විශාකා විවාහ වුනේ නංගිලා මල්ලිලාගේ හැම කටයුත්තක්ම හොයලා බලලා ඉවර කරලා. නංගිලා දෙන්නම විවාහ කරවන්න සම්පූර්ණ විය හියදම් කලේ විශාකා. මල්ලිලා දෙන්නාගේ විවාහ උත්සව වලටත් විශාකා සෑහෙන්නම විය හියදම් කලා. ඒ හැමදේම ඉවර වුනාට පස්සේ විශාකා මහ ගෙදර තනි වුණා. පොඩි නංගීත් විවාහ වෙලා පිටත්වෙලා ගිය දවසේ රෑ විශාකා හිතේ සතුටටටයි දුකටයි දෙකටම ඇඬුවේ.
සුනාමියෙන් අම්මයි තාත්තයි එක්ක නෑදෑ පරම්පරාවෙන් සෑහෙන දෙනෙක් මුහුදු රැලි අස්සේ හැංගුනාට පස්සේ විශාකාට මග සාගරේක බර උහුලන්න වුනා. ඒ බර වදයක් කරගන්නේ නැතුව උහුලපු විශාකා, ජීවිතේ දිනුවේ ඒ බර හරි පරෙස්සනින් කරෙන් පහලට තියන ගමන්මයි.
ඒත් ටික දවසක් යනකොට විශාකාට තේරුණා ජීවිතේ නොවැටහෙන යම් හිස් තැනක් හැදීගෙන එන බව. ඒ හිස්තැන පුරවගන්න නංගිලා, මල්ලිලාගේ ජීවිත වලට ඇලෙන්න විශාකා උත්සාහ කලත් ඒ හැම තැනම විශාකට කිට්ටු වෙන්න බැරි තරම් උස් බවක් දැනුනා. ඉන් පස්සේ විශාකා කලේ හීන් සීරුවේ ඒ තැන් වලින් පැත්තකට වුන එක.
” අක්කේ … මායා කියනවා පොල් වත්තේ අපේ කොටස විකුනමු කියලා … අක්කා ඒක පොඩ්ඩක් බලලා ඇරේන්ජ් කරන්නකෝ ..”
ලොකු මල්ලී එහෙම කියාගෙන එනකොට විශාකා මේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව වගේ බලාගෙන උන්නේ. නංගිලා මල්ලිලාට බෙදෙන්න තිබුන හැමදේම ඉවර කරලා මහ ගෙදර එක්ක පොල් වත්ත විශාකා ඉතුරු කරගත්තේ තමන් වෙනුවෙන්.මහ ගෙදර ඉන්න නම් කවුරුත් කැමති වුනේම නැහැ.
” දැන් ඔය ගෙදර රෙපෙයාර් කරලා ගත්තත් සෑහෙන්නම ගානක් යනවා අක්කේ.. ඒ හින්දා අපි නම් ඔහේ එන්න කල්පනාවක් නෑ.. ඒ නිසා ඔයා ඔය ඉන්න විදියෙන් මහ ගෙදර ඉන්න … අනෙක අලුතින් ගෙයක් අරගෙන යන්නේ මොකටද මේ මෙච්චර ගෙයක් තියෙද්දී .. ඔයාට ඕනි නම් පාවිච්චියට නොගන්න කාමරවලට ඔය බෝඩින්කාරයෝ දෙතුන් දෙනෙක් දා ගත්තා නම් වැඩේ ශේප් නේ …”
ලොකු මල්ලිම එහෙම කියපු විදිය විශාකාට මතක් වුණා.
” ඔව් ඔව් .. අක්කා ආයේ මෙහෙන් යන්න ඕනි නෑ .. මේ වතු පිටිත් බලාගෙන අක්කාට ඉන්න එකහොඳයි මෙහෙ … මොකෝ ආයේ අපි ඇවිල්ලා හොයලා බලන්නද මේවා …”
ලොකු නංගීත් ඒකට එකඟ වෙලා ඔවුන්ට බෙදා ගත්ත දේවල් වලින් සෑහෙන බව කිව්වා විශාකට මතකයි. කුරුණාගල තාත්තාගේ නමට තිබුණු පොල් වතු හතරම ඒ හතර දෙනාට බෙදලා දුන්නා. නුවර ගෙදර විකුනලා එක්කෙනෙක්ට සෑහෙනම මුදලක් වෙන විදියට මුදල් බැංකු ගිණුම් වල තැන්පත් කලා. විශාකා නංගිලා මල්ලිල වෙනුවෙන් වියදම් කලේ ඇය වෙනුවෙන් වෙන් කරගත් කොටසේ මුදල්. ලොකු නංගීට වාහනයක් ගන්න යම් මුදලක් මදි බව කිව්වාම විශාක ඇය උපයාගෙන තිබුන රත්‍රං වලින් සෑහෙන කොටසක් නංගිට දුන්නේ දෙපාරක් නොහිතා.
” මං ඕවා පොදි බැඳගෙන ඉඳලා යනකොට ගෙනියන්නද ආයේ ඉතින් … “
ඒ ගැන අවලාද කියපු මිතුරියකට විශාකා කිව්වේ එහෙම.
” මං කියන්නේ එහෙම දෙයක් නෙවෙයි.. උබ කසාද බඳින්නේත් නැත්නම්, උඹේ ජීව්තේ මොකඛරි පෙන්ශන් ප්ලෑන් එකක් තියෙන්න ඕනි ..උඹ හිතනවාද උඹේ ඔය නංගිලා මල්ලිලා උඹව බලාගනීවි කියල බැරි වුන කාලෙක ?..”
මිතුරිය ආයෙම ඇහුවම තමන් නිරුත්තර වුන බවටත් විශාකාට මතකයි.
” මං එහෙම කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.. මම මගේ වගකීම් යුතුකම් ඉශ්ඨ කලා… මට මාව බලා ගන්න පුලුවන් ..”
” අන්න ඒ බලාගන්න පුලුවන් වෙන්න තමයි බං මේ කියන්නේ …උඹ ඔය පොල් වත්තෙන් භාගයක් හරි විකුනලා හොඳ එෆ් ඩී එකක් දාගනින් .. එහෙම නොවෙන්න ඔය නංගිලා මල්ලිලා ඕකත් කුට්ටි කරන්න එනවා …”
” එහෙම වෙන්නේ නෑ බං ..මේ වගේ එක හමාර ගුණයක් වෙන පොල් කෑල්ල ගානේ ඒ එක්කෙනාට දීලා තියෙන්නේ …”
තමන් හරි විශ්වාසෙන් එහෙම කියපු හැටිත් මේ අල්ල පනල්ලේ විශාකාට සිහි වුණා.
” උඹ නම් අනේ මන්දා …”
මිතුරිය ඉන් පස්සේ තමන් එක්ක ඒ ගැන කතා නොකල බවත් ඇයට සිහි වුනා,
විශාකා පොඩි මල්ලිට ඇමතුමක් ගත්තා.
” ඉක්මනට කියන්න අක්කේ.. අපි මේ පාර්ටි එකකට යන ගමන් ..”
තමන් අතෑරලා දාලා ඒ හැමෝම කොච්චර නම් දුර ගිහින්ද කියලා විශාකාට ආයෙම හිතුනා. ඇස් කෙවෙනි රත් වුනා.
” මේ පොඩි මල්ලී ..ලොකු මල්ලී මහ ගෙදර පොල් වත්ත කෑලි කරන කතාවක් කිව්වා …”
විශාකා එහෙම කියලා නැවතුණා.
” ආහ් ඔව් ..ලොක්කයියා මට කිව්වා.. මම යාලුවෙක් එවන්නම් අක්කේ..ඌ මැනලා කරලා ඔක්කොම කරාවි .. මහ ගෙදර පැත්තෙන් ටික අක්කට එන විදියට මන්නවගන්න .. නැත්නම් අපි ඔව්වා විකිණුවම අක්කට කරදරේ නේ .. පාරට එහෙම ඉඩ තියාගන්න …”
පොඩි මල්ලි එහෙම කියනකොට විශාකාට දැනුනේ තමන්ගේ හදවත කුඩු පට්ටම් වෙනවා වගේ. කිසිම කෙනෙක්ට තමන් ගැන වගක්වත් නැති වෙන්නේ කොහොමද කියලා ඇය කල්පනා කලා.
“: ඒත් පොඩි මල්ලී .. මහ ගෙදර වත්ත ආයේ කුට්ටි කරන්න ඕනිද ?…”
” එහෙම නොකර කොහොමද අක්කේ .. ඕක අපි ඔක්කොමලට අයිති නේ… නංගි නම් කිව්වේ මහ ගෙදර එක්ක ඔක්කොම විකුනලා සල්ලි බෙදාගමු කියලා ඒත් .. අක්කා මොකක් කියාවිද නොදන්න නිසා මම ඒ කතාව එතනින් ක්ලෝස් කලා…”
විශාකා පපුවත් අල්ලගෙනම පුටුවක වාඩි වුණා.
” අක්කේ .. එහෙනම් මට දවසක් බලලා කියන්න .. ලොක්කයියාටත් සල්ලි වගයක් හදිසියි කිව්වා .. ඒකයි ඔය හදිසි කරන්නේ …”
විශාකා කිසිම දෙයක් නොකියා ඇමතුම විසන්ධි කලා. මිතුරෙක් මාර්ගයෙන් මහ ගෙදරත් එක්කම මුලු පොල් වත්තම මැන්නා. මහ ගෙදර එක්ක තිබුණු කොටස විකුනන්න දැන්වීමක් දැම්මා.
” මට ලංකාවේ ඉන්න ආසාවක් නැහැ ..”
විශාකා මිතුරියකට කියලා විදෙස් රටකට යන්න ඉඩ සොයාගත්තා. ඒ අතරේ මහ ගෙදර විකුනන්න දාලා බව දැනගෙන නංගිලා මල්ලිලා ඔක්කොම විශාකාට දොස් කියාගෙන ආවා.
” උඹලාට ඕනි කියලා හිතෙනවා නම් මගේ ගාන මට දීලා මහ ගෙදර ගන්න .. එහෙම නැත්නම් මම ඒක විකුනනවා… උඹලාට හිමි දේට වඩා දේවල් මම දීලා කරලා ඇති .. ඒත් උඹලා කිසිම කෙලෙහි ගුණයක් නැති සහෝදරයෝ වගේ ජීවත්වෙන්නේ.. මට ඒක දැනි දැනි දැක දැක තවත් මෙහෙ ඉන්න බෑ .. මගේ පපුව රිදෙනවා… අවුරුදු හතලිස් පහක් වෙනකල් මම උඹලා හතර දෙනා වෙනුවෙන් නැහුණා… මට දැන් තේරෙනවා, ජීවිතේ අපි කරන කැපකිරීම් කරන්න ඕනි ඒ කැපකිරීම් වල වටිනාකමක් තියෙන මිනිස්සුන්ට කියලා….”
විශාකා දෙපාරක් නොහිතාම එහෙම කියනකොට නංගිලා මල්ලිලා හැමෝම එකිනෙකා දිහා බැලුවා. තමන්ට අක්කාව කොයි තරම් නම් මඟෑරිලාද කියලා වටහා ගන්න බැරුව වගේ ආයේ ආයේම වට පිටත් බැලුවා. ඒත් ඒ වෙනකොට විශාකා සහෝදරකම් වෙනුවෙන් තවත් නො ඇලෙන්න තීරණය කරලා ඉවරයි.
ReplyForwardAdd reaction |