මේ ඒ වසන්තයයි – 06

0
3004

පැහැසරා ඉසිනි සොයා ආවේ නුරාධ්‍යාගේ හැඬුම් එක්කමය.

” අනේ… ඒඩී මිස් මෙහෙ බව මම දන්නේ නෑනේ.. මෙයා මේ ඉවරයක් නැතුව මිස් ආන්ටි, මිස් ආන්ටි කිය කිය අඬනකොට මම බලන්න ආවේ අනේ .”

පැහැසරා ඉසිනි සමීපයට විත් එලෙස පවසද්දී ඉසිනි නුරාධ්‍යා සමඟ සිනාසුණාය.

” සෝමා නැන්දා එක්ක ආවේ පැහැසරා මිස් … කාලෙකින් පන්සලකට ආවෙත් නැති නිසා මම ආවේ….” 

” අනේ ඒක හොදයි ඒඩී මිස් …  අද පූජාව කරන්නේ අපි … අපි කිව්වාට මල්ලී  .. එයා ඉතින් මේ වැඩ ගැන උනන්දුයි … මේ පාර පන්සල හුණු පිරියම් කරලා ඔක්කොම පිරිසිදු කලා …”

පැහැසරා එලෙසින් පවසන අයුරු ඉසිනිට ඇසුණේ  ඈතකින් ඇසෙන හඬක් මෙනි. ඕ අසීරුවෙන් එය වටහා ගත්තාක් මෙන් පෙන්වා ඉවත බැලුවාය.  එහෙත් නුරාධ්‍යාගේ කියවිල්ලෙන් මිදෙන්නට ඉසිනිට ඉඩක් ලැබුණේ නැත.   නුරාධ්‍යා ඉසිනි සමග කතාබහක් වෙනුවෙන් සූදානම් වෙමින් උන්නාය.  

” ඊයේ  මිස්  ආන්ටි ගෙනාපු ගිෆ්ට් එකට මම ආසයි. තැන්කියු…”

කුඩා නුරාධ්‍යා ඇස් නටවමින්  එලෙස  පවසද්දී ඉසිනි ඇගේ හිස පිරිමැද්දාය. 

” ආයේ දවසක මම ඔයාට ලොකු ගිෆ්ට් එකක් දෙන්නම්කො හොඳේ….”

ඉසිනි කුඩා නුරාධ්‍යාට එහෙම බලාපොරොත්තුවක්ද දුන්නාය.  නුරාධ්‍යා ඉසිනි සමීපයේ උත්සාහ කළ නිසා පැහැසරාටද ඉසිනි සමග කතාබහයේ යෙදෙමින්ම සිටින්නට සිදුවිය. 

” මම නුරාධ්‍යව බලාගන්නම් … පැහැසරා මිස්  ගිහිල්ලා බුදුන් වැඳලා ඒ වැඩ කරගෙන එන්න…”

ඉසිනි එලෙස පැවසීමෙන් පසු පැහැසරා නුරාධ්‍යාට ඉසිනිට කරදර නොකර සිටින්නට යැයිද පවසා විනාඩි කිහිපයක් වෙනුවෙන් දෙදෙනාට සමුදුන්නාය. ඉසිනි නුරාධ්‍යා දෙස වඩා හොඳින් බැලුවේ ඉන් පසුවය. දණ හිසෙන් පහළට වන සේ වන සුදු පැහැ කුඩා ගවුමක් හැඳවුන් කුඩා කෙල්ල, ඉවරයක් නැතුව කියවමින් උන්නාය. 

” බබාට මේ ගවුම ගෙනල්ල දුන්නේ බාප්පා. බාප්පා  තමයි බබාට හැමදාම ගවුම් ගේන්නේ…”

 දෛවය ඉසිනිට අකාරුණික වෙමින් සිටියේ එලෙසින්ය. ගවුම ගෙනැවිත් දුන්නේ කවුරුන්දැයි කුඩා නුරාධ්‍යාගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ එලෙසින්ය. ඉසිනි  ව්‍යාජ  සිනහවක් පෑවාය. දියණියගේ හිස පිරිමැද්දාය.

“මිස් ඇන්ටිටත්  ඕනෙ නම් කියන්න… මම බාප්පට කියලා ලස්සන ගවුම් ගෙන්නවලා දෙන්නම්. බාප්ප කොළඹ ගියාම අම්මටයි මටයි දෙන්නටම ලස්සන ගවුම් ගේනවා…. මං කිව්වොත් මිස් ඇන්ටිටත් ගෙනල්ලා දේවී…”

ඉසිනි හිස සැලුවාය. තමාටද ගවුමක් අවශ්‍ය බව ඇඟෙව්වාය. දෙදෙනා හිඳ උන්නේ පසෙක වූ ගල් තලාවේය. තවත් බොහෝ දෙනා එහෙ මෙහෙ ඇවිදිමින් සහ හිඳගනිමි ඒ අවට උන්නෝය. ඉසිනි නුරාධ්‍යාගේ කියවිල්ලට කෙටි පිළිතුරු දෙමින් උන්නාය. ඇගේ කල්පනාව ඉවතට වෙමින් තිබුණේ  නුරාන් ඔහුගේ ජීවිතය කෙලෙසකින් නම් ගෙවමින් සිටිනවාද සිතන්නට ඇයට අවැසි වූ නිසාය.

 සිතෙන ආකාරයට සහ සෝමාගේ කතන්දර වල පිලිවෙලට නුරාන් විවාහ වී නැත. ඔහු මෙහි ගෙවන්නේ සන්සුන් එහෙත් යම් කලබල ජීවිතයක් බවටද  සැක නැත. ඔහු වටා ඉතා කෙටි කලකින් බොහෝ දෙනා ඒකරාශීව සිටින බවටද සැක නැත. මේ ගම්මානය තුළ නුරාන් මන්දිනු වෙනුවෙන් සෑහෙන ඉඩක් වෙන්ව ඇත

ඔහු කොහොමටත් සියල්ලන්ගේ ආකර්ෂණය තමා වෙත ඇඳ තබා ගැනීමට සමතෙකි. විශ්ව විද්‍යාල ජීවිතය පුරාම ඒ වෙනුවෙන් උදාහරණ දහස් ගණනක් ඉසිනිට සිහි කර පැවසිය හැක. එහෙත්, තමා ඔහුගෙන් මිදුණේය. ඔහු තමා වෙත දැක්වූ සියල් හැඟීම් පසෙකට විසි කර ඔහු තනි කලේ තමාය

” අනේ ඒඩී මිස්.. කෝ අපේ දෝණී…”

ඉසිනිගේ කල්පනාව එක්වරම බිඳී ගියේ කලබල හඬකට හසුව යෑමෙනි. ඒ හඬ පැහැසරාගේ බව වටහා ගන්නට ඉසිනිට තත්පර කිහිපයක් ගත විය. බෝධි පූජා ගාථා හඬද ඇසුණි. ඉසිනි වටපිට බලමින් නැගිට ගත්තාය. ආලෝක එළි අතර බොහෝ අයවලුන් පෙනුනද කුඩා නුරාධ්‍යා නැති බව එක්වරම ඕ වටහා ගත්තාය. වහ වහා අවට  දෑස් යොමමින් බැලුවාය.

” අනේ මිස්… කෝ..”

පැහැසරා ගේ හඬින් අවට සිටි අයද සිදුවිම පිළිබඳව උනන්දු වෙන්නට ගත්තෝය. 

” මා එක්ක හිටියානේ.. අනේ…”

ඉසිනි උන්නේ හැඬෙන්නට ඔන්න මෙන්නය.

”  කවදාවත් දරුවෙක් යා දෙන්නේ නම් නෑ… පිටින් හදාගත්තත්, දරුවා රැඳෙන්නේනම් නෑ පුතේ ඕං…”

අරුණෝදගේ ලොකු අම්මා තම කේන්දරය බලා පැවසූ වදන උමතුවෙන් මෙන් ඇගේ සිත තුල නින්නාද දුන්නේය.  ඕ ඉන් මිදී නුරාධ්‍යා සොයාගන්නට උත්සාහ කලාය. වහ වහා ගල් තලාවෙන් බිමට බැස්සාය.

එක්වරම ඇසුණු දෙදරා යන තරමේ තීවෘ හඬ ඉසිනිව උන් පියවරේම ගල් කලේය. ඕ ආපසු හැරෙන්නටද, එලෙස සිටින්නටද සිතා ගත නොහී කෙටි හුස්ම හෙලමින් සැහැල්ලු වෙන්නට උත්සාහ කලාය

” අක්කේ… ඇයි ?”

“අනේ…දෝණි නෑ මල්ලී.. අනේ අයියාට එන්න කියන්නකෝ…”

“නෑ කියන්නේ ? ඔයා එක්කනේ හිටියේ ? මෙහෙට ආවේ මොකටද ?..”

” අපේ ඒඩී මිස් දැකලා දෝණි ඒඩී මිස් එක්ක ඉන්න ඕනි කියලා මෙතනට ආවා… මම පූජාවට අත ගහලා මෙතනටඑන  ටිකට දෝණි ඒඩී මිස් ළඟ නෑ..”

“තමුසේට පිස්සුද අක්කේ…  එක එක ගෑනු ළඟ කෙල්ල දාලා යන්නේ…?”

නුරාන්ගේ උස් හඬ ඉසිනිගේ සවන් බෙර පුපුරා යන තරමට දෝංකාර දුන්නේය. ඕ අසීරුවෙන් ආපසු හැරුණාය.

” නුරාධ්‍යා මගේ ලඟ හි..ටි..යා…”

ඇය පැහැසරා අසල උන් නුරාන් දෙස බලන්නට හදිසි නොවෙමින් පැවසුවාය. ධනුක පැහැසරා ගේ  නම පවසමින් ඒ අතරට ආවේද ඒ අතරමය. 

” ඇයි පැහැසරා..?”

“අනේ….. අනේ .. ධනුක…දෝණි නෑ..දෝණි නෑ…”

“මොකක්ද කියන්නේ ? දෝණි ඔයා අතේනේ උන්නේ…”

පැහැසරා යළි හඬමින් එකම විස්තරා කීවාය. ධනුක ඉසිනි වෙත හෙලුවේ  පිළිස්සී යන බැල්මකි. කොහොමටත් ධනුක තමා කෙරෙහි එතරම් පහන් සිතුවිලි නොදැරූ බව  ඉසිනිට වැටහි තිබුණි.  ඒ නොපහන් බවට හේතුව ඊයේ ඉසිනිට වැටහුණේය.

තම නිසා නුරාන්ගේ සිතද, කයද විඳි දුක් වේදනා වල ප්‍රාමාණික බව දන්නා සහෝදරයෙකුට තමා කෙරෙහි පහන් සිතුවිලි හට නොගන්නා බව ඕ ඊයේ රැයේ තහවුරුවෙන්ම වටහා ගත්තාය.

” මිස්ටර් ධනුක… බබා.. මේ ළඟක ඇති..”

“අනේ ..මඟුල…කෙල්ලට හීරිමක්වත් වෙලා තිබුණොත් උඹව මරලාම දානවා දැනගනින්.. උඹගේ පුරුද්දද ඔය… අහිංසක මිනිස්සුන්ගේ ජීව්ත වලට ගිණි තියනෙක…  උඹට පුරුදු  ගිණි අවුලවන්න විතරමද ඕයි… මගේ කෙල්ලව හොයාගෙන එන්නම් මම උඹ ගැන බලාගන්න..බලාගෙන හිටපං… උඹව කූඩුවට දා නවතින්නේ මම…”

” ම.. ල් ..ලී…”

පැහැසරා වහා නුරාන්ව නවතාගන්නටද උත්සාහ කලේ අඩ සිහියෙ සිටින අතරේමය.  එහෙත් ඇයද නුරාන්ගේ කෝපයට ලක් වූයේය.  ඉසිනි හඬමින්ම පසෙකට වූවාය. සෝමා වහා ඇය වෙත දිව ආයේ පණිවිඩය සියල්ලන් අතරේ පැතිර යමින් තිබූ නිසාය.

තවත් විනාඩි කිහිපයක් ඉක්ම යන්නට පෙර නුරාධ්‍යා උන්නේ නුරාන්ගේ දෑත් අතරය. ඔහු පැහැසරා ට සහ ධනුකට බැණ වඳිමින් කුඩා දියණිය ඉඹිමින් උන්නේය.

ඉසිනි නුරාගෙන් වහා සැඟවුනාය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here