“දැන් ඔය කියන ඔඩිශන් ද මොකද්ද එක තියෙන්නෙ කොහෙද?” කියලා අම්මා පරිප්පු එක ඒදන ගමන් ඇවිල්ල අහද්දි මාලවී උන්නේ කොණ්ඩෙ පීරන අතරවාරෙම කණ්ණාඩියෙන් පේන තමන්ගෙ රූපෙ දිහා බලන ගමන්. වෙන වෙලාවක නම් මෙච්චර කොට ටොප් එකකුයි ඩෙනිම් එකකුයි ඇඳගෙන මේ හවුසින් ස්කීම් එකෙ ඉන්න හැම එකාටම පේන විදියට එලියට බහින්න හිතට පොඩ්ඩක් අවුල් වගේ උනාට අද නම් මාලවී ඉඳියෙ “නිළියෙක් වෙලා මිස ආයෙ එන්නෙ නෑ” කියන සීන් එකෙන් හන්දා ක්‍රොප් ටොප් එක කොච්චර ක්‍රොප් ද කියන එකවත් ඩෙනිම කොච්චර හිරද කියන එකවත් හීල් එක කොච්චර උසද කියන එක මාලවීට ඇත්තටම වැදගත් උනේ නෑ.
නිළියක් වෙන්න ඕන කියන එක මාලවීගෙ ඔලුවට ආවෙ ඉපදිලා මේ ලෝකෙට එද්දිම. පොඩි කාලෙ ඉඳල ගෙදරට කවුරුහරි ආවම ඉස්සරහට ඇවිල්ල නටලා, සින්දු කියන එක. මොන්ටිසෝරියෙ ඉඳල ඉස්කෝලෙ යන කාලෙ වෙනකම්ම ඉස්කෝලෙ තියෙන නැටුම් ගැයුම් හැම එකකටම වගේ පැනගෙන ගිය හන්දා පොඩි වයසෙ ඉඳලම මාලවී හිතන් හිටියෙ කවදහරි ලොකුවෙලා නිළියක් වෙනවා කියල තමයි. නිළියක් වෙන්න ලොකුවෙන්නම ඕන උනේ නැති උනාට පොඩි කාලෙ ඔය ටීවි එකේ යන ඇඩ් එකකට දෙකකට ඔලුව දාගත්තට එතනින් එහා නිළියක් විදියට කරියර් එකක් හදාගන්න තරම් දුරක් යන්න මාලවීට පුලුවන් උනේ නෑ.
“ඔය සමහරු පොඩි කාලෙම රඟපාන්න එනවනෙ. පොඩි කාලෙ චරිත කරල ජනප්‍රිය උනාට අන්තිමේ ලොකු වෙද්දි මුකුත්ම නැ. එහෙම ටක්ගාලා මාකට් වෙනවට වඩා හොඳයි ටිකක් පරක්කු වෙලාම වැඩේ පටන් ගන්න එක, පොඩි කාලෙ ඉන්නවට වඩා ගාණක් හොයාගන්න උනත් පුළුවන් නෙ” කියල තමයි ඒ වෙලාවෙ මාලවී අහන අහන අයට තමන්ගෙ පැත්තෙන් කතාව සාධාරණීකරණය කරන්න ගියේ. මාලවීටම තකට තක මාලවීගේ අම්මා. මාලවීලගෙ තාත්තා නෑ. තාත්තා කියන කෙනෙක්ව මාලවී ඇත්තටම දැකලත් නැ. අම්මා කටුනායක ගාමන්ට් පැක්ටේරියක වැඩට යද්දි හම්බෙච්ච ලයින් ඔපරේටර් කෙනෙක් එක්ක හදාගත්තෙ සම්බන්ධෙක ප්‍රතිපලයක් විදියට තමයි මාලවී මේ ලෝකෙට ආවෙ. තමන්ට තාත්තා කෙනෙක් නෑ කියන එක, අම්මා වෙච්ච රැවටීමක රිසල්ට් එකක තමයි තමන් කියන එක මුල් කාලෙදි මාලවීට පොඩ්ඩක් ලැජ්ජාවක් උනාට මොකෝ කවදහරි නිළියක් වෙලා ටීවී ප්‍රෝග්‍රෑම් වලට ගියාම, සම්මාන උලෙලවල් වලදි එහෙම කියන්න මාලවී පස්සෙ ඒකට උත්තරයක් හදාගත්තා.
“අපේ අම්මා හරිම අමාරුවෙන් තමයි මාව මේ තැනට අරගෙන ආවෙ. මාව මෙතනට අද අරගෙන එන්න ඔයාලගෙ ආදරේ කොච්චර උදව්වක් උනාද කියන වගේම මගේ අම්මා වෙච්ච මහන්සිය, දුක, වේදනාව තමයි මේ ගමන එන්න මට පඩිපෙලක් වගේ හදලා දුන්නෙ. ඉතින් මේ සම්මාන ඔක්කොම අයිතිවෙන්න ඕන මගෙ අම්මට. තාත්තා කෙනෙක් නැති දුවෙක්…” අන්තිම ඒ වචන ටික කියලා මාලවි කණ්ණාඩිය ඉස්සර ඉඳන් ඕක රඟපාන්නෙ අතේ තියෙන වතුර බෝතලේ දිහා සම්මානයක් දිහා බලනව වගේ බලාගෙන හොඳ හුස්මකුත් එලියට විසික්කරලා.
“තාත්තා කෙනෙක් නැති දුවෙක් කියන වචන ඇතුලෙම කොච්චර ලොකු බරක් තියෙනවද නේද? අහගෙන ඉන්න ඔයාලට වගේම කියන මටත් ඒ බර දැනෙනවා. ඒත් බර ඇත්තටම කරේ තියන් හිතේ තියන් ඉන්න උනේ මගෙ අම්මට. ඉතින් මේ සම්මාන ඔක්කොම අයිතිවෙන්නෙ මගේ අම්මට” කියල බොරුවට කඳුලක් හෙලලා, සමාජෙ ඉස්සර හොඳම නිළිය වගේ වෙන්න රඟපාන්න නම් මාලවීට උපරිම හැකියාව තිබ්බා.
“ඔඩිශන් එක තියෙන්නෙ නුගේගොඩ. ගර්ල්ස් එකේ” කියල අම්මා ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙන ගමන් උනත් මාලවී නෙවෙයි කණ්ණාඩියෙ ඇඳිලා තිබිච්ච තමන්ගෙ රූපෙන් එක මොහොතකටවත් ඇස් දෙක එළියට ඇදලා ගත්තෙ.
“දැන් ඕකද ඔය ඇඳගෙන යන්නෙ?” කියල අහන ගමන් අම්මා වෙච්ච කාන්තිලතා කරේ පරිප්පු එක ඒදන එක තප්පරේකට විතර නතර කරලා අනෙක් අතෙන් එහෙ මෙහෙ වෙලා තිබිච්ච මාලවීගේ කෙස් කැරල්ලක් හොඳයි කියල හිතිච්ච විදියට හරි ගස්සපු එක අනේ.
“ඔව්, අනේ අම්මේ ඔය පරිප්පු ඒදන ගමන් මගෙ කොණ්ඩෙ අල්ලන්න යන්න එපා. මම මේ උදේ ඉඳන් කොච්චර අමාරුවෙන්ද හදාගත්තෙ” කියලා මාලවීගෙ කෑගැහිල්ලට උනත් කාන්තිලතා නෙවෙයි බය උනේ. අනික ඉතින් ඔයා මාලවීගේ කෑගැහිල්ල කාන්තිලතාට නුපුරුදු එකක් ය. මාලවීට කතා කරන්න පුලුවන් දවසෙ ඉඳලම ඔය කෑගැහිල්ල අහන් ඉඳල පුරුදු වෙච්ච ගෑණි නෙව කාන්තිලතා කියන්නෙ.
“හරි හරි, අනේ මන්දා මට නම් ඔය ඇඳුම එච්චර හරි නෑ කියල තමයි හිතෙන්නෙ”
“ඇයි ඒ?” කියල කියන ගමන් මාලවී එක තප්පරේකට අම්මා දිහාවට ඇහැ යැව්වේ අම්මා එහෙම කියන්නෙ ඇයි කියල අහන්න වගේ.
“කරන්න තියෙන චරිත මොකද්ද කියන එක දන්නෙ නැති බව හැබෑව. ඒ උනාට ඔය පොඩ්ඩක් සංවර විදියට ඇඳන් ගියා නම් මොකෝ. මිනිස්සු එතකොට තමයි පොඩ්ඩක් වෙනස් විදියට දකින්නෙ. චීත්ත ගවුමක් වගේ ඇඳල කොණ්ඩෙ ගොතලා ගියානම් මං කියන්නෙ හොඳයි කියල. ඉස්සර මතක නැද්ද අර ඕලු ලා එහෙම? හරි සංවරයිනෙ. මිනිස්සු තාම ආදරෙයිනෙ ඕලුලට”
“අනේ අම්මෙ මේ, ඉස්සර මේ එහෙම ලේසියෙන් රඟපාන්න එන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ කාටවත්. ඒ හන්දා චීත්තයක් නෙවෙයි මොන මගුල ඇඳන් ගියත් මූණ ලස්සන නම් ගත්තා. දැන් එහෙම නෙවෙයි. මූණ ලස්සන උනාට මදි. ටික්ටොක් ටිකක් එහෙම කරලා, පොඩ්ඩක් ලස්සනට ඇඳලා ඉද්දි තමයි අපි උනත් අප්ඩේටඩ් කියල තේරෙන්නෙ බලන අයට. ඔය ඉස්සර වගේ අහිංසක මූණු දාලා දැන් මිනිස්සුන්ව අල්ලගන්න අමාරුයි අප්පා” කියන ගමන් මාලවී ආයෙ කණ්ණාඩිය දිහාවට හැරුණෙ තව පොඩ්ඩක් ලිප්ස්ටික් ගාගන්න කියලා හිතාගෙන.
“නැන්දේ…. කෝ අපේ මාලවී ලෑස්තිද?” කියලා අහගෙන සප්තමී ගෙට ආවෙ ආන් ඒ වෙලාවෙ. සප්තමී ඇඳලා උන්නු කලු පාට කුර්තා කලිසමයි, කලුයි, රතුයි, සුදුයි මෝස්තරේ ගිය කුර්තා ටොප් එකයි දැක්කම නම් මාලවීත හිතුනා මේ ගමනට සප්තමීව අරන් යන්න තීරණේ කර එක හොඳ විත්තිය.
“මොක උනත් කෙල්ලො දාහක් මැද්දෙ උනත් මාව කැපිලා පේනවා” කියලා හිතන ගමන් තමයි මාලවී සප්තමීට ඇහෙන්න කතා කරේ.
“මං රෙඩී, විනාඩියක් දෙන්ඩෝ”
“අම්මටසිරි මෙයා බලන්නකො නැන්දෙ, අද පොඩි කෙල්ලෙක් වගේනේ?” කියාගෙන සප්තමී හිනාවී ගෙන එද්දි කාන්තිලතාගෙයි මාලවීගෙයි දෙන්නගෙම මූණෙ නම් ඇඳිලා තිබ්බෙ පුදුමාකාර ආඩම්බර හිනාවක්.
ඒ හිනාව එක්ක තමයි සප්තමී එක්කල මාලවී වටේ පිටේ ඉන්න හැමෝටම පේන්න ආඩම්බර මූණකුත් දාන් ඇවිල්ලා ෆෝන් එකෙන් ඕඩර් කරපු පික් මී කාර් එකට ඇවිල්ලා නැග්ගෙ.
“මොකෝ අද කාර් එකක් දැම්මෙ?” කියල අහන ගමන් තමයි සප්තමී වාහනේට නැගලා මාලවීටත් නගින්න ඇහැක් විදියට සීට් එකේ කෙළවරට ගියේ.
“බෑ අප්පා ටුක්වල යන්න. අනික අද මේ කොණ්ඩෙත් ලූස් හෙයා දාගෙන ටුක් එකේ ගියොත් හුලඟට අහුවේලා ඔඩිශන් තියෙන තැනට යද්දි කොණ්ඩෙ බූසිය වගේ වෙලා මල විකාරයක් වගේ තියේවි. මං ඒකයි කාර් එකක් දැම්මෙ. අනික ඉතින් පොඩ්ඩක් පේන්න යන්න ඕනනෙ. නැත්තම් එතන ඉන්න උන් හිතාවි අපිත් මේ එදා වේල ටුවර් සීන් එක කරගන්න රඟපාන්න එනවා කියලා”
“එතකොට දැන් මේ කාර් එකේ ගියාම ඒ මිනිස්සු මොනවා හිතාවි කියලද උඹ හිතන්නේ?”
“එතකොට හිතාවි පැශන් එක හන්දා රඟපාන්න එනවා කියල. ඔන්න බලන්නකො මට හොඳටම ශුවර් අද නම් මට පාට් එකක සෙට් වෙනවමයි කියල. මං කෝකටත් ෆෝන් එකට දාන් ආව අර මම පොඩි කාලෙ ඉඳපු ඇඩ්වල කෑලි බෑලි දාලා හදපු ටික්ටොක් වීඩියෝ එකක්. පෙන්නන්න බැරිය”
“අද ඔඩිශන් එකට එන ඩිරෙක්ටර් කවුරු කියලද කිව්වෙ?”
“අර වසන්ත කළුආරච්චි කියන්නෙ, ආන් ඒ මනුස්සයා”
“ආහ් අර තිත්ත ජීවිතේ ෆිල්ම් එක කරේ එයා නේද? ඒ මනුස්සය ටෙලි ඩ්‍රාමාත් කරනවද?”
“ඔව්ලු. මාත් දැනගත්තෙ මේ ඔඩිශන් එකේ මනුස්සයගෙ නම් තියෙද්දි”
“මේකෙන් සිලෙක්ට් උනා කියන්නෙ ඉතින් ආයෙ එහෙනම් ෆිල්ම් එකකුත් ශුවර් නේද?” කියලා සප්තමී අතට තට්ටු කරල කියද්දිත් මාලවී නම් උන්නෙ අර ආඩම්බර පාට ආයෙම මූණෙ තවරන්.
“නිකන් ඉන්න එකේ උඹත් වරෙංකො ඔඩිශන් එකට” කියල මාලවී නිකමට කියද්දිත් සප්තමී නම් කලේ හිනාවෙන එක.
“අනේ මං හරියනවද බං ඔය රඟපාන ඒවට? උඹටනෙ ඉස්සර ඉඳලම නිළියක් වෙන්න උවමනාව තිබ්බෙ”
“හරී නිළියක් වෙන්නම නෙවෙයි. නිකම් ඉතින් ආතල් එකට ඇවිත් බලපංකො” කියලා කියන ගමන් පික් මී කාර් එක ඇවිල්ලා ඔඩිශන් එක තියෙන තැන නතර කරාම මාලවී බහින්න කළිනුත් ආයෙම ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් බලාගෙන මේකප් එකේ අඩුපාඩු ටිඅකක් ටචප් කරගත්තා.