මේ ඒ වසන්තයයි – 3

0
3157

 
ඉසිනි ඉරිදා ඇහැරුනේ නිවෙස් අස් පස් කිරීමට පැමිණෙන කාන්තාව ගේට්ටුවට ගසන හඬිනි. ඕ අඩ නින්දෙන්ම ඇවිද ගොස් ගේට්ටුව විවෘත කලාය. ගෙවුණ රැයේ නොවූ නින්ද ඇය සොයා ආවේ පාන්දරට වෙන්නය. තවමත් ඇස් නිදිබරව ඇත්තේය. නින්දක් අවැසිවාට නිදාගත්තා නොව, ඉසිනිට අවැසිව තිබුණේ සියල්ල අමතකව යන්නට නිදන්නය..

” මං හතට විතරත් ඇවිල්ලා කතා කරා කරා නෝනේට ඇහුන් නෑ.. ඒ පාර මම ආයේ ගෙදර ගිහිල්ලා මේ ආවේ…”

කාන්තාව ඉසිනි දෙස විමසිලිමත්ව බලමින් කිවාය. ඉසිනි ඇය දෙස නොබලාම ඉදිරියට ඇවිද  ගියාය.  වෙනදාට ඇගේ පැම ඉසිනිට සුවය වුවද, අද දැනෙන්නේ වදයකි.

” නෝනේ අසනීපෙන්ද ?..”

මවුවත් ගුණ දරන කාන්තාව අඩියට දෙකට ඉසිනිට ඉස්සර වෙමින්, ඇය දෙස විමසිලිමත් බැලුම් හෙලමින් විමසුවාය. ඉසිනි ඇය දෙස නොබලාම නිවෙසට ඇතූලු වූවාය. එහෙත් යමක් පැවසිය යුතු බව සිතා යළි නැවතුණාය.

” ඊයේ නින්ද  ගියේ නැහැ නැන්දේ .එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියා විතරයි…. පාන්දරට වෙන්න නින්ද ගියේ…නිදිමතයි….”

“හත් ඉලව්වේ ඒ මොකෝ … ඇඟට අමාරුවක්ද ?…මේ දවස් වල ඩිස්පෙන්සරියෙත් පෝලිමට උණ ලෙඩ්ඩුලු …. මං පස් පංගුවක් තම්බලා දෙන්නම්….”

ඇය කලබල සෙනෙහසකින් කීවාය.

“අනේ මන්දා … එහෙමට කියන්න අමාරුවක් නෑ…. අනෙක මම එහෙම කොහෙවත් ගියෙත් නෑ උණක් බෝවෙන්න තරම්.”

“ඇස් දෙකත් එක්ක තඩිස්සි වෙලානේ නෝනෙ… හාන්සි වෙලා ඉන්නකෝ ඩිංගක්…මං රස්නෙන් බොන්න තේකක් හදන් එනකල්…”

ඉසිනි ඇය මඟ හරිමින් කාමරය වෙත ඇවිද ගියාය. හැඬීමෙන් තඩිස්සි වී ගිය ඇස් ඇගෙන් සඟවා ගත යුතුය. එසේ නොවන්නට ඇය ප්‍ර්ශ්න කිරීම නොනවත්වන බව ඉසිනි දනී.

” මට තව ටිකක් නිදාගන්නම් නැන්දේ.. තේ එපා..ආයේ උදේට කන්න මුකුත් එපා… දවාල්ට මොනා හරි හදලා තිව්වම ඇති … ගෙවල් අස් කරලානම් නෑ සතියේම.. නැන්දා සිරිපාදේ ගිය එකෙන් මට පාඩුව…”

“එව්වා මං කොරන්නම්… උදේට නොකා ඔය හෙන්ඩත් ගතිය යන්නේ නෑ… නෝනේ මූණ කට සෝදගන්නකෝ.. එහෙනම් මං කිරිබත් ඩිංගක් හදන්නම් …. රස්නෙට කෑවම ඔය ගතිය හරියාවී…”

ඉසිනි එයට පිළිතුරු නොදීම යළි සයනයේ පෙරලුනාය. එහෙත් ඇයට වැඩි වෙලා එහෙම ඉන්නට නොලැබුනේ අම්මාගෙන් ආ ඇමතුම නිසාය. අම්මා  කලබල නොවිය යුතු නිසා ඕ වීඩියෝ ඇමතුම පිළිගත්ත්තේ යන්තමින් මුහුණ සෝදාගෙනය.

” ලෙඩ වෙලාද චූටි ..?”

“ඊයේ ටිකක් රෑ වෙනකල් වැඩ වගයක් කලා අම්මා…නිදිමතයි…”

”  ඒකනේ.. වෙහෙස පේනවා…”

ඉසිනි සිනාසී තාත්තා කොහිදැයි  විමසුවාය. සීතලට අඳින ඇඳුමින් සැරසී උන් තාත්තා දුරකතන තිරයට ආවේ අක්කාගේ වැඩිමල් පුතුද සමඟය. ඉසිනිට මොහොතකය උන් වේදනා අමතක විය. පුතු තොරතෝංචියක් නැතිව ඉසිනි හා  කියවන්නට වූවාය.

” මමයි ඩැඩයි මල්ලිට බේත් ගේන්න ගියා..”

පුතු එලෙස පැවසූ පසු ඉසිනි කලබල වූවාය. අම්මා වහා ඇමතුම හා සම්බන්ධ වී, එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් බව පවසනතුරුම  හදවත සන්සුන් වූයේ නැත.

” දැන් දවසම සීතල නිසා ඔහේට පොඩි දෙන්නාව ටිකක් බලන්න අම්මා..”

” මාත් අක්කට කිව්වා.. කොහෙද ඉතින් .. ඒගොල්ලෝ ඒක එච්චරට හිතන්නේ නැහැනේ…”

“නොහිතා බැහැනේ… කෙයිල්ට තවම අවුරුද්දක්වත් නැතුව ඔහොම සෙම හැදෙන එල නිතරම බයයිනේ..”

“ඔයාම අක්කා එක්ක ඕක කියන්නකෝ..”

“එයාට කතා කරන්න බෑනේ… කතා කරපු ගමන් කියවන්නේ ඔක්කොම දාලා මට ඔහේ එන්න කියලානේ.. ඊලඟට රණ්ඩු ..”

“නොකිව්වට මගේ හිතේ තියෙන්නෙත් ඒකමයි චූටි පුතේ.. ඔයාව ඔය මූකලානේ දාලා අපි මෙහෙම ඉන්නේ ලේසියෙන් නෙවෙයිනේ…අඩුම කොළඹවත් නම් ඔයා හිත හදාගන්න තිබුනා..”

“අනේ අම්මා.. ආයේ ආයෙම එකම දේ කියන්නෙපා අම්මා.. මං කිව්වනේ.. මට මෙහෙ හොඳයි… මට ඕනි වැඩ කරන්න..බිසි වෙන්න… ඒකට මෙහෙ ඕනිවටත් වඩා ඉඩ තියෙනවා අම්මා.. මං එදත් කිව්වා වගේම, මේ දේවල් දාලා එන්න ඕනි හිතුණ පළවෙනි වතාවේම මම එන්නේ අම්මලා ගාවට අම්මා.. ආයේ ඒකේ සැකයක් තියාගන්න එපා…”

ඉසිනි ඉතා ඉවසීමෙන් කීවාය. අම්මා එයට එරෙහිව කිසිත් නොකී නිසා කතා බහ අන් දෙසකට යොමු විය. ඉන් පසුව ඉසිනි ඇමතුම ව්සන්ධි කලාය. උදෑසනට කිරිබත් සකසා තිබු නිසා ඕ දවාලටත් එක්කම කෑවාය. සිත් සේ නාගත්තාය. වෙනදාට නිවෙස අස් පස් කරගන්නට ඇයත් උත්සුක වන නමුත් අද ඇය ඒ කිසිවක් වෙනුවෙන් උනන්දු නොවන බව අත් උදව්වට එන කාන්තාව   වූ සෝමා බලා උන්නේ විමසිල්ලෙනි.

අලුත් නෝනා දික්කසාද වී සිටින බව ඇය දනී. ඇතැම්විට මේ වෙනස අතීතයේ වූ බැඳීම් බිසා වන යම් වේදනාවක් නිසා විය හැකි යැයි ඕ සිතුවාය. ඉතා කාරුණික ගැහැණියක් වූ ඇයට එවන් වේදනාවක් උරුම වන්නට ඇත්තේ පෙර සංසාරයේ වූ යම් පාප කර්මයක් නිසාවෙන් විය හැකියැයි සෝමා සිතුවාය.

” නෝනා… හවහට අපේ රාජමහා විහාරේ පිංකම… නෝනාත් යං…”

සෝමා කල් යල් බලා ඉසිනි වෙත ගොස් එලෙස කීවේ සැබෑ මවුවත් කමිනි. ඉසිනි දිනය පුරාම සිටින්නේ වෙනදාට වෙනස් ස්වරූපයක බ්ව සෝමා හොඳ හැටිම තහවුරු කරගෙන උන් නිසාම ඈ සිටින මානසික මට්ටම කෙලෙසකින් හෝ බිඳ දැමීම කල යුතු බව සෝමා තීරණය ක ර තිබුණාය.

” අනේ කම්මැලියි නැන්දේ..”

“ආයේ ඉතින්.. මෙලොවට කොච්චරක් කරගෙනත් වැඩක් නෑ එලොවට  දෙයක් කරගන්නේ නැතුව… මහ දුරක් යැ… නෝනේගේ හිතටත් හොඳයි ගිහින් ආවාම..”

සෝමා හා එරෙහිව කතා නොකරම ඉසිනි නිහඬව උන්නේ කොහොමටත් තමා අද දිනයේ නිවසින් එළියට නොබසින බවට තීරණය කරගෙනය.  එහෙත් සැණින් යමක් සිහි විය.

“නුරානුත් ඒවිද ?…”

ඉසිනි වහා සෝමා සොයා ගියාය. ඕ උන්නේ වියැලුණු රෙදි නවා දමමිනි

” ඔය රජමහා විහාරේ කියන්නේ අර පැහැසරා මිස්ලාගේ පැත්තට වෙන්න තියෙන පන්සලද සෝමා නැන්දේ ?”

“කවුද නෝනේ පැහැසරා මිස් කියන්නේ ?”

එක්වරම සිහියට නොආ බැවින් සෝමා විමසුවාය. ඉසිනි සෝමා සහ පැහැසරා සම්මුඛ වූ අවස්ථාව කල්පනා කලාය.

” අර අපි ගිය සතියේ ටව්න් ගිහිල්ලා බඩු අරගෙන එනකොට, චූටි බබෙක් එක්ක අපේ ඔෆිස් එකේ කෙනෙක් ඇවිල්ලා කතා කලේ … අපි පස්සේ ඒ දෙන්නාව ඇරලවලා ආවේ ගෙදරටම…”

“ආං හරි.. ඒ පාරේ තමා.. මට ඒ කතාව නෝනාට කියන්න අමතක උනානේ… අපේ කෙලී වැඩට යන  ඔපීසියේ මන්දිනු මහත්තයාගේ  නෑනා නේ ඒ නෝනා… මන්දිනු මහත්තයාගේ අයියා තමා ඒ නෝනා බැඳලා ඉන්නේ….”

සෝමා එලෙසින් පවසද්දී ඉසිනිගේ ගත පුරාම විදුලි සැර ලෙසින් වන  තිගැස්මන් පැතිරුණේය. ඕ කිසිවක් විමසා ගන්නට වචන ගලපා ගත නොහී, සෝමා ඊළඟට කුමක් පවසන්නට යන්නේදැයි සිතා ගන්නට නොහැකිව බලා උන්නාය.

” අද පිංකම කරන්නේ මන්දිනු මහත්තයා…. අපේ කෙලීලාත් උදේ ඉඳන්ම එහෙ වැඩ…’

සෝමාගේ වචන වලින් තමා වෙත කාන්දු වෙන්නේ කිනම් හැඟීමක්දැයි සිතා ගන්නට නොහැකිව මෙන් ඉසිනි බලා උන්නාය.

“. ආහ්.. මට නෝනේට කියන්න බැරි වුනානේ…ඊයේ එහෙ බබාගේ උපන්දිනේ තිබුණානේ.. අනේ අපි ඔක්කොටම කෑම එවලා තිබුණා… නෝනාත් එහෙ උන්නා කියලා කෙලී කිව්වේ මට මේ උදේ එන්න ලෑස්ති වෙනකොට… නෝනාට ආස්‍රේට නම් ගැලපෙන මිනිස්සු ඕං ඒ…. මන්දිනු මහත්තයා වුනත් අපූරු ඉළන්ධාරියා.. මේ ගමම ගොඩ දැම්මේ ඒ හිතේ තිබුණ සැලසුම් වලින් තමයි…..”

සෝමා දිගින් දිගටම කියද්දී ඉසිනිගේ හිස පුපුරා යන වේදනාවක් නළල දෙසින් මතුවිය. ඕ ආපසු හැරුණාය.

| අපේක්ෂා ගුණරත්න | 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here