චාරුණී සේසත් දිහා බලාගෙන හිටියේ දරාගන්න බැරි ආදරේකින් . අවුරුදු දෙකකට කලින් ඉළන්දාරී කම් එක්ක උන්න මේ තරුණයා, දැන් ඉන්නේ පිරුණු පිරිමියෙක් වෙලා බව චාරුණීට ඇස් පනාපිටම පේනවා.
පුංචි කොලු පැටියා චාරුණිලා ළඟට ආවේ වාසනාව අරගෙන. ඒක එහෙම වුනත්, විදෙස් රටක , නෑදෑ හිතවත්තු කිසිම කෙනෙක් නැතිව දෙන්නා තුන් දෙනා වෙන එක ලේසි අත්දැකීමක් වුනේ නැහැ. අසල්වාසීන්ගෙන් උදව් උපකාර තිබුනත් ඒ අයට දිගින් දිගටම කරදර කරන්න චාරුණි වගේම සේසත් කැමති වුනෙත් නැහැ. ඒ හින්දාම දෙන්නාම හුරු වුනා දරුවාගේ වැඩ කරන්න.
උදේ පාන්දර වැඩට යන්න කලින් සේසත් දරුවාගේ රෙදි සෝදලා අවුවට දාලා සකසන විදිය තමයි චාරුණී බලාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, චාරුණී පින්තූරයකුත් ගැහුවා.
සේසත් වැඩට ගියාට පස්සේ, දරුවාත් නින්දක උන්න නිසා චාරුණි මුහුණු පොත දිහාවට එබුණා. කාන්තා සමූහයේ එහෙ මෙහෙ යන අතරේ, එවෙලෙ හිතුණාට උදේ සේසත්ව රාමු වෙන්න ගත්ත පින්තූරය, මේ දවස් වල ජනප්‍රිය ආදරේ තැවරුණු වචන කිහිපයක් එක්ක ඒ සමූහයේ පල කරා.
” ආදරේ සඟවලා දෙන්නේ පියවරුමයි …”
ඉන් පස්සේ හවස් වෙනකල්ම චාරුණී උන්නේ ගෙදර වැඩ එක්ක . දරුවා ඇහැරුණාම ,දරුවාව පිරිසිදු කරන්න, කෑම කවන්න, එයාව වඩාගෙන මිදුලේ ඇවිදින්න.., දහසකුත් එකක් වැඩ තිබුණා.
හවස සේසත් ගෙදර එනකොට වෙනදා හිනාව නැති බව චාරුණීට වැටහුනා. සේසත් ගෙදර ආව ගමන් කරන්නේ ඇඟ සෝදගෙන පිරිසිදු වෙන එක. ඒත් අද බෑග් එක කාමරෙන් තියලා ආයෙම සාලෙට ඇවිල්ලා එහෙමම සාලෙ පුටුවකට වැටුනා. චාරුණී උන්නේ දරුවාවත් වඩාගෙන නිසා ඇය ඔහුට යම් දුරක් තියාගෙන ඉඳගත්තා.
” අසනීපෙන්ද සේසත් ..”
සේසත් චාරුණී දිහා බලලා. යන්තම් හිනාවෙලා ඔලුව වැනුවා.
” එහෙනම්, මොකක් හරි ප්‍රශ්නයක්ද ?…”
සේසත් කලේ කිසිවක් නැති බව කියන්න ඔලුව වනපු එක .
” ඇඟ සෝදගෙන ඇවිල්ලා බබාව ගන්නකෝ … මම ඔයාට කෝපි එකක් හදන්නම් .. .. අපි ඊට පස්සේ කතා කරමු ..”
සේසත් ඒකට එකඟ වෙලා නැගිට්ටා. චාරුණී සේසත් එනකල් උන්නේම කල්පනාවේ. සේසත් ආවම දරුවාව සේසත් ලඟ තියලා චාරුණී කුස්සියට ගියා. කෝපි කෝප්ප දෙකක් හදාගෙන එනකොට පොඩි කොල්ලා සුව නින්දක. දෙන්නා දරුවාව ඇහැට පේන මානෙ තිබුන තොටිල්ලේ තියලා ඉඳගත්තා.
සේසත් කෝපි කෝප්පෙම හිස් කලා හෙමි හෙමින්. චාරුණී බලාගෙන උන්නේ සේසත් මොනවා හරි කියනකල්.
” ඔයා අර ෆේස්බුක් දාපු ෆොටෝ එකක් අල්ලගෙන අක්කා හවස් වරුවම මගේ ඔලුව කෑවා අප්පා … එයා එක්ක තකහනියේ ගිහිල්ලා අම්මටත් පෙන්නලා.. අම්මගෙනුත් මට බේරිල්ලක් තිබ්බේ නැහැ.ඒ මදිවාට නෑනා ඒක මල්ලිට යවලා … නෑනා මල්ලිගෙ ඔලුව කනවලු අයියාට පුලුවන් නම් එයාට ඇයි බැරි අහලා ..”
සේසත් එක පාරටම එහෙම කිව්වම, ඒ කියන්නේ මොකක් ගැනද කියලා චාරුණීට මතක් වුනෙත් නැහැ.
” මොන?..”
” උදේ අර බබාගේ රෙදි සෝදන වෙලේ ගත්ත ෆොටෝ එක ඔයා ලේඩිස් ගෲප් එකක දැම්මාද ?…”
චාරුණීට කෝපි උගුර ගිලගන්නටද අමතක වුණා. ඕ දඩිබිඩියේ ජංගම දුරකතන ගෙන අදාල සමූහයට එබුනා. කොමෙන්ටු සිය ගණනක් දකිනකොට චාරුණීගේ හද ගැස්ම වේගවත් වුනා.
” හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා …”
” ලැජ්ජ නැති කම තමයි ඉතින් ..මහත්තයා ලවා රෙදි හෝදවන්නයි,ඔයා වාඩි වෙලා ෆොටෝ ගහන්නයි, ඇත්තටම ඇයි එහෙම ?…”
” ඔයාගේ අම්මා ඔයාට කියලා දීලා නෑ වගේ සමහර දේවල්..”
” ඔයාගේ මහත්තය දන්නවා නම්, එ ඔයා එයාව ඩෝබි කෙනෙක් කරලා කියලා, එයාට මොනවා හිතේවිද ?…”
” ඇයි මේ කට්ටියම වැරදි තැනකින් අල්ලගෙන දේවල් කතා කරන්නේ ?…. ඇය මේ පින්තූරය දාලා තියෙන්නේ ආදරණීය විදියට …”
ඕ වහා ඒ පින්තූරය මකා දැම්මාය. නෑනාගේ වට්සැප් පණිවිඩය විවෘ ත කලා.
” අපි අකමැතිම වෙද්දී මල්ලිවත් එක්කගෙන රට ගිහිල්ලා ඔය හරියද කරගත්තේ චාරුණී ?… අපේ මල්ලි එයාගේ කලිසමක් , කමිසයක්වත් සෝදගත්ත කෙනෙක් නෙවෙයි .. එහෙම එකේ දරුවාගේ චූ රෙදි එයා ලවා සෝදවන්න යුතුද ඔයාට .. ඔය ෆොටෝ ගහ ගහ ඉන්න වෙලාවේ ඔයාටම කරගන්න තිබුනේ නැද්ද ඕවා..
අඩුම තරමේ දරුවා ලැබෙනකොටවත් ලංකාවට එන්න කියලා අපි කට කැඩෙනකල් කිව්වා…ඔයාමනේ කිව්වේ වැඩ ටික හෙමින් සැරේ බලාගන්න පුලුවන් කියලා.. ඔයා එහෙම කියලා මගේ මල්ලිව වැඩකාරයෙක් කරගෙන නේ චාරුණි …
මම අම්මාටත් කිව්වා. අම්මා ඇඬුවත් එක්ක දැකලා මේක … අම්මා මල්ලිට එහෙම දේවල් කරන්නවත් දුන්නේ නෑ…”
චාරුණීගේ අත වෙවුලනවා වගේ දැනෙනකොට චාරුණී සේසත් දිහා බැලුවේම අසරණ බැල්මකින්.
” මම .. ඒ.. ෆොටෝ .. එක ඩිලීට් කලා…”
සේසත් පියවි සිහියට ආවේ චාරුණීගේ ඒ හැඬුම්බර කට හඬ එක්ක. සේසත් අඩියට දෙකට චාරුණී ලඟට ආවා. චාරුණීව වාත්තු කරගත්තා.
” ඒයි ඒයි .. මොකද මේ ..”
එහෙම අහනකොට චාරුණීට තව හයියෙන් ඇඬුනා. ඇයට දැණුනේ මුලු ලෝකයක් ඉදිරියේ තමන් ව යම් නොකල වරදකට වැරදිකාරයෙක් වෙලා කියන හැඟීම. තමා කල දෙයකින් සේසත් පීඩාවට පත් වෙලා කියන වරදකාරී බව.
” අනේ චාරූ .. මොකද මේ . අඬන්න එපා අනේ .. බබා … දැන් අරයත් ඇහැරෙයි … කෝ කෝ .නාඬා ඉන්නකෝ ඉතින් .. මම වෙච්ච දේ විතරනේ කිව්වේ..ඔයාට දොසක් කීවේ නෑනේ මම …”
සේසත් හරි ඉක්මනට තමන්ව පැහැදිලි කරන්න උත්සාහ කලා.
” ඒ .. ඒ උනත්, මං කල දේ නිසා ඔයාට නේ ප්‍රශ්න…ඔයාට නේ ලැජ්ජාව …”
” අනේ චාරු ..මොකක්ද ඒ කතාව .. මේ අපි දෙන්නාගෙම දරුවා… ඔයා මං වෙනුවෙන් එයාව මේ ලෝකෙට ගෙනාවා … ඔයාට පේන් ඇවිල්ලා කෑ ගහනකොට මට මොකවත්ම කරගන්නවත් පුලුවන් වුනාද ?….බබා කිරි ඉලල්ලා අඬනකොට, ඔයා ඔක්කොම වැඩ දාලා කිරි දෙනවා.. ඒ ඔයාගේ ඇඟෙ ලේ නේ …. ඉතින් ..ඉන් ඉස්සරහට තියෙන හැම දෙයක්ම ඔයාට අඩු බර දීලා මම කරනවා… ඒක මගේ තාත්තා කම.”
සේසත් එහෙම කියනකොට චාරුණී අවබෝදයෙන් වගේ අහගෙන උන්නා.
” අපිට මිනිස්සුන්ට ඕනෑ විදියට කිසිම දෙයක් කරන්න බෑ චාරූ .. ඒත් හොඳම දේ අපේ පෞද්ගලිකත්වය අපි එක්කම තියාගන්න එක .. එතකොට කිසිම වද වේදනාවක් නෑ… ඒක අපේ නේ /..”
චාරුණී හිස සැලුවා.
“අපේ අක්කලා නරක අය නෙවෙයි චාරු .. ඔයා ඒක දන්නවනේ.. ඒත් ඒගොල්ලෝ වෙනස් ….”
චාරුණී ඒකටත් ඔලුව වැනුවා.
” හරි දැන් ඒක අමතක කරන්න .. හවසට තුන්දෙනා එක්ක පාර්ක් ගිහින් එමු …අපේ අම්මා සමහරවිට ඔයාගෙත් ඔලුව කන්න කතා කරාවි .. අක්කත්, ශේප් එකේ බැලන්ස් කරලා දාන්න ..හොඳේ..”
සේසත් එහෙම කියනකොටත් චාරුණී ඔලුව වැනුවා. ඒ එක්කම සැනසීමෙන් සේසත්ගේ උරිස්සෙන් ඔලුව තියාගත්තා.
ReplyForwardAdd reaction |