අහෝ පෙමකි. ඉරකි. තිතකි!

“පාරමී එක්ක මට තියෙන්නෙ මොන වගේ ජීවිතයක්ද කියල දන්නෙ මම විතරයි සරෝ. පාරමී ලෝකෙට පේන්න ලස්සනට පෝස්ට් දදා, අපේ කසාදෙ ගැන, කසාදෙ පැවතිච්ච අවුරුදු ගාන දැම්මම මම ඒ පෝස්ට් ශෙයා කරන්නෙ, ඒවට ලස්සන කමෙන්ට් දාන්නෙ, පාරමීගෙ උපන්දිනේ, අපි දෙන්නගෙ ඇනිවසරි වගේ දේවල් ආවම මම කවි ලියන්නෙ සෝශල් මීඩියා වල සීසිටීවි දාගෙන අපි දිහා බලන් ඉන්න මිනිස්සුන්ට අපේ පිටිපස්සෙ ඉඳන් හිනාවෙන්න කතා හදන්න හේතුවක් දෙන්න ඕන නැති හන්දා. 

ඔයා ගැන මුලින්ම මගෙ හිතට අදහසක් ආවෙ මං ඔයාව දැක්ක දවසෙමයි. ඔයා දන්නවනෙ මම මාර ආසයි කියන ගැණු මොන වගේද කියල. මම හරි ආසයි සුදු උස කෙට්ටු ගෑණුන්ට. මේකප් දාන. කොන්ඩෙට එක එක අරුමෝසම් කරල තියෙන ගෑණුන්ට. එහෙම ගත්තම පාරමී කියන්නෙ මගෙ හිතේ මැවිල ඉන්න අයිඩියල් ගෑණිගෙ රූපෙ එහෙමම තියෙන ගෑණියෙක්. ඒත් ඒ ගෑණිගෙන් මම බලාපොරොත්තු වෙන විදියෙ ගතිගුණ එකක්වත් පාරමිට නෑ”

“ඉතින් එහෙම නම් ඇයි ඔයා එයාව කසාද බැඳගත්තෙ? ඊටත් වඩා අවුරුදු අටක් ඔය දෙන්න කසාදත් බැඳල. එහෙම නොගැලපීම් පෙනුනනම් ඇයි ඒ ජිවීතේ ඇතුලට දරුවෙක්ව අරගෙන ආවෙ?” කියලා සරෝජා ඇහුවා.

මේ කතාව කෙරීගෙන ගිය සරෝජායි භානුකයි කියන්නෙ අවුරුදු ගාණක් තිස්සේ දැන අඳුරගෙන උන්න යාලුවො දෙන්නෙක්. එක ඔෆිස් එකේ වැඩකරල දෙපැත්තක ඔෆිස් දෙකකට වෙන් වෙලා ගියත් සරෝජායි භානුකගෙයි යාලුකම නැති උනේ නෑ. සරෝජා භානුකට වඩා අවුරුදු කිපයක්ම බාලයි. ඒ විතරක් නෙවෙයි මේ කතාව වෙන වෙලාවෙ භානුක කියන්නෙ කසාද බැඳල අවුරුදු අටක් ගෙවිච්ච, අවුරුදු හයක් වෙච්ච දරුවෙක් ඉන්න හස්බන්ඩ් කෙනෙක් වගේම තාත්ති කෙනෙක්. ඒත් දැන් භානුක කියන කතාව එක්ක බැලුවම ඒ බැඳීම ඇත්තක්ද කියන එක ගැන සැකයක් සරෝජාගෙ හිතට ආවෙ නැතුව නෙවෙයි. මොකෝ භානුකව ටැග් කරල පාරමී දාන පෝස්ට් වල වගේම ඇනිවසරවි වලට පාරමීව ටැග් කරලාභානුක දාන පෝස්ට් වලත් ආදරේ ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් සරෝජා දැක්කෙ නෑ. එහෙම දේවල් සෝශල් මීඩියා වල ශෙයා කරන භානුක අද මේ වගේ කතාවක් කියන්නෙ කොහොමද කියන එක ඇත්තටම සරෝජාට හිතාගන්න පුලුවන් උනේ නෑ.

“ඒක මටත් තාම හිතාගන්න බැරි දෙයක් කෙල්ලෙ. මං ඒ කාලෙ හිතුවෙ පාරමී තමයි මාව මේ ලෝකෙ හොඳටම තේරුම් ගත්ත ගෑණි කියලා. මං ඒ කාලෙ පාරමීට එහා ගෑණියෙක්ව දැක්කෙ නැ. අනික් එක අනික් එක යාලුවෙලා උන්නු කාලෙ පාරමී මාත් එක්ක ඉඳපු විදිය, කතා බස් කරපු විදිය, හිතපු පතපු විදිය ඔක්කොම අපේ කසාදෙන් පස්සෙ වෙනස් වුණා. මට තේරෙන්නෙ නෑ කොහොමද එහෙම උනේ කියල. මං පාරමීව කසාද බැන්දෙ එයා යාලුවෙල ඉන්න කාලෙ මට පෙන්නපු සලකපු විදිය හන්දනෙ. එහෙම එකේ කසාදෙන් පස්සෙ එයා යාලුවෙලා උන්නු කාලෙ ඉඳපු ගෑණිට වඩා සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් වෙච්ච එක මට දරාගන්න ඉවසන්න පුලුවන්ද? අනික ඔයා හිතන්නෙ ඒක සාධාරණද? නෑනේ නේද? මේ ලෝකෙ කොහෙවත් ඉතින් පිරිමියෙක්ට වෙච්ච අසාධාරණකම් ගැන කතා කරන්න තැනක් නැති හන්දා මම සද්ද නැතුව කරකියාගන්න දෙයක් නැතුව  ඉන්නව මිසක්කා මගේ හිතේ දරාගන්න වේදනාවක් නැතුව නෙවෙයි”

කියලා භානුක දුක් මුසු මූණකින් කියද්දි ඇහැ අග්ගිස්ස කඳුලකින් තෙත් කරගනිද්දි සරෝජා හිතුවෙ එක දෙයයි. “පිරිමියෙක්ට කවදාවත් බොරුවට අඬන්න බැරි හන්දා භානුක මේ කියන්නෙ ඇත්තක් වෙන්නැති” කියලා. 


“සමහරවිට පාරමී අක්කා ෆේස්බුක් එකේ දාන්නෙ ලෝකෙට පේන්න පෝස්ට් වෙන්නැති. කොහොමත් ඔය සෝශල් මීඩියාවල මිනිස්සු පෙන්නන්නෙ තමන්ට ඇත්තටම තියෙන දේවල් නෙවෙයි. නැති දේවල් තමයි මිනිස්සු තියෙනවා වගේ පෙන්නන්න යන්නෙ” කියලාත් පාරමී හිතුවේ අහක බලාගෙන මාරම ඩිප්‍රෙස් වෙච්ච මූණක් දාගෙන ඉන්න භානුක දිහා බලාගෙන. 

“දරුවෙක් නිසාවත් ඔයාලා දෙන්න කසාදෙ ඇතුලෙ දුක්විඳින්න ඕන කියල ඔයා හිතනවද භානුක? අනික ඔයාට දැනෙන ඔය පීඩනේම සමහර විට පාරමී අක්කටත් දැනෙනව ඇති නේද? එහෙම ගත්තම ඔය දෙන්නම නිකන් දුක් කසාදයක් ඇතුලෙ මානසිකව පීඩනේකින් නෙ ඉන්නෙ?”

“මං හිතන්නෙ නෑ පාරමී නම් පොඩ්ඩක්වත් දුකෙන් හරි ස්ට්‍රෙස්ෆුල් සිටුවේශන් එකක ඉන්නෙ කියලා. එයාට ඕන කොහොමත් ඇත්ත ජීවිතේ මොක උනත් එයා ෆේස් බුක් දාන ලස්සන බොරුවලට ගොඩක් රියැක්ශන් එනවනම් විතරයි. එයාගෙ ජීවිතේ තියෙන එකම ගෝල් එක එයාගෙ පෝස්ට්වල රීච් එක හදාගන්න එක. අර කෑම හැදුව, මේක කරා, භානු එක්ක එලියට ගියා, බබයි භානුයි එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා වගේ අපේ ජිවීතවල ඇත්තටම වෙච්ච නැති දේවල් දාලා ලෝකෙට පේන්න බොරු සුරංගනා ලෝකයක් මවන එක තමයි එයා කරන්නෙ. ඒ නිසා එයා කිසිම විදියකින් ඩිවෝස් වෙන්න කැමති වෙන්නෙ නෑ. ඒක දැන දැනම ඩිවෝස් වෙමුද කියල අහන එක තේරුමක් නැති හන්දයි මම ඒක අහන්නෙ නැත්තෙ”

“මං දන්නෙ නෑ මං මෙහෙම කියන එක කොච්චර දුරට හරිද වැරදිද කියල. මිනිස්සු කියනවනෙ අනුන්ගෙ පවුල් ජිවීතවල වෙන ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න යන්න එපා කියලා. මොකෝ අන්තිමේ ඒව තමන්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් හන්දා. ඒත් ඔයා මගෙ යාලුවෙක් අනික මොක නැතත් අපි දෙන්න ගොඩක් කාලෙක ඉඳලා දන්න කෙනෙක් හන්ද මට ඔයාගෙ ප්‍රශ්නෙ නොදැක්කා වගේ ඉන්න බෑ භානු. ඒකයි. මට කියන්න මට මොකද්ද ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් කියලා”

“ඔයා වගේ ගෑණියෙක්ව හම්බුනා නම් එහෙම නැත්තම් පාරමී ඔයා වගේ කෙනෙක් උනානම් මං අද මෙහෙම වෙන කෙල්ලෙක්ව හම්බෙලා මගෙ දුක කියන්නෙ නෑ සරෝ. ඒත් මොකක් හරි හේතුවකට, කරුමෙ හරි අවාසනාව හන්දා මට ඔයාව මහෙ ජීවිතෙට කවදාවත් සම්බන්ධ කරගන්න වෙන්නෙ නෑ මගෙ කෙනෙක් විදියට. මං ආසයි ඔයාගෙන් අහන්න අපි දෙන්න ආදරේ කරමුද? යාලුවෙමුද කියල. ඒත් ඔයා වගේ කෙල්ලෙක් කවදාවත් කසාද බැඳපු මිනිහෙක් එක්ක යාලුවෙන්නෙ නෑ කියල දැන දැනම මං ඒක අහන්නෙ නෑ කෙල්ලෙ.

කවදහරි ඔයත් තනිකඩ කාලෙක, මමත් තනිකඩ කාලෙක අපිට ආදරේ කරන්න ඉඩක් හම්බුනොත් එදාට මට එක දවසක් ඔයාගෙ ආදරේ විඳලා මැරුණත් සැපයි කෙල්ලෙ” කියලා භානුක ඇස් දෙක අඩවන් කරගෙන තමන් දිහා බලන් කියද්දි සරෝජා හිත ඇතුලෙන් තප්පරේකට තිගැස්සුනා. භානුකගෙ වචන අස්සෙ හැංගිල තිබුනෙ එක්තරා විදියක තහනම් ආදරේකට ආරාධනාවක් උනත් භානුක වගේ කසාද බැඳලා, දරුවෙක් ඉන්න මිනිහෙක් එක්ක යාලුවෙලා තමන් වගේම තව ගෑණියෙක්ට රිද්දන්න සරෝජාට උවමනා උනේ නෑ.

“මොන වරද කරත් ඒත් තමන් වගේම ගැණියෙක්” කියල හිත කියද්දි සරෝ ඇහුවෙ එක දෙයයි.

“ඕන වෙලාවක ඕන ප්‍රශ්නයක් මට කියන්න භානුක. ඔයාට ඕනම වෙලාවක කතාකරන්න, ඔයාගෙ දුක අහගෙන ඉන්න මම ඉන්නවා. ඒක අමතක කරන්න එපා” කියල එදා සමුගෙන යන්න කලින් සරෝජාගෙ ෆෝන් එකෙයි භානුකගෙ ෆෝන් එකෙයි ඇප්ස් ස්ටෝ එකෙන් අලුත් චැට් ඇප් එකක් ස්ටෝ වුනා. 

ඒ “පාරමී සමහරවෙලාවට මගෙ ෆෝන් එක බලනවා. අපි දෙන්නා වට්සැප් හරි ෆේස්බුක් මැසෙන්ජර් එකෙන් හරි කතාකරනවා දැක්කොත් ඒක මටත් වඩා ඔයාට ප්‍රශ්නයක් වෙයි. පාරමී ඔයා නරක ගෑණියෙක් කියල හිතුවොත් මට ඒක දරාගන්න බැරිවෙයි. ඒ නිසා අපි සීක්‍රට් චැට් ඇප් එකක් දාගමු” කියලා භානුක කිව්ව විදියට.

භානුක එදා ගෙදර ගියේ හරි සන්තෝසෙන්. පිරිමියෙක්ගෙ ඇහැකින් වැටෙන කඳුලකට, පිරිමියෙක් පොඩ්ඩක් ඉමෝශනල් වෙලා කියන කතාවකට ගෑණියෙක්ව කොච්චර හොඳට රවට්ටගන්න පුලුවන්ද කියන එක භානුකගෙ හිතට ගෙනාවෙ මාරම ආඩම්බරයක්. 

සෝශල් මීඩියාවල පෙන්නන තරම් අපූරු ලස්සන ජීවිතයක් තමන්ට තියෙද්දි, ලස්සනම ලස්සන, දරුවෙක් ඉන්නව කියල කියන්නවත් බැරි විදියෙ ලස්සන ගෑනියෙක් ඉද්දි, වෙලාවට අතට පයට හැමදේම කෙරෙද්දි භානුකට සරෝජාව අල්ලගන්න උවමනා උනේ එකම එක කාරණාවකට විතරයි.

“ඒකිගෙ පත්තිනි අම්මා සීන් එක වැඩියි. කොල්ලෙක් ඇත්තෙත් නැතුව ඔච්චර සිල් ගන්න ඕනද?” කියලා භාණුක හිතුවෙ සරෝජාව මුලින්ම දැක්ක වෙලේ මහ ලොකු ලස්සනක් නැතත්, කඩා හැලෙන පෙනුමක් නැතත් සරෝජාගෙ තිබ්බ අහිංසක, තැන්පත්, විනීත ගෑනුකමට වහ වැටිලා. “කවදහරි මං සරෝජාව යටකරගන්නෙ නැද්ද බලන්නකො” කියල හිතට කිව්වට භාණුක කවදාවත් තමන්ගෙ ඒ පැත්ත සරෝජාවත් වෙන ඒ විදියට යටකරගත්ත තාවකාලික ආසාවල් හන්දා ලඟට දැක්ක කිසිම ගෑනියෙක්ට පෙන්නුවෙ නෑ. ඒ වෙනුවට භාණුක කරේ දුක මාකට් කරන එක.මොකක්හරි ගෑනුන්ගෙ හිත් උණුකරන සීන් එකක් හන්දා ඒ ස්ට්‍රැටජි එක ඇත්තටම වැඩ කරා.

“පිරිමින්ට තියෙන්නෙත් හිත්

කඳුලු උනන නෙත්

අමතක වුණාද උඹට ඒක?” කියල කොහොමත් කවි ලියන සරෝජා තමන්ගෙන් සමුගෙන ගෙවිච්ච විනාඩි ගාණක් ඇතුළෙ ස්ටෝරි දාලා තිබ්බ ඒ කවිය දැක්කම තමන් මාකට් කරපු දුකට තවත් එක කස්ටමර් කෙනෙක් අහුවෙලා කියල දැකලා භානුකට ලොකු හිනාවක් ගියා.

විශ්මයාර්ත ලකුණක් එක්ක Love කියල නමක් තිබ්බ ඒ අලුත් ඇප් එක ඇතුළෙ භාණුක මාකට් කරපු දුක අහන්න සරෝජා සැදී පැහැදුනා.

තමන් යවන පණිවිඩ වලට දුක අහල සැනසෙන්න වචන කියන සරෝජා හින්දායි ගෙදර ඔක්කොම වැඩපළ කරන ගෙදර සුරංගනා ලෝකයක් කරන ලස්සන ලස්සන පාරමීයි හන්දා භානුකට තිබ්බෙ මාර සුපිරි සන්‍තෝසෙන් පිරිච්ච ජීවිතයක්. හැබැයි තමන් දැනුවත්වම කරන දේවල් අතරෙ තමන්ට නොතේරී තමන් වටේ දෙයක් වෙන විත්තිය භානුකට තේරුනේ නෑ.

ටිකක් දවස් යනකම්.

“මං මාර ආසයි කරවලයි, පොල් සම්බලුයි, කිරිකොසුයි එක්ක බත් කන්න. ගමේ කෑමට තමයි මම ආසම. ඒ උනාට පාරමීට ඕන චයිනීස්, පැස්ටා වගේ සුකුරුත්තන් කෑම කන්න. එයා හදන සමහර කෑමවලට දාන්න ඕන නම්වත් එයා දන්නවද දන්නෙ නෑ. පාන්

පිටි ගුලි අස්සට මසුයි එලවලුයි තම්බල දාන මල විකාර තමා එයා හදන්නෙ” කියලා Love! ඇප් එකේ සරෝජාට මැසේජ් එකක් යවපු භාණුක ඔෆිස් එකේදි ලන්ච් ටයිම් එකෙ කෑම පෙට්ටිය අරිද්දි හැමදාම රසම රස එළවලු එක්ක බත් මාලු දාන පාරමී එදා වැරදිලාද මන්දා දාලා තිබ්බෙ තම්බපු මසුයි එලවලුයි දාපු පිටි ගුලි කෑමක්.

“මොනවද අර දවල්ට කන්න දාලා තියෙන්නෙ?” කියල භාණුක ඇහුවම පාරමී හිනාවෙවී කිව්වෙ “වෙනසකටත් එක්ක දාන්න හිතුනා” කියලා.

“අද පාරමී මාත් එක්ක බොරුවට රණ්ඩුවක් දාගන්න හැදුවා ළමයගෙ මොකද්ද එකකට. මං දන්නෙවත් නෑ එයා මාත් එක්ක රණ්ඩු උනේ ඇයි කියලා” කියලා සරෝජාට මැසේජ් එක දාලා භාණුක බාතෘම් එකෙන් එලියට ආවම දැක්කෙ ඇඳ ඉස්සරහ තියෙන කබඩ් එකේ බඩු ඔක්කොම එලියට දාගෙන පිස්සෙක් වගේ ඒ මැද හිටගෙන ඉන්න පාරමීව.

“මොකෝ මේ?”

“මොකෝ මේ? මට එපාවෙලා තියෙන්නෙ ඕයි මේ ජීවිතේ. මොන කරුමයක්ද මේ? තමුසෙගෙයි තමුසෙගෙ ලමයගෙයි වැඩ කරනව ඇරෙන්න මට නිදහසේ හුස්මක් කටක් ගන්න ඉඩක් නෑ” කියල පාරමී බැණගෙන බැණගෙන යද්දි භානුකට ඇත්තටම හිතාගන්න බැරිවුණා ඇයි පාරමී තමන්ට මෙහෙම බණින්නෙ කියලා.

“අද අපි අපේ අම්මලගෙ ගෙදර යන්න ඉඳියෙ. පාරමී හදිසියෙම ඔක්කොම රෙඩි කරගත්තට පස්සෙ එකපාර කිව්වනෙ යන්න බෑකිව්වා. එයාගෙමූඩ්වෙනස්වෙන එක මට ඇත්තටම හිතාගන්න බෑ” කියලා සරෝජාට මැසේජ් එක දාපු භාණුක අම්මලගෙ ගෙදර යන්න හිතාගෙන ගෙයින් එලියට එද්දි වාහනේට නැගල යන්න ලෑස්තිවෙලා උන්න පාරමී මූණ නොරොක් කරගෙන ගෙට එද්දි භාණුක ඇත්තටම කන්ෆියුස් උනා.

“ඇයි යන්නෙ නැද්ද?”

“මට බෑ. මම යන්නෙ නෑ. මම යන්නෙ නෑ කියන්නෙ තමුසෙ යන්නෙත් නෑ” කියලා පාරමී කියද්දි භානුකට මේ මොකද්ද මේ වෙන්නෙ කියන දේ හිතාගන්න පුලුවන් උනේ නෑ.

ඔය සිද්දි ඔය වගේ වෙද්දි තමන්ගෙ හිතේ තියෙන මානසික සතුට ඩිංග ඩිංග නැතිවෙලා යද්දි භානුක ඇත්තටම සරෝජා එක්ක Love! ඇප් එක ඇතුලෙ චැට් කරද්දි කිව්වේ හිත රිදිච්ච කතා. පොඩ්ඩක් හරි ඇත්ත දුකක් ගෑවිච්ච කතා. හැබැයි තාමත් ඒ කිසිම කතාවකට බැරිඋනා භානුක හිතුව විදියට සරෝජාව යටකරගන්න.

“හිත කොච්චර රිදූණත් අඬන්න බැරි, කඳුලක් ඇහෙන් වැටුණම නෝංජලයෙක් කියල සලකන, දුක කියන්න අහන්න කෙනෙක් නැති පිරිමියෙක් වෙලා ඉන්නවට වඩා මට වෙලාවකට හිතෙනවා ගෑණියෙක් උනා නම් මං අඬද්දි සනසන්න හරි කවුරු හරි ඉඳීවි නේද කියල”

ඒක තමයි භානුක Love! ඇප් එකේ සරෝජට අන්තිමටම එවපු මැසේජ් එක.

භානුක තමන්ගෙ සෝශල් මීඩියා ප්‍රොෆයිල් ඩියැක්ටිවේට් කරගත්තෙත්, පාරමී අක්කගෙ ලස්සන පවුල් ජීවිතේ පෝස්ට් ඉන්පස්සෙ තමන්ට සජෙස්ට් උනේ නැත්තෙත් ඇයි කියන එකට උත්තර සරෝජා තාම හොයනවා.

More Stories

Don't Miss


Latest Articles