“කොහොමද ඕයි තමුසෙල ඉන්ටවිව් වලින් පාස්වෙලා මේ වගේ රස්සාවල් වලට ආවෙ. මං අහන්නෙ ඉන්ටවිව් වලට එද්දි නම් තමුසෙල මහ ලොකුවට අර සීවී මේ සීවී කියල ෆයිල් පුරවන් එනවා. උස්සන් එනව විතරයි ආවයින් පස්සෙ මෙලෝ වැඩක් හරියට කරන්න දන්නෙ නෑ. මං මෙතන තොත්ත බබාලා නලවන්න වගේ තමුසෙලව එකින් එක නලව නලව වෙන්නෝන ඒව එකින් එක කියව කියව ඉන්න ඕන”
“නිවාඩු? මොකද්ද ඕයි මේ නිවාඩු ඉල්ලන් හැමතිස්සෙම තමුසෙල නාහෙන් අඬාගෙන එන්නෙ. කොයි වෙලෙ බැලුවත් තමුසෙල මෙතන නිවාඩු ඉල්ලගෙන එනව මේක අස්සට හැම තිස්සෙම. ඔහොම නිවාඩු ගත්තම කවුද ඕයි මේකෙ වැඩකරන්නෙ?”
“තමුසෙල වගේ උන් එක්ක වැඩ කරනවට වඩා හොඳයි ඕයි මමම මේව කරගත්ත නම්. ඔෆිස් එකේ වැඩ තියෙන්නෙ උදේ අටේ ඉඳල හවස පහ වෙනකම් තමයි. එහෙමයි කියලා හවස හය හත වෙනකම් වැඩක් තියෙන දවසට තමුසෙලට ගෙදර යන්න ඕනද? හවස පහට ගෙදර ගියා කියල තමුසෙ මොනව කරන්නද? ගෙදර මොකෝ ගැණියෙක් ළමයි බලන් ඉන්නව කියලද.
මම මේ කම්පනි එකේ සී ඊ ඕ තමයි. තමුසෙල දැකල තියෙනවද මෙතන වෙන කම්පනි වල සී ඊ ඕ ලා මෙහෙම දවස පුරා කම්පනි එක අස්සෙ රිංගගෙන ඉන්නවා.කවදද ඕයි තමුසෙලා මං නැතුව වැඩක් හරියට කරන්න පුරුදු වෙන්නෙ?”
ඕක තමයි අශෝක වීරරත්නගෙ කටේ ලොකුවටම තිබිච්ච ලයින් එක. “කවදද තමුසෙල මං නැතුව හරියට වැඩක් කරගන්න පුරුදු වෙන්නෙ?” කියන එක අශෝකගෙ කටෙන් අහගත්තෙ නැති එම්ප්ලොයී කෙනෙක් අශෝකගෙ කම්පනි එක වෙච්ච ඒ ඩබ්ලිව් ඉන්ඩස්ට්‍රීස් වල හිටියෙ නෑ. ඒ වගේම ඔය කතාව අශෝකගෙ කටෙන් පිටවුනේ නැති ඉන්ටවිව් එකක්, බෝඩ් මීටින් එකක් ඔය කම්පනි එක ඇතුලෙ වෙලා නැති තරම්. අශෝක ඔය බිස්නස් එක ගොඩනගන තැනට ආවෙ අමාරුවෙන් කට්ට කාලා. ඒ නිසාම අශෝක හිතුවෙ තමන්ගෙ කම්පනි වැඩකරන මිනිස්සුත් තමන් ඉස්සර කරා වගේම රෑට නින්දක් නැතුව, උදේ දවල් ඇහැරගෙන නින්දක් කෑමක් බීමක් තමන්ට කියල පර්සනල් ස්පේස් එකක් පර්සනල් ටයිම් එකක් නැතුව වැඩ කරන්න ඕන කියලා. මේ හේතුව හන්දමද මන්ද අශෝකටත් ෆැමිලි ලයිෆ් එකක් කියල දෙයක් තිබ්බෙ නෑ. කොළඹ හතේ ලොකුම ලොකු අපාට්මන්ට් එකක තනියෙන් ජීවත්වෙන්න වෙච්ච එක දුකක් ද සතුටක්ද කියල හිතන්නවත් බැරි තරම් අශෝක ඔෆිස් එකේදියි ගෙදරදියි කලෙත් මේ ඉන්න තැනෙන් තව අඩියක් ඉස්සරහට තියන්න, තමන් එක්ක එක ලෙවල් එකේ ඉන්න මිනිස්සුන්ව පහු කරගෙන අඩියක් හරි ඉස්සරහට යන්න තමයි අශෝක හැම තප්පරේකම වගෙ උත්සහ කරේ. අශෝක බලපොරොත්තු උනේ අනිත් මිනිස්සුත් ඒක කරනව දකින්න. හැබැයි එහෙම කරල ඒ මිනිස්සු තම තමන්ගෙ පෞද්ගලික ජීවිතවලින් ගොඩ යනව වෙනුවට අශෝක බලාපොරොත්තු උනේ ඒ මිනිස්සු මහන්සිවෙලා වැඩ කරලා නැහිල නැහිලා තමන්ව ගොඩ යවාවි කියන එක.
“Hard work is the key to success” කියන එක තමයි වැඩ කරන මිනිස්සු ලඟදියි වැඩ නොකරන මිනිස්සු ලඟදියි අශෝක නිතරම කිව්වෙ. ඔන්න ඔය “Hard work is the key to success” නිසා,
කවුරුහරි වැඩිපුර වෙලාවක් වැඩ කරන්න වෙන එක ගැන කම්ප්ලේන් කරොත්? “උන්ට මේ වැඩ කරන්න උවමනාවක්, උනන්දුවක් නෑ” කියල අශෝක කියනවා.
වැඩ කරල කරලා මහන්සි වගේ දැනුනොත්? “උන් මේ හරියට වෙලාව මැනේජ් කරගෙන වැඩ ටික කරන්නෙ නෑ”
කවුරුහරි වැඩ කන්දරාව වැඩි හන්දා අස්වෙන්න හිතුවොත්, “යන උන්ට යන්න දෙනවා, මට පුලුවන් මෙතන වැඩට තව සීයක් උනත් අරගෙන එන්න” කියල කියන්න අශෝක අමතක කරේ නෑ.
“තමුසෙල සන්තෝස වෙන්න ඕයි මං වගේ බොස් කෙනෙක් ලඟ වැඩකරන්න. තමුසෙල තමුසෙලට වැඩ ටික හරියට කරනවනම් මට කවදාවත් මෙහෙම ඇවිල්ලා තමුසෙලට බැනල යන්න වෙන්නෙ නෑ වගේම මට එහෙනම් ගෙදරට වෙලා ශපාන් එකේ ඉන්න තිබ්බා. කොහෙද එහෙම නිදහසක් හම්බෙනවද මට තමුසෙල හන්ද මට හැමදාම වැඩට එන්න වෙලානෙ තියෙන්නෙ?” කියලා අශෝක ඉතින් නිතරම බණීනවා කරනවා. මිනිස්සු ඉතින් එන්නෙ රස්සාවක් හොයාගන්න තියෙන අමාරුව හන්දා. සමහරුන්ට තියෙන්නෙ එක දවසක් හරි රස්සාවක් නැතුව හිටියොත් හරි රස්සාවට නොගිහින් හිටියොත් හරි කෙලවෙන ලෙවල් එකේ කමිට්මන්ට් තමයි.
වැඩ ටික ඔය විදියට කෙරීගෙන යන දවසක තමයි අශෝක උදේ වරුවෙ තව එම්ප්ලොයී කෙනෙක්ව රස්සාවෙන් දොට්ට දාලා හවස හරිම ආතල් එකේ ගෙදර ගියේ. ගෙදර ගිහින් කෑම මොනාහරි පික් මී එකෙන් ඕඩර් කරල අරගෙන කාලා ආයෙම රෑ වෙනකම් වැඩ කරල අශෝක නිදාගන්න යද්දිත් මහ රැ. ඒත් ඉතින් උදේ පාන්දරම ඇහැරෙන්න අලාම් එක තියන්න ඕනනෙ.
“සී ඊ ඕ කෙනෙක් නැතුව වැඩ ටික වෙයි” කියල දවසෙ අන්තිම වතාවටත් හිතන ගමන් ඔෆිස් එකේ ඉන්න හැම එම්ප්ලොයි කෙනෙක්ටම බණින ගමන්, වැඩ ටික ඔටෝ වෙන්නෙ නැති වෙන එක ගැන තරහෙ පුපුර පුපුර තමයි අශෝක නිදාගන්න ගියේ. පස්සෙන්ද උදේ අලාම් එකට අශෝක ඇහැරුණා, සුපුරුදු විදියට.
ඒත් අනිත් කිසිම දෙයක් උනේ, තිබුනෙ, කෙරුනෙ නම් සුපුරුදු විදියට නෙවෙයි. වෙනදට හරිම ලේසියෙන් මූණ පෙන්නුම ඕපන් වෙන ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එක ඕපන් උනේ නෑ. කොටින්ම පාස් වර්ඩ් ගහලා ලැප්ටොප් එකට ලොග් වෙලා ඔෆිස් එකේ ඊමේල් වලට, බැන්ක් අකවුන්ට්ස් වලට එහෙම ලොග් වෙන්න හැදුවත් එරර් කෝඩ් එකක් ආව මිසක්කා අශෝකට වෙනදා වගේ ලේසියෙන් වැඩපල ටික නම් කරගන්න පුලුවන් උනේ නෑ. ලැප්ටොප් එකටයි ෆෝන් එකටයි ඇක්සස් අරගන්න බැරිවෙච්ච තරහත් එක්ක ඒකත් ඔෆිස් එකේ ඉන්න එම්ප්ලොයීස්ලගෙ පිටින් යවන්න බලාගෙන තමයි අශෝක එදා ඔෆිස් එකට ගියේ. ගියා කිව්වට ඒ ගමනත් ඇත්තටම අශෝක ගියේ හිතාගන්න බැරි විදියට. වෙනදට තමන්ව දැක්කම ගුඩ් මෝනින් කියන අපාට්මන්ට් ලිෆ්ට් එකේ ලිෆ්ට් ඔපරේටර්, පල්ලෙහ ඉන්න සෙකියුරිටි ගාඩ්වත් වෙනදා වගේ ගුඩ් මෝනින් කිව්වෙවත් හිනා උනේවත් නෑ. කොටින්ම ඒ මිනිස්සු හරියට තමන් දිහා බැලුවෙ මීට කලින් කවදාවත් දැකලා නැති මනුස්සයෙක් දිහා “මූ මොකාද?” කියල වගේ කියන එකත් අශෝකට හිතුවා.
ඒත් ඉතින් එහෙම වෙන්න බෑනෙ. මොකෝ තමන් මේ අහසින් කඩාපාත්වෙච්ච මනුස්සයෙක්ද?
තමන් එන්න පරක්කු වෙච්ච හන්දා වගේම ඔෆිස් එකේ කිසිම සයිට් එකකට ලොග් වෙන්න බැරිකම නිසාම අශෝක හිතුවෙ උදේ පාන්දර ඔය ප්‍රශ්නෙ ඔෆිස් එකේ මිනිස්සුන්ටත් ඇවිල්ලා ඇති කියලා ඒ උනාට ඔෆිස් එක තිබුනෙ අනිත් නෝමල් දවසක වගේ වැඩ ටික කරගෙන යන ගමන්. නෝමල් දවසක් කිව්වට එහෙමම නෙවෙයි, ඇත්තටම තමන් ඉන්න දවසට වැඩ ටික වෙනවටත් වඩා හොඳ විදියට. හරියට හැමදේම මැශින් එකකින් වෙනවා වගේ.
“මෙහෙම වෙන්න පුලුවන්ද? මං නැතුව මුන් කවදාවත් මෙහෙම වැඩ කරේ නෑනේ? අනික මට ලොග් වෙන්න බැරිවෙච්ච එකේ මුන් කොහොමද ලොග් වෙලා වැඩපල ටික කරගන්නෙ?” කියන ප්‍රශ්නෙ හිතේ තිබිච්ච හන්දම තමයි අශෝක ලොබි එකේ උන්නු රිසෙප්ශනිස්ට් ලඟට ලංවෙලා කතා කරේ.
“ශෙරීන් මට අද උදේ අපේ ඔෆිස් සර්වර්ස් වලට ලොග් වෙන්න බැරිඋනානෙ, පොඩ්ඩක් අයිටී එකේ කාටහරි ඇඉත් මගෙ ලැප්ටොප් එක බලන්න කියනවද?” කියල අශෝක ඔෆිස් එක ඇතුලට යන්න හැදුවට ඒ ගමන නතර උනේ ශෙරීන්ගෙ මූණෙ ඇඳිල තිබිච්ච ලුක් එක. ඒ ලුක් එක අද උදෙත් තමන් අපාට්මන්ට් එකේ සෙකියුරිටි ගාඩ්ගෙ, ලිෆ්ට් ඔපරේටර්ගෙත් දැක්කා නේද කියන එක මතක් වෙච්ච හන්දමයි අශෝක ඉස්සරහට තිබ්බ අඩිය ආයෙ පස්සට තිබ්බෙ.
“ශෙරීන්, මං කියන දේ අහගෙන නෙවෙයිද මනුස්සයො ඉඳියෙ?” කියල තමන් සද්දෙට අහද්දි වෙනදට බයවෙල කලබල වෙලා වැඩ කරන මනුස්සයා ඒ කිසිම දෙයක් නොකර තමන් දිහා බලාගෙන ඉඳියෙ “මේ මොකාද?” කියලා කියන්න වගේ කියන එක අශෝකට නොතේරුනා නෙවෙයි.
“ශෙරීන්”
“ඉයස්”
“මං කිව්ව දේ ඇහුනෙ නෑ වගේ ඉන්නෙ මොකද මනුස්සයො? ඇස් දෙක උඩ දාගෙන ඉන්නෙ හරියට මාව මේ මීට කලින් දැකලා නෑ වගේනේ”
“මම දැකලා නෑ තමයි සර්ව මීට කලින්. සර් කවුද? කාව හම්බුවෙන්නද මේ ඔෆිස් ප්‍රෙමිසස් වලට ආවෙ? අපොයින්ට්මන්ට් එකක් දාලාද ආවෙ?”
“මගේ ඔෆිස් එකට එන්න මම මොකටද මනුස්සයො අපොයින්ට්මන්ට් දාන්නෙ?”
“සර්ගෙ ඔෆිස් එක? සර් කවුද?”
“මම කවුද? මම කවුද කියලා අහන්නෙ? තමුසෙට පිස්සුද ශෙරීන්? තමුසෙට අමතකද මම තමයි මේ ඔෆිස් එකේ සී ඊ ඕ කියල?”
“සී ඊ ඕ?”
“ඔව්”
“සොරි මම හිතන්නෙ සර්ට ලොකු වැරදිමක් වෙලා. අපේ ඔෆිස් එකේ සී ඊ ඕ කෙනෙක් නෑ සර්. එහෙම කෙනෙක් කවදාවත් අපෙ ඔෆිස් එකෙ ඉඳලත් නෑ. සර් මම හිතන්නෙ ඇවිත් තියෙන්නෙ වැරදි කම්පනි එකකට?”
“සී ඊ ඕ කෙනෙක් නෑ? වැරදි කම්පනි එකකට? පිස්සුද ඕයි තමුසෙට? මට අඳුරගන්න බෑ කියල හිතුවද මම අමාරුවෙන් අවුරුදු ගාණක් ගොඩනගපු බිස්නස් එක? අනික සී ඊ ඕ කෙනෙක් නැතුව කම්පනි එකක් රන් වෙනවද ඕයි? කොහොමද මේකෙ වැඩ ටික මෙච්චර හොඳට වෙන්නෙ?”
“සී ඊ ඕ කෙනෙක් නැතුව සර්. මේකෙ වැඩ ටික මෙච්චර හොඳට වෙන්නෙ සී ඊ ඕ කෙනෙක් නැති හන්දා”