මල් පිපුණිද හිම කැළයේ – 21

0
4828

“බ්‍රයන් මේ කොහෙද ඔයා යන්නෙ…රූට් එක පෙන්වන්නෙ අනෙක් පැත්තටනෙ…”
මඳ දුරක් ගමන් කරද්දී මාලිකා කෑගැසුවාය.බ්‍රයන් සිනාවී රිය පැදවූයේ කිසිවක් නොකියාමය.

“පිස්සුද බ්‍රයන්…පරක්කු වෙනවා මේ රූට් එකෙන් ගියොත්..මහ රවුමක්නෙ යන්නෙ…”
මාලිකා නොරිස්සුමෙන් පැවසුවාය.

“හරි හරි මෙලා…මේ රූට් එකෙන් නෙවෙයි යන්නෙ…අපි තව එක්කෙනෙක් ගන්න යන්නෙ මේ…ඔයායි නෙලීයි ගමන යනකොට කියවන්න ගත්තාම ඔයාලාට මාවත් අමතක වෙනවනෙ..ඉතින් මම මගෙ යාලුවෙක්ටත් කතාකළා මේ ගමන යන්න…එයා මග තැනකින් අපෙ වෙහිකල් එකට නගින්නෙ…ඒකයි මම මේ පාරට දැම්මෙ..”
මාලිකාගේ මුහුණ ඇදව යනු නිලංගා දුටුවාය. ඇයගේ සිතටද ඇති වූයේ තරමක අපහසුතාවයකි.මාලිකා සහ බ්‍රයන් සමග ඕනෑම ගමනක් යෑමට ඇය අකමැත්තක් නැත.එහෙත් නොදන්නා ආගන්තුකයන් මේ ගමනට සම්බන්ධ වීම ගැන නිලංගාගේ සිතේ ඇති වූයේ තරමක අකමැත්තකි.ඇය මුනිවත රැක්කාය.මාලිකා තරහින් පිපිරුණාය.

“බ්‍රයන් මේක අපේ ගමනක්..ඔයාට චුට්ටක් මට කලින් කියන්න තිබ්බා..දැන් කවුද එන්නේ?..ඇයි ඔයා කලින් කිව්වේ නැත්තේ..?” මාලිකා දිගින් දිගටම කියවන්නට වූවාය.

“මෙලා ප්ලීස් කෑ ගහන්නෙ නැතුව ඉන්නකෝ…නොදන්න කෙනෙක් නෙවෙයි එන්නේ.. මං මේ ගමන යනවා කියලා කිව්වම ස්ටීව් එනවා කිව්වේ..ඔයා නොදන්න කෙනෙක් නෙවෙයි නේ..ඒ වගේම ඉතින් නෙලීත් ස්ටීව්ව දන්නවනේ..”
බ්‍රයන් ගණනකට නොගෙන මෙන් පැවසුවේය.නිලංගා ඉහළට ගත් හුස්ම පහළට නොහෙලා බලා උන්නේ දෑස් විසල් කොට ගනිමිනි.නන්නාඳුනන පුද්ගලයකු ආවා නම් තව කමක් නැත.ස්ටීව් ක්ලිෆර්ඩ් යනු තමා අකමැත්තෙන් ඉන්නා ගණයේ පුද්ගලයෙකි.ඔහුද තමා නුරුස්සන බව නිලංගා මැනවින් දනී.මේ ගමනේ සතුට එහෙම පිටින්ම සිඳී ගියාක් සේ ඇයට දැනුණි.
වෙනත් රථයක වෙනත් අයවලුන් සමග වූවා නම් රථයෙන් බැස ආපසු යන්නට ඇත්නම් ඇය දෙවතාවක් නොසිතා යන්නට පවා සූදානම්‍ ය.එහෙත් මාලිකා නිසා කිසිවක් කරකියා ගන්නට නොහැක.

මාලිකා වහා හැරී පසුපස අසුනේ උන් නිලංගා දෙස බැලුවාය.බ්‍රයන් නොදන්නවාට නිලංගා සහ ස්ටීව් අතර ඇති සීතල යුද්ධය මාලිකා හොඳින්ම අවබෝධ කරගෙන උන්නාය. නිලංගාගේ ගමනේ සතුට එහෙම පිටින්ම බොඳව ගොස් අවසන් බව මාලිකාට ඇයගේ වත දුටුවිට වැටහේ.මේ ගමන අවලංගු කොට හැරීයන්නට ඇත් නම් යැයි ඇයටද සිතුණි.

“බ්‍රයන් වට් ද හෙල් ආ යූ ඩුයින්…මේ දෙන්නා ගැනම ඔයා දන්නවා…මෙච්චර අවුල් ප්‍රශ්නත් උනා.ඔයා මේ කල දේ අන්තිම වැරදියි….”
මාලිකා හඬ පහත් කර බ්‍රයන්හට බැන වැදුණාය.බ්‍රයන් ඇයට සන්සුන් වන්න යැයි පැවසුවේ නෙත් ඉඟියෙනි.එසේ කොට ඔහු රිය මාවතක් අයිනේ නවතා ඉන් පිටට බැස්සේය.

බ්‍රයන් ගේ ඉඟියට අනුව මාලිකා ද රියෙන් බැස ඔහු වෙත ගියාය.නිලංගා කිසිවක් සිතාගත නොහී බලාඋන්නාය.සිතින් අහස උසට ගමන ගැන තැබූ බලාපොරොත්තු සියල්ල සුන්ව ගොසිනි. මේ ගමන ගිය පසු දින දෙක පුරාමත් ඉන්නට වන්නේ ස්ටීව්ගේ නොපහන් බැලුම් සහ නුරුස්සන කතාබහ අතරේ නම් ගමන නොයා සිටීම වඩා සුදුසුය.
නිලංගා කල්පනාවේ ගැලුණේ තීරණයක් ගත නොහැකිවය. මාලිකාත් බ්‍රයනුත් වාදයක බව රියෙහි ඉදිරිපස වීදුරුව හරහා පෙනේ.ඒ වාදයට හේතුව තමාය.ස්ටීව් ගමනට එක්වීම පැණයක් වන්නේ තමා නිසාය. නිලංගා දිගින් දිගටම සිතුවාය… තමා හේතුවෙන් ඔවුන් අතර ගැටුමක් ඇතිවන්නට ඉඩ නොදිය යුතුය. තමා අද ජීවත්වන සුවපහසු ජීවිතය මාලිකා සහ බ්‍රයන් නිසා ලැබුණු ඒවාය. ඉතින් සියල්ලටම පෙර තමා ඒ ගැන සිතිය යුතුය. වෙන දෙයක් වුණාවේ යැයි අවසානයේ නිලංගා සිතුවාය. ස්ටීව්ගේ පැමිණීම තමා ගැටලුවක් කරගත යුතු නොවේ.

දීර්ඝ වාදයකට පසුත් මාලිකා නොපහන් බැල්මෙන් බ්‍රයන්ගේ කරුණු පැහැදිලි කිරීම අසා උන්නාය.

“තේරුම් ගන්න මෙලා…ඔයාට නෙලී වගේම තමා මට ස්ටීව්… මෙච්චර කාලයක් ඌ අපි එක්ක ගමන් ගියෙ නැද්ද? ඔයා නෙලීට මේ ගමන යන්න ඉන්වයිට් කරන කොට මගෙන් ඇහුවෙ නෑ කියල මම ඔයාට මොකුත් කීවද? ඒ වගේ තමා මම ස්ටීව්ට වෙනදා අපි එක්ක ජොයින් වෙන්න කීවෙත්…”
මාලිකා ක්‍රමයෙන් සිඳී යන ආවේගය ඇතිව බලාඋන්නාය.බ්‍රයන් සිය ළය හරහා දෑත බැඳ බලා උන්නේය.

“සොරි බ්‍රයන්, මම කලබල උනා එකපාරටම. නෙලීයි ස්ටීව්යි දෙන්නා නෙලී ජොබ් එකට ගිය දා පටන්ම දෙන්නට දෙන්නා ටොලරේට් කරන්නෙ නෑනෙ..ඒකයි මට අප්සෙට් ගියේ.ඔයා හරි…සොරි බ්‍රයන්…”
මාලිකා බ්‍රයන් ගේ ඉණ වටා දෑත යවා ඔහු වෙත සමීප වූවාය.

“ඒක හරි…මේ අහන්න මෙලා..මට හිතෙනවා..ස්ටීව් එක්ක නෙලී ගෙ අවුල් ගතිය මේ ට්‍රිප් එකෙන් පස්සෙ නැතිවෙලා යාවි කියල.මොකද ඒ දෙන්නා අතරේ ප්‍රශ්නයක් ඇතිවුණේ ආච්චිගේ දේවල් එක්කනෙ.සමහර විට අපිත් එක්ක ඒ දෙන්නත් මූව් වෙනකොට ඔක්කොම හරියාවි..අපි පොසිටිව්ව හිතමුකො…”
බ්‍රයන් මාලිකාගේ නළලත සිප ගනිමින් පැවසුවේය.

ආපසු සිනා සෙමින් රිය වෙත පැමිණෙන තරුණ යුවළ දෙස නිලංගා සතුටින් බලා උන්නාය.දෙදෙනාගේ ගැටුම සමථයකට පත්ව ඇතුවා සේය. රියට නැගුණ මාලිකා නිලංගා වෙත හැරී සිනාසුණාය.

“නෙලී…?”
අසන්නේ කුමක්දැයි සිතාගත නොහී මාලිකා ඇයගෙන් කෙටි විමසුමක ආමන්ත්‍රණයක් කළාය.

“මෙලා..බ්‍රයන්…මේ ගමන ඉෂූ එකක් කරගන්න එපා…අපි යමු…මම ඕකේ…”
මාලිකා විමතියෙන් මෙන් නිලංගාගේ මුහුණ දෙස බැලුවාය.ඇය කිසිත් වෙනසක් නොමැතිව  සිනා සී බලා සිටින්නීය.

” තැන්ක් යූ නෙලී….ඔයාට මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැති බවට අපි දෙන්නම ප්‍රොමිස් වෙනවා…”
බ්‍රයන් පැවසුවේය.නිලංගා සිනාසී හිස සළා එය පිළිගත්තාය. ඊලඟ පිපිරුම එන්නේ ස්ටීව් රියවෙත ආ පසු බව දැන උන්නේ බ්‍රයන් පමණි. නෙලී ගමනට එන බව ස්ටීව්ට පවසන්නට බ්‍රයන් ඇරයුම කරන විට දැන උන්නේ නැත.. ඉන්පසු කියන්නට සිතා උන්නද වැඩකටයුතු හමුවේ එය අමතකව ගියේය.දැන් ඉතින් ඊලඟ යක්ෂාවේශය නැරඹිය යුතුය.

“බ්‍රයන් , ඊලඟ ප්‍රශ්නෙ…?”
මාලිකා හඬ අවදිකළාය.බ්‍රයන් කල්පනාවෙන් මිදී ඇය දෙස බැලුවේය.

“සීටින් ඇරේන්ජ්මන්ට් කොහොමද දැන් ස්ටීව් ආවම..?”
මාලිකා නිලංගා දෙසද නෙත් කොණින් බැලුවේය.බ්‍රයන් ගේ මුවගට ආවේ දඟකාර සිනාවකි.

“ස්ටීව් ඩ්‍රයිව් කරාවි…නෙලී ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ…අපි දෙන්නා පිටිපස්සට යමු…මම ඩ්‍රයිව් කරන කොට මේ වගේ…ස්ටීව් පිටිපස්සට යාවි…”
මාලිකා අතින් මුව වසා ගත්තාය.ගමනේ හොඳම ඇඩ්වෙන්චර් එක පටන් ගන්නේ සෙවන් සිස්ටර්ස් වලට පෙර බව ඇයට දැනුණි.

නිලංගා එවදන් නෑසුණා සේ උන්නාය.ඉදිරිපස වුවත් පසුපස වුවත් යන්නට වන්නේ එකම පුද්ගලයා ආසන්නයේ නම් එහි වෙනසක් නැත.සිතාගන්නට නොහැක්කේ ඔහු තමා දුටුවිට කුමන ප්‍රතිචාරයක් දක්වයිද යන්න පමණි.කුමක් වුවද තමාගේ පාඩුවේ යන්නට ඇය සිතාගත්තාය.

ස්ටීව් ක්ලිෆර්ඩ් බ්‍රයන්ගේ රිය වංගුවෙන් හැරවෙන මොහොතේ සිය රථයෙන් බැස්සේය.රියදුරාහට අවශ්‍ය උපදෙස් දී ඔහු පිටත් කොට හැරියේය.බ්‍රයන් රිය ඔහු අසළ නවතා රියෙන් බසිනා විටම මාලිකාද රියෙන් බැස පසුපස දොර වෙත ගියාය.

“දැන් දෙන්නම පිටිපස්සට ගිහින් මාව ඩ්‍රයිවර් කරන්නද හදන්නේ..?”
ස්ටීව් බ්‍රයන් දිගු කළ අතට පහරක් ගසමින් විමසීය.

“මෙලාගේ යාලුවෙක් ආවා …එයා පැසෙන්ජර් සීට් එකට දාන්නම්.අපි දෙන්නා පස්සට යනවා…”
බ්‍රයන්ගේ වදන් සමග ම උන් තැනම නැවතුණ ස්ටීව් පිටුපස අසුන වෙත නැවී විමසුම් බැල්මක් හෙළුවේය. ඔහුගේ දෑස් නළලට ගියේ පීච් පැහැ ඇඳුමින් සැරසී අසුනේ ගුලිව මෙන් ඉන්නා යුවතිය දුටුකළය.

“බ්‍රයන්…මොකක්ද මේකෙ තේරුම..? මට තව කෙනෙක් එනවා කියලා කිව්වෙ නැත්තෙ ඇයි…?”
ස්ටීව් දැඩි හඬින් විමසුවද ඒ ස්වරයේ අකමැත්තක් ගැබ්ව නොතිබූ බව බ්‍රයන් වටහා ගත්තේය.

“පොඩි මිස් කමියුනිකේශන් එකක් වුණේ බ්‍රදර්….මෙලා එයාගේ යාලුවට ඉන්වයිට් කලාට මට කීවේ මං ඔයාට ඉන්වයිට් කලාට පස්සෙ….ඉතින් මට ඒක ඔයාට කියන්න අමතක උනා…සොරි බ්‍රදර්..”
බ්‍රයන් හිස කසමින් පැවසුවේය.ස්ටීව් නිහඬවම රියේ පිටුපසට ගොස් බ්‍රයන් සමගින් බෑගය පිටුපසට දමා ඔහුගෙන් රථයේ යතුර ඉල්ලාගත්තේය.ඉන්පසු නිහඬවම විත් ඉදිරි අසුනට නැංගේය.මාලිකා බ්‍රයන් වෙතින් අභිනයෙන් විමසුවේ තත්වය යහපත්ද යන බවය.බ්‍රයන් සිය මහපටැඟිල්ල ඔසවා සියල්ල යහපත් බව පැවසුවේය.

“නෙලී ඉස්සරහට යනවද එහෙනම්..?”
මාලිකා සිය ස්වරයේ ඇති වරදකාරීබව සඟවා නොගනිමින්ම විමසුවාය. නිලංගා නිහඬවම හිස සලා රියෙන් බැස ඉදිරිපස අසුනට නැංගාය.ස්ටීව් වගේ වගක් නොමැතිව ඉදිරිපස බලාගෙන සිටී.

“ගුඩ් මෝනින්…”
නිලංගා ඔහුගේ නොසැලකිල්ල ගණනකට නොගෙන සුබ පතා ඉදිරිපස බලාගෙන ආසන පටිය පැළඳ ගත්තාය.ස්ටීව් තිගැස්සී මෙන් ඇය දෙස බලා හිස පමණක් සැලුවද ඔහු වෙතින් ප්‍රති සුබපැතුමක් නොපළවිය. නිලංගා එය බලාපොරොත්තු නොවූවාය. දෙපස තුරු වදුලින් පිරුණ මාවත දිගේ රිය සෙමින් ඉදිරියට ඇදුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here