මල්සර හී සර – 6

0
2865

“සප්තමීට කෝල් එකක් දීලා එන්න කිව්වම බෑ කියල දිගටම කිව්ව හන්දා තමයි අපි ඇත්තටම මෙහෙම පොඩ්ඩකට ස්ටුඩියෝ එකට ඇවිත් යන්න එන්න කියල කිව්වේ” කියන ගමන් සුමල් තාත්තයි අම්මයි දුවයි ඉස්සරහින් උණු කිරි කෝප්ප තුනක් තිබ්බා. සමුද්‍රට අයිති එස් එන්ටර්ටේන්මන්ට් ප්‍රඩක්ශන් හවුස් එක තිබ්බේ කොළඹ මලලසේකර මාවතේ. ටෙලි නාට්‍යය, චිත්‍රපටිවලට අමතරව සමුද්‍ර මාකලන්ද කියන නම ලංකාවෙ ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකෙත් දක්ශ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් විදියට ප්‍රසිද්ධ හන්දම තමයි සමුද්‍ර දාහක් වැඩ අස්සෙ උනත් මේ ප්‍රඩක්ශන් හවුස් එකත් මේන්ටේන් කරගෙන ගියේ. 

කලින් දවසක සුමල් කතාකරලා, “මම කතාකරන්නෙ සමුද්‍ර මාකලන්දගෙ ප්‍රඩක්ශන් හවුස් එකෙන්.අර ටෙලි නාට්‍යයකට ඔයාව තෝරගෙන තිබුණනෙ. ඒකෙ වැඩ ටික කතාකරගන්න අපේ ප්‍රඩක්ශන් හවුස් එකට එන්න පුලුවන්ද කියල අහන්න තමයි කතාකරේ” කියද්දි තමයි සප්තමී කිව්වේ “මම ඩිරෙක්ටර් මිස්ට කලුආරච්චිට දැනටමත් කියලා තියෙන්නෙ මම එන්නෙ නෑ” කියලා.

ඒ වෙද්දිත් සමුද්‍ර හරහා ඔය විත්තිය දැනගෙන උන්නට සුමල් කතාව නතරකරන්න නම් හිතුවෙ නෑ.

“ඔව් අපිට මිස්ට වසන්ත ඒක දැනටම කියලා තියෙන්නෙ. ඒ වුණාට මෙහෙමනෙ ඔයා මේ නැතිකරගන්න යන්නෙ හොඳම හොඳ චාන්ස් එකක්. ඇත්තටම සමුද්‍රම තමයි මට කිව්වෙ ඔයා මෙහෙම වසන්තට කියල තියෙනවා එන්නෙ නෑ කියලා. සමුද්‍ර කිව්ව කෝල් එකක් දීලා ඔයාගෙන් අහලා බලන්න කියලා පොඩ්ඩක් ඇයි මේ ඔයා එන්න බෑ කියලා කියන්නෙ කියලා

අනික දැන් ඉතින් අපි ඔයාව තෝරගෙනනෙ ඉන්නෙ? ඔයා දැන් එන්න වෙන්නෙ නෑ කියන එක අපිට තව සල්ලි ටිකක් වියදම් කරන්න වෙන වැඩක් තමයි සෙට් වෙන්නෙ”

“අනේ මට සමාවෙන්න. මං කලින් දැනුම් දෙන්නවත් කතාකරන්න එහෙම ඕන කාටද කියල දැනගෙන හිටියෙ නෑ. මං ඒ පාර තමයි මිස්ට වසන්ත කෝල් කල වෙලාවෙ ඉන්ෆෝම් කරේ මම එන්නෙ නෑ කියලා”

“හරි දැන් ඇයි ඔයා මේ එකපාර එන්න බෑ කියන්නෙ? එදා ෆෝන් නම්බර් එකත් දීල තිබ්බනෙ”

“ඔව් එදා ඇත්තටම කලබලේටයි එක්සයිට්මන්ට් එකටයි මම නම්බර් එක දීලා ආව මිසක් මට එවෙලෙ කිසි දෙයක් හරියට හිතන්න කරන්න පුලුවන් උනේ නෑ. ගෙදර ඇවිත් නිස්කලංකෙ කල්පනා කරද්දි තමයි මට තේරුණේ”

“ඉතින් ළමයො එක්සයිට් උනා නම් මොකටද දැන් නෑවිත් ඉන්නෙ” කියල එවෙලෙ සුමල් කියන මනුස්සය අහද්දිත් සප්තමී නම් කිව්වේ එක දෙයයි.

“ඔව් අනේ ඒ උනාට මට එන්න බෑ, සොරි” කියලා. සප්තමී එහෙම තමන්ට කිව්වට ඕක තමන් ගිහින් සමුද්‍රට කිව්වොත් මිනිහට මල පනීවි කියල හිතලමයි සුමල් කිව්වේ “හරි ෆෝන් එකෙන් කතා කරල ඕව විසඳගන්න බෑනෙ. ඔයාට පුලුවන්ද දවසක එන්න අපේ ප්‍රඩක්ශන් හවුස් එකට මේ ගැන තව ටිකක් කතාකරන්න. අපි දැන් ලොකු වියදමක් කරල ඔඩිශන් තියල ඔයාව තෝරගත්තයින් පස්සෙ වෙන කෙනෙක්ව ගන්න අපිට තව වියදමක් කරන්න බෑනෙ. ඒ නිසා ප්ලීස් ඔයා අම්මා හරි තාත්තා හරි කාත් එක්ක හරි දවසක එන්නකො, එන්න කලින් මේ නම්බර් එකට කලින් මට කෝල් එකක් දීලා දැනුම් දෙන්න. මොකද දැන් සමුද්‍රනෙ මට ඔයාට කෝල් කරන්න කියලා කිව්වෙ. මම ගත්ත කටටම ඔයා එන්නෙ නෑ කියල කිව්වොත් අනේ නංගි මගෙ රස්සාවත් ගහලා යාවිද දන්නෙ නෑ” කියලා සුමල් කියද්දි නම් සප්තමීට අහන්නම හිතුණා “ඇයි සමුද්‍ර හිතන් ඉන්නෙ තමයි ලෝඩ් පකීර්?” කියලද කියලා උනාට මූණවත් දැකලා නැති මනුස්සයෙක් ෆෝන් එක එහා පැත්තෙ එල්ලිලා ඉද්දි තමන් එහෙම අහන එක එච්චර හොද මදි හන්දා තමයි සප්තමී මුකුත් නොකිය ෆෝන් එක තිබ්බෙ. 

ආන් ඒ විදියට තමයි සප්තමී අම්මවයි තාත්තවයි දෙන්නවම එක්කහු කරගෙන සමුද්‍ර මාකලන්දගෙ ස්ටුඩියෝ එකට ආවේ.

“මේ වගේ තැන්වල ඔය ටෙලිනාට්ටි හෙමනම් ශූට් කරන්නෙ නැතුව ඇති නේද? බිල්ඩිමක් නෙ?’ කියල ජයබාහු මහත්තය දූ දිහාවට හැරිලා ඇහුවට මොකෝ ඒකට උත්තර දුන්නෙ සුමල්. සමුද්‍ර ඒ වෙද්දිත් මග එනගමන් කිව්ව හන්ද සමුද්‍ර එනකම් ඉන්න අතරවාරෙ සුමල් මේ අම්මල තාත්තල දූල එක්ක කතාකර කාර තමයි හිටියෙ.

“මේ වගේ තැන්වල ගොඩක් ශූට් කරන්නෙ අංකල් ඔය ප්‍රඩක්ට් ශූට්, ඇඳුම් කඩවල ඇඳුම් ශූට්, ඉන්ටවිව් වගේ ඒව තමයි. ටෙලි ඩ්‍රාමාස් ඉතින් ගොඩක් එළියෙ ලොකේශන්වල නෙ වෙන්නෙ. දැන් මේ නංගිව එහෙම තෝරගෙන තියෙන ටෙලි ඩ්‍රාමා එකේ වැඩි හරිය වෙන්නෙ ආණමඩුව පැත්තෙ ගමක් බේස් කරගෙන”

“එතකොට ඒ පැතිවල ගිහින් නතරවෙන්න වෙනවා නේද?” කියල තාත්තා අහද්දි “ඒ බයත් දුරු කරන්න ඕන” කියල හිතල තමයි සුමල් ආයෙ වතාවක් කට ඇරියෙ.

“යන්න වෙනවා. මෙහෙමයි මං දන්නවා අංකල් එහෙම ඇහුවෙ දැන් කාලෙ ඔය ටෙලි නාට්‍යවල රඟපාන්න එන ගෑණු ළමයින්ට කරදර වෙනවා, අරකයි මේකයි කියල මිනිස්සු කතාවෙන හන්දා බව. මම දැන් කොච්චර කිව්වත් අපේ සමුද්‍රයා එහෙම නෑ කියල ඒක එහෙමම විශ්වාස කරන්න අමාරු විත්තියත් මම දන්නවා. සමුද්‍ර දැන් ආවම අංකල්ලටම සමුද්‍ර එක්ක කතා කරාම තේරේවි අපි මේ බොරුවක් කරලා ගෑණු ළමයින්ව අමාරුවේ දාන්න බලාගෙන මේක කරන්නෙ නැති විත්තිය” කියලා සුමල් කට ගද්දිම වගේ තමයි දොර ඇරගෙන සමුද්‍ර මාකලන්ද කට්ටිය කතා කර කර උන්නු රූම් එක ඇතුලට ආවෙ. 

“මේ අර තෝරගත්ත ළමය ඇවිල්ල අම්මල තාත්තල එක්කල”කියල සුමල් කට්ටියව ඉන්ට්‍රඩියුස් කරලා දෙද්දිත් සප්තමී නම් හිතුවෙ “මෙයා මේ ප්‍රඩියුසර් කෙනෙක් වෙච්ච වෙලාවෙ නලුවෙක් වෙන්නයි තිබුනේ” කියලා. මහ ලොකු සුදක් නොතිබ්බට සමුද්‍ර මාකලන්දගෙ දුඹුරු පාට මූණෙ, කලු පාටට දිලිහිච්ච ඇස් දෙකෙයි, මොකක් හරි “මාර ලස්සන, ඇස් වගේම හිත් ඇදගන්න” දෙයක් තියෙන විත්තිය සප්තමී ඒ අස්සෙත් හිතුවා.

“හදිසියෙම ඔයාලට එන්න කියන්න උනේ මෙයා මේ එකපාරම එන්න බෑ කිව්ව හන්දනෙ” කියල කියද්දි උනත් ඒ මනුස්සය තමන් දිහා හරියට බැලුවෙ නැති විත්තිය සප්තමී හිතුවට සමුද්‍ර ඇත්තටම උන්නේ සප්තමීව දැක්ක තප්පර ගාණට උනත් දකින්න ඕන හැම පොඩි දේම පවා හොඳට නෝට් කරලා හිත අස්සෙ සප්තමීගේ රූපේ ඇඳගන්න පුලුවන් ලස්සනම විදියට ඇඳගෙන.

“මං ඒත් හිතුවා සමහර වෙලාවට අම්මල තාත්තලගෙ විරුද්ධත්වෙත් තියෙනවනෙ නේද ගෑණු ළමයෙක්ව මේ වගේ වැඩකට එවද්දි. ඒකයි අපි ඔයාලා එක්කත් කතාකරන්න හිතුවෙ. වසන්ත කිව්වට මෙයා එන්න බෑ කිව්ව කියල. මං ස්ක්‍රිප්ට් එක ලියද්දි ඇත්තටම හිත අස්සෙ ඇඳගෙන උන්න ගෑණු රූපෙම තමයි ඔයාට තියෙන්නෙ. ඒකමයි මම වසන්තටත් කිව්වෙ මමත් කතාකරල බලන්නම්කො කියලා ඒ ගර්ල් එක්ක. වරදක් හිතන්න එපා වෙන දෙයක් හිතේ තියන් මෙහෙම එන්න කිව්වා කියලා”

“අනේ නෑ සර්, ඇත්තටම අපි නම් ඕකට යන්න කියලවත් එපා කියලවත් කිව්වෙ නෑ. ඔය වගේ දේකට ගෑණු දරුවෙක්ව එවන එකේ පොඩි බරපතලකමක් තියෙන විත්තිය අපි නොදන්නවා නෙවෙයි. ඒ උනාට අපිට අපේ දරුවා විශ්වාසයි. අපි කාටවත් වරදක් කරපු මිනිස්සු නෙවෙයිනෙ. එහෙම එකේ අපේ දරුවෙක් වරදක් කරාවි කියලවත් වරදක් වේවි කියලවත් අපි හිතන්නෙ නෑ. මිනිස්සු ඉතින් කියන කතා ඇත්ත කියලවත් බොරු කියලවත් කියන්න අපිට බෑ. ඔච්චරටම ඔය රඟපාන නිලියො නලුවො ගැන කතන්දර පැතිරෙන්නෙ ඉතින් ඒවයි ඇත්තක් නැතුවමත් නෙවෙයිනෙ. ඒ උනාට අපි දන්නවනම් කොහෙ ගිහිල්ල උනත් හරියාකාරව ඉන්න මං හිතන්නෙ නෑ කාටවත් මුකුත් කියන්න ඉඩක් තියේවි කියලවත් එහෙම කියන්න උවමනාවක් තියේවි කියලවත්. අනික ඉතින් ඉස්සෙල්ලා මේ අලුත් නිලියන්ට මිනිස්සු කැමති ද නැද්ද කියලත් බලන්න ඕන නේද?” කියලා තාත්තා හීනියට හිනාවක් දාලා තමන් දිහා බලද්දිත් ඒ එක්කම සමුද්‍රත් හිනාවීගෙනම තමන් දිහාවට ඇස් පා කරන එක ලාවට විතර බිම බලාගෙන උන්න සප්තමී නොදැක්කා නෙවෙයි.

“අපේ නම් ඇත්තටම විරුද්ධත්වයක් බලපෑමක් නෑ මහත්තයා. අනික ඕක ඉතින් හැමදාම කරන්න යන රස්සාවක් නෙවෙයිනෙ. මේකේ රඟපෑම් හොඳනම් මිනිස්සු මෙයාලට කැමතිනම් නෙ ඔය ක්ශේත්‍රෙ උනත් මෙයාලට අනාගතයක් තියෙන්නෙ. අපි ඒත් එද්දිත් කිව්වා එයාටම හොඳට හිතල බලලා තීරණයක් අරගන්න. ගන්න තීරණේ මොක උනත් අපි උදව් කරනවා අපිට ඇහැක් විදියට කියලා.  සප්තමී අත තමා ඉතින් තීරණේ තියෙන්නෙ” කියල තාත්තා තමන් දිහා බලද්දිම ඒ පිළිවෙලටම අම්මයි, සුමල් කියන සමුද්‍රගෙ ඇසිස්ටන්ටුයි, සමුද්‍රයිත් තමා දිහා බලනවා සප්තමී දැක්කට සප්තමීගේ ඇස් පැටලුනේ එකම එක ඇස් දෙකක විතරයි.

දුඹුරු පාට මූණක් උඩ ඇඳිලා තිබිච්ච ලස්සන දිලිහෙන කලු පාට ඇස් දෙකක!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here