ආයෙමත් ආදරෙන්

අරුණලු සහ සෙව්වන්දි උන්නේ විවාහය අත් හරින්නට සූදානමිනි. වසර පහක් තිස්සේ එකිනෙකා කෙරෙහි නොවූ යම් දුරස් බවක් පසුගිය මාස කිහිපය තුළ ඇතිවී ඇති බව දෙදෙනාටම දැනේ. තව දුරටත් ඒ ගැන කතා බහ කරන්නට තරමේවත් උනන්දුවක්ද දෙදෙනා තුල නොමැති බව වටහා ගත් පසු සෙව්වන්දි වෙන් වීම පිළිබඳව යෝජනාව ගෙන ආවේ එකිනෙකා දකින විට පවා ඉවතක් බලමින්, එක් නිවසක් තුළ ජීවත් වීම පලක් නොමැති බව ඇයම තීරණය කරමින්ම නොවේ. හදිසි කෝපයක් නිසාවෙන් අවධානය ඉල්ලීමේ මඟක් ලෙසිනි.

” ඔව් … මට හිතෙන්නෙත් අපි කතා බහ කරලා වෙන් වෙන එක හොඳයි … අපි මෙහෙම ඉන්න එකෙන් , අපි දෙන්නාට වගේම අපි වටේ ඉන්න මිනිස්සුන්ටත් අසාධාරණයක් වෙන්නේ .. ඔයා ගැලපෙන විදියක් බලලා ඇරේන්ජ් කරන්න …”

සෙව්වන්දිට තමාගෙන් වෙන්වන්නට අවශ්‍යව ඇත්තේ ඇය රිසි අන් ජීවිතයක් ඇරඹීම සඳහා  යැයි තනිවම තීරණය කර අරුණලුද එලෙසින් පිලිතුරු දුන්නේය. දෙමාපියන් දෙදෙනා යලි එක් කිරීම සඳහා දැරූ එකඳු උත්සාහයකටවත් ඒ තීරණය වෙනස් කරන්නට ඉඩක් ලැබුනේ නැත.

” අපි එකට ජීවත් වෙනවා තීරණය කලේ අපි .. දැන් එහෙම එකට ඉන්න බැරි නම් දෙපැත්තකට වෙන්න තීරණය කරන්නේත් අපි …”

අරුණලු සාමදාන කිරීම ගැන කතා කරන්නට ආ වැඩිමහල් සොයුරියට අවසානයේ දැඩි හඬින් කීවේය. දවසින් දවස ඔවුන් දෙදෙනා කෙතරම් ආදරයෙන් උන්නාදැයි මතක් කරමින්, වෙන් වීමට ගත් තීරණයට හේතු විමසන සමීපතමයින් නිසා අරුණලු උන්නේද යම් ආතතියකිනි.

” ඒක හරි මල්ලී .. ඒත් මම අහන්නේ ඇයි කියලා.. මොකද්ද හේතුව එකපාරටම වෙන් වෙන්න තීරණය කරපු ?… මිනිස්සුන්ට එකට ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා… ටික කාලේකට ඈත් වෙලා ඉන්න එක හොඳයි හිතෙනවා .. ඒක මම පිලිගන්නවා… මම අහන්නේ ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද ?.. නංගීට තියෙන ප්‍රශ්නේ මොකද්ද ?..”

” ඒ ප්‍රශ්න ගැන ලෝයර් බලාගනිවී ..”

අරුණලු පිළිතුරක් ගලපාගන්නට නොහැකි වූ නිසා එලෙසින් කීවේය.

” ලෝයර්ස්ලා නම් හේතු මවාවි මල්ලී .. මම මේ අහන්නේ එහෙම මවන හේතුව නෙවෙයි … ඔය දෙන්නාට එක ඉන්න බෑ කියලා තීරණය කරන්න තරම් බලපාපු හේතුව …”

අරුණලු අක්කාගේ පැනයට පිළිතුරු දී ගත නොහැකිව බලා උන්නේය. සිතා බලද්දී එහෙම හේතුවක් ගලපා ගන්නට නොහැක. එහෙත් ඇයට වෙන් වන්නට අවශ්‍ය විය. තමා කලේ ඒ යෝජනාවට එකඟ වීමය.

” එහෙම හේතුවක් නෑ තමා .. ඒත් සෙව්වන්දිට අපි එකට ඉන්න ඕනි නෑ කිව්වා … එයාට මේ ජීවිතේ ඕනි නෑ නම්, අපි එහෙම බලෙන් ඉන්න ඕනි නෑ අක්කේ එකට …. මං මේ ගත්ත තීරණේ හරිද වැරදිද කියලා මම හිතනවා තාම … ඒ කොහොම වුනත් මම තීරණේ අරගෙන ඉවරයි …  ඒ නිසා ආයේ ඕගොල්ලෝ මාව ඇණ ඇණ ඒ හේතුව අහන එක තේරුමක් නෑ … පහුගිය මාස ටිකේම අපි දෙන්නම උන්නේ වෙන් වෙන් ලෝකවල .. කොටින්ම අන්තිම දවස් වල මම ගෙදර එද්දී සෙව්වන්දී නිදි … රෑට උයලාත් නෑ.. ඒ කියන්නේ එයා කාලත් නෑ වෙන්න ඇති .. ඒ ගැන කතා කරන්නවත් විදියක් නෑ, මම නැගිටිනකොට එයා ගිහින් … කෝල් එකක්  ගත්තත් අපි වචනේට දෙකට සීමා වුනා… මැසේජ් කරත් අවශ්‍යතාවයකට විතරයි .. අක්කේ දෙන්නෙක් එකට ජීවත් වෙන්න නම්, උන් දෙන්නාටම එකිනෙකා ගැන උනන්දුවක් තියෙන්නෝනා .. ඒක තමයි දෙන්නෙක්  එකට අලවලා තියෙන ගම් එක …. ඒක නැත්නම් දෙන්නෙක් එකට ඉන්නේ නෑ ..”

අරුණලු පැවසූ සියල්ලට පසු ඔහු සමඟ තවත් කත බස් කිරීම පලක් නොමැති බව වටහා ගත් අරුණලුගේ වැඩිමහල් සොයුරිය සෙව්වන්දි හමු වූවාය.

” මට තේරෙන්නේ නෑ අක්කේ.. එදා මට තරහ ගිහින් මම කිව්වේ එහෙනම් අපි ඩිවෝස් වෙමු කියලා.. එවෙලේ කටට ආවාට .. අක්කා දන්නවනේ මම අරුණලුට කොඡ්කර ආදරේ කලාද කියලා .. ඒත් එයා එකපාරටම ඒකට එකඟ වුනාම මට හිතුනා, මගෙන් නිදහස් වෙන්න තමයි මෙච්චර කල් බලාගෙන ඉන්න ඇත්තේ කියලා .. ඔයාට කියන්න අක්කේ පහුගිය මාස හය හතටම අපි සෙක්ස් කරන්න තියා බඳාගෙන නිදාගන්නවත් හිතලා නෑ .. මට මතක ණෑ ඒක පටන් ගත්තෙ කවදා ඉඳන්ද කියලා .. ඒත් ඒක දිග්ගැස්සුණා…”

” නංගී .. ඔය දෙන්නාම මොකක් හරි හේතුවක් හින්දා ඇති වෙච්ච හිස් තැනක් අහුරගන්නේ නැතුව ඒක ලොකු වෙලා වැඩෙන්න දීලා… මට නම් හිතෙන්නේ එහෙම .. ඒ හිස් තැන අහුරගන්නේ නැතුව වෙන් වෙන්න හිතන එක ඔය දෙන්නාගේම ජීවිත වලට කරගන්න අපරාධයක් .. මම මල්ලිටත් ආයෙ වතාවක් කියනවා .. දෙන්නාම පුලුවන් නම් අවස්තාවක් අරගෙන බලන්න … ගමේ එන්න … ඇවිල්ලා නිදහස් වෙලා කතා බහ කරන්න …”

සෙව්වන්දි දෑස් විසල් කරගෙන අක්කා පැවසූ සියල්ල අසා උන්නාය. පලමු නඩු වාරයට පෙර ගමේ ගොස් එන්නට ඇත්නම් හොඳයැයි ඕ අරුණලුට යෝජනා කලේ යළි උත්සාහයක් දරන්න හිතාගෙනය. අරුණලුද එයට එකඟ වූයේ සෙව්වන්දි සමඟ යම් කාලයක් ඉතා සැනසීමෙන් ගෙවූ මතක යළි අවුස්සවා ගන්නට යටි හිතෙහි වූ කැමැත්ත නිසාය.

” ඔයාට මහන්සි නම් මම කාර් එක ගන්නද ?..”

පැය කිහිපයක ගමනේ මැදදී සෙව්වන්දි විමසුවාය. අරුණලු ඇය දෙස බැලුවාය.

” ඉස්සරහට කොහොමටත් ගමේ යනකොට එනකොට මම තනියෙන් එපැයි ඩ්‍රයිව් කරන්න … මම හුරු වෙන්නම් …”

අරුණලු කීවේය. සෙව්වන්දි එයට කිසිත් නොපවසා උන්නාය.

” ඔයාට මාවනැල්ලෙන් රොටී කන්න ඕනිද ?…”

අරුණලු මඟ දී විමසුවේය. සෙව්වන්දි ඔහු දෙස බැලුවාය.

” එපා .. අවසානේට එහෙම කාලා අවුරුද්දක් .. අද කෑවොත් ආයේ ඒ මතක අලුත් වෙයි .. ආයේ ඔයා මාව මේ රූට් එකේ රොටී කන්න එක්ක එන්නේ නෑනේ…”

සෙව්වන්දීද පිළිතුරු දුන්නාය. අරුණලු මෝටර් රිය නැවැත්වුයේ උණු මස් හොඳි සම්ඟ රොටී ලෙස සටහන් කර තිබූ කුඩා කඩයක් අසලය.

” ඔයාට ඕනිද මම ඔයාව මේ රුට් එකේ ආයේ ආයේ එක්කගෙන එන්න ..?..”

රොටී සකසන තෙක් ගල් තලාවේ වාඩි වූ දෙදෙනා අතරේ නිහැඬියාව ඉතා ඉක්මනින් බිඳින්නට අරුණලු කටයුතු කලේය.

” මට ඕනි දේවල් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑනේ දැන් අරුණලු .. අපි පේපර්ස් වලටත් සයින් කරන්න ලෑස්ති නේ …”

සෙව්වන්දි කීවාය.

” හරි .. ඒඔක්කොම පැත්තකින් තියලා උත්තර දෙන්නකෝ …”

සෙව්වන්දි අරුණලු දෙස බැලුවාය.
” ඔව් …”

ඇය එක්වරම කීවාය. අරුනලු ඇගේ ඍජු  පිළිතුර  යළි යලි සලකා බලමින් පැවසූයේ කුමක්ද යන්න වටහා ගන්නට උත්සාහ කලේය.

” එහෙනම් ඇයි ඩිවෝස් එකක් ගැන කිව්වේ?..”

” නිකන් කිව්වේ .. එහෙම කිව්වාමවත් ඔයා ඉස්සර වගේ වෙයි හිතුවා ..”

” මොන විකාර කතාවක්ද සෙව්වන්දි ඒ ?..”

” ඇත්ත … මට සමාවෙන්න .. මට ඒක ඒ වෙලාවේම නිවැරදි කරන්න තිබුනේ .. ඇත්තටම මට වෙන් වෙන්න නෙවෙයි ඕනි වෙලා තිබ්බේ, අපි අතර තිබුන දුරස් බව නැති කරගෙන ලං වෙන්න .. ඒත් ඔයා මගේ යෝජනාවට එකඟ වුනාම මට ඉන් එහාට හිතන්න දෙයක් තිබුනේ නෑ ..”

” ඒක මහ පිස්සු කතාවක්නේ සෙව්වන්දි .. මම හිතුවේ ඔයාට ඇත්තටම අපි එකට ඉන්න ඕනි නෑ කියලා…”

අරුණලු සෙව්වන්දිගේ කර වටා අත දාගත්තේය. සෙව්වන්දි සිටින්නේ කොහිදැයි අමතක කර ඔහුට වාරු වූවාය. අක්කා කිව් හිස් තැන හඳුනාගෙන බව ඇයට දැනුනි

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles