පිනි සේල – 6

“ඔයාලා මොකක්ද ඔය කියන්න හදන්නේ”

බලා හිඳීම ගැටළු විසඳන්නේ නැති බව තේරුම් ගත් මා ඇසුවේ බලා හිඳීම ඇති වූ තැන ය.

“පිනීගේ අම්මාගෙන් ඇහුව ද?”

දිනුක වඩා මෘදු ස්වරයකින් ඊෂාගෙන් විමසී ය. ඊෂාගේ සිනාව පිපී ආවේ හැඩට ය. අනතුරුව ඈ ජයග්‍රාහී බැල්මකින් මදෙස බැලුවා ය.

“ආන්ටි කැමති අනේ..අපෙ අම්මි නම් උඩින්ම කැමතියි..”

“එහෙනං ඉතිං මෙයාගේ කැමැත්ත වැඩක්ම නෑ.”

හිමල්ක නැගී සිටියේ එසේ කියමිනි. ඔහු ආපනශාලාවේ ශීතකරණයෙන් බීම බෝතලයක් රැගෙන එනතුරුම අප’තර වූයේ නිහැඬියාවකි.

“ඕක තාම කීවේ නැද්ද අයියෝ.. දැන් මේ අහිංසක කෙල්ල හිතන් ඇති ඔයාගේ අයියා ප්‍රපෝස් කරන්න යනවයි කියල”

හිමල්ක මගේ හිසට අතක් තබා හිඳ ගත්තේ ය. ඊෂාගේ අයියා ෆේස්බුක් සේයාරු වලින් පමණක් දැක ඇති මට ඔහුව සිහි වූයේ විදුලි වේගයෙනි. උසස් අධ්‍යාපනයට විදෙස්ගත වූ ඔහු එසේ රට අතැර යාමට සැබෑම හේතුව බිඳුණු ප්‍රේමයක කටුක මතක අමතක කිරීම බව ඊෂා මට කියා බොහෝ කල් ය. කිසිම ඡායාරූපයකට හිනා වෙන්නට නොදන්නා ඔහු ගැන විවාහ යෝජනාවක් වත් සැබෑවටම පැමිණ ඇත්දැයි ගල් ගැසී ගිය මම ඊෂා දෙස බැලුවේ බියපත් ව ය. අම්මාට කෙල්ලන් දෙන්නා රැක බලා ගන්නට කරදර නම් මට “හොඳ තැනකින් බලන්නට ” හැකි බව තාත්තාගේ හත් දින පිංකම දා පටන් ඥාතිවරියන් දිවුරුම් දුන් හැටි ද අමතක කළ නොහැක.

ඊෂා යලි හඬ නඟා හිනැහුණා ය. ඇගේ සිනාවට බොහෝ දෙනෙකු හැරී බලද්දී ඈ මවෙත හැරුණා ය.

“පිනී, ඔයා බෝඩිමේ ඉන්න එපා. අපේ ගෙදර යං.. ආන්ටිගෙන් මං ඇහුවා. ආන්ටි කැමතියි.අම්මි නම් ඕක කියන්නේ දැන් කොච්චර කල් ඉඳන් ද…ඔයා බෝඩිමේ ඔහේ කල්පනා කරකර ඉන්නවා කියලා සරනි මට ඊයෙත් කිව්වා. ඔයා කල්පනා කර කර ඇඳ බදාගෙන නිදා ගන්නවා නම් උන්ගෙත් යුතුකම ඔයා ඕකේ කරන එක.. ඒත් යාලුකං මනුස්සකං වලට අවංක වෙන එක බලෙන් කරන්න බෑනෙ.. එහෙ යං..ඔයා ඩිප්‍රෙස් වෙන එකට අපි ආසා නෑ. එහෙම වෙන්න දෙන්නත් බෑ..”

තාත්තා අකල් හි යන්නට යාම මට කෙසේවත් උසුලා ගත හැකි දුකක් නොවේ. ඔහුට රාත්‍රියේ දුරකථන ඇමතුමක් දී දවසේ සිදු වූ කතාන්දර කී දවස් තවම අද ඊයේ මෙනි. ඔහු සමඟ ප්‍රේමාරාධනා ගෙනෙන කොල්ලන් ගැන ද, නොතේරෙන විෂයන් ගැන ද, දේශන මඟ හැර මිතුරන් සමඟ රස්තියාදු ගැසූ හැටි ද නොසඟවා කියමින් හිනා වුණු අතීතය තවමත් ඕනෑ ම බව මට දැනෙයි. ඉතින් ඔහේ කල්පනා කරමින් කොට්ටය තෙත් කිරීම මිස කළ යුත්තක් මට කල්පනා වන්නේ ම නැත.

“අනේ ඊෂා.. එහෙම නතර වෙන්නම එන එක ඔයාලට කරදරයි…”

ඊෂා සමච්චල් සිනාවක් දෙතොලට ගත්තා ය.

“මල කෝලං.. එක්සෑම් කාලෙට කදමලු බැඳගන ආවම අපිට කරදරයි කියලා හිතිලා නැද්ද දන් නෑ… ඔයාලට කියන්න ඒ කාලෙට මෙයා නිසා අපේ ටිමී පවා ඇහැරලා. ඇයි මාර පාඩං කිරිල්ලක්නෙ.. අනේ මේ ගොං කතා නොකියා හිටපං පිනී.. අච්චර ඉඩ තියන ගෙදර ඔයා හිටියට මොන කරදරයක් ද.. “

ඊෂා කියන්නේ හදවතිනි. කොහොමත් මට එනිවස ආගන්තුක නැත. එහෙත් විභාග සමයේ පාඩම් කරන්නට, අසනීප වූ විට හොඳට නිදා ගන්නට යන ගමනට වඩා නතර වන්නට ම යන ගමන නැති ප්‍රශ්න මවන්නට හේතු විය හැක. එහෙත් ඊෂාගෙන් බේරුමක් නැති තැන මා ඇගේ තීරණයට අනුමැතිය දුනිමි.

දේශන අවසන් වූයේ හවස් යාමයේ ය. ඊෂාට මා අදම රැගෙන යාමට අවශ්‍ය වුවත් බඩු අස් කරගන්නට ඇති බව කියමින් ඈ සන්සුන් කර ගැනීමට හැකි විණි. ඈ පිටව ගිය පසු වෙනදා වාගේම දිනුක සහ හිමල්ක මා එනතුරු මඟ බලා සිටිය හ. ඉතින් මා බස් රිය වෙත ආවේ ඔවුන් කැටිව ය. එහෙත් හිමල්කට අප මඟ හරින්නට ඕනෑ බවක් මට නොදැනුණා ම නොවේ. සැකය වැරදියේ ද නැත. ඉඳහිට ඔහුව කැටුව යන්නට එන අම්මාගේ වාහනය වෙත ඔහු යන්නට ගියේ කඩිමුඩියේ ය. දිනුක සමඟ තනිව ඇවිද යන්නට මට ගැටලුවක් ඇත්තේ ම නැත. ඔහු මා ගැන බලාපොරොත්තුවක් සහිතව ඉන්නා බවට බොහෝ දෙනා කීව ද ඔහු කිසිදා මවෙත එවන් බැල්මකින් වත් නොබැලූ බව මට සහතික ය. ඔහුට එවැනි අදහසක් ඇති බව ඊෂා කියද්දී ඔලුව අවුල් වී ගිය ද දිනුක හොඳ මිතුරෙකි. මලිඳු හොඳ මිතුරෙක් බව සැබෑවකි. නමුත් ඔහු මගේ ඒක පාර්ශවීය ප්‍රේමය ය. එනිසා හරියටම බලද්දී ඊෂා හැරුණු විට හොඳම මිතුරු තනතුර හරියට ම අයත් වන්නේ දිනුක ට ය.

හයිලෙවල් පාරට ඇවිද එන දුර අප ආවේ නිහඬව ය. අප පසු කර යමින් සිටි කොලු රෑනක් දිනුකට දෙපිට කැපෙන විහිලුවක් කරද්දී ඔහු මදෙස සිනාමුසුව බැලී ය.

“උං හිතන් ඉන්නේ මං ඔයාට කැමැත්තෙන් ඉන්නේ කියලා..”

දිනුක සැහැල්ලුවෙන් කියයි.

“උං විතරක් නෙවේ අනේ.. අපේ බැච් එකේ බාගයක්ම. මට තේරෙන් නැත්තේ ඕක හදපු එකා.. මලීෂලා වෙන්න පුලුවන්. ඕපාදුප සංගමේනෙ…”

මම ද කියවාගෙන ගියෙමි.

“පිස්සු ඉතිං.. හැබැයි මේක පිනීට හංගලා වැඩකුත් නෑ…මං ඇත්තටම ඔයා වටේ කැරකි කැරකි හිටියේ ඔයාට දෙයක් කියන්නත් තමා..”

කට තියාගෙන ඉන්නට බැරුව කියෙව්වාට මා ගල් ගැසෙන්නට වැඩි වෙලා යන්නේම නැත.

“මං ඇත්තටම ඊෂාට කැමතියි.. ඒක ඊෂාට කියාගන්නත් බයයි.. දෙකක් කියලා යාලුකමත් නැති කරොත් හෙම කියලා.මං ඕක ඔයා එක්ක කියන්න හිටියේ.. ඔයාට කරදර වුණානේ ඒ අස්සේ.. අපි ෆියුනරල් ගිහින් ඔයාට උදව් කරලා එන ටිකට අපේ බැච් එකේ ඕපදූප ගෑනු ටික ඔයයි මායි හනිමුන් යවන්න හොටෙල් බුක් කරලත් ඉවරයි….”

මාස තුනකට පසු මට ඇත්තටම සිනා යන්නට ඇත්තේ දැන් ය. පාර කියා අමතක ව යන තරමට සිනා නැගේ. ලොකුම සතුට දිනුක ගැන පැවති සැක සංකා තුරන් ව යාම ය.අනිත් කාරණාව මලිඳුට කනට ගසා පන්නා දමා මා හා දිනුක එක් කරන්නට සිහින දකින ඊෂා මෙය දැනගත් විට ඇගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේ ජොලිබර තත්වයය ය. ඉතින් මම ඔහේ හිනැහෙමින් සිටියෙමි.

“මං ඔයාට ඉක්මනින් එයා සෙට් කරලා දෙන්නං…”

ඩ් මොහොතක් වාහන පෝලිම දෙස බලා හුන්නේ ය. අනතුරුව මිත්‍රත්වය උතුරා ගිය බැල්මක් හෙළී ය.

“ඒක හදිසි නෑ…ඔයා ස්ට්‍රෙස් වෙන්න අංකල් විතරක්ම නෙවේනෙ හේතුව. අර සුදු කෙට්ටු ඩයල් එක ගැන මට ඊෂා කිව්වා..”

මම නැවත ගොළුව ගියෙමි.මලිඳු ගැන මිතුරන්ට කියන්නට යමක් මට ඇත්තටම නැත. ඔහු මා ප්‍රතික්ෂේප කරන අමුතුම ආකාරය ඔවුන් සමඟ බෙදා ගැනීම ද ලැජ්ජාවකි.

” ඒක නිකංම නිකං හැඟීමක් දිනුක.. අවුරුදු ගාණක් මාව ඒකෙන් හර්ට් වුණා.. එයාට ඒක ගැන ගාණක් නෑ..වැරැද්දකුත් නෑ. මං ආදරේ කරාට එයා ආදරේ කරන්න ඕන කියලා නියමයක් නෑනෙ..”

හැඬෙන්නට ගනීදැයි මම බිය වුණෙමි. මහ පාරේ කොල්ලෙක් සමඟ ඇවිද යාම කිසිවෙකුට ගැටලුවක් නොවේ. නමුත් හඬමින් ඇවිද යාම ඇස් දහසක ගැටෙන්නට හේතුවකි.

“පිනී…ඔයා ආදරේ කරාට එයා ආදරේ කරන්න ඕන නෑ. හැබැයි ඔයා එහෙම බව දැන ගත්තම එයාට ඒක බාර ගන්න බැරි නම් එයා කරන්න ඕන ඔයාගෙන් පොඩ්ඩක් ඈත් වෙන එක. ඔයාට තවත් බලාපොරොත්තු දිදී ඔයා අස්සෙම ඉන්න එක ගැන මට ඇත්තටම තරහයි… ඒවා ඉතින් ඇටිටියුඩ්ස් ප්‍රශ්න. ඔයා ගැන මම හෝප්ස් තියන් ඉන්නවා කියලා ඕපාදූප යද්දී මට නම් ඕන වුණා කතාව ක්ලියර් කරන්න.ඒකයි මං ඔයාට කතා කරේ.. මලිඳු මීට වඩා අවංක වෙනවානං මං කොල්ලෙක් හැටියට කැමතියි.. “

දිනුක සමුගත්තේ එසේ කියමිනි.

බස්‍ රියක කවුළුව අසලට වී ට්‍රැෆික් පෝලිමට ඇස අලවාගත් මම ඒ කතාව ගැන නැවත හිතන්නට ගතිමි. දිනුක අවංක යෞවනයෙකු බව මම දනිමි. ඔහු ඕනෑම දෙයකට අවංක ය. හැඩ රූපයටත් වඩා ඔහුගේ ගති පැවතුම් නිසා කෙල්ලන් ඔහුට ආකර්ෂණය වන බව ද සැබෑවකි. හිමල්කට ඔහුගෙන් සැපයෙන මිත්‍රත්වයේ ආරක්ෂාව නිසා ම ජීවිතය වඩා පහසු වී ඇත. එනිසා දිනුක අප පැටලෙන්නට ගිය නූල් බෝලය ඉතා කඩිනමින් විසඳා ගැනීම අරුමයක් නොවේ.

ඒ දිනුකගේ හැටි ය.

නමුත් මලිඳු මගේ හිත රිදෙන්නට නොදී මුනිවත රකින බව මම අදහමි. ඔහුව විවේචනය කිරීම සම්බන්ධයෙන් මට දිනුක ගැන සියුම් නොරිස්සීමක් ඇති නොවුණා ම නොවේ.

ඊළඟ කොටස බදාදාට

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles