මල් පිපුණිද හිම කැළයේ – 19

0
6018

අතීත කල්පනාවකින් මිදී නිලංගා පියවී ලොවට පැමිණියේ මිතුරිය යළිත් ඇය අමතන හඬිනි…

“නිලා….මොකද බං එකපාරටම සද්ද නැතිවුණේ..සිග්නල් ඉෂූ එකක්ද…?”
මිතුරිය විමසුවාය…

“ඔව් බං …පොඩ්ඩක් අන්ක්ලියර් උනා..මං බස් එකේ ඉන්නෙ ඒක වෙන්න ඇති…”
නිලංගා සුසුමක් හෙළා පැවසුවාය.

“ඇත්තටම මොකද වෙලා තියෙන්නේ එතන..උඹ දන්නවනේ මට අම්මලා එක්ක දැන් කිසිම සම්බන්ධයක් නෑ කියල…මේ වෙලාවේ හිත හොඳ වැඩිකමට වුණත් ඕක අහන්න ගියොත්..එයාල ඒකත් භාරගන්නේ වැරදියට වෙන්න පුළුවන්..ඒ නිසා මම යන්නේ නැහැ කතාකරන්න..”
නිලංගා පැවසුවාය…

“ඒකනං ඇත්ත..එයාලගේ ප්‍රශ්න එයාලා බේරගනීවි..මං උඹට කියන්න ඕන නිසයි මේක කිව්වේ.. ඉතින්..කොහොමද ජීවිතේ..කොයි වගේ කාලෙකද පොඩ්ඩක් ඇවිල්ල යන්න හරි එන්නේ..උඹව දකින්නත් ආසයි..facebook එකේ උන්නා කියලා මූණවත් දකින්න පින්තූරයක් අප්ලෝඩ් කරනවා කියලද…?”
මිතුරිය නෝක්කාඩු කීවාය..තවත් මද වේලාවක් ආ ගිය කතා අතරේ සංවාදය රැඳුනි.මිතුරිය දුරකථන ඇමතුමෙන් සමුගත් පසුවද නිලංගා අතීත මතකයන් ඔස්සේ මොහොතකට සැරිසරුවාය.

නංගිගේ ප්‍රේම කතාවේ උච්චතම අවස්ථාවේදී විවාහය හදිසි කරන්නට අම්මලා තීරණය කළේ ඇය අනපේක්ෂිතව ගැබ් ගත් හෙයිනි. පසු කලක නංගී ගබ්සා වීමකට ගොදුරු වූවාය. නංගීගේ ගැබිණි බව ලෝකයෙන් වසන් කරන්නට අම්මා නොගත් උත්සාහයක් නැත.කුස නෙරා එන්නට පෙරාතුව විවාහ මංගල්‍යයක් ගැනීමට අම්මාටත් නංගිටත් අවශ්‍ය විය.නංගී සහ අම්මා මුදුන් මල්කඩ සේ තබාගත් බෑනා විවාහයට වියදම් කරන්නට මුදල් නැතැයි කර අරින්නට විය. ඕනෑම සිද්ධියක් වාගේම මේ මොහොතේදීත් අම්මා හැරුනේ නිලංගා දෙසටය.පියවන විටත් චරිත ගලප්පත්ති සමඟින් නිලංගාගේ වූ සබඳතාවය නිමාවී තිබුණි.ඒ සම්බන්ධව වචනයක් හෝ නොපැවසූ අම්මා නංගිගේ විවාහය වෙනුවෙන් නිලංගාගෙන් මුදල් ඉල්ලමින් කරදර කරන්නට වූවාය.

“තමුන් ළඟ සල්ලි නැහැයි කියන්නේ බොරුනේ..දැන් හෙට අනිද්ද බඳින්න බඳින්න කියනෙ උන්නෙත්…ඒකට එකතු කරපු සල්ලි ළඟ තියෙනවනේ..ඒ ටික මට ඕන නංගිගේ වෙඩින් එකට..”
අම්මා කළේ ඉල්ලීමක් ම නොවේ..එය ආසන්න වූයේ නියෝගයකටය.ජීවිතයේ විවිධ අවස්ථාවන්වලදී පලා යන්නට රතු කොඩි කොතරම් පෙනුනද නිලංගා ඉවසන්නට හුරු වූවාය.එහෙත් මේ මොහොත යනු තවදුරටත් රැඳී සිටීමට හැකි අවස්ථාවක් නොවන බව ඇය වටහා ගත්තාය.එහෙයින් නිලංගා තමන්ගේ ගමන සැලසුම් කලේ ගෙදර අයටද නොදැනෙන්නටය.

අතීත මතකයන් හිතට බරය. කිසිදු සැනසුමක් නැති ඒ අතීතය අමතක කරන්නට කෙතරම් වෙර දරුවද විටින් විට මෙවන් සිදුවීම් හමුවේ මතුව එයි..එවිට යළි දුක සිතෙයි…ගූගල් යෙදවුමට අනුව නිලංගා ඉදිරි බස් නැවතුම් පළකින් බැසිය යුතු විය.තවමත් වේලාව උදෑසන දහය පසුවූවා පමණි.එහෙයින් ඇවිදින්නට ජීවිතය විඳින්නට අද දවසේ කාලය හොඳටම ප්‍රමාණවත් ය.

නිලංගා බස් නැවතුමෙන් බැස flower Avenue නමැති වූ පුවරුව ඇති මාවත සොයා විමසුම් කළාය.ඈතින් පෙනෙන්නේ තරමක් උස් බිමක් වෙත විහිදයන මාවතකි.ඒ මාවත දෙසට ඇති මාර්ග සටහනේ වමට හැරීයන්නට flower avenue එක ඇත.නිලංගා ගතට හොඳින් දැනෙන හිරු එළියේ ඇවිද ආවාය.කාලයකට පසු උදාවුණ ඒ හිරු එළිය ගතට සුවයක් ගෙන එයි.

විසල් තුරු අතරින් ඇදීයන මාවත් ඔස්සේ ඉරිදාවේ විවේකය ගත කරන්නට එන බොහොමයක් දෙනා අතරට නිලංගාද එක්වූවාය. සොබා දහමේ සිසිල් සුවය මින් මොහොතකට පෙර හිත දැවූ  පීඩනය අමතක කර දමන්නට හේතු විය. වන වදුලු අතරින් වැටෙන මාවතේ විවේක ගන්නටම තැනන වූ ලී බංකු වල ඇතැම් අය විඩා හරිති.බොහෝ සොඳුරු දසුන් නෙත හමුවන්නේ ඒ වෙනුවෙන් වෙහෙස දරා ආ කළය. නිලංගාගේ නෙත් අභිමුව විහිදී ඇති වන මං ඔස්සේ කහ පැහැයෙන් දිදුලන ඩැෆඩිල් මල් පලසක් එළා තිබුණා වැනිය.සොබා දහමේ මේ අපූරු දායාදයන් දකින්නට රිසියෙන් පැමිණුන බොහෝ අය එය වින්දනය කරනායුරු නරඹමින් නිලංගා ඉදිරියට ඇවිද ගියාය. ඉඳහිටක සොඳුරු යමක් සේයාරූ ගත කරමින්ද සිතේ ඇතුළෙන් ගැයෙන ගීයකට අනුව පාද තබමින්ද නිලංගා ඒ මොහොතේ සිය ජීවිතය වින්දාය….

ස්ටීව් ක්ලිෆර්ඩ් දින ගණනාවක් ආච්චී බලන්නට ගියද රැකබලා ගන්නා යුවතිය හමුවීමෙන් වැළකුණේය.ඇය ඔහු පැමිණෙන වේලාවල් වලදී සිතා මතාම ඔහු මගහැර ගියාදැයි ඔහු නොරිස්සුමෙන් සිතුවේය.පෝලාගේත් අම්මාගේත්  ඇය සම්බන්ධව කෙරෙන වර්ණනා ඒ අයුරෙන්ම පිළිගන්නට ඔහුගේ සිත නොනැමේ.පුදුමයකට මෙන් ආච්චිද වචනයකින් දෙකකින් හෝ ඇය ගැන හොඳම කියයි.

“මට වෙලාවකට ආච්චි ගැන බයයි පෝලා..ඔලුව අවුල් වීගෙන එනවද මන්දා..”
ආච්චීගේ ඇඳ අසල ඉඳගෙන ඉන්නා අතරේ ස්ටීව් පැවසුවේය.ඔවුන්ගේ කතාබහට ඇහුම්කන් දෙන්නට ආච්චීට උවමනාවක් නැති තරම් ය.ඇය සිය ගෙත්තමේ යෙදී ඉන්නාවිට ලෝකය අනෙක් අතට පෙරළුණද ගාණක් නැතුවා සේය.

“ඇයි මිස්ටර් ස්ටීව එහෙම කියන්නේ..? මේරි මැඩම් එන්න එන්නම හොඳ වෙනවනේ.. මට නං ඔය කියන කතාවේ අනෙක් පැත්ත තමයි පේන්නෙම…”
පෝලා විමසුම් ඇසින් ස්ටීව් දෙස බලමින් විමසුවාය.

“මට එහෙම හිතෙන්නෙ මොකද දන්නවද?  අසනීප වුණාට පස්සේ දන්න කාලෙක ඉඳන් අපේ ආච්චි කාටද හොඳක් කිව්වේ..එන එන එක්කෙනාගේ නරකමනේ කිව්වේ..හැබැයි ඉතින් අලුතෙන් ආව ගර්ල් ගැන නම් දැන් ඉඳහිට හොඳ කියන්න පටන් අරන්…මට ඉතින් හිතුනා පොඩි වයර් ෂෝට් එකක් වෙලාවත්ද කියලා..”
ස්ටීව් පැවසුවේ සිනහසෙමිනි.ඉතා කලාතුරකින් විහිළු තහලුවක් කරමින් සිනහසෙන ස්ටීව් ක්ලිෆර්ඩ් මේ අන්දමින් පැවසීම පෝලාට පවා අරුමයක් බඳුවිය.

“හොඳක් නොකිය කොහොමද මිස්ටර් ස්ටීවන්…ඔයාටම පේන්නේ නැද්ද මේ කාමරය වෙනස් වෙලා තියන හැටි..ඉස්සර මේ කාමරයේ පුරාම තිබුණේ අනවශ්‍ය බඩු.. අපට තියා අඩුම තරමේ ඔයාටවත් ඒකෙන් දේවල් අයින් කරන්න දුන්නද? මතකනේ කලින් කෙයාර්ර්ස්ලා ආවාම බඩුවක් එහෙ මෙහෙ කරත් කෑගැහපු හැටි..”
පෝලා පවසන දේ පෙර දවසක කාමරයේ කැමරාවෙන් දුටු අන්දම ස්ටීව් යළි  සිහිකළේය.

ආච්චී ඇඳේ සිට ගෙතුමක් කරනා අතරේ නෙලී ඇය වෙත හෙමින් පැමිණෙන ආකාරය දිනක් ඔහු බලා උන්නේය.යුවතියගේ මුහුණේ ඒ මොහොතේ වූයේ බලාපොරොත්තු සහගත පෙනුමකි.එහෙත් ඒ පෙනුමට යටින් කෙනෙක් නම්මාගන්නට හැකි දඟකාර බවක් ද ඔහු දුටුවේය.

“මේරි මැඩම් …මේ පොඩි මේසේ උඩ තියන ඔයාගේ බඩු බිම වැටෙන්න තරම් ගොඩගැහිලානේ..මං ඒක චුට්ටක් අස් කරන්නද?”
නෙළී ඉතා තාලයකට ඇද පැද මෙන් විමසන ආකාර ස්ටීව් මැඩගත් සිනාවෙන් බලා උන්නේය.සිතුවා සේම ආච්චී ඇයට කඩා පැන්නාය.

” නෑ නෑ..ඕන නෑ..තමුන් හදන්නේ මගේ බඩු හොරකම් කරගන්න නේද? මම අදම ස්ටීව්ට කියල තමුන් අස් කරලා දානවා..”
ආච්චි කෑ ගසන්නට පටන් ගත්තාය.එහෙත් එයින් මොහොතකටවත් සැලුනේ ඇය නොවේ.

“ආ මං එලවල දාන්න බලන්නකෝ..එතකොට රසට කන්න හම්බවෙන එකක් නෑ ඊට පස්සේ..මතකනේ මං ඊයෙ රෑ හදලා දුන්න පැස්ටා එක…තව ඉල්ලුව නේද..?”
ඇස් කරකවමින් හිස  ඒ මේ අත
සලමින් ඇය පවසන අන්දම දෙස ආච්චී ද මුව අයා බලා උන්නාය.

“කොහේ යන්නද ඔයා..එහෙම යන්න දෙන්න බෑ..ඔයාට කොහෙවත් යන්න දෙන්න එපා කියලා මම ස්ටීව්ට කියනවා..”
මොහොතකට පෙර කියූ දේ ඊළඟ මොහොතේ අමතක වන්නිය එසේ පැවසුවාය.

“මං කියන්නේ ඒකනේ…ඔන්න එහෙනම් මැඩම් බලාගෙන ඉන්න..මං මේසේ ලස්සනට අස් කරනවා.ඔයාට හිතෙනවනම් මං මේ දේවල් තියෙන තැන වැරදියි කියලා ඔයා මට කියන්න..හරිද?”
එසේ පටන්ගත් මේසය අස් කිරීම අවසානයේ නැවතුනේ ඇඳ අසළ වූ කබඩයන් දෙකද කුඩා අල්මාරියක්ද අස්කර දමමිනි.
කිසිදු අවශ්‍යතාවයකට ගත නොහැකි දෑ…ආච්චිටද නොදැනෙන්නට බිම ඇති බෑග වලට දැමූ ඇය ඒවා පෝලාටත් අම්මාටත් බාර දුන් බව ස්ටීව් දැනඋන්නේය.

ඇත්තෙන්ම ආච්චී ගේ කාමරය දැන් ඉතා පිළිවෙලය.පෙර දිනවල ආච්චි නොව පෝලා හෝ අම්මා කාමරය පුරා ඇති අනවශ්‍ය ද්‍රව්‍ය වල පැටලී බිම වැටී අතපය කඩා ගනී යැයි ස්ටීව් බියෙන් උන්නේය.එක් වතාවක් තමාද බිම පොදි ගසා තිබූ රෙදිගොඩක පැටලී වැටෙන්නට ගොස් බිත්තියකට වාරුවී නැවතුනු බවත් ඔහුට සිහි විය.

කාමරයේ මේසය මත අපූරු මල් බඳුනකි.එය සතියකට වරක් අලුත් වෙයි.මේ දිනවල ස්වභාවිකවම දකින්නට ලැබෙන ඩැෆඩිල් සහ  ප්ලම් මල් සැරසිලි සාප්පු වලින් මිලදීගෙන එන ඒවා ම නොවන බව ස්ටීව් වටහාගත්තේය.ඒ නෙලීගේ කැලෑ සංචාරයන්ගේ පළදාව යැයි පෝලා විටෙක සිනාසෙනු ඔහුට ඇසී තිබේ.මල් කිහිපයක් , අතු කැබැල්ලක් ,රවුම් ගලක් තබා සකසන මේ මල් කලාව ඉකෙබානා කලාවට ලඟින් යන්නක් බව ස්ටීව් ක්ලිෆර්ඩ් සිතුවේය. ඒ හැරුණු විට ආච්චීගේ කාමරයේ දල්වන ඉටිපහන් වල අපූරු සුවඳ පවා සතියකට වරක් වෙනස් වේ.අදාළ සතියට අවශ්‍ය සුවඳ වර්ගය ඇය ආච්චීගෙන් අසන්නීය.වෙනදාට කාමරයේ ගඳ සුවඳ යන කාරණය කිසිදු ගණනකට නොගන්නා ආච්චීද මේ යුවතිය සමගින් සුවඳ වර්ග සම්බන්ධව තර්ක කරන්නීය.

ආච්චීගේ ජීවිතය ටිකෙන් ටික වෙනස් කරන මේ අපූරු තරුණිය සම්බන්ධව පෙර තිබුණාට වඩා ලිහිල් බවක් ස්ටීව් පෙන්වමින් උන්නේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here