පෙත්මලීට අනතුරෙන් සිදු වූ කම්පනය නිසාවෙන් සිහි නැති වී ඇති බව දැනගන්න එක හිත රිදවන දෙයක් උනත් “බයවෙන්න එපා, ඉන්ටර්නලි ඩැමේජ් එකක් නැහැ. තව දවස් කීපෙකින් බබාව ගෙදර අරගෙන යන්න පුලුවන් වේවි” කියා වෛද්‍යවරයා කියද්දී මේධාත් චිරතුත් එය භාරගත්තේ වඩා සැනසුම් සහගත හැඟීමකිනි.
“ඔයාට දරුව බලාගන්න අමාරුයි නම් මම බලාගන්නම්” කියා කියන්න කොච්චර උවමනා උනත් මේධා ඉන්න තත්ත්වය ගැන සිතා එවන් හිත රිදෙන දෙයක් නොකියා ඉන්න චිරත් අවසානයේ තිරණය කලේය. මොක උනත් අවසානයේ තමන්ගෙ හිත් රිදීම් නිවා සනසවා ගත යුත්තේද තමන් විසින්මය. පෙත්මලී නින්දකට වැටී රෝහල් සයනය මත ඉන්නා විදිය දකින්නට තරම් තාත්තා කෙනෙකු අම්මා කෙනෙකු ලෙස තමන්ගේ දෙනෙත් පව් කර ඇති බව මේධා සහ චිරත් දෙදෙනාටම හිතුණද ඒ කිසිත් හැඟීමක් වචන කර පෙත්මලීව තවත් රිදවන්න, පෙලන්න ඔවුන් දෙදෙනාම කටයුතු කලේ නැත. ඒ වෙනුවට චිරත් මේධාට පෙත්මලීගේ ඇඳ අසල වාඩි වී ඉන්නට ඉඩ සලසා එලියට ගියේ පෙත්මලී වෙනුවෙන් රෝහලට ආ සියලුම දෙනා ට කෑම පිණිස මොනවා හෝ අරගෙන එන්න හිතාය. චිරත් එක්ක ඒ ගමන යන්නට ආලෝකාද එක්වුනේ ගුණරත්නව සහ සෝමාව නිවස බලා පිටත් කල හැරියායින් පසුවය.
“මං ඇත්තටම ඔයා එක්ක මෙහෙම යන්න ආවෙ මේධා ගැන, එයාගෙ මෙන්ටලිටි එක ගැන කතාව ඔයාට කියන්න ඕන කියල මගෙ හිත කියන නිසා” කියා ආලෝකා කිව්වද චිරත් උන්නේ හිත අස්සෙන් තමන් කල යුත්තේ ඒ කතාව අහන එකද නැතිනම් එය නෑසුණාක් සේ ඉන්න එකද කියා පෙරලි කරන ගමන් ය.
“ඔයා දැන් ඒ කතාව කිව්වට ඒක දැනගන්න එකෙන් මට තේරුමක් තියෙනවද කියල මට හිතාගන්න බෑ ආලෝකා” කියා චිරත් කිව්වද චිරත්ගේ වදන් වල රැඳී තිබුන එය දැනගැනීමෙ උවමනාව ආලෝකාට නොතේරුනා නොවේ. කියන්නට ආ දෙය දිගටම කියාගෙන යන්නට ආලෝකට රුකුල් දෙන්නේ ඒ වටහා ගැනීමය.
“මම දන්නෙ නෑ මෙහෙම දෙයක් දැනගන්න එක චිරත්ට කොච්චර ප්‍රයෝජනයවත් ද හෝ වැදගත් ද කියන එක. හැබැයි මේධා මොන විදියෙ මෝඩ තීරණ අරගෙන ඔයාගෙන් වෙන් වෙන්න හිතුවත් මම දන්නවා චිරත් ඔයාගෙ හිතේ මේධා ගැන තිබිච්ච් ආදරේ, ඒ හැඟිම අඩුවක් වෙලා නැති බව. ඔයා එහෙම දෙයක් දැන් හිතේ නෑ වගේ රඟපැවත් අවුරුදු ගාණක් තිස්සෙ ඔය දෙන්නවම දැනගෙන උන්න මම දන්නව ඇත්තටම ඔය දෙන්නගෙ හිත් වල තියෙන හැඟිම.
මේධා ඔයාව ඩිවෝස් කරන්න යද්දිත් මම ඒකට එපා කිව්ව බව සමහරවිට චිරත් දන්නෙ නැතුව ඇති. ඒ වගේම මම ඔය වලකුලු කියන මනුස්සයව ජීවිතේට සම්බන්ධ කරගන්න යද්දිත් මේධාට කිව්වා මෝඩ වැඩ කරන්නෙ නැතුව, කල්පනා කරලා තීරණ ගන්න කියලා. ඒ උනාට අපි ඉතින් ගන්න හැම තිරණේම අරගන්නෙ හිතල බලලා, ඉස්සරහට මොනවා වෙයිද කියල හිතලා නෙවෙයිනෙ චිරත්”
“ඔයා කිව්වට වලාකුලුයි මේධයි අතරෙ එහෙම හිත් රිද්දගන්න තරම් ප්‍රශ්නයක් තියෙනව කියල මට නම් එහෙම කවදාවත් හිතිලා නෑ. ඔව් ඔයා කිව්ව එක ඇත්ත ආලෝකා. මේධා මාව අමතක කරපු තරම් ලේසියෙන් මට මේධාව අමතක කරන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. අදටත් මගෙ හිතේ මේධා වෙනුවෙන් වෙන් වෙච්ච ඉඩක් තියෙනවා. හැබැයි ඒ මේධා කියන්නෙ මගෙ දරුවගෙ අම්මා කියන ඉඩ මිසක මම හිතන්නෙ නෑ ආලෝකා මේධා වෙනුවෙන් ආයෙ මට වෙන ඉඩක් වෙන් කරගන්න පුලුවන් වෙයි කියලා. මම ඒ ස්ටේජ් එක දැන් පහුකරලා සෑහෙන කල් ඇවිත් ඉන්නෙ. අමාරුවෙන් තමයි එතනට ආවෙ. එච්චර අමාරුවෙන් කරගත්ත දෙයක් ආයෙම වතාවක් මේධගෙ හිත රිදිච්ච හන්දා කියල ලේසියෙන් අමතක කරල දාන්න මට පුලුවන්කමක් නෑ”
“ඔයා කියන දේ වැරදි කියල නෙවෙයි චිරත් මං කියන්නෙ. හැබැයි මේධා මට කිව්ව දේවල් අනුව මට තේරිච්ච දේ තමයි වලාකුලු ඇත්තටම මේධා එක්ක සමබන්ධ වෙලා තියෙන්නෙ මනුර අංකල්ගෙ සල්ලිවලට. මිනිහ එක එක බිස්නස් වැඩ වලට කියල මේධාගෙන් සල්ලි එහෙමත් ඉල්ලගෙන තියෙනව. වලාකුලුගෙ ප්ලෑන් එක තියෙන්නෙත් මං හිතන්නෙ අංකල්ගෙ සල්ලි වලින්, දේපලවලිනුත් කොටසක් කඩාගන්න. ඒ පෙරේතකම තමයි මිනිහව මේධට උනත් ලංවෙන්න පාර කපලා තියෙන්නෙ”
“ඉතින් හොඳයිනෙ?” කියා චිරත් කියද්දි ඇත්තටම ආලෝකා තප්පර කිහිපයකට පුදුම වුණ බව ඇත්තකි. මොන දේ උනත් චිරත් ගේ මුවෙන් එහෙම දෙයක් පිටවේවි කියන අදහසක් තමන්ගේ තුන් හිතකවත් තිබුනෙ නැති බව දැනගෙන උන්නේ ආලෝකා පමණකි.
“කොහොමද චිරත් එහෙම දෙයක් වෙද්දි ඒක හොඳයි කියලා කියන්නෙ. මොක උනත් ඒ ඔයාගෙ දරුවගෙ අම්මා. ඒ ඉන්නෙ දරුවගෙ සීයයි ආච්චියි. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනව කියන එක මොන විදියකින් හරි ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල කියන්න බැරිකමක් නෑ නේද?”
“නෑ මං හිතන්නෙ මේධටයි විශේෂයෙන්ම එයාගෙ තාත්තටයි ගෙදරට ඕන වෙලා තිබුනෙ ඒ වගේ මනුස්සයෙක්වනෙ. එක්කො යමක් කමක් තියෙන තැනක කෙනෙක් එහෙම නැත්තම් ඔය වලාකුලු කරනව වගේ තමන්ගෙ ගෑණිගෙ අම්ම තාත්තාගෙ සල්ලිවලින් හොඳට පෝසතා වගේ ඉන්න කෙනෙක්නෙ. ඉතින් මං හිතන්නෙ ආලෝකා ඔයා කොච්චර ඕක ප්‍රශ්නයක් විදියට දැක්කත් සුමතිපාල අංකල් නම් කැමතිවෙයි වලාකුලු වගේ මිනිහෙක්ව මේධාට සෙට් වෙච්ච එක ගැන. මං හිතන්නෙ නෑ එයාලා විහින් දාගත්ත කරදර වල මම තව දුරටත් පාට් එකක් වෙන්න ඕන කියන එක. මට එයාලා එක්ක තියෙන එකම බැඳීම පෙත්මලී විතරයි ආලෝකා. ආයෙම වතාව්ක මේධගෙ හිත සනසන්න, ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා නරක මිනිහා වෙන්න මට උවමනාවක් නෑ” කියා සිනාසී අතේ එල්ලාගත් කෑම පාර්සල් එක්කම චිරත් පෙත්මලී සමග මේධා රැඳී උන්නු කාමරයට පිවිසෙද්දී චිරත් අනුගමනය කරමින් එතෙක් දුර කරගෙන ආ කතාව නතර කරන්න ආලෝකාට සිදු උනත් හිත තිබුනේ එසේ කතාව නතර කරන අදහසක නොවේ. සිත කොතෙක් දොඩමලු වුවද චිරත් කිව් අයුරින් වලාකුලු විසින් ඇතිකල හෝ ඇතිකරන්නට යන ප්‍රශ්න වල කොටසක් වෙන්න ඔහුට අනවශ්‍ය තැන තමන් තවදුරටත් මේ සියලුම දේ ඔහු සමග බෙදාගන්න එක පවා තේරුමක් හෝ අවශ්‍යතාවයක් නැති දෙයක් ලෙස වටහාගන්නට ආලෝකාට බැරි උනේ නැත.
පෙත්මලී මානසිකව මෙන්ම ශාරීරිකව සුව වෙන්නට ගත් සති කිහිපයක කාලයේ චිරත් විටෙන් විට පෙත්මලීව බලා යන්නට සුමතිපාල නිවසට ආ බව ඇත්තකි. වෙනදා මෙන්ම සෝමා අතේ කේක්, කෙසෙල් තේ පිරවූ බන්දේසියක් එවන්න කමලිනී සුමතිපාල තමන්ගේ ආගන්තුක සත්කාර හැකියාව අමතක කර නොදැම්මද සුමතිපාල යුවල චිරත් ඉදිරියටවත්, ඔහු සමග කිසිත් කතාවකටවත් ආවේ නැත. එමෙන්ම තාත්තා වෙනදා මෙන් “අරූ මොකද මෙහෙ බඩගාන්නෙ?’ කියා මේධාව විමසුවේද නැත.
මේධා උන්නේද දිගටම පෙත්මලී අසල රැඳි තමන්ට රැකියාවක් හෝ වෙනත් යුතුකම් සහ වගකීම් තිබෙන බව අමතක කර දැමුවාක් මෙනි. තමන් සේවය කරන්නේ තාත්තාගේ ආයතනයේ වීම රැකියාවට නොයා ඉන්නට ලැබුණ හේතුවක් කරගත්ත එක ගැන පවා තාත්තා තමන් එක්ක මුකුත් කිව්වේ නැත්තෙ පෙත්මලී සිදුකරගත් අනතුර නිසා බව මේධා හිතුවද සිදු වී තිබුනේ වෙනත් දෙයකි.
ඒ කතාන්දරය මේධාගේ සවන් වෙත පියඹා ආවේද අහම්බකාරකවය.