තෙවරප්පෙරුමට දෙයියො සිහිවුණේ තමන් දෙවරක් පිරිමියෙක් වෙලා කියලා දැනගත්ත දවසෙ.
උදේ නැගිටිද්දි මෙච්චර දවසක් තමන් පිරිමියෙක් කියල අඳුන්වල දෙන්න එක ජෝඩුවක් විතරක් තිබිච්ච ලිංගෙ දෙපාරක් ඇවිත් කියල තෙවරප්පෙරුම දැනගත්තෙත් උදේ නැගිටලා වැඩට යන්න කළියෙන් මුත්‍රා බරෙන් නිදහස් වෙන්න ටොයිලට් එකට ගියයින් පස්සෙ.
නිදිමතේ උනත් පුරුද්ද ලොකුයිනෙ කියලා එකක් අල්ලගත්තට මොකෝ අල්ලගන්න බැරිවෙච්ච අනික් අවයවයෙනුත් මුත්‍රා පිටවෙලා කොමොඩ් එක උඩයි. කකුල් දිගෙයි වැක්කෙරෙද්දි, “මොන මගුලක්ද ඒ වුණේ?” කියලා පල්ලෙහ බලද්දි තමයි තෙවරප්පෙරුම දැක්කෙ තමන් දෙවරක් පිරිමියෙක් වෙලා කියලා.
“බුදු අම්මෝ” කියල කෑගහගෙන විසිරිච්ච මුත්‍රා ගොඩේ පය ලිස්සල වැටෙන්නෙ නැතුව තෙවරප්පෙරුම ටොයිලට් එකෙන් එළියට එද්දිත් තෙවරප්පෙරුම නෝනා මහත්තැන් වෙච්ච කුමාරිත් කුස්සියෙ ඉඳන් දුවගෙන ආවෙ පරිප්පු එක හැඳි ගගා උන්නු පොල් කටු හැන්දත් අතෙන් උස්සගෙන. උදේ පාන්දර නැගිටල උයමං කරන ඒ ගෑණු පරාණෙ ඉඳියෙ මේ මිනිහා මේ අහවල් එකකට බෙරිහන් දෙනවද කියලා හිතාගන්න බැරි මූණකින්.
“මොකද මිනිහො බෙරිහන් දෙන්නෙ උදේ පාන්දර?” කියලා කුමාරි අහද්දිත් තෙවරප්පෙරුම උන්නෙ අවයවේ අතෙන් අල්ලගෙන. එකක් විතරක් නෙවෙයි දෙකම. මුලින්ම ආව එක මොකද්ද කියල හිතාගන්න බැරි විදියට දෙකම එකවගේ. කොහොමද මෙහෙම වෙන්නෙ? කියල හිත ඇහුවට දෙන්න උත්තරයක් තෙවරප්පෙරුම දැනගෙන හිටියෙත් නෑ.
“කොහොමද මිනිහෝ මෙහෙම දෙයක් වුනේ?” කියල අහන ගමන් කුමාරි නෝනා මහත්තය අතේ තිබිච්ච පොල් කටු හැන්දෙ මිටෙන් අලුතෙන් එක්කහු වෙච්ච තෙවරප්පෙරුමගෙ අවයවේට තට්ටුවක් දැනුනෙ අතෙන් අල්ලල බලන්න තියෙන බයට. අනික් අතට මෙහෙම දෙයක් දකින්න තියා මෙහෙම එකක් ගැන උපන්තේකට අහලා නෑනෙ තමුන් කියන එකත් කුමාරි නෝනට එවෙලෙ මතක් වුණා.
“මං කොහොමද යකෝ දන්නෙ මෙහෙම එකක් කොහොමද උනේ කියල?තමුසෙ හිතුවද මං මේ මට හිතිච්ච හිතිච්ච වෙලාවට මේකක් සෙට් කරගන්නව කියල. මං දන්නෙ නෑ කොහොමද ආවෙ කියලා. උදේ නැගිටලා චූ කරන්න ගියාම ඕයි මං දැක්කෙ මෙහෙම හත්තිලව්වක් වෙලා කියලා” කියද්දිත් තෙවරප්පෙරුමගෙ ඇස් වලින් කඳුලක් වැටුනෙ බයටද දුකටද ලැජ්ජාවටද මන්දා කියලත් ඒත් කුමාරි නෝනා හිතුවා.
“තමුසෙ දැන්ද දැක්කෙ ඕක?” කියලා කුමාරි නෝන ඇහුවෙ තවමත් තෙවරප්පෙරුමගෙ අත උඩන් නිදාගෙන ඉන්න ජෝඩුව දැකලා.
“ඔව් ඔව් දැන් දැක්කෙ, තමුසෙ දැක්කෙ නැද්ද රෑ නිදාගන්න යද්දි?” කියල තෙවරප්පෙරුම නිකන් අඬන්න වගේ අහද්දිත් කුමාරි නෝන නම් ඒකට උත්තර දුන්නෙත් මෙච්චර දවසක් හිත අස්සෙ හිරකරගෙන උන්නු තරහා එක්කමයි. “මං කොහොමද මිනිහො තමුසෙගෙ අහවල් එක දකින්නෙ? මං ඕක අන්තිමට දැක්කෙ කවද්ද කියලවත් මට මතක නෑ. තමුසෙට හොඳටම විශ්වාසද ඕක ඔහොම නෙවෙයි තිබ්බෙ?” කියලා කුමාරි නෝනා එක අතක් ඉණේ තියාගෙන අහද්දි තමයි තෙවරප්පෙරුම මහත්තය අත පල්ලෙහට දාලා සරමත් පල්ලෙහට දාගත්තෙ.
“මගේ එක තිබ්බ විදිය මට විශ්වාස නැද්ද ඕයි?” කියල කියන ගමන් තෙවරප්පෙරුම ආයෙම නිදාගන්න කාමරේ දිහාවට ඇවිද ගෙන ගියේ නිකන් අමුතුම තාලෙකට. වෙන්ද තිබිච්ච එකම ඩබල් උනා කියල ඒක ඇවිදින්න එහෙම අමාරුවන් උනේ නැතත් එහෙම එකක් තියෙන විත්තිය දන්න හන්දා දන්නෙම නැතුව ගමනත් වෙනස් වෙල තිබිච්ච එක ඇත්තකි.
“දැන් තමුසෙ අද වැඩට යනවද?” කියා කුමාරි නෝන ඇවිත් අහද්දිත් තෙවරප්පෙරුම මහත්තයා උන්නේ ඇඳේ හාන්සි වී කකුල් දෙක ඇඳෙන් පල්ලෙහට දාගෙන කල්පනා කරන ගමන් විනාඩියෙන් විනාඩියට ඒකට තට්ටු කරන ගමන් “දැන් ඒක නැතිවෙලාද?” කියල බලන ගමන් ය.
“වැඩට නොයා කොහොමද ගෑණියේ? මොකක් කියලද වැඩට නොගිහින් ඉන්නෙ? අනික අද වැදගත් මීටින් එකකුත් තියෙනවා. කොහොමද එහෙම එකේ නොයා ඉන්නෙ? අනික ලැජ්ජ නැතුව කියන්න පුලුවන් දෙයක්ද?” තෙවරප්පෙරුම කිව්වේ අඬන්න බැරි කමට කෙඳිරි ගාමින් වගේය. කතාව එහෙම උනාට තෙවරප්පෙරුම කියන්නෙ එහෙම ඔෆිස් නොයා ඉන්න ජාතියේ ඩයල් එකක් නොවන බව දන්න හන්ද කුමාරි නෝනා ආයෙ වතාවක් කුස්සිය පැත්තට ගියේ ඔෆිස් ගෙනියන්න තෙවරප්පෙරුමගේ අතේ දවල් කෑම පාර්සලය තිබ්බෙ නැත්තම් අන්තිමේ ඒකටයි මේකටයි දෙකටම බැණුම් අහන්න වෙන්නෙ තමන්ට බව දන්න හන්දාය.
පරිප්පු එක හැඳි ගාන ගමනුත්, බත් එක කූරු ගා ලන්ච් ශීට් එකක් උඩින් දැමූ පත්තර කොලේ උඩට බත් එක බෙදද්දිත් කුමාරි කල්පනා කලේ ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුලුවන් විදිය සහ හේතුව මොකද්ද කියන එකය.
“අනේ ඒයි මේ එන්නකො” කියා නාහෙන් අඬාගෙන තෙවරප්පෙරුම කාමරේ ඉඳන් කතා කලේ කුමාරි බත් එක බෙදා, කොලේ ඔතා, කෑම මේසෙ උඩින් බත් පාර්සලේ තබා ආපසු කුස්සිය අස්පස් කරන්න යන්න හැරෙද්දිය.
“ඒ පාර මොකද?” කියාගෙන කුමාරි යද්දිත් තෙවරප්පෙරුම උන්නේ කාමරේ මැද අමු හෙලුවෙන් කකුල් දෙකට දාගෙන උන්නු යට කලිසම බාගෙට ඇඳගෙනය. මූණෙ තිබ්බේ නිකන් මුස්පේන්තු, හැමදේම නැතිවෙච්ච මලානික ලුක් එකක් ය.
“ඇයි?” කියා අහන ගමන් කුමාරි නෝනා තෙවරප්පෙරුමගේ ඔලුවෙ ඉඳන් කකුල් දෙක වෙනකම් උඩ හිඳ පල්ලෙහට බැලුවේ අද උදේ ඉඳන් මේ මිනිහගේ නිර්වස්ත්‍ර ශරීරෙ දකින්න තරම් තමන් ලඟදි කරපු පින් අතේ වැඩේ මොකද්ද කියලා හිතාගන්න බැරුවය.
“මේක අඳින්න බෑනෙ ඕයි” කියා තෙවරප්පෙරුම කිව්වේ යට කලිසම අල්ලගෙන කුමාරි දිහා බලන ගමන් “හරියට තමුසෙට බැරිද මේක මට අන්දවන්න” කියල අහන්නෙ නැතුව අහන ගමන් ය.
“ඇයි?”
“බෑ ඕයි එකක් අස්සට දාගත්තම අනිත් ජෝඩුව එළියට පනිනව. අනේ කුමාරි මොන මගුලක්ද මේ? මං කොහොමද යකෝ මෙහෙම එලියට බහින්නෙ? මොන මල කරුමයක්ද මට පලදුන්නේ?” කියා තෙවරප්පෙරුම අහද්දී කුමාරි උන්නේ ඇත්තටම කරන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුවය. කොහොමහරි අන්තිමේ තෙවරප්පෙරුමට යට කලිසම අන්දවන්න කුමාරි නෝනටත් තමන්ගේ ශරීරයේ බැරි අමාරුකම් අමතක කර උදේ පාන්දර පුදුම දුකක් විඳින්න වුනාය.
තෙවරප්පෙරුමට යට කලිසම අල්ලගෙන ඉන්න කියා කුමාරි නෝනා ජෝඩු දෙක කලිසම අස්සේ හිරකරන්නට වින්දේ එසේ මෙසේ දුකක් නොවේ. අන්න ඒ වෙලාවෙනම් මේ පිරිමි වෙන එකත් මොන පාපයක්ද කියා කුමාරි නෝනට හිතිච්ච එක ඇත්තකි. කොච්චර නැටුවත් ජෝඩු දෙකම කලිසම අස්සේ හිරකරගන්න බැරි වෙච්ච එකේ කුමාරි නෝනා වැඩේ අතැර දමා තෙවරප්පෙරුමගේ කකුල් දෙක ලඟ දණ ගහ ගත්තේ මේ මිනිහෙක් හන්දා නටන්න වෙච්ච නෙයියාඩම් වලට තමන්ගේ ඇඟ පතේ තෙල් ගාගන්න වෙන තරම් අමාරුවක් දැනිච්ච හන්දාය.
“ඕක නම් හරියන වැඩක් නෙවෙයි. මොක කරලත් ඔය සම්පූර්න එක මේක අස්සට රිංගවන්න බෑ. පැම්පස් එකක් ඇන්ද පොඩි එකෙක් වගේනේ ඉස්සරහෛන් බැලුවම පිම්බිලා තියෙන නිසා. අදට යට කලිසම නැතුව යන්න”
“පිස්සුද ගෑණියෙ? මං කොහොමද එහෙම යන්නෙ? මේ දෙකක් හොල්ල හොල්ල යන්නෙ කොහොමද මං ඔෆිස්?” කියා තෙවරප්පෙරුම තමන්ගේ ඇඟට කඩන් පණින්නේ නිකන් ඕක ගෙනත් තමන්ගෙ මිනිහගෙ කකුල් දෙක අස්සෙන් හිටෙව්වා වගේනේ කියා හිතුවට කුමාරි ඕක වචන කරන්න ගියේ නැත්තෙ මොක උනත් පිරිමියෙක්ට ඔහොම දෙයක් උනාම දරාගන්න අමාරු විත්තිය දන්න හන්දාය.
“දැන් තමුසෙට ඔය පොකට් එක අස්සෙනෙ ඕක හංග ගන්න බැරි. අදට තමුසෙ මගෙ පෑන්ටියක් ඇඳගෙන යනවා” කියා කුමාරි කියද්දි තෙවරප්පෙරුමගෙ මුණ නිකන් බල්ලෙක්ගෙ ජරාවක් නාහෙ අද්දරට ගෙනාව තරමට ඇඹුල් වෙලා ගියත් වචනයක්වත් කිව්වෙ නැති නිහඬවතාවය කියා පෑවේ “වෙන කරන්න දෙයක් නැති එකේ එහෙනම් එහෙමවත් කරලා බලමු” කියන කතාව බව කුමාරිට නොතේරුණාය. ඒ විදියට මූණ අවුල් කරගත්ත තෙවරප්පෙරුම එදා ඔෆිස් ගියේ කුමාරි නෝනට අයිති වෙලා තිබිච්ච රෝස පාට රේන්ද අල්ලපු පෑන්ටියක් ඇඳගෙනය.
ඔෆිස් එකේදිත් ඉඩක් ලැබෙන හැම වෙලාවකම වොශ් රූම් එකට ගොස් මොකක් හෝ වෙනසක් වෙලා තියෙනවද කියලා බලන්න තෙවරප්පෙරුම අමතක කලේ නැත. වෙනදාට ලස්සනට පේන හවස් වරුවේ ගෙදර යන්න කලින් වෙන කොහේ හරි ගොස් තැවරෙන්න අමතක නොකරන රුචිරාණී දිහාවත් එදා හරියට බලන්න තෙවරප්පෙරුමට බැරිවුණේ ඔලුවෙ අස්සේ මේ වෙන මගුලක් හිරවෙලා තිබිච්ච හන්දාය. “අද යන්නෙ නැද්ද?” කියා රුචිරාණී ෆෝන් එකට කෙටි පණිවිඩයක් එවා ලන්ච් අවර් එකේ මනමාල පාටට බැලුවත් තෙවරප්පෙරුම ඒකටත් කේන්ති ගත්තේ “මේ ගෑණුන්ට තේරෙනවද මට තියෙන අමාරුව, මුන්ට මෝල් අමාරුව කොයි වෙලෙත්” කියා හිතාය.
ඒත් හවස වැඩ ඇරී ගෙදර ඉද්දිත් වෙනසක් වෙලා තිබ්බෙ නැති එකේ “දොස්තර කෙනෙක් බලන්න යන්ද?” කියා කුමාරි අහද්දිත් තෙවරප්පෙරුම උන්නේ “වෙන මොනව කරන්නද?” කියා අහන්න බැරිකමටය. තනියෙන් යන්න ලැජ්ජ හන්දා කුමාරි නෝනවත් එක්කරගෙන දොස්තර ලඟට යද්දිත් වෙනදට රටේ ලෝකෙ ඉන්න ගැණූන්ගෙ හොඳ කියා, උන් මහන්සි වෙන තරම කියා තමන්ගේ වගේ මෙලෝ රහක් නැති තප්පදෝරු ගෑණියෙක්ව බැඳගත්ත එකෙන් තමන්ට වෙච්ච පාඩුව ගැණත්, තමන්වත් කුමාරිව කසාද බැඳගත්තෙ නැත්තම් කුමාරිට තාම ඉන්නෙ තනිකඩව බවත්, එහෙම බලන කල තෙවරප්පෙරුම කරගත්තේ එසේ මෙසේ පින්කමක් නොවන බවත් කියමින් තමන්ට දහසක් අපහාස කරන මිනිහා අද කිසි සද්දයක් නැතුව ඉන්න එකත් කුමාරිගෙ කන් දෙකට සහනයක් උනත් නිකන් මොකද්ද අඩුවක් දැනුන එකත් ඇත්තය. වෙනදට තමන්ගේ පිරිමිකම හන්දා ඕනවටත් වඩා උඩින් පියඹමින් උන් තෙවරප්පෙරුම අද තමන්ගේ අතින් අල්ලගෙන උන්නේ නිකන් ලෙඩ වෙච්ච පොඩි එකෙක් අම්මා එක්ක දොස්තර ලඟට යන ගාණටය.
“මොකද්ද ලෙඩේ?” කියල දොස්තර මහත්තය අහද්දී ලැජ්ජාව පිරිච්ච මූණෙන් තෙවරප්පෙරුම තමන් දිහා බලද්දී ඒකටත් අන්තිමේ උත්තර දෙන්න වුණේ කුමාරිටය. ලෙඩේ මෙන්න මේක විත්තිය කුමාරි නෝන කියද්දි දොස්තර මහත්තයගෙත්, නර්ස් නෝනගත් ඇස් දෙක උඩ ගිය විදිය දැක්කමත්, දොස්තර මහත්තය කිව්ව විදියට කර්ටන් එක අස්සට ගොස් කලිසම ගලවද්දී තමන් ඇඳගෙන උන්නු කුමාරිගේ රෝස පාට පැන්ටිය දුටු විට නර්ස් නෝනට හිනා ගිය විත්තිය දැක්කමත් දොස්තරලා ලඟට එන්නෙ නැතුව ගෙදරදි පිහියක් හරි බ්ලේඩ් තලයක් හරි අරන් ඕක කපාගත්තනම් මේ ලැජ්ජාව වෙන්නෙ නෑනෙ කියා හිතුන එකත් ඇත්තය.,
තෙවරප්පෙරුමව පරික්ශා කල අවසානයේ තෙවරප්පෙරුමට ඇඳුම් හැඳගෙන ඉන්න ඉඩ දී දොස්තර මහත්තය ආපහු තමන්ගේ පුටුවට ඇවිත් කුමාරි ගෙන් “කොහොමද මෙහෙම එකක් වුණේ?” කියා අහද්දී හීනියට හිනාවක් ගිය එක තෙවරප්පෙරුම දැක්කේ නැත.
ඔක්කොම විස්තර අසා ඉවර වී “අපිට කරන්න පුලුවන් එකම දේ ඉතින් සර්ජරි එකකින් ඕක කපලා ඉවත් කරන එක තමයි. ඒ උනාට හිතාගන්න බැරි විදියට දෙකම එකම තැනින් පටන් අරන් තියෙන හන්දා එකක් කපලා අයින් කරද්දි අනිත් එකටත් ඒක ප්‍රශ්නයක් වෙන්න ඉඩක් තියෙනවා” කියල දොස්තර කියද්දී කුමාරිගේ මූණෙ තිබිච්ච ඒ හිනාව තව ටිකක් වැඩිවෙච්ච එක පවා තෙවරප්පෙරුම දැක්කේ නැත.
“තමුසෙලට ගෑණු කියන්න පුලුවන්ද ඕයි? නිකන් මේ මං ගෙනත් දෙන එක තම්බ තම්බ ගෙදෙට්ට වෙලා ඉන්න තමුසෙලා ගෑණු නෙවෙයි ගෑණු භාග ඕයි. කීයක් නම් ගෑණු ඉන්නවද රස්සාවල් කර කර, ඉගෙන ගන්න ගමන්, දරුවොත් උස් මහත් කරගෙන, ගෙදර වැඩත් තිතට කරන. එහෙම බලද්දි තමුසෙ වගේ ගෑණු භාගයක් බැඳගත්ත මං නියම පිරිමියෙක් ඕයි. මට ඕන නම් තව ගෑණියෙක්ව අරගෙන නඩත්තු කරන්න පුලුවන්. රස්සාවයි ගෙදර වැඩයි, තමුසෙ වගේ බක්කර ගෑණියෙක්වයි බැලන්ස් කරන මං පිරිමියෙක් නෙවෙයි ඕයි පිරිමි දෙන්නෙක්” කියා තෙවරප්පෙරුම කිව්ව වෙලාවල් වල ඔෆිස් එකේ ඉන්න මදන රුචිරාණි එක්ක වැඩ ඇරී වෙන වෙන මීටින් වලට යන විත්තිය දැනගත්ත මුල් කාලේ හොඳටම රණ්ඩු සරුවල් වෙච්ච වෙලාවක “මට ඕන නම් මම තව ගෑණියෙක් එක්ක නිදාගන්නවා තමයි ඕයි” කිව්වම තමන් අඬ අඬ “තමුසෙ ඕන ගෑණියෙක් එක්ක නිදාගන්නවා මට කමක් නෑ. හැබැයි උන්ගෙ ඇඟවල් අස්සෙ ඔබන එව්ව මටත් දික්කරන්න ආව දවසක තමයි මං ඕක කපලා විසික් කරන්නෙ” කියා කිව්ව එක මතක් වී අන්තිමේ තමන් දෙයියන්ට කිව්ව කතාව දෙයියො මාර්ගෙන් දොස්තර මහත්තයට ඇහිලා නේද? කියන එක හිතා කුමාරි නෝනාගේ හිනාව කටේ ඉඳන් කණ වෙනකම් දිග ඇදිච්ච එකත් තෙවරප්පෙරුම දැක්කේ නැත.