබ්බේ එකම එක ප්‍රශ්නයයි.

“ඇයි මනුශා ඔයාට මාවත් පර්ෆෙක්ට් මදිද?”

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles