එකම රූට් එකේ හැමදාම යන බස් එකක, යුනිවසිටි ළමයි යන වෙලාවල් බල බල නගින මනුස්සයෙක් තමයි සුරංග කියන්නෙ. සාමාන්‍යයෙන් මිනිස්සු ආස වුනාට සෙනග නැති බස් වල යන්න සුරංග නම් ආසම වුණේ සෙනග පිරිච්ච බස් වල යන්න. මොකෝ එතකොට “අත්වැරදීමකින්” කියාගෙන ඕන තරම් බස් එකේ හිටගෙන, වාඩිවෙලා ඉන්න ගෑණු ළමයින්ගෙ, ගෑණු අයගෙ ඇඟපතේ ගෑවෙන්න, අල්ලන්න, කරන්න ඉඩක් හම්බුවෙන හන්දා.
සමහර වෙලාවට සුරංග කරන්නෙ අත් දෙක පපුවෙ බැඳගෙන නිදි වගේ රඟපාන ගමන් වැලමිටෙන් එහා පැත්තෙ වාඩිවෙලා ඉන්න ගෑණු ළමයගෙ පපුවෙ අත වද්දන එක. වැලමිටකින් ගෑණු පපුවකට අනිද්දි දැනෙන වේදනාව ගැන කිසිම හැඟීමක් සුරංගට තිබ්බෙ නෑ. ඒ වේදනාවට වඩා විසාල ආතල් එකක් තමයි මිනිහා කෙල්ලන්ට කරදර කරලා ගෙදර ගිහින් ආයෙම ඒ සිටුවේශන් එක මතක් කර කර ගත්තෙ.
වැලමිටි සෙල්ලම නැත්තම් සුරංග කරන්නෙ බැඳගෙන ඉන්න යටි අතෙන් බස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ට පේන්නෙ නැතිවෙන්න තමන්ට එහා පැත්තෙ වාඩිවෙලා ඉන්න ගෑණු ළමයව කොණිත්තන එක. ඒ ගෑණූ ළමයගෙ උකුල උඩ බෑග් එකක් රැඳිලා තියෙනම් කකුල අල්ලන එක ලේසි හන්දා සුරංග හරිම ආසයි කෙල්ලො බස් එකේ වාඩිවෙලා යද්දි ලොකු පොත් බෑග් උකුල උඩ තියාගෙන යනවට. එහා පැත්තෙ ඉන්න ගෑණු ළමයාට නින්ද ගිහිල්ලා නම් සුරංග තව කැමතියි මොකෝ එතකොට කිසි ගාණක් නැතුව කැමති තැනකින් අල්ලන්න කරන්න පුලුවන් කම තියෙන හන්දා.
පත්තරවල, ෆේස් බුක් එකෙ කොච්චර කාන්තාවො කිව්වත් එහෙම දෙයක් වුනාම බය නැතුව 119ට කෝල් කරලා මේ වගේ අමනයන්ව පොලිසියට අල්ලල දෙන්න කියලා. එහෙම දෙයක් කරන්න බය නැතිකම තිබ්බෙ එහෙමත් ගෑණු කෙනෙක්ට තමයි. ගොඩක් ගෑණු ළමයි ඔරවල බලල, එහෙම නැත්තම් ටිකක් තද කටහඬකින් “අතගන්න” කියල කිව්ව මිසක බස් එකටම ඇහෙන්න සද්දෙ දාන්නවත්, නැගිටල කුඩෙන් ශොට් එකක් දෙන්නවත් තරම් හිතේ හයියක් සමහර කෙල්ලන්ට තිබ්බෙ නෑ.
ඕකෙන් ඉතින් ලොකුම ප්‍රයෝජනේ අරගත්තෙ සුරංග වගේ මිනිස්සු.
“කවුරුවත් කවදාවත් මුකුත් කියන්නෙ නෑ” කියල තමයි සුරංග ඔය වගේ දේවල් කරද්දි හිතුවෙ. ඒ වුනාට සුරංගට එහෙම හිතාගෙන ඔය වගේ වල් වනචර වැඩ කරන්න පුලුවන් උනේ එක දවසක් වෙනකම් විතරයි.
ඒ දවසෙත් පුරුදු විදියටම සුරංග බස් එකට නැග්ගා. බස් එකේ මිනිස්සු පිරිලා හිටියට සුරංගටත් වාඩිවෙන්න ඉඩක් හම්බුණා. වෙනදා වගේම බස් එක තමන් යන රූට් එකේ සුපුරුදු වේගයෙන් යන්න පටන් ගත්තා. ටික ටික කලුවර වැටුණා. සුරංග බලාගෙන හිටියෙ තමන්ගෙ එහා පැත්තෙන් වාඩිවෙන්න කවුරුහරි කෙල්ලෙක්, ගෑණු කෙනෙක් දැන් දැන් බස් එකට නගීවි කියලා. සුරංගගෙ පුරුද්ද තමයි එහෙම තමන්ගෙ සීට් එකේම තමන්ට එහා පැත්තෙන් කවුරුහරි ගෑණු කෙනෙක් වාඩිවෙන්න ආවම සුරංග පොඩ්ඩකට නැගිටල ඒ ගෑණු කෙනාට ජනේලෙ අද්දර ස්පොට් එක දෙන එක. මොකෝ සුරංගට ලේසි අයිනෙන් වාඩිවෙන එක තමන්ගෙ වැඩේ කරන්න වගේම මොකක් හරි දෙයක් වෙලා වැඩේ රෝන් ටර්න් ගියොත් ටක් ගාලා නැගිටලා දුවල බස් එකෙන් බහින්න.
සුරංග බලාපොරොත්තු උනා වගේම ලස්සන මැදි වයසෙ ගෑණු කෙනෙක්ට නගින්න දෙන්න බස් එක හෝල්ට් එකක නතර කරා. වෙනදට ඒ හෝල්ට් එකෙන් තව කට්ටිය නැග්ගට මොකෝ එදා නැග්ගෙ ඒ මනුස්සය විතරයි. සුදු පාට කුර්තා ටොප් එකක් ඇඳගෙන, කොණ්ඩෙ කඩාගෙන උන්නු ඒ මනුස්සයගෙ තිබ්බෙ අමුතුම ලස්සනක්. හීන් සීරුවේ ඇවිදගෙන ඇවිල්ල කෙලින්ම සුරංග ලඟ සීට් එක ලඟ නතරවෙච්ච ඒ ගෑණු කෙනා කොටින්ම වෙන තැනක තමන්ට වාඩිවෙන්නවත් ඉඩක් තියෙනවද කියල බැලුවෙ නෑ. සුරංග ලඟින්ම වාඩිවෙනවා කියල හිතාගෙනම ඇවිත් සුරංග ලඟ නතර වුනා. සුරංග නැගිට්ටා. ජනේලෙ අද්දර සීට් එක ඒ ගෑණු කෙනාට දුන්නා. තමන් මෙහා පැත්තෙන් වාඩිවුණා. විනාඩි දහයක් විතර සද්ද බද්ද නැතුව අත් දෙක බැඳගෙන ඇස් දෙක වහගෙන හිටියා. පොඩි නිදිමත ගතියක් පෙන්නන්න බෙල්ල කඩං වැට්ටුවා. ඉන් පස්සෙ තමයි මිනිහා ගේම් එකාට එන්ටර් වුණේ.
බැඳගෙන උන්න අත් දෙකෙන් එකක වැලමිට ගිහින් ටච් වුණේ එහා පැත්තෙ වාඩිවෙලා උන්න කාන්තාවගෙ පපුවෙ. විනාඩි පහක් විතර ඕක එක දිගටම කරද්දි සුරංග ඇස් ඇරියෙ නිකන් මොකක් හරි හිතිච්ච හන්දා. වෙන දවසක තමන් ඔහොම දෙයක් කරද්දි ගෑණු කෙනෙක් කවදාවත් මේ වගේ කිසිම රියැක්ශන් එකක් දෙන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ. ඒ වුණාට මේ ගෑණු කෙනා එහෙම නොකරපු හන්දා සුරංගට පොඩි ඩවුට් එකක් තිබුණා. ඇස් ඇරලා සුරංග ඒ ගෑනු කෙනා දිහා බලද්දිම තමයි ඒ මනුස්සයත් සුරංග දිහා බැලුවෙ. සුරංග තප්පරේකට ගැස්සුණා. තමන්ගෙ ඇස් තමන්ට හොඳටම විශ්වාසයි. තමන් දැක්කෙ මීට වඩා ලස්සන ගෑනියෙක් තමන්ට එහා පැත්තෙ වාඩිවෙලා ඉන්නවා.
ඒත් දැන් ඉන්නෙ ඒ මුලින් උන්නු ලස්සන ගෑනි නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස්, වයසක ගෑනියෙක්. සුරංග ගැස්සිච්ච විදිය දැක්ක හන්දද මන්දා ඒ ගෑනු කෙනාගෙ මූණෙ ඇඳුණෙ මහ අමුතුම හිනාවක්.
“සුරංගට මතක නැද්ද අපිව?” කියලා ඒ මනුස්සයා අහද්දි තමයි සුරංග කල්පනා කලේ කවුද මේ අපි කියලා කියන්නෙ කියලා. නිකමට වටපිට බලද්දි තමයි සුරංග දැක්කෙ වෙණද වගේ තමන්ට බස් එකෙන් එපිට පාරවත් ගස් කොළං ගෙවල් මිනිස්සු පේන්නෙ නෑ කියන එක. බස් එකේ වීදුරුව නිකන් කලු දුමාරෙකින් වගේ වැහිලා තිබුණෙ. ඒ වුණාට ඒ අන්දකාරෙ මැද්දෙත් සුරංග දැක්කා බස් එකේ තැන් තැන්වල වාඩිවෙලා උන්නු එක එක පෙනුම තියෙන එක එක වයස්වල ගෑනු උදවිය ඒ වාඩිවෙලා උන්නු තැන්වලම ඉඳගෙන බෙල්ල හරවල තමන් දිහාව බලනවා. සුරංගට ඒ ගෑනු අයව මතක තිබ්බෙ නෑ. ඒ වුණාට හැමෝගෙම කටෙන් පිටවෙච්ච “අපිව මතකද?” කියන කතාව අස්සෙ “මේ ඉන්න හැමෝවම මං මීට කලින් අත පත ගාලා තියෙනවා” කියන එක සුරංගට නිකන් ලාවට වගේ මතක් වුණා. මොකක් හරි හිත අස්සෙ ඇතිවෙච්ච බයකට කොන්ද දිගේ සීතලක් ගලාගෙන යනවා සුරංගට දැනුනා.
“වැඩ ඇරිලා මහන්සි පිට ගෙදර ගෙදර යන ගෑණු, ලෙක්චස් ඉවරවෙලා පොත් කඳු පිටේ එල්ලන් යන කෙල්ලො, සුදු ගවුම් ඇඳගෙන ඉස්කෝලෙ ඇරිල ගෙදර යන දැරිවියො මේ හැම කෙනෙක්වම සුරංගට මතකද? ඒ ගෑණුන්ගෙ ඇඟට අත තියද්දි, ඒ ගෑණු ඇස්වලින් මූණෙන් එපා කියල කියද්දි, ඒක වරදක් බව හොඳටම දැන දැන උනත් ඒ ගෑණුන්ට කරදර කරපු එක සුරංගට මතකද?
ඒ ගෑණු එන්නෙ ගෙවල්වල, ඔෆිස් වල, ලෙක්චර්ස්වල සෑහෙන ප්‍රශ්න තොගයක් ඔලුවෙ තියාගෙන කියලා සුරංග දැනගෙන හිටියද? සමහර ගෑණුන්ට ඔලුවට ඇඟට නිවනක් තියෙන්නෙ බස් එකේ ඒ යන එන ටිකේ විතරයි කියල සුරංග දැනගෙන හිටියද?” කියල එහා පැත්තෙ වාඩිවෙලා ඉන්න ගෑණු හරිම හීනි කටහඬකින් අහද්දි ඒ කටහඬ කන් පසාරු කරගෙන හිත අස්සෙ තැන්පත් වෙද්දි සුරංග දුවගෙන දුවගෙන බස් එකේ දොර අද්දරට යන්න හැදුවට ඒක කරන්න උනේ නෑ. මෙච්චර වෙලා වාඩිවෙලා උන්නු ගෑණු නැගිටල සුරංග වටේට රවුමක් වගේ හැදුණා.
අත් දික්කරගෙන තමන් දිහාවට එන ගමන් “මතකද අපිව, මතකද අපිව” කියලා ඇහුවා. ඒ කටහඬ දෝංකාර දෙද්දි, එන්න එන්න ඒ දෝංකාරෙ වැඩිවෙද්දි ඒ එක්කම බස් එක ඇතුලෙ තිබිච්ච අන්ධකාරෙත් වැඩිවෙනවා සුරංග දැක්කා.
“අනේ අනේ මට කරදර කරන්න එපා, මට සමාවෙන්න, අනේ මට වදදෙන්න එපා” කියලා කෑගහන ගමන් සුරංග අත් දෙකෙන් මූණ වහගත්තෙ බයටමයි.
දෝංකාර සද්දෙ නැතිඋනා. පුදුම නිහඬබවක් වටේ පිටේ තියෙනව සුරංගට තේරුණා.
තප්පර ගාණකට පස්සෙ ආයෙ ඇස් දෙකෙන් අත් දෙක අරගෙන සුරංග වටපිට බැලුවට එයා උන්නේ බස් එකේ නෙවෙයි. තමන් දිහාවට අත දික්කරගෙන ආව ගෑණු එක්කෙනෙක්වත් එතන ඉඳියෙ නෑ. තමන් ඉඳියෙ බාතෘම් එකක. මොකද්ද මේ වුණේ කියල හිතාගන්න බැරි තැන තමයි සුරංග බාතෘම් එකෙන් එලියට යන්න අඩිය තිබ්බෙ. මෙච්චර දවසක් කිසි පැටලැවිල්ලක් නැතුව ඇවිදපු තමන් එක පාර පැටලිලා වැටෙන්න ගියේ ඇයි කියන එක හිතාගන්න සුරංගට තප්පර ගාණක් ඕන වුණා.
තමන් බස් එකට නගිද්දි ඇඳන් හිටියෙ කලු කලිසමක් එක්ක සුදු ශර්ට් එකක් බව සුරංගට හොඳට මතකයි. ඒත් කණ්ණාඩියෙන් පේන රූපෙ ඇඳන් ඉන්නෙ සාරියක්. අනික තමන්ට ඒ ඉන්නෙ සුරංග කියන තමන් බව දැනුනට කණ්ණාඩියෙන් පේන රූපෙ ඉන්නෙ ගෑණියෙක්. ඔෆිස් එකක වැඩකරන පෙනුමෙන් ලස්සන වුණාට මොකක් හරි කියාගන්න තේරෙන්නෙ නැති දුකක් ඇස් දෙකේ හංගගෙන ඉන්න ගෑණියෙක්.
“මොකද්ද මේ වෙලා තියෙන්නෙ? මොකද්ද මං කරන්න ඕන” කියලා හිතාගන්න බැරුව කණ්ණාඩිය ඉස්සරහට වෙලා බලන් ඉද්දි තමයි බාතෘම් එකේ සින්ක් ඒරියා එකට ෆෝන් එක කණේ ගහගත්ත තව ගෑණු කෙනෙක් ආවෙ. කාත් එක්කද කතා කරන ගමන් ම.
“ඔව් අම්මේ වැඩ ඉවරයි. දැන් යන්න හදන්නෙ. හරි මහන්සියි අම්මෙ. ඔෆිස් එකේ ෆයිල් කන්දකට යටවෙල ඉඳල මාර අමාරුයි. දැන් ඉතින් ගෙදර ගිහින් උයන්නත් ඕනනෙ. මතක් වෙද්දි පිස්සු වගේ. ටිකක් හරි ඇඟට නිවනක් දැනෙන්නෙ බස් එකේ යන ටිකට විතරයි අම්මෙ. ඒකත් එපා වෙනව සමහර වනචරයො ඇඟේ ඇතිල්ලෙන්නා එද්දි. මැරුණනම් හොඳයි කියල හිතෙනව අම්මෙ වෙලාවකට ගෑණියෙක් වෙලා ඉපදුනාට වඩා.
මිනිස්සු කිව්වට ඒ වෙලාවට පොලිසියට කියන්න අරක මේක කියලා අන්තිමේ ගෙදර ගියාම අරයගෙන් බැනුම් අහගන්න වෙයි සද්ද නැතුව එන්නෙ නැතුව මොකටද පොලිසියට කියන්න ගියේ, ඇඟ වැහෙන්න ඇඳන් යන්න දන්නෙ නැද්ද, හැට්ටෙ කොට වැඩියි අරක මේක කියලා” කියන ගමන්ම ඒ නමක්වත් දන්නෙ නැති ගෑණි “මං යන්නම්” කියල සුරංගටත් කියාගෙනම තමයි බාතෘම් එකෙන් එලියට ගියේ.
තමන්ට දිගටම බාතෘම් එක අස්සට වෙලා ඉන්න බෑ කියල දන්න හන්දා තමයි සුරංග එලියට යන්න හැරුණෙ. හැට්ටෙන් වැහිච්ච අතේ හැට්ටෙට නොවැහිච්ච කෑල්ලකින් එලියට මතුවෙච්ච නිල් – දම් පාට පැල්ලම සුරංග දැක්කේ ඒ වෙලාවෙ.
සුරංගට මතක් වුණේ අර ගෑණි කිව්ව කතාව.
“සමහර ගෑණුන්ට ඔලුවට ඇඟට නිවනක් තියෙන්නෙ බස් එකේ ඒ යන එන ටිකේ විතරයි කියල සුරංග දැනගෙන හිටියද?”